Tuesday, July 14, 2020

ඉඟි බිඟි කරනා ...

ඉඟි බිඟි කරනා තරු නෙතු
වලට හොරා ..
සැගව සිනාසෙමු අපි ලොව
හිදින තුරා ... 

ගිවිසා ගත්තෙමු වෙන්න නොයන සේ අප දෙදෙනා හැරදා
ඔබට කලින් මා මටද කලින් ඔබ
කිසිම දිනෙක හෝ අපට හොරෙන් ..

ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ අප දෙදෙනා බවයේ
මා මියයන දින ඔබ මියයන දින
එකම මොහොතක් ලෙස මතු දවසේ ... 

පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර 
සංගීතය - වික්ටර් රත්නායක 
ගායනය - නීලා වික්‍රමසිංහ 

මෙහි නියම හිමිකරුවානන් වන ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දරයන මෙහි අතීත කතාවට මුල් පිරුවෙ මෙන්න මේ විදියට ..

මේ ගීතය මම ලියුවෙ එක්දාස් නමසිය හැත්තෑ ගණන්වල. මතුපිටින් ආදර ගීතයක් වගේ පෙනුනට මේ ගීයට මුල් වුනේ මයිනන් දෙදෙනෙකුගෙ සිද්දියක්. ඇත්තෙන්ම එක් සිද්ධියක් නෙමෙයි සිද්ධීන් දෙකක්. ගමේ ගොඩේ කතාවක් තියනව මයිනන් ජෝඩුවක් මැරෙනකන්ම එකට ජීවත් වෙනව කියල. මොනව හරි අනතුරකින් එක සතෙක් මැරුණොතින් අනෙක් සතා ජීවිත කාළයම තනිවම ජීවත් වෙනව. ඒ ඒ සතුන්ගෙ හැටි..

දවසක් මම සුවාරපොළ අපේ ගෙදරට යන පාරෙ එනකොට වාහනයකට යටවෙලා මයිනෙක් මැරිල. අනෙක් සතා මේ මැරුණ සතාගෙ සිරුර පාරෙ අයිනට අදින්න උත්සාහ කරනව. අමාරුවෙන් ඌ උගේ නැතිවුන සහකරුගෙ නැතිනම් සහකාරියගෙ සිරුර පාරෙන් ඉවතට ගත්තා. මේ සිද්ධිය මගේ හිත සසල කලා.

පස්සෙ දවසක මේ කතාව මම කිඳෙල්පිටියෙ පන්සලේ නායක පාලිත හාමුදුරුවොත් එක්කල කීවම උන්වහන්සේ මේ වගේම තවත් කතාවක් කීවා. පාලිත හාමුදුරුවෝ පැවිදි වෙන්න කලින් කුඩා අවදියෙදි ගෙදරට මයිනෙක් අල්ලන් ඇවිත් කූඩුවක දමල ඇති කරල තියෙනව. එහෙම කරල තියෙන්නෙ ඌට කතා කරන්න පුරුදු කරන්න. මයිනෙක් කීවට පැටියෙක් නෙමෙයි ටිකක් වැඩුන සතෙක්. ඉතිං මේ සතාට හොඳට කන්න බොන්න දීල ඇතිකරාලු. දවසක්  බලනකොට මේ කූඩුවෙ ඉන්න මයිනට තවත් මයිනෙක් ඇවිල්ල කෑම ගෙනත් කවනවලු. මේක දැකපු පාලිත හාමුදුරුවො (එවකට කුඩා ළමයෙකි) එවේලේම අර කූඩුවෙ උන්නු සතාව නිදහස් කරල තියනව. උන් වහන්සේ මා සමග කීව ඉන් පස්සෙ කිසිම දවසක සතෙක්ව කූඩු කරල ඇති කලේ නෑ කියල. ඒවගේම කාටවත්ව සතෙක්ව කූඩු කරල ඇතිකරන්න අනුබල දුන්නෙත් නැහැ කියල.

ඉතිං මම පාරදි දැකපු මයිනගෙ සිදුවීමයි පාලිත හාමුදුරුවො කියපු සිදුවීමයි මුල් කරගෙනයි මා අතින් මේ ගීය ලියැවුනේ. ආදරය සෙනෙහස කියන දේ මිනිසුන්ට වගේම සතුන්ටත් පොදුවූ දෙයක්. කොහොම හරි මෙය ජනප්‍රිය ගීතයක් වුනා.

ප්‍රියානන්ද විජේසුන්දරයන්ගෙ මේ කතාවෙන් පසු විනාඩි තුනක තරම් ගීයක පිටුපස මොනතරම් සංවේදී අතීතයක් සැඟවිලා තියනවද කියලා අපිට හිතන්න දෙයක් තියෙනවා.

"ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ අප දෙදෙනා බවයේ
මා මියයන දින ඔබ මියයන දින
එකම මොහොතක් ලෙස මතු දවසේ




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...