Tuesday, July 14, 2020

මාලිනියේ.. ඉන්ද්‍රජාලය...

මාලිනියේ.. ඉන්ද්‍රජාලය..
අපගේ උඩු සිත සහ යටි සිත නිතරම වාගේ වාද විවාද ඇති කර ගන්නවා. අපි යම් දෙයක් සිතන විට අපිට ඒක කරන්න හෝ එපා කියල කියනව. සමහර වෙලාවට ඉතාමත් කාර්ණික ලෙස කියනවා. ඇතැම් වෙලාවට ඉතාමත්ම තදින් කියනව.අන්න ඒ වගේ උඩු සිත සහ යටි සිත අතර ඇති වන සංවාදයක් ගැන ඉතාමත් ලස්සනට පෙන්වා දෙන ගීතයක් තමයි වික්ටර් රත්නායක මහත්මය ගායනා කරන "මාලිනියේ" ගීතය.

එක්තරා තරුණයෙකුට තරුණියක් කෙරෙහි සිතක් පහල වෙනව. ඉතින් ඒ පිළිබඳව තමාටම පවසනව. ඔහු ඒ පිළිබඳව ඉතා කියන්නෙ තමන්ගේ සිතේ මෙතෙක් කල් ඇදී තිබූ සහ ඔහුගේ තමාට හමුවූ බවයි. නමුත් ඔහුගෙ යටි සිත ඔහුට පවසන්නෙ එය මායාවක් බවත් එයට නොරැවටෙන ලෙසත් ය. තවද ඔබගෙ ඇස් පෙනුනද මනසින් අන්දකාරයෙ සිටින බවද යටි සිත ඔහුට පවසයි.

මාලිනියේ.. ඉන්ද්‍රජාලය..
මා මනසේ.. අන්ධකාරය..
මා දෑස සොයනා.. ඔබ දෑස නැත..
රුව ඇදුනා.. නොරැවටෙන්..
මාලිනියේ..

ඉතින් මේ ආකාරයට ඔහු ඈ සමගින් පතිකුළයට පිවිස ඔවුන්ගේ අලුත් ලෝකයක් තැනීමට සිහින මවනව. එහෙත් එවිට යටි සිත පවසන්නෙ විවාහය යනු සිපිරි ගෙයක් බවත්, ඔබ එය නොදන්නා අමනයෙකු බවත්ය.

මංගල පෝරුව මස්තකයේ..
අමන තරුණය..
මම ඇය අත ගනිමි..
සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද..

යටි සිත සමග සංවාදයෙන් පරාජය වීමට ඔහුද සූදානම් නැත. ඔහු යටි සිතට පවසන්නේ ඇය පතිවත රකිනා කුළ කුමරියක් බවත් තමා ඇය සෑමදාම ආදරයෙන් රැක ගන්නා බවත්ය. නමුත් යටි සිතද සංවාදයෙන් පරාජය වීමට කැමත්තක් දක්වන්නේ නැත. යටි සිත පවසන්නේ වරදෙහි නොබැදෙන ළඳුන් ලොව නැති බවත්ය. එවැනි ළඳුන් සිටියහොත් එය එය අරුම පුදුමයක් බවත්ය.

පතිවත රකිනා කුළ කුමරී..
අරුම පුදුමය..
මම ඔබ රැක ගනිමී..
වරද නොබැදෙන ළදුන් ලොව නැත..

තම කලින් අත්දැකීම් අනුව පතිවත රකිනා කුළ කුමරියන් නොමැති බව මේ සල්ලාල පෙම්වතා දනී. යටි සිත උපහාසයෙන් යුතුව "අරුම පුදුමය!!" යනුවෙන් පවසන්නේ ඒ නිසාය. ඒසේම යටි සිත ඔහුට කියන්නේ වරද නොබැදෙන ළදුන් ලොව නැති බවය.

මීට බොහෝ කලකට පෙර නිර්මාණය වූ මෙම ගීතය, නිෂ්පාදනය කිරීම බොහෝ අපහසු දෙයක් බවට පත් වුනා. ඒ මන්ද යත් මෙම ගීතයේ කොටස් දෙකක් එකවර එකම ගායකයා විසින් ගායනා කිරීමයි. එකල ශ්‍රී ලංකාවේ තුල එතරම් උසස් තාක්ෂනයක් නොතිබුනද, තිබූ තාක්ෂනය උපරිම සාධාරනයක් ලබා දෙමින් අවසානයේ ශ්‍රාවකයා වෙත අපූරු නිර්මාණයක් ලබා දී ඇත. මේ ගීතය පටිගත වන්නේ ස්ටීරියෝ ඩොල්බි තාක්ෂණය මෙරටට සම්ප්‍රාප්ත වී මඳ කලකිනි. දැනට පවතින මික්සින් ක්‍රමවේදය වෙනුවට භාවිතා වූ ලේයරින් ක්‍රමවේදය අනුව මෙරට පටිගත වූ ප්‍රථම ගිතය මෙයයි. එක් පදයක් අවසාන විමට පෙර ම ඒ ගායකයා ම අනෙක් පද වැල ගායනා කරන ආකාරය මේ ගීතයට ලැබුනේ මෙම තාක්ෂණයේ මහිමයෙනි. 

මේ ගීතය සේම සෑම ගීතයක ම අප සමරනු නොලබන කොටසකට මේ හේතුවෙන් මේ ගීතයේ දී සැමරුමක් මෙන්ම පුණ්‍යානුමෝදනයක් ද හිමිවිය යුතු බව මගේ හැගීමයි. එනම්, මේ ගිය පටිගත කල ශිල්පියා වූ ඩොනල්ඩ් අයිවන් මහතා සහ අපට කිසිසේත් ම මතක් නොවන ගීතයන් ට වාදන සහය ලබාදෙමින්, ලී -යකඩ ගොඩවල් වයමින් අපේ සන්තානය තුළ අලහාදය ජනනය කරන වාද්‍ය ශිල්පීන් යන කොටස්ය.උඩු සිත සහ යටි සිත අතර මේ ප්‍රහර්ශනාත්මක සංධ්වනිය ඇති කරන මහැදුරු සුනිල් ආරියරත්නයන්, ගායනය සේම තනුව ද නිමැවූ වික්ටර් රත්නායකයන් සේම මෙහිදී මතු කී ශිල්පීන් ද අපේ කෘතඥතාවට  ලක්විය යුතුය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට මේ ගීතයේ පද ලියන්න හේතුවෙලා තියෙන්නෙ එක්තරා චිත්‍රපටියක දර්ශණයක්. ඒකෙ තිබිලා තියෙන්නෙ නළුවා තමන්ගෙ හෙවණැල්ලත් එක්ක සංවාදයක යෙදෙන දර්ශණයක්. ගීතයේ පසුව කියන කොටස සෙවණැල්ලේ කතා කරනවා වගේ තමයි ලියල තියෙන්නෙ.

මාලිනියේ
[ඉන්ද්‍රජාලය]
මා මනසේ
[අන්ධකාරය]
මා දෑස සොයනා
[ඔබ දෑස නැත]
රුව ඇඳුනා
මාලිනියේ..
[නොරැවටෙන්!]

මංගල පෝරුව මස්තකයේ
[අමන තරුණය!]
මම ඇය අත ගනිමී
[සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද?]

පතිවත රකිනා කුල කුමරී
[අරුම පුදුමය!]
මම ඔබ රැක ගනිමී
[වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත]

පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු හා හඬ: වික්ටර් රත්නායක



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...