Tuesday, July 14, 2020

කොළොම්තොට ...

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා!

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ගුණදාස කපුගේ

ලූෂන් බුලත්සිංහලයන්ගේ තාත්තා වරාය සේවකයෙක්. එතුමා පුංචි කාලේ තාත්තා එතුමාව වරාය පෙන්නන්න එක්ක ගෙන ගිය අවස්ථාවක එතුමා දැක්කා වරාය ඉදිරිපිට තියෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය. අවුරුදු ගණනාවකට පස්සේ එතුමා රූපවාහිනි සංස්ථාවේ වැඩකරන කාලේ මේ හෝටලයේ උඩ තට්ටුවේ පවත්වපු සංස්ථා සංවත්සර සාදයකට සහභාගි වුණා.

කාලය ඉගිල ගියත් කොළොම්තොටයි අවන්හලයි තවමත් තරුණයි. ඒත් අපි වයසට ගිහිං. සඳ පෑයු රැයක හෝටලයේ උඩ තට්ටුවේ ඉඳන් බලද්දි වරායේ නැංගුරම් දමපු නැව් බුලත්සිංහලයන් දැක්කේ අමුතුම සෞන්දර්යයකින්. එතකොට තමයි මේ ගී සංකල්පනාව එතුමාගේ හිතට පහළ වුණේ.

මේ ගීය ලූෂන් ලීවේ කපුගේ වෙනුවෙනි. අමරදේවයන් තමාට නිර්මානයක් කර දෙන්නැයි කපුගේගෙන් කළ ඇරයුමේදී, කපුගේ තමා විසින් තනුව සකසා තිබූ මෙම ගීය ගයන්නැයි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. තමනට එය නොගැලපෙන බවක් අමරදේවයන් පවසා සිටියද, කපුගේ ගේ පෙරැත්තය නිසා ගැයුවේය. පසු කලෙක ඉමහත් ජනප්‍රිය වූ මෙම ගීය හා එය එසේ තමනට ගයන්නට හැකි වූ ආකාරය ගැන අමරදේවයන් ඉතා ආඩම්බරයෙන් කතා කර ඇත.

කථකයා මෙකී කාල සංඥාවෙන් පැන නැඟුණු සිතිවිලි මඟින් කොළොම්තොට ද, අවන්හල ද, සඳ ද, තමා ද, තම සොඳුරිය ද තුලනය කරයි. කාලයාගේ ප්‍රබලම බලපෑමෙහි තතු බෙහෙවින් සලකුණු වී ඇත්තේ තමා හා තම පෙම්බරිය කෙරෙහි බව හේ් සිය අබිමුව වන කැටපතෙහි දකියි. අනතුරුව කැටපත දෙස බලන මෙන් හෙතෙම සිය ප්‍රියාවට පවසයි.

තුරුණු වියෙහි සිටම පෙම්වතුන්ව සිටි යුවළක්, ඔවුනට පෙර සුපුරුදු අවන්හලට පැමිණ සිටින මේ මොහොත ඔවුන්ගේ වියපත් භාවයේ මොහොත බව මේ පබැඳුමෙහි වන සියුම් ඇඟැවුමකි. මෙතෙක් දෙදෙන ඒ පිළිබඳ දැනුම්වත් වීමක පසු නොවූහ. මෙතෙක් ඒ හා සමඟ ජීවත් වුවද ඔව්හු ඒ බවක් දැන නොසිටියහ.

"එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ"

කැඩපතෙහි පෙනෙනුයේ එදා උතුරා යන තරම් රූ සපුවෙන් යුතු ව පැවැති ස්වකීය පිළිබිඹු නොවේ.

නැව්තොටෙහි නැංගුරම් ලූ නැවක කුඹගස අහසෙහි නැඟ සිටිනුද, ඒ කුඹගස උඩ නතර වී සරදම් සිනා නංවන සඳ ද කථකයා දකියි. දෙදෙන ගෙවාලූ යටගියාවෙහි තතු දත් නිහඬ සාක්ෂිකරුවා වනුයේ සඳය. අද ඔව්හු ජරපත්භාවයෙහි මුවදොර වෙසෙති. එදා මෙදා තුර තතු හැඳිනි බැවින් ද සඳේ මේ සරදම් සිනා? කථකයා යළි සිය සොඳුරිය අමතා පාට වත්සුණු දෙකොපුල් මතින් පිස හැර කැටපත දෙස බලන්නැ යි කියයි. කාලයාගේ ස්පර්ශයෙන් වියපත් බව කරා හෙළුණු වත මඬලෙහි සැබෑ ස්වරූපය මනාව දැකිය හැක්කේ එවිටය.

ගීතයේ අවසන් භාගය විමසන කල හැඟෙනුයේ, දෙදෙන සිය තාරුණ්‍යයේ සිටම පෙරුම් පිරීම් බඳු දුෂ්කර තත්ත්වයන් ඇසුරෙහි ලොවට රහසේ හමුවෙමින් පෙම් බැඳි බවකි. එහෙත් අවසන අප සියල්ලන් මුහුණ දිය යුතුම වන ධර්මතාවට තම සොඳුරිය ද අවනත වී ඇති බව කථකයාට හැඟෙයි. කල වයස ගතවීම පිළිබඳ කම්පාව හෝ සංවේගයක් ගීතය ඇසුරෙහි නොනැෙඟයි. "කුමන අරුම ද නරකෙසක් නැඟිලා" යනුවෙන් මෙහි දී වයස්ගතවීම පිළිබඳ ඉඟිකාරක උක්තියක් අපට හමුවෙයි. 'අරුම' යන වදනෙහි ආශ්චර්යවත්, විශේෂ, හිඟ, දුර්ලභ යනාදී අරුත් ද වෙයි.

උනුන් රහසේ බැඳි පෙමෙහි ආශ්චර්යය පළ කරමින් නැඟුණු නරකෙසකි මේ. ප්‍රේමයේ සුන්දරත්වය හමුවේ ජරා, ව්‍යාධි, මරණ යනාදී ධර්මතා පිළිබඳ කතා කිරීම පවා අපි මඟහරිමු. ඒවා ප්‍රේමයේ සෞන්දර්යය හා සමඟ කිසිසේත් සම නොවේය යන්න බොහෝ දෙන අදහති. එහෙත් යෞවන විය, තාරුණ්‍යය හා සමඟ හැම කල්හිම පවත්නා තතුවකි මහලු විය. ආදරයෙහි පවත්නා සුන්දරත්වයට හේතු වන්නේ ද මේ වියපත්වීමේ ධර්මතාවම නොවේ ද? මිනිසා සදාකාලික පැවැත්මක වී නම් ආදරය, අනුරතිය යන සියල්ල මෙතරම් සුවයක් දනවා ද? අප නොසැලැකුවද ආදරය හා මහලු විය නිතර සම්මුඛව පවත්නේ වෙයි. ඒ දෙදෙනාම වෙන් කොට සැලැකීම මහත් වේදනාවට කරුණු වෙයි.

ගීතයේ කථකයාට සිය ප්‍රියාවගේ හිසෙහි නැඟි නරකෙස අරුමයකි. මේ ආශ්චර්යය ඔවුන් මේ තාක් ගෙවා ආ ප්‍රේමණීය සමය පුරා බලාපොරොත්තු නොවූවකි. එහෙත් එය සිදුවී ඇත. නරකෙස දැකීමෙන්, වත්සුණු පිස හළ ඇයගේ වත මඬල දැකීමෙන් කථකයාගේ සිත්හි ඇති වන වේදනාව හෝ කම්පාව ප්‍රකට ලෙස ඇඟැවීම ගීත නිබන්ධක ලූෂන් බුලත්සිංහලගේ අපේක්ෂාව නොවේ.

මේ පොදු සාධාරණ තත්ත්වය අකම්පිතව ඉවසන කථකයකු මෙහි දී අපට හමුවෙයි. සුන්දරත්වය, ප්‍රේමය, ආදරය, රූපකායය යනාදී සියල්ල විපරිණාම වීම යනු ඒවා කාලය හා අත්යන්ත බැඳීමක පවත්නා බවය. එසේ කාලය හා බැඳී පවත්නා සියල්ල අවසන සිය කෙටි සෞන්දර්යය නිමා කොට අභාවය කරායේ. රූසපුවෙන්, කායික හා මානසික උත්කර්ෂයෙන් යුතු දෙදෙනකු කරා වුව ද අවසන එළැඹෙන්නේ මේ අභාවයාගේ නියාමය අඟවන වියපත් වීමේ ලකුණුයි.

ගීත ප්‍රබන්ධකයා යම් මතවාදයක හෝ දෘෂ්ටියක නියෝජිතයකු ලෙස පෙනී සිටීමක් මෙහි දැක්ක නොහේ. මෙමඟින් ලූෂන් බුලත්සිංහල රචකයාණෝ ප්‍රේමය වැනි සාධාරණ ජීවන සබඳතාවන් හමුවේ අවසන ජීවිතයා මුහුණ දෙන තතුව අතිශය සංක්ෂිප්ත ඇඟැවීමක් සේ අප වෙත පතිත කරති. මේ වූ කලි ප්‍රබන්ධකයා පෙරටවිත් කරන විස්තර කථනයක් නොව, කිසියම් චිත්තරූපික මාර්ගයක් ඇසුරු කොට කැරෙන සියුම් දැනැවීමකි. ප්‍රබන්ධයෙහි වන ප්‍රමුඛ සංකල්පනය අමරදේවයෝ සිය හසල ගායන කෞශ්‍යල්‍යයෙන් පරිසමාප්තියට පත් කරනු මේ ගීතය ශ්‍රවණයෙහි දී ඔබට හැඳිනිය හැකිය. අසිරිමත් වූ ප්‍රේමය හමුවේ මෙතෙක් අදිසි ව සිටි වියපත් බවේ සලකුණු, අප කථකයා මඳක් සසල කළ ද, ඉන් නොසැලී නැඟෙන තිරසර අවබෝධයක ශ්‍රවණ රමණී පිළිබිඹුව අමරදේවයන්ගේ මේ ගැයුමෙහි වෙයි.

විශාරද ගුණදාස කපුගේ සංගීතවේදීයාණන් ගේ නාදකෘතිය හා සංගීත සංයෝජනය ගීතයේ ඇඟැවුම තීව්ර කරන සියුම් නාද භාෂණයක්ම වෙයි.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...