Monday, March 8, 2021

මා ආදරණීය මගේ ...

මා ආදරණීය මගේ අම්මා වෙතටයි

මේ ලියන්නෙ අරක්ෂක කදවුරේ සිටයි

අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැක ගන්නයි

මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි

අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි


අව්ව වැස්ස රෑ දහවල් එකයිනෙ අපට

එකම සිතින් අවිත් ඉන්නෙ අපි සේවයට

කිසිම බයක් දැනෙන්නෙ නෑ කොහොමත් හිතට

සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට

මම සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට


මා ආදරණීය....


වීර පුතුන් බිහි කර රට රකින්න පුදනා

අම්මවරුන් පායුග වැඳ පුදන්න ඕනා

අම්මේ ඔබ කළ සේවය සදහට අගනා

ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා

ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා


අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න

මේ සටනින් මා මියගිය දිනයක ඔන්න

මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න

බාල පුතත් හමුදාවට බාර කරන්න

ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න


මා ආදරණීය....


ගායනය - ධනපාල උඩවත්ත 

පදරචනය - හෙක්ටර් විජේසිරි

සංගීතය - වර්නන් පෙරේරා 


ඔබ ලියූ ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි’ ගීතය වඩාත් ජනාදරයට පත්වූ ගීතයක්. රණවිරු ගීත කලාවේ ආරම්භකයා ඔබද?

 

මේ ගීතයේ පසුබිම පිළිබඳව හෙක්ටර් විජේසිරි මහතා අදහස් "යුද්ධ වකවානුවේ, උතුරේ ආරම්භය තියෙන කාලේ ලියූ ගීතයක්. කොහොමත් පොඩි කාලේ ඉඳලම රට ගැන මට ආදරයක් කැක්කුමක් ඇතිවුණා. හේතුව ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගෙන් තමයි මම වැඩිපුර ඉගෙනගත්තේ. අයන්නේ ඉඳලම ඉගෙනගත්තේ. ඉතිං උන්වහන්සේගේ ආභාසය නිසා මට රට ගැන පොඩිකාලේ ඉඳලම ලොකු ඇල්මක් ඇතිවෙලා තිබුණා. යුද්ධය ඇරඹුණු දවස්වල රටට ඇතිවෙන තත්ත්වේ ගැන, හානිය ගැන මගේ හිතේ ඇතිවුණේ බොහොම වේදනාත්මක හැඟීමක්. සිංග් ලංකා ආයතනයට තමයි මට මේ ගීතය ලියන්න අවස්ථාව ලැබුණේ. ධනපාල උඩවත්ත තමයි මේ ගීතය ගායනා කළේ. වර්නන් පෙරේරා තනුව යෙදුවේ. ඒ වෙලාවේ අපේ රටේ රණ ගී එතරම් බිහිවෙලා තිබුණේ නෑ. රණ ගී සම්ප‍්‍රදායක් සංස්කෘතියක් බිහිවුණේ මේ ගීතයෙන් වගේ තමයි පස්සේ මට දැනුනේ. ඒක මිනිස්සු අතර බොහොම ජනප‍්‍රිය තත්වෙට පත්වුණා. මොන හේතුවක් ද මන්දා. රට ගැන තියෙන ඇල්ම වෙන්නැති. ඒ ගීතය මගේ ජීවිතේටත් ආලෝකයක් වගේ වුණා. පසුව සමාගම්වලින් මට ආරාධනා කරන්න පටන් ගත්ත මෙවැනි ගීත ලියන්න කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා දිවයින)


ඇයි ඔබට රණවිරු ගීත ගයන්න හිතුණේ?


ධනපාල උඩවත්ත මහතා අදහස් දක්වමින් "අසූව දශකය ආරම්භයේදී මම කැසට් පටයක් කළා. එහිදී හෙක්ටර් විජේසිරි කියන ගීත රචකයා ලියූ පදමාලාවක් මගේ අතට ලැබුණා. ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි, මේ ලියන්නෙ ආරක්ෂක කඳවුරේ සිටයි’ යනුවෙන් ගීතය ලියැවී තිබුණා. ඔය කාලේ අපේ රටේ යුද ගිනි ඇවිලෙමින් තිබුණ කාලයක්. මම හිතුවා මේ ගීතය ගැයීමට වඩාත් සුදුසු කාලය මේක කියලා. මොකද එතකොට මෙවැනි රණවිරු ගීත තිබුණේ නැහැ. වෙනත් මාතෘකා යටතේ ඕනෑ තරම් ගීත තිබුණා. මම කොහොමත් වෙනස් ගීත කියන්න ආසයිනේ. ඒ හින්දා මේ ගීතය කාලීන අවශ්‍යතාවක් ලෙස සලකලා මම කියන්නට තීරණය කළා.


