Sunday, July 12, 2020

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ...

බ්‍රොaහියර්ට සහ සේකරට හමුවූ අවුකන පිළිමය

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

නො අදහා බුදු කෙනෙකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක්‌ යෑයි ඔබ සිතා සිටියෙමි
තෙතක්‌ හෝ කිසි දයාවක්‌ නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නොපෙනිණි

අහිංසක හදවත්හි උපදින
මෙලෙක්‌ සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහට ම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි

කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝ තලයේ
අනෙක්‌ පිහිටක්‌ නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක්‌ කොට ඇත

ඔබේ පා මුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක්‌ ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන
- මහගම සේකර, සක්‌වා ලිහිණි 

අති දැවැන්ත ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්‌ අබියස හිඳ තම කුදු බව නෙහොත් චූල බව පසක්‌ කර ගත්තෙකුගේ මේ ආත්ම භාෂණය මහගම සේකරයන්ගේ රචනාවකි. 1962 වර්ෂයේ දී මුද්‍රණයෙන් පළකරන ලද සේකරයන්ගේ "සක්‌වා ලිහිණි" කාව්‍ය ග්‍රන්ථයේ මෙය ඇතුළත් වන්නේ "අවුකන පිළිමය" යන හිසින් යුතුවය. පසුව මෙම නිර්මාණයෙන් තෝරාගත් පද්‍ය කිහිපයක්‌ ඩබ්. ඩී. අමරදේවයන් විසින් ගීතයක්‌ ලෙස ගයනු ලැබ 1972 දී පළවූ "මහගම සේකරගේ ගීත" නම් ග්‍රන්ථයටද ඇතුළත් කර ඇත.

අනුරාධපුරයේ අවුකන විහාරයෙහි පිහිටි සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාව සියෑසින් දැක ඇත්තෙකුට සේකරගේ මෙම කවි නිර්මාණය සමඟ ඒකාත්මික වීම අපහසු නොවේ. පුහුදුන් ලෝකයේ දුක්‌ඛ දෝමනස්‌සයන්ගෙන් විඩාපත් වී අසරණ වූවෙක්‌, පිළිසරණක්‌ පතා වනගත බුදු රුවක්‌ සොයා යයි. කායිකව මෙන්ම ම මානසිකව ද දුෂ්කර වූ ඒ ගමන අවසන ඔහුගේ දෑස්‌ අබිමුව මේ දැවැන්ත ශෛලමය බුද්ධ ප්‍රතිමාව දර්ශනය වන්නට වෙයි. දැවැන්ත ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්‌ අබියස සිටින්නෙකු තුළ වෙසෙසින් ම එය ප්‍රථම වරට දකින්නෙකු තුළ හටගන්නා විස්‌මයත්, ප්‍රහර්ෂයත් ස්‌වකීය පද පෙළ තුළ මුදා හරින්නට සේකර උත්සාහ දරා තිබේ. බුද්ධ ප්‍රතිමාවේ දැවැන්ත බව ඉදිරියේ කවියේ කථකයා එක්‌වරම චූල නොවැදගත් ක්‌ෂුද්‍ර ප්‍රාණියෙකු බවට පත්ව ඇති සෙයකි. කිසිවකට හෝ කිසිවෙකුට දෙවැනි නොවෙති යි සිතූ ඔහු විසින් මහත් පරිශ්‍රමයකින් ගොඩනඟාගෙන මෙතෙක්‌ රැකගනු ලැබූ ඔහුගේ මානයත්, මමංකාරයත් සුණු විසුණු වී ගොස්‌ ඇත. කඳුළු ලෙස ඔහුගේ නෙතින් වැගිරෙන්නට වන්නේ ඔහු මෙතෙක්‌ කලක්‌ තමා තුළ ඝනීභවනය කරගත් මානය නොවන්නේද?

