Sunday, July 12, 2020

නීල බිඟු කැල ...

නීල බිඟු කැල තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා...

මාරුතේ මතුරා යතේ
සුරඹුන් නැඟූ මුකුළූ
මාවතේ අතුරා ඇතේ 
සුරඹුන් නෙළූ කැකුළූ
සුරඹුන් නෙළූ කැකුළූ...

ජීවිතේ කිරි සාගරේ 
කලඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී
සඟවා නොයන් සොඳූරී...

ගායනය - වික්ටර් රත්නායක 
පදරචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන 
සංගීතය - වික්ටර් රත්නායක 

මේ ගීතය ඇතුළත් වූයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කල රජගෙදර පරෙවියෝ චිත්‍රපටියේ. ඒ සඳහා මේ ගීතය නිර්මාණය වූ කතාව හරි අපූරුයි. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළු නිළි දෙපළ වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා සහ නීටා ප්‍රනාන්දු මහත්මිය රඟන දර්ශනයක් සඳහා ගීතයක් ඇතුළත් කරන්නට සතිස්චන්ද්‍රයන්ට අවශ්‍යව තිබුණා. ඒ සඳහා තම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණයට යොදාගෙන සිටි වික්ටර් රත්නායකයන්ගෙන් එතුමා ඇසුවා "කාට ද මේ ගීතය ලියන්න දෙන්නේ?කියලා. රත්නායකන්ගේ එකම පිළිතුර වූයේ "කේ. ඩී.කේ. ට දෙමු" යන්නයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අය පවා සිටිය දී එතුමාටම මේ ගීතය රචනා කරන්නට දීම එතුමා කල පද රචනාව මගින්ම ඉතා සාධාරණයක්ව තිබෙනවා. ඉන්පසු සතිස්චන්ද්‍රයන්ම යෝජනා කරනවා ගීතයට තරමක රිද්මයානුකූල තනුවක් නිර්මාණය වෙනවා නම් හොඳයි කියලා.

ඉතින් ගීතයට මුලින් රත්නායකයන් අතින් තනුවක් හැදුණා. ඊට පස්සේ දවසක් රත්නායකයන් ගුවන්විදුලි සංස්ථාවේ ආපන ශාලාවට ගිහින් මේසයට තට්ටු කරන ගමන්, මුමුණමින් මේ ගීතයට පද මාලාවක් කේ.ඩී.කේ. අතින් ලියවෙනවා. ඉන්පසු එදාම හවස සතිස්චන්ද්‍රයන් හමුවට දෙදෙනාම ගොස් මේ ගීතය ඉදිරිපත් කලවිට එය එකහෙලාම අනුමත වෙනවා.

පසුකාලීනව ගාමිණී ෆොන්සෙකා මහතා ආචාර්ය වික්ටර් රත්නායකයන්ට කියා තිබෙනවා එතුමා පවා මේ ගීතයට දැඩි සේ ඇලුම් කරන වග.

නීල බිඟු කැල තාමරස පෙළ ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා

තාමරස කියන්නේ නෙළුම් වලට. මී මැස්සො රංචුවක් ජලාශයක පිපිලා දිලෙන නෙළුම් මල් පේළියකට වහ වැටිලා දැවැටි-දැවැටී හෙමි හෙමින් ඉගිල්ලෙන හැටි.

මේ දෙවෙනි පෙළ. හංසයෝ විලක සරද්දී, බොහෝම ආදරෙන්... හිමින් සීරුවේ, උන්ගෙ රන්වන් පාට හොටවල තුඩුවලින් නෙළුම් කැකුළු පාරනවා. මත් වෙලා වගේ.අඩ සිහියෙන් වගේ. මෝහනයෙන්.  මේක බොහෝම ශෲංගාරය දනවන කතාවක්. සසඟයකට 
පෙර කාමී ස්නේහවන්තයෙක් හුදෙකලාවේ සුන්දර ප්‍රියාවියට තුරුල් වෙලා ඒ මිහිරාවියගේ කැකුළු පියයුරු හෙමිහිට පිරිමදිමින් ඇගේ කාමෝද්දීපනය කරන ආකාරයට.

නිල් පාට මී මැස්සො කොහෙද ඉන්නේ? නිල් වරලසක් කාටද තියෙන්නේ? ඒත් කවි ලියද්දි අපේ කවියන් කළු පැහැය නිලක් විදියට දැක්කා. තද නීල වර්ණයක්. ඕවා කවි සමයේ ගොඩක් තියෙනවා. 

මාරුතේ මතුරා යතේ - සුරන් නැඟූ මුකුළු
මාවතේ අතුරා ඇතේ - සුරඹුන් නෙලූ කැකුළු... 

සුළඟෙන් නැඟෙන ශබ්දය සුරඟනන් නඟන මුකුළු මතුර මතුරා යන ආකාරයට විස්තර කර ඇත. ඒ මාවතේ සුරඟනන් විසින් නෙලන ලද මල් අතුරා ඇති බව රචකයා විසින් පවසා ඇත. එතැන තියෙන්නේ නිශ්ශංඛමල්ල රජ්ජුරුවන්ට අත පය හතරම නැති කොටෙක් ශ්‍රීපාදය සොයා දුන් කතාවෙන් කෑල්ලක්.

ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා පුරා සඟවා නොයන් සොඳුරී.... 

සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන්නේ කිරිමුහුද කළඹාලා අමෘතය සොයාගත් බව. මේ පද වල ජීවිතය නැමති කිරිසාගරේ කළඹා දිනාගත් ලඳ කිඳුරියක් ලෙස විග්‍රහ කර ඇත. මිවිත සොරාගෙන ගිය සුරයන් ලෙස සඟවා නොයන ලෙස ඉල්ලීමක් කරයි. 

මෙම පදරචනය සඳහා අපුරු සාහිත්‍යයේ කතාවක් පදනම් වී ඇත.
ඔන්න ඈත- ඈත කාලෙක සුරයොයි අසුරයොයි අතරේ යුද්ධයක් තිබුණාලු. 

ඉතිං මෙතැනදී අපූරු යෝජනාවක් ගෙනැත්. "අපි අමෘතය බීලා අමරණීය වෙලා යුද්ධ කරමු. එතකොට කවුරුවත් මැරෙන්නේ නෑනේ. යෝජනාවට දෙපැත්තෙන්ම කාගෙන්වත්ම විරුද්ධයක් ආවේ නෑ. 

එතකොට අමෘතය තිබුණේ කිරි සාගරේ පතුලේ. ඒක උඩට එන්න නම් සයුර කලම්බවන්න ඕනේ.ඔන්න බොහෝම අසීරුවෙන් ඕනෙ කරන ආම්පන්න ටික එකතු-පහදු කරගත්තා. පත්තට ගත්තේ මහාමේරු පරුවතේ. ඊළඟට මේ පත්ත හොඳට කරකැවෙන්න නම් දිග ලණුවක් පටලවලා දෙපැත්තේ අය දෙපැත්තෙන් ඉඳලා එහාට-මෙහාට අදින්න ඕනේ. ඒ රැහැනට ඉන්න වාසුකී නාග රාජයා මනාපේ දුන්නා.

ඔන්න දැන් මහාමේරු පත්තේ වාසුකී නාරජ රැහැන වෙළලා කට්ටි දෙක දෙපැත්තට යනවා. 

කට්ට විෂ්ණු දෙයියෝ කල් ඇතිවම සුරයන්ට කියලා තිබුණා අසුරයොන්ට නයාගේ කට පැත්ත දෙන්නැයි කියලා. මොට්ට අසුරයොත් දුරදිග නොහිතා ඒ ලණුව කෑවා. 
දැන් දෙගොල්ලෝ දෙපැත්තෙන් අල්ලාගෙන රැහැන එහාට-මෙහාට අදිනවා. කිරි සාගරෙත් කැළඹිලා සුළියක් හැදෙනවා, මෙන්න. නා රජ්ජුරුවන්ගේ හොඳ පණ ගිහිල්ලා, දන්නෙම නැතිව කට ඇරිලා 
විෂ දුම් පිටවෙන්න ගත්තා. එදා ඒවා වැදුණු නිසා තමයි තාමත් 
අසුරයෝ සුරයන්ට වඩා පාටෙන් අඩු. ඔය අතරේ කිරි සාගරේ සුළියක් හැදුණා. ඒකෙන් මහාර්ඝ වස්තු 14 ක් උඩට මතුවෙලා ආවාලු. 

1.ලක්ෂ්මී දෙවඟන
2.කෞස්තුභ පාෂාණය
3.පාරිජාතක වෘක්ෂය
4.සුරාව
5.ධන්වන්තරී
6.චන්ද්‍රයා
7. කාමදායක ගවයෝ
8. එෛරාවණ හස්තියා
9.රම්භා ඇතුළු දෙවඟනන්
10.සප්තමුඛ අශ්වයා
11.කාලකූට විෂ
12.විෂ්ණුගේ දුන්න
13.ශංඛය
14.අමෘතය

මේ දේවල් සුරයන් විසින් රැඟෙන ගියාලූ.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...