නමුත් ඔබ ගීතය පටිගත කළ යුතු දිනයේ පටිගත කළේ නැහැ? ටික දිනක් කල් දැම්මා?


ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේකයි. සිංදුවේ මැද හරියේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්.


අව්ව වැස්ස රෑ දහවල එකයිනෙ අපට

එකම සිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට

වාසි පතන අතළොස්සක් රට වනසන්ට

සැහැසි ලෙසින් යොමු වෙයි අපරාධ කරන්න


මට එහි තෙවැනි සහ හතරවැනි පේළි දෙක හිතට ඇල්ලුවෙ නැහැ. මොකද එය ලියවිලා තිබුණේ රණවිරුවන්ට නෙවෙයි. ඒ කාලේ කලබල කළ පුද්ගලයින්ට රිදෙන්නයි ඒ පේළි දෙක යොදාගෙන ඇත්තේ කියලා මට හිතුණා. මම සිංදුවේ කොලෙත් අරගෙන ගෙදර ගියා. කල්පනා කරලා අර පේළි දෙක අයින් කරලා ‘කිසිම බයක් දැනෙන්නෙ නැහැ කොහොමත් සිතට, සේවය කරනෙමි මිය යනතුරු ලක්බිමට’ යනුවෙන් මම ලිව්වා. යළිත් පටිගත කිරීම යොදා ගත් දින මම එය හෙක්ටර්ට පෙන්නුවා.


මොන වගේ ප්‍රතිචාරයක් ද ඔහුගෙන් ලැබුණේ?


ඔහුගේ බැල්ම අතිශය දරුණු වුණා. දෙපාරක් තුන් පාරක් මං ලියපු පේළි දෙක කියවලා බලලා ඔහු කොළය ගුලි කරලා පොළවෙ ගැහැව්වා. ‘මම උඹට ආයේ සිංදු ලියන්නේ නැහැ’ කියලා ශබ්දාගාරයෙන් නික්මුණා. කිව්වත් වගේම ඔහු ආයෙ මට කවදාවත් සිංදු ලිව්වේ නැහැ.


ඔබ එදා ගීතය පටිගත කළාද? ඔව්.


මා ආදරණීය ගීතය හින්දා ඔබට මරණ තර්ජනත් ආවලු නේද?


රත්ගම ෂෝ එකකට මම ගියා. ඔන්න ඉතින් සිංදු කියනකම් ස්ටේජ් එක පිටිපස්සට වෙලා මමයි එම්.එස්. අයියයි පොඩි කතාවක් දාගෙන හිටියේ. ඒ 83 ජූලි කලබල සිදුවන කාලේ. එක පාරටම නාඳුනන කෙනෙක් මම ළඟට ඇවිත් මට කිව්වා ස්ටේජ් එක එහා පැත්තේ දෙන්නෙක් ඔයාව මුණ ගැහෙන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. මම ගියා බලන්න. මෙන්න ඉන්නවා මිනිස්සු දෙන්නෙක් මූණ කට කළු රෙද්දකින් වහගෙන. එකෙක් අතේ තිබුණු තුවක්කුව ඔළුවට තියලා කිව්වා මා ආදරණීය ගීතය ගැයුවොත් මරනවා කියලා. ඔන්න එතකොටම නිවේදකයා මගේ නම කිව්වා. ඒ කලබලේ මැද මම ස්ටේජ් එකට දිව්වේ මරණ බයෙන්. එදා මම ඈ නීල වරල පීරලා ගීතය පස් වතාවක් කියලා ඒ ෂොක් එකට. අන්තිමේ ගිටාර් ගහපු මල්ලි කනට කරලා කිව්වා අයියේ ඔයා නොන්ස්ටොප් ඈ නීල කිව්වා කියලා. තව දවසක් බහරේන්වල මම ඔය ගීතය කිය කියා ඉන්න කොට ආවා ලොකු වීදුරු බෝතලයක් ස්ටේජ් එකට. වාසනාවට වැදුණේ නැහැ. බහරේන් එකල හැඳින්නුවේ පුංචි යාපනය කියලා. එහි හිටපු එල්.ටී.ටී.ඊ කාරයෝ තමයි මට බෝතලයෙන් ගහලා තියෙන්නේ. ඒ මොහොතෙම මම සිංදුව නැවැත්තුවා.


(උපුටා ගැනීම - සරසවිය)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...