Tuesday, July 14, 2020

සුමනෝ ...

සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක් අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මියගිය පෙම්වතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට ගීයකි. මෙය ඔහුගේ සත්‍ය අත්දැකීමකි.)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේට නුදුරුව මරදන්කල්ල නමැති හද්දා පිරිසර ගම්මානයේ වන්නිහාමි නමැති ආයුර්වේද වෙදමහතෙකු මෙන්ම ගුරුවරයෙකු  ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහු රං බණ්ඩා සෙනෙවිරත්න.

වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින් සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..

තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා. ඇය සුමනා.

පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා. 

ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..

මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන්ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..

කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගමම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදීම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.

ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. (රන්බණ්ඩා තරුණයාගේ අවසන් විභාග කටයුතු එම දිනවල පැවති නිසා දෙමාපියන් මේ පිළිබඳව ඔහුට දන්වා යවන්නේ නෑ) මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.

තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිවම සැතපෙනවා. 

මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එකම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ.  ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා. 

තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා. 

වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ ?

අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊටම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා. 

ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊටම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.

පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ                                                        

විශේෂයෙන් මෙම ගීතයේ සඳහන් වන නිකිණ්‌න නිල්ල" යන වචනය අප රටෙහි වෙනත් කිසිදු ප්‍රාදේශීය බස්‌ වහරක දකින්නට නොලැබෙන වචනයකි. නිකිණ්‌න නිල්ල යනු වැවෙහි දිය නිකිණි මාසයේ දී වියළී යන විට වියළි යන වැවේ පිටියේ ජලය හිඳීගිය තැන්වල මතුවන නිල්වන් ලා තණ ගොබයි. මෙම නිල්ල මතුවන්නේ තෙතමනය තාවකාලිකව ඇති නිසාය. නමුත් ඒ නිල්ල වැඩි කලක්‌ පවතින්නේ නැත. ග්‍රීෂ්මය විසින් එම නිල්ල දවා හළු කරයි. විනාශය වියෝගය සනිටුහන් කරන්නට යොදාගෙන හැකි එවන් වෙනත් රූපකාර්ථයක්‌ තවත් ඇත්ද?

මෙම ගීතයේ වචනයක් පාසාම ගීයෙහි අරුත නැවත නැවතත් කුළු ගැන්වෙයි. දේශීයව ඇසෙන මළ බෙරයෙහි තාලය හා හඬ පදනම්ව ගැයෙන මෙම ගීතය ගුණදාස කපුගේ ශූරීන් ගේ සදානුසමරණිය නිර්මාණයකි.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...