Sunday, July 12, 2020

බත කා ඉවරයි ...

බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

ගේය  පද: පරාක්‍රම කොඩිතුවක්කු
සංගීතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: සුනිල් එදිරිසිංහ

චිත්‍රපටය: වීර පුරන් අප්පු
රංගනය: රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්
නිෂ්පාදන: ටිරෝන් ප්‍රනාන්දු සහ ධර්මසිරි බණ්ඩාරනායක
තිරගත වූ දිනය: 1978 අගෝස්තු 08

සුනිල් එදිරිසිංහ ගැයූ "බත කා ඉවරයි" ගීතය සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම ගීයක්. ගීතය ලිව්වෙ පරාක්‍රම කොඩිතුවක්කු ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයටම ලියා ඇත්තෙ ගීත තුනක් පමණයි.එයින් එක ගීයක් නන්දා මාලනිය විසින් මීට කලකට පෙර නිකුත් කල “කිඳුරියකගේ විලාපය” ගී එකතුවට ඇතුළත් කර තිබුණා. අනෙක් ගී දෙකම ගායනා කළේ  සුනිල් එදිරිසිංහ. ඔහු “ වීර පුරන් අප්පු” චිත්‍රපටයට ලියූ “බතකා ඉවරයි” ගීය වගේම සුනිල්ට ලියූ අනෙක් ගීතයත් සොර දෙටුවෙක්" ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත් වුණා.

 ඔය ගීත හැරුනු විට පරාක්‍රම කොඩිතුවක්කු ලියූ වෙනත් ගීත සිංහල ගීත සාහිත්‍යයේදි හමුවන්නෙ නැහැ.

පරාක්‍රම කොඩිතුවක්කු අපට සිටින විශිෂ්ඨතම කවියෙක්. 70 දශකයේ ඔහු ආරම්භ කළ නව කවි සම්ප්‍රදාය සිංහල කවිවේ අලුත් මගක් ගත්තා.පසුකාලීනව බිහිවූ නූතන කවියන්ද පරාක්‍රමගේ කවි මගට අනුගත වුණා.  පොඩි මල්ලියෙ,   අකීකරු පුත්‍රයෙක්ගේ ලෝකය  සහ  අලුත් මිනිහෙක් ඇවිත් වැනි විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහ ඇතුළු කවි පොත් 15 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඔහු ලියා තිබෙනවා.පසු ගිය වසරේ ඔහු විසින් නිකුත් කල “ඔබ සමග” නවකතාවත්, “ සුළ‍‍ඟේ දිවූ කෙල්ල” කෙටිකතා එකතුවත්  පරාක්‍රම සිය කවි ම‍ඟෙන් බැහැරව නිර්මාණය කල කෘති දෙකක්. මේ පොත් දෙකම ඔහුගෙ කවි සම්ප්‍රදාය අභියෝගයට ලක් කළ කෘති දෙකක්.

පරාක්‍රම කොඩිතුවක්කු “බතකා ඉවරයි” ගීය සදහා යොදා ගන්නෙ ජන වහර එය ඔහුගෙ කාව්‍ය සම්ප්‍රදාය තුළද දකින්න පුළුවන්.

සුනිල් එදිරිසිංහ චිත්‍රපට පසුබිම් ගී විශාල ප්‍රමාණයක් ගයා නැහැ. ඒත් කලාතුරකින් හෝ චිත්‍රපට පසුබිම් ගීයක් ගායනා කලොත් එය ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත්වෙනවා. ඒ සමාජ ගත වීම සුනිල්ගේ හ‍ඬෙහි තිබෙන සෞන්දර්යාත්මක ජීව ගුණයත්, දාර්ශනික ගායන ශෛලියත් එකතු වූ තැන ඔහුගෙන් පිරිපුන් ගීයක් බිහිවීමටත් එක හේතුවක්.

ප්‍රේමසිරි කේමදාස, විසිවන සියවසේ මෙරට පහළ වූ විශිෂ්ඨතම සංගීතකරුවා. ඔහු මේ ගීය සදහා භාවිතා කරන්නෙ දේශිය සංගීත භාණ්ඩ කීපයක් පමණයි. එය චිත්‍රපටයේ ජීව ගුණයට වගේම ගීතයේ ජීව ගුණයටත් බලපා තියෙනවා. අතීතයේ කවි කොලකරුවන්ගේ කාව්‍ය රීතිය ගීතයේ තනුව සඳහා සෘජුවම භාවිතා කරනවා. ඒක තමයි කේමදාස සම්ප්‍රදාය.





2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නන්දා මාලිනිය ගයන ගීය පරාක්‍රම කොඩිතුවක්කු ඇය වෙනුවෙන් ලියූ ගීයක් ලෙසම කියන්න බැහැ. එය ඔහුගේ කවි පොතක එන කවි පේලියක්. එය පසුව ගීයක් බවට පත් කරන්නේ නන්දා මාලනිය.ඒ කිඳුරියකගේ විලාපය නමින් නිකුත් කල කැසට් පටයේ. එම කැසට් පටය ඇයගේ පර්යේෂනාත්මක අත්හදා බැලීමක්. එහි තිබුනේ විවිද කවියන් ලියූ කවි ගීත බවට පත් කිරීමේ උත්සාහයක්. එම අර්තයෙන් ගතහොත් පරාක්‍රම කොඩිතුවක්කු ගී ලෙසින් ලියා ඇත්තේ ගී දෙකයි.

    ReplyDelete

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...