Tuesday, July 14, 2020

කුමරියක පා සළඹ සැලුනා...

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

පදරචනය - කේ.ඩී.කේ.ධර්මවර්ධන
ගායනය - පණ්ඩිත් අමරදේව 
සංගීතය - වික්ටර් රත්නායක 

ධනය, බලය හා ලිංගිකත්වය යන ත්‍රිත්වයට මනුෂ්‍යයෝ බොහෝ සෙයින් ප්‍රිය කරන බැව් දාර්ශනයකු විසින් කියා ඇත.එය සත්‍යයක් බැව් හොඳින්ම පෙනේ.මන්ද මනුෂ්‍යයා නොනවතින තරඟයක යෙදී සිටින්නේ ඉහත කී අරමුණු සාක්ශාත් කරගැනීමට බැව් ඕනෑම පුද්ගලයෙකුට හොඳීන්ම වැටහෙන කරුණකි.

මෙම ගීතය මඟින් සම්භෝග සුවය විඳගැනීමට මිනිසා තුළ ඇති ලෝලීත්වයත්, එකී පරමාර්ථය බිඳී ගිය කල්හි ඔහු තුළ ඇතිවන ශෝකී මනෝභාවයන්(හැඟීම්) නිරූපිතය. එකී මනෝභායන් ගේය පද රචකයා අපූර්ව ලෙසින් තම පරිකල්පනයට හසු කොට ගෙන ඇත. ඉතා ඈත අතීතයේ පටන්ම මිනිසා අධික කාමාශාවෙන් පෙළේ. ක්‍රි.පූ 400-200 අතර කාලය තුළ වාත්ස්‍යායන් විසින් රචිත යැයි සැලකෙන කාමසූත්‍රය තුළින් ඔහු මිනිසුන්ගේ අරුම පුදුම ලිංගික චර්යාවන් විවරණය කරයි. මිනිසා සතු මෙකී කාමාශාව වර්ගයා බෝ කරලීම සඳහා ස්වභාවධර්මයා විසින් යොදනු ලැබූ උපක්‍රමයක් බැව් අපට සිතිය හැකිය.

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

තම සිත ලොබ බැඳගත් ස්ත්‍රියගේ සම්ප්‍රාපතිය ඇගේ පා සළඹේ හඬින් ඔහුගේ දෙසවන් විවර වේ. හඳෙහි දොරටු විවිර වේ.ඉන්ද්‍රියයෝ පිබිදෙති. රාගී හැඟිම් සිතපුරා දුවයි. එතෙක් ඔහු වසාගෙන සිටි දෙනුවන් විවර වේ. මෙතෙක් ඔහු රැක සිටි කුමර බඹසර ඇගේ දසුනින් බිඳී යයි. කුමර භඹසර රැකීම යනු යොවුන් වියේ සම්බෝග සුවයෙන් වැළකී සිටීමයි. එතෙක් ඔහු තුළ තිබූ දැහැන බිඳී යයි. එතැන් සිට ඔහු ලොබ බඳින්නේ ඇය හා සංභෝග සුවය විඳ ගැනීමටයි. එසේම ගීතය ආරම්භයේදීම පා සළඹේ හඬ අපූරුවට ගීතය හා මුසු කරලීමට අමරදේවයෝ සමත් වී ඇත.

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..

ඇයගේ උකුළ, මල්සරා හෙවත් අනංගයාගේ වේදිකාවේ රංගනයේ යෙදෙනෙ හංසයින් එනම් පයෝධර වසාගෙන සිටින තිරය නම් ඇය හැඳ සිටින දුහුල් සළුවයි. කවියාගේ පරිකලපනය හැකියාව නම් අපූරවමය. ඔහුගේ දෙනුවන් සිටිනුයේ උමතුවෙනි. ඒ ඇගේ නග්න සිරිර දැකගැනීමටය. මනස නම් වූ සල්ලාල තරුණයා තම උමතු දෑසින් ඇගේ සිරැර වසාගෙන සිටින්නා වූ දුසුල් සළුව ඉවත් කරයි. කථකයා සිතින් ඇගේ සළු පිළි ඉවත් කළ අයුරු කී ආකාරය කදිමය.චිත්ත රෑපයන් දනවන සුළුය, ශෘංගාරවත් හැඟීම් අවදි කරවයි. මෙහි අනංගයාද ශඞගාරය සංකේතවත් කරයි. ඇගේ නග්න දේහය දකිනා ඔහුට තමා ඉදිරියේ දෙව්ලොව මැවුනා සේ සිතේ. එමඟින් ඔහුගේ ඉන්ද්‍රියන් සංතර්පණය වූ අයුරුද ඔහුගේ ප්‍රීතිජනක හැඟ්‍රම් ද ධ්වනිත කරවයි.

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

මෙම ගීතය දෙස මතුපිටින් බලන්නෙකුට මෙම ගීතය සම්භෝග සුවය වර්ණනා කරමින් ලියැරවුණු ගීතයක යැයිද, ඇතැම් විට සිත රාගයෙන් පුරවා දමන ගීතයක්, අසභ්‍ය ගීතයක් ලෙසෙන් පෙනෙන්ට පුළුවනි. එනමුදු මෙම ගීතය එයට ඉඳුරාම වෙනස් වේ. මෙම ගීතය අභ්‍යන්තරයට විනිවිද ගොස් බැලුවහොත් මෙම ගීතය තුළද දර්ශනයක් ගැබ්ව ඇති බැව් පෙනේ.එය බෞද්ධ දර්ශනය හා සාම්‍යයක් දකවතියි සිතේ. මිනිසාගේ සිත ආශාවන්ගෙන් බැඳුණු කල්හි ,සංසාර බැඳීම තර වෙයි,එය අහිමි වී ගිය කල්හි එමඟින් දැනෙන ශෝකය එය තමා සතුව තිබෙන කල්හි විඳි සංතර්පණයට වඩා බොහෝ සෙයින්ම වැඩිය. එසේම ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකකි. එසේම මෙම ගීතය තුළින් විප්‍රලම්භ ශෘංගාරය වහනය වේ. මෙතෙක් ඔහු ගෙවූ ශාන්තිදායක ජීවිතයේ නිසල බව බිඳ දමමින් ජීවිතයට ආ කාමරාගය ඔහු සුළු මොහොතකට සංතර්පණය කර ඔහු රවටා ඔහුගේ සිත කම්පිත කරමින් පළාගොස් ඇත.

සැබවින්ම රාගය යනු මායාවක් නොවන්නේද?

කේ.ඩී.කේ.ධර්මවර්ධනයන්ගේ අගනා පරිකල්පනීය හැකියාවෙන් හැඬවුණු මෙම ගීතයට මනරම් සංගීතයක් සැපයීම වික්ටර් රත්නායකයන්ගෙන් වන අතර මෙම ගීතය ගායනා කරනුයේ හෙළයේ මහා ගාන්ධාර්ව පණ්ඩිත් අමරදේවයන්ය.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...