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැළවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

සේකරගේ නිර්මාණයේ කථකයා ස්‌වකීය මානයේ වල්මත් බවෙන් මිදෙනු පිණිස වනයට පිවිසෙයි. ඒ වනගත බුදු රුවක්‌ සොයා යන අටියෙනි. අතීතයේ දිනෙක මේ අයුරින්ම වනය හෙළි පෙහෙළි කරමින් ගිය එක්‌තරා මනුෂ්‍යයෙකුට අනපේක්‍ෂිත ලෙස සෙල්මුවා බුදු රුවක්‌ මුණගැසිණි. සේකරගේ කවි නිර්මාණයේ කථකයා වනයට පිවිසියේ බුදු රුව එහි ඇති බව දැනගෙන වුවත් ඉහත කී මනුෂ්‍යයා වනය පීරමින් ගියේ බුදු රුවක්‌ එහි ඇති බවට පූර්ව නිශ්චයකින් තොරව බව ඔහුම පවසයි. ඒ අපූරු මිනිසා නම් ආර්. එල්. බ්‍රොaහියර් ය. රිචඩ් ලෙස්‌ලි බ්‍රොaහියර් හෙවත් ආර්. එල්. බ්‍රොaහියර් 1892 ඔක්‌තෝබර් 05 දින කොළඹ දී උපත ලබන්නේ ලන්දේසි බර්ගර් පවුලක (Dutch Bughers Family) දරුවෙකු ලෙසිනි. කොළඹ කාර්මික විද්‍යාලයෙන් මිනින්දෝරු පාඨමාලාව හදාරා 1910 දී මිනින්දෝරු සේවයට එක්‌වූ බ්‍රොaහියර්ට ස්‌වකීය රාජකාරියේ කටයුතු උදෙසා ලක්‌දිව අස්‌සක්‌ මුල්ලක්‌ නෑර සැරි සැරීමට සිදුවිය. රාජකාරි කටයුතු නොපිරිහෙළා ඉටු කරන අතරම රාජකාරි දිවියේදී ලත් අත්දැකීම් ලියා තබන්නට හෙතෙම අමතක නොකළේය. "Seeing Ceylon" (බ්‍රොaහියර් දුටු ලංකාව), (Discovering Ceylon) (බ්‍රොaහියර් හඳුනාගත් ලංකාව) වැනි කෘති බිහිවූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ආර්. එල්. බ්‍රොaහියර්ට අවුකන පිළිමය හමුවන්නේ රජරට ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක යෙදී සිටින අතර ඉතා අහම්බයෙනි. "Seeing Ceylon" (බ්‍රොaහියර් දුටු ලංකාව) නම් කෘතියෙහි ලා බ්‍රොaහියර් ස්‌වකීය අත්දැකීම් විස්‌තර කරනුයේ මේ ආකාරයෙනි.

"කලාවැවේ සිට සැතපුම් එකහමාරක්‌ පමණ දුරක්‌ වාහනයෙන් පැමිණි විට, මා සිතන හැටියට ලංකාවේ ඇති විශිෂ්ටතම කලා නිධානය වන අවුකන විහාරයට පැමිණිය හැකිය. මෙහි දක්‌නට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කැරුණු සුවිශේෂ කලා නිර්මාණය වන අවුකන බුදු පිළිමය ය. විශාල ගල් පර්වතයෙක නැගෙනහිර මුහුණතේ මුළුමනින්ම රවුම්වට ආශිර්වාද මුද්‍රdවෙන් නෙළා ඇති මේ මහා බුදු පිළිමය මනා සේ සුන්දර ය.

මා මේ විශිෂ්ට නිර්මාණය දුටුයේ ත්‍රිකෝණමිතික ස්‌ථානයක්‌ සඳහා උස්‌ කඳු ගැටයක්‌ සොයා ගිය ගමනකදීය. ඒ කලාවැව ආශ්‍රිතව කැලෑවෙන් වැසී තිබූ ගොවි බිම්, ජනපදවල පදිංචි වූවන් විසින් නැවත අත්පත් කර ගැනීමට වසර කිහිපයකට පෙරය. එවකට ත්‍රිකුණාමලය දුම්රිය මාර්¨ගය සාදා නොතිබිණ. අප කැලෑ එළිකරමින් ඉදිරියට යත්දී හදිසියේම අප ඉදිරියේ මේ විසල් පිළිමය දිස්‌විය. මහා වනාන්තරය තුළදී මා එය දුටු විට මම සත්‍ය වශයෙන්ම තුෂ්ණිම්භූත වීමි. මට දැනුණේ මේ මහා දැවැන්ත පිළිමය ඉදිරිපිට මා කුරුමිට්‌ටකු වූ බවයි. කෙසේ වුවද බොඳවී යමින් තිබූ මගේ අභිමානය කැටි කරගත් මම මෙහි චමත්කාරජනකත්වය නරඹන්නට වීමි. ශිල්පියා විසින් මේ පිළිමයට ආරෝපණය කොට ඇති ශාන්ත නිශ්චල අඟපසඟ, මුහුණේ මහේශාඛ්‍ය කරුණාව අතිසූක්‍ෂම සෞන්දර්යය මා සිත විනිවිද ගියේය.

බ්‍රොaහියර්ගේ මෙම අත්දැකීම් විවරණයත්, සේකරගේ සක්‌වා ලිහිණි කෘතියෙහි සඳහන් "අවුකන පිළිමය" කාව්‍ය නිර්මාණයත් බොහෝ තැන්වලදී සමපාත වන බව පෙනේ.

"නො අදහා බුදු කෙනෙකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක්‌ යෑයි ඔබ සිතා සිටියෙමි
තෙතක්‌ හෝ කිසි දයාවක්‌ නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නො පෙනිණි..."

දෙවියන් ගැන, බුදුන් ගැන විශ්වාසයක්‌ හෝ ගෞරවයක්‌ හෝ නොමැතිව මානයෙන් පසු වූ කවියේ කථකයා සුවිසල් අවුකන පිළිමය ඉදිරියේ එක්‌ වරම කුදු බවට පත්වෙයි.

"ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක්‌ කොට ඇත..."

අවුකන ප්‍රතිමාවේ භෞතික විශාලත්වය විසින් කථකයාට සිහිපත් කර දෙනු ලබන්නේ බුදුන් වහන්සේගේ අසමාන වූ පෞරුෂයේත්, ආධ්‍යාත්මයේත් දැවැන්ත බවයි. ඒ අබියස හිඳ කථකයා තමාගේ භෞතික වූත්, ආධ්‍යාත්මික වූත් කුදු බව අත්විඳියි.

සේකරගේ ගී පද ආර්. එල්. බ්‍රොහියර්ගේ අත්දැකීම් විවරණයේ මේ වදන් නැවත සිහිපත් කරනවා.

"අප කැලෑ එළිකරමින් ඉදිරියට යද්දී හදිසියේම අප ඉදිරියේ මේ විසල් පිළිමය දිස්‌විය. මහා වනාන්තරය තුළදී මා එය දුටු විට මම සත්‍ය වශයෙන්ම තුෂ්ණිම්භූත වීමි. මට දැනුණේ මේ මහා දැවැන්ත පිළිමය ඉදිරිපිට මා කුරුමිට්‌ටකු වූ බවයි. කෙසේ වුවද බොඳවී යමින් තිබූ මගේ අභිමානය කැටි කරගත් මම මෙහි චමත්කාරජනකත්වය නරඹන්නට වීමි."

සෙල්මුවා පිළිමයක්‌ තුළ කැටි කරන ලද බුදුන් වහන්සේගේ භෞතික රූපකාය විනිවිද, උන්වහන්සේගේ ආධ්‍යාත්මික රූපකාය හඳුනාගත් බ්‍රොහියර් එයිනුදු නොනැවතී ස්‌වකීය තීව්‍ර වූ දෘෂ්ටියට හසුකර ගන්නේ මේ පිළිමය නෙළු කලාකරුවාගේ අසමසම ප්‍රතිභාවයි.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...