කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං
උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං
කොළඹ දුවන්නියේ.....
එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා
කොළඹ දුවන්නියේ.....
දිග පීලි උඩිං කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදිං කළුවරේම පාර දකින්නේ
මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා
අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා
කොළඹ දුවන්නියේ.....
ගායනය - සමිතා මුදුන්කොටුව
පදරචනය - දිලීප අබේසේකර
සංගීතය - නලීන් පෙරේරා
මතුපිටන් පෙනෙන ආකාරයට මෙහි කෝච්චියක් මුල් වූ කතාවක් සාමාන්‍ය රසිකයා තුලට ගෙන යයි. ඇත්තෙන්ම මෙහි ගේය පද රචකයාගේ දක්ෂතාවය අගය කළ යුතුය. ඔහු මෙහි කොච්චියකට ආරූඪ කර ඇත්තේ පිටිසර ගමක සිට රැකියාව සඳහා කොළඹ බලා පැමිණෙන තරුණියකයි. මෙහිදී ඔහු භාවිතා කර ඇති වචන මාලාවද පිටිසර ගැමි වදන්වලින් සැදුම්ලද්දකි.
මෙම කතාවේ තරුණියන් දෙදෙනෙකි. එක් අයෙක් වසර ගණනාවක් කොළඹ රැකියාව කර කොළඹ පිළිබඳ මනා අවබෝධයක් ඇති යෙහෙළියකි. සරළව කිවහොත් කොළඹ පරිසරයෙන් හොඳට තෙම්පරාදු වී ඇති තැනැත්තියකි. අනෙක් තැනැත්තිය ගමේ ජීවිතය පමණක් හුරු කොළඹට ආධුනික අපේ කතානායිකාවයි. මෙම කතානායිකාව තම යෙහෙලියගෙන් උපදෙස් ගෙන කොළඹ රැකියාවකට යාමට සූදානම් වෙයි. ගැමි පරිසරයක සිට කොළඹ රැකියාවක් කරා පැමිණෙන තරුණියකට මුහුණ දීමට සිදුවන සිදුවීම් පිළිබඳ අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.
කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං
උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං
කතානායිකාව තම මිතුරියව කොළඹ දුවන කෝච්චියක් ලෙස හදුන්වයි. පසුදා උදෑසන කොළඹ බලා යාමට සිතා සිටින ඇය මතුරියට පවසන්නේ තමා එනතුරු දුම්රිය නැවතුම්පලේ සිටින ලෙසයි. යම් හෙයකින් ඇය නොසිටියහොත් තමා මං මුලා වන බව පවසයි. ඒ ගැන බියෙන් පසුවන ඈ මිතුරිය පිළිබඳ විශ්වාසය තබන්නේ මිතුරිය හොඳ පුරුදුකාරියක් බව දන්නා බැවිනි. “උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං” යනුවෙන් ඇය පවසන්නේ ඒ බව ඒත්තුගැන්වීමටයි.
එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා
කොළඹ, ගමේ වගේ නෙවෙයි. එහේ එක එක යාළුවොන්ගෙ කල්ලි තියෙනවා. ඒ යාළු රැළක් එක්ක මුළු කොළඹම කරක් ගහපු මිතුරියක් ඇයට සිටින්නේ. එය ඉතා අපූරුවට පෙන්වන්නේ “කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ ” යන වදන් පෙළිනි. එය ඇතැම් විට සාමාන්‍යයෙන් කොළඹ රටේ සංචාරය කර ඇති බවක්ම නොවන්නට පුළුවනි. බොහෝ විට ඉන් කීමට තැත් කරන්නේ කොළඹ රටේ පෙම්වතුන් සමඟ ඇගේ මිතුරිය නොගිය තැනක් නැති බවය. ගස් ගල් යනුවෙන් සංකේතවත් කර ඇත්තේ එය විය හැකිය. ඇයට වගේම මටත් කොළඹ රටේ අලුත් යහළුවන් (පෙම්වතුන්) මුණගැහෙන්නත් පුළුවනි. හැබැයි ඒ දේවල් ගැන ගමේ ගිහින් නොකියන ලෙසට ඉල්ලා සිටී. මොකද කොළඹ රටේ ගස් ගල් හැඳුනුවත් ගමේ ගස් ගල්වලට ඇස් , කන් ඇති නිසා.
දිග පීලි උඩිං කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදිං කළුවරේම පාර දකින්නේ
මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා
අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා
ඇත්තෙක්ම විටෙක තම මිතුරිය පිළිබඳ පුදුම සහගතයි. මෙතරම් දරුණු අවිනිශ්චිත කොළඹ සමාජයේ ඇය ආරක්ෂාකාරීව ජීවත් වෙයි. හරියට වේගයෙන් යන දුම්රියක් පීලි උඩ නොවැටී යනවා වගේ. ඉදිරියට එන්න තියෙන අනතුරු කලින් දැනගෙන ඒවා මගහරිමින් යන්නේ හරියට බිංගෙවල් තුලින් කරුවලේම පාර සොයා යන ලෙසටයි. ඒ වුනත් මට නම් තාම ඒ වගේ මේ සමාජයේ කරදරවලින් බේරී සිටීමට දැනුම් තේරුම් නැහැ. නොදැනුවත්කම නිසාම මම වැරදි පාරෙ ගිහින් ජීවිතේ විනාශ කරගනීද දන්නෙත් නැහැ යන අදහස හොඳින්ම ගෙනහැර දක්වන්නේ “මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා” යන ඉතා අනර්ඝ යෙදුම්වලිනි. කතාව තවමත් දුවන්නේ කෝච්චිය මත පදනම්ව නිසා ඊළඟ යෙදුමද අවස්ථාවට උචිතය. “අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා”
ඉතා වටිනා අදහසක් ව්‍යංගයෙන් සමාජගත කිරීමට ගීත රචකයාගේ භාෂාව, යෙදුම්, උපමා සියල්ල මනාව ගැලපී ඇත. එලෙසම ගීතය සමාජගත කීරීමට අවශ්‍ය උචිත සංගීත රටා සංගීත නිර්මාණ ශිල්පියා යොදාගෙන ඇත. මේ සියල්ල සමාජගත කිරීමට ගායන ශිල්පිනියගේ හැකියාව උපරිමයෙන් දායක වී ඇත. අප සමාජය තුළ මෙවැනි කොළඹ දුවන්නියන් කොතරම් ඇත්ද...?
(උපුටා ගැනීම - ගීතයකට වැඩියමක්)
No comments:
Post a Comment