Sunday, July 12, 2020

මිනිසෙකු පිට නැගි අසරුවෙකි ...

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී ...//

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී

ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී  ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - එච්.එම්. ජයවර්ධන

මේ ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1984 දී එය "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා. 

80 දශකයේ ගුවන් විදුලි සංස්ථාව ඉස්සරහා පාර ලඟ ලොකු මාර ගහක් තිබුනා. ගසේ මුල් හැම තැකම විසිරිලා තිබුනු නිසාත් නිස්කලංක තැනක් නිසාත් සංස්ථාවේ පිරිස් විවේකයක් ගන්න මේ ගහ ලගට එකතු වෙනවා..

එක් දිනක් ප්‍රේමකීර්ති මහතා සහ මිතුරන් කිහිපදෙනෙකු සමග මදුවිතක් සප්පායම් වෙමින් සිටින අවස්ථාවක සුනිල් එදිරිසිංහ එම ස්ථානයට පැමිණ ඇත.

සරල ගී වැඩසටහනකට පෙර දිනක ගීතයක් ලියා දෙන ලෙස සුනිල් එදිරිසිංහ මහතා ඔහුට කියා තිබූ බව ප්‍රේමකීර්ති මහතාට මතක් වූයේ එවිටයි..

අවස්ථාවට අනුකූලව ප්‍රේමකීර්ති මහතා පිලිතුරක් ලෑස්ති කරගත්තේය.

"සිංදුව හරි සංස්ථාව ඇතුලේ තියෙනවා.. මගේ ලොකර් එකේ, ඒක උබට ගෙනත් දෙන්න මම ගියොත් මුන් මේක  ඉවර කරනවා.. තව මොනවා හරි වැඩක් තියෙනවා නම් කරගෙන පැය භාගෙකින් විතර එන්න"..

ප්‍රේමකීර්ති මහතා සුනිල් මහතාට ඒ කීවේ බොරුවකි. ඇත්තටම ඔහු ගීතයක් ලියා තිබුනේ නැත.

නැවතත් මිතරන් සමඟ එක්වූ ප්‍රේමකීර්ති මහතාට නුදුරින් රේස්(සූදු) පත්තරේ බලමින් සිටින පුද්ගලයෙකු පෙනිණි.

ප්‍රේමකීර්ති මහතා කොළ කෑල්ලක් රැගෙන ඒ අවස්ථාවේ ඔහුගේ හිතට ආ පදවැල ලියා සාක්කුවේ දාමා ගත්තේය.

පැය භාගයකින් පමණ නැවත පැමිනි සුනිල් එදිරිසිංහ මහතාට එම පදවැල දුන්නේය....

ඔබ අදටත් ආදරයෙන් රස විදින මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ ගීතයයි..



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...