Monday, July 6, 2020

දරදිය ඇදලා...

දරදිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා

මට බහ දීලා
සරසවි ලීලා
රැඟුම් රඟා ඈ සමඟින් ආවා
දරදිය ඇදලා….

අනේ කමෙක් නෑ
සිරි සැප වේවා
මට වූ දේ නම් ඇයට නොවේවා
දරදිය ඇදලා…

ගායනය - නාලිනී රණසිංහ 
පදරචනය - ඩෝල්ටන් අල්විස් 
සංගීතය - සරත් බාලසූරිය 

මගේ සිත තැන්පත්ය” සහ “කහවන් ගොයමට රන්දිය වැහැලා” යනු නාලිනී රණසිංහ යන නාමයද සමගින් සිහිපත් වන ගීත දෙකකි. මේ ගීත එකල අපට කට පාඩම් වී තිබුණි. ඇත්තෙන්ම නාලිනී රණසිංහ මහත්මිය ගැයූ ගීත ප්‍රමාණය අතළොස්සක් වුවත් ඒ හැම ගීතයක්ම මිහිරි වින්දනීය ගීතයන්ය. ඇයට ඇත්තේ ඇයටම අනන්‍ය වූ ඉතා සුවිශේෂී හඬකි. ඒ හඬෙහි ගැමි ආර කැපී පෙනෙයි. සුනිල් සාන්තයන් විසින් ඇය ඔහුගේ නිර්මාණ වලට සහභාගී කරවා ගැනීමෙන්ම ඈ සතුවූ ගායන කුසලතාවය වටහා ගත හැකිය. අචාර්ය කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ “මී මැස්සෝ” චිත්‍රපටයට ඇය විසින් ගායනා කරන ලද “සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල” ගීතයද මෙහිදී සිහිපත් වෙයි. එහෙත් කණගාටුවට මෙන්ම විමතියට කාරණය නම් අපේ ගීත ක්ෂේත්‍රය තුළ නාලිනී රණසිංහ මහත්මියගේ හඬින්, ඇය සතුවූ ගායන කුසලතාවයෙන් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවක් දකින්නට ලැබීමයි.

ගීතය යනු වචන ඉක්මවන කලාත්මක ප්‍රකාශනයක් බවට “දර දිය ඇදලා” ගීතය තවත් එක් උදාහරණයක් සපයයි. මෙහිදීද නාලිනී රණසිංහ මහත්මිය, වචන සහ සංගීතