Friday, August 14, 2020

පිපුණු මලේ රුව ...

පිපුණු මලේ රුව එ මල දනී දෝ

මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා

නැති බැරි කම මුතු මාල හතක් වී

කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා


රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ

නොතළන් හිත මා ආදර දියණියනේ

පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ


ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ

එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ

නොතළන් හිත මා ආදර දියණියනේ


පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ


ගායනය - නන්දා මාලිනී 

පදරචනය - ලූෂන් බුලත්සිංහල 

සංගීතය - ඩන්ස්ටන් සිල්වා


පිපුණු මලේ රුව එමල දනීදෝ’ ගීතයට අත්දැකීම වුණේ මගේම දුව. මගේ දුව එතකොට හරිම චූටියි. එයා කණ්ණාඩියෙන් මූණ බල බලා ඉන්නකොට ආපු හැඟීමක් තමයි මේ ගීතයට පදනම් වුණේ.

මං පුංචි කාලේ මට ඒ වාගේ කණ්ණාඩි තිබුණෙ නැහැ. මට හොඳට මතකයි අපේ ගෙදර බිත්තියේ එල්ලා තිබුණෙ කැඩුණු කණ්ණාඩියක කෑල්ලක්. මගේ දරිද්‍රතාව ඒ තරමටම දරුණුයි. ඒත් මගේ දුවට ඒ ප්‍රශ්නය තිබුණෙ නැහැ. ඒ නිසයි හැඩරුව නෙමෙයි වැදගත් වෙන්නේ කියලා මා මේ ගීයෙන් ඇයට කියන්නේ"ලූෂන් බුලත්සිංහලයන් විසින් එසේ පවසා ඇත.

පන්ති සහිත සමාජයක සමාජ පීඩනය වස්තු කර ගැනීමේදී බොහෝ කවියන් මෙන්ම ගීත රචකයෝ ඌණ ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරති. ඒ නිර්මාණාත්මක ගුණය වෙනුවට වාර්තාමය කෘත්‍රිම බවක් නිර්මාණයට ආරෝපණය වන බැවිනි. මේ අභියෝගය ජයගැනීමට ජන්ම ප්‍රතිභාවක් සතතාභ්‍යාසයත් පැවතිය යුතුමය. ලූෂන් බුලත්සිංහලයන් ඒ ද්විත්වය නොමඳ ලබාගත් රචකයකු බව පැහැදිලිය.

"පිපුණු මලේ රුව එමල දනීදෝ

මලකි දුවේ නුඹ

හැඩරුව බලන්නෙපා

නැති බැරිකම මුතු මාල හතක් වී

කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා"

කලාව වූ කලී සත්‍ය හා කල්පිතයයි. මේ කල්පිතය තුළ එක්තරා දිළිඳු මවකගේ සිතුවිලි හා හැසිරීම් රචකයා රසිකයා හමුවේ තබයි. තමාගේ රුව තමාට නෙපෙනීම සැබෑවකි. එසේම මලක් සේ පිපෙන තම දියණිය රූ ශෝභාව පිළිබඳව මව තුළ ඇතිවන්නේද එබඳු හැඟීමකි. එහෙත් ඇය කැඩපත අසලට වී හැඩරුව බලද්දී මේ මවගේ හදවත තුළ ජනිත වන්නේ විශාල වේදනාවකි.

අතට කරට පැලඳීම යනු නව යෞවනයට පාතබන ඕනෑම යුවතියකගේ සිහිනයකි. මේ දියණියට අතට කරට පැලඳීම වූ කලී සිහිනයක්ම පමණක් වෙයි. දිළිදු බවේ පතුලටම කිඳා බැස සිටින ඔවුන් වෙත මුතු මාල හතක් වී පැමිණෙන්නේ නැති බැරිකම පමණි. මෙබඳු රූපකාර්ථි නැංවීම වූ කලී කලාතුරකින් ගීත රචකයකු තුළ හටගන්නා ප්‍රතිභාවකි. මෙහිදී රචකයා තවත් කල්පිතයක් ගොඩනඟනු ලබයි.

එනම් මේ මව නිවසේ එකම වීදුරු කැඩපත බිඳ දමයි. මෙයින් රචකයා ප්‍රදර්ශනය කරනුයේ තම දියණිය දුකට පත්වනු බලා සිටීමට මව තුළ ඇති අකැමැත්තයි. එසේ තමන්ට උරුම වී තිබෙන දරිද්‍රතාවෙන් ගැලවීමට ඇති නොහැකියාවයි. දයා කරුණාබරිත මවක තුළ මෙබඳු සුසුමක් ඇතිවී ස්වාභාවිකය. සමාජ විෂමතාව පිළිබඳව සියුම් කම්පනයක් මේ කල්පිත සිද්ධිය තුළින් ජනිත වේ.

නිවසෙහි දැන් වීදුරු කැඩපතක් නොමැතිය. එහෙත් මේ මව නැවත දකින්නේ කුමක්ද? හිමිදිරියේම නිසසල ජලය ඇති ළිඳට ඇය එබී සිටින ආකාරයයි. කණකර ආභරණ නොමැති අගේ වත ඇයට ඇස ගැටෙනු ඇතැයි මව බියට පත් වෙයි.

"ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ

එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ

නොතලන් සිත මා ආදර දියණියනේ"

මේ සිදුවීම් කල්පිත සිදුවීම් ඔස්සේ සමාජ විෂමතාවය මානව සමාජයට ගෙන දෙන විවිධ දුක් පීඩා හොඳින් ස්පර්ශ කිරීමේ අවස්ථාව රචකයා විසින් උදා කරගනු ලබයි.

"පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ"

තම දියණියට දුකක් නොදැනීමට ඈ මේ උත්සාහය ගත් නමුත් ඇය පරාජිත වන ආකාරය රචකයා ඉදිරිපත් කරන්නේ අපූර්වත්වයෙන් යුතු කාව්‍යෝක්තීන් භාවිතා කරමිනි.

"කටුමැටි බිත්තිය හැඩකර අඳිනා

රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ

නොතලන් සිත මා ආදර දියණියනේ"

කැඩපත බිම දැමීමෙන් ඇගේ යෞවනය සඟවන්නට නොහැකිය. කුප්පි ලාම්පුවේ එළිය ඇගේ හෙවණැල්ල කටුමැටි බිත්තියේ අඳින මොහොතක, ඈ ඒ හෙවණැල්ල දෙස බලාගෙන හිස පීරයි. රචකයා මවන පරිසරයෙන් මොවුන් මුහුණ දෙන දරිද්‍රතාව සංකේතවත් වෙයි.

මේ සිදුවීම් රචකයා යොදාගන්නේ මේ දිළිදු මව ලබන කම්පාව වඩවඩාත් රසිකයාට සන්නිවේදනය කරනු පිණිසයි.

සමාජය තුළ ඇත්තේ පාරිභෝගික සමාජයකි. වැඩවසම් සමාජයේ මෙන් නිල් වරළ මල් වලින් සරසා නෙළුම් දඬු මාලයක් ගෙල පලඳින්නට වර්තමාන පාරිභෝගික සමාජයේ නොහැකිය. කඩසාප්පු පිරී පවතින්නේ නේකවර්ණ සළුපිළි හා පලඳනා වලිනි. යොවුන් වියට පත් අනික් කුමරියන්, කසීරට සළු වලින්, ගාන්ධාරයේ විලවුන් වලින් හා සිව්සැට බරණින් සැරසෙද්දී ඒ අහිමි යෞවනියක තුළ වේදනාවක් ඇතිවුණු නිසැකය. තම දියණියට හැඩට රුව අඳින්නට පලඳින්නට ලබා දෙන්නට නොහැකි වන මවක තුළ ඇතිවන වේදනාව ඊටත් වඩා ප්‍රබල වේ. මෙවැනි තේමාවන් වස්තු කරගැනීමේදී නිරන්තරයෙන් ලූෂන් බුලත්සිංහලයෝ තම පරිකල්පන ශක්තිය මැනවින් විදහා දක්වති.

(උපුටා ගැනුම - සිළුමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...