Tuesday, July 14, 2020

ඇගෙ සිනහව තහනම් ...

ඇගෙ සිනහව තහනම් - චන්ද්‍රකුමාර කඳනාරච්චි ~~

සමාජ සාරධර්මවලට පටහැනිව එහෙමත් නැත්නම් නොගැළපෙන පෙම් සබඳතා ඇති කරගනිමින් ආදරය කරන්නට පටන් ගත් විට නොයෙකුත් විවේචනවලට හා අපහාසවලට ඊට සම්බන්ධ වූවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා.
මේ නිසා තමයි සමාජය එවැන්නන්නට අවවාද කරන්නේ තහනම් ආදර සබඳතාවලට එහෙමත් නැත්නම් නොගැළපෙන පෙම් සබඳතාවලට පටලැවෙන්න එපා කියලා. මේ අවවාද ඉදිරියේ ඇතැමුන් ඉන් ඉවත් වෙනවා. එහෙමත් නැත්නම් එවැනි සබඳතාවන්ට පරිසරය සකස් වී එන විටම ආයාසයෙන් ඒවා මැඩ පවත්වා ගන්නවා. කඳුළු පිරි ඩෙඇසින් ඉවත් වෙනවා.

ගීත ක්ෂේස්ත්‍රය තුළ මේ අදහසට ලියැවුණු ගීත විශාල ප්‍රමාණයක් තිබුනත් එයින් ගීත කිහිපයක් පමණයි අපේ සිත් ඇද බැඳගෙන තිබෙන්නේ.
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චිත් මෙවැනි ගීතයක් ගායනා කළා. මේ ගීතය තුළ තිබෙන්නේ මෙහෙමයි.

"ඇගෙ සිනහව තහනම්

ගෙදරින් මට තහනම්

සැලවේ ගෙදරට ඇය හමුවුණොතින්

චර පුරුෂයෝ දැන් මා වටලා...

යන එන හැම තැන මුරදාලා...

යන එන හැම තැන මුරදාලා...//"


චන්ද්‍රකුමාරට මෙවැනි ගීතයක් ගායනා කරන්න ලැබුණේ ඔහුත් මෙවැනි තහනම් ආදරය පැටලී සිටි නිසාද? එසේත් නැත්නම් මේ ගීතයට හේතු සාධක වූ කාරණා මොනවාද? අපි ඔය ගැන සෙව්වා.

"මේ ගීතය නිර්මාණය වුණේ 1973 අවුරුද්දෙදි විතර. ඒ දවස්වල මම අපේ ගුවන් සේවයේ ගුවන් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කළා. කොහොමහරි මේ නිසාම මම නිතර ගුවන් ගමන්වල නිරත වුණා. එක දවසක් මම මාලදිවයින බලා පිටත්ව යද්දී උඩුගුවනේදී මේ ගීතයට සම්බන්ධ තනුව නිර්මාණය වුණා. මම ඔය තනුව හිතේ තියාගෙන ලංකාවට ආ විගස ප්‍රවීණ ගීත රචක කේ.ඩී.කේ.ධර්මවර්ධන හමුවුණා. ඒ හමුවුණේ ඔහු ලවා මේ තනුවට ගීතයක් ලියවගන්න."
"කේ.ඩී.කේ.ධර්මවර්ධන ගීත ක්ෂෙස්ත්‍රය තුළ සිටි දක්ෂතම ශිලිපියෙක්. ඔහු මේ වෙනුවෙන් අපූරු ගීතයක් ලිව්වා. ඒ ගීතය තුළ තිබුණේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන තරුණ ගැහැණු ළමයෙකුට ආදරය කරන හාම්පුතෙකුගේ කතාවක්. මම කේ.ඩීක්.කේ ට කිව්වා අනේ මට මේකනම් කියන්න බැහැ කියලා. මොකද මට ටිකක් ලැජ්ජාවක් වගේ දැනුණා එහෙම ගීතයක් ගායනා කරන්න. මේ වෙලාවේ කේ.ඩී.කේ හිනාවෙලා ආ ඒක එහෙමනම් කියන්න තහනම් කියලා පෑනෙන් කතිරයක් ගැහුවා."

"කතිරය ගැසූ කේ.ඩී.කේ මොහොතක්වත් ගත කළේ නැහැ ඒ ගීතය ලියූ කොළේම අනිත් පැත්ත හැරෙව්වා. 'ඇගෙ සිනහව තහනම්' ඔහු අද අපට ඇහෙන අපූරු ගීතය ලියන්න පටන් ගත්තා."

"ඇත්තටම ඔහුගේ දක්ෂතාවය ගැන මට එදා පුදුම හිතුණා. අප අතර හුවමාරු වුණු අදහස් හා ඒ ගීතයට මා තුළ තිබූ අකමැත්ත ඔහු දෙවන ගීතය සඳහා යොදාගත්තා. මගේ තහනමට ඔහු උත්තර දුන්නේ මේ ගීතයෙන්..."

කේ.ඩී.කේ.ධර්මවර්ධන දක්ෂ ගුවන් විදුලි ශිල්පියෙක්. ඔහු නිවේදන ක්ෂේස්ත්‍රය තුළත් අපූරු නමක් තබා ගත්තා. ඒ ඔහු තුළ දක්ෂ සාහිත්‍යවේදියෙකු සිටි නිසා. අමරදේවයන් ගැයූ 'කුමරියක පා සලඹ සැලුණා' ඊට කදිම නිදසුනක්.

චන්ද්‍රකුමාර ගැයූ මේ ගීතය ඔහුගේ තනුවක් බව අප ඔබට මුලදී කිව්වා. ඔහුගේ තනුව ආලෝකමත් කරමින් සංගීතය නිමාණය කළේ ප්‍රවීණ වාදක හා ගායක උපාලි කන්නන්ගරයි.

"අපි මේ ගීතයට මුසු කළේ 'ස්ලෝරොක්' තනුවක් හා සංගීත සංයෝජනයක්. රෝහණ වීරසිංහයන් ඉන්දියාවේ සිට ලංකාවට ආපු මුල ඔහුත් 'සාන්තූර්' කියන වාදන භාණ්ඩය මේ ගීතය වෙනුවෙන් මුසු කරමින් පටිගත කිරීම්වලට සහභාගි වුණා. ඒකත් මේ මොහොතේ මතක් කළ යුතුයි." චන්ද්‍රකුමාර කියනවා.

චන්ද්‍රකුමාර මේ ගීතය ගායනා කළාට පසු බොහෝ දෙනා ඔහුගෙන් එක් පැනයක් ඇහුවා. ඒ 'මේ ගීතය ඔබේ අත්දැකීමක්ද?' කියා. මේ ප්‍රශ්නයාට් ඔහු තවමත් උත්තර දෙනවා. ඒ වගේම ඇතැම් රසික රසිකාවියන් කියන තවත් දෙයක් තිබෙනවා. ඒ මේ වගේ අත්දැකීමකට ඔවුනුත් මුහුණ දීපු බව. ඒ රසික රසිකාවියන් අතර උසස් ක්ෂේස්ත්‍රවල රැකියා කරන නිලතල දරන අයත් ඉන්නවා.

ඇගෙ සිනහව තහනම්

ගෙදරින් මට තහනම්

සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්

චර පුරුෂයෝ දැන් මා වටලා

යන එන හැම තැන මුර දාලා..


යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ..


පෙළපත කුලගොත වෙනස් වෙලා
නෑදෑ පියවර හරස් වෙලා..



පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
තනු: චන්ද්‍රකුමාර කඳනාරච්චි
සංගීතය: උපාලි කන්නන්ගර
ගායනය: චන්ද්‍රකුමාර කඳනාරච්චි



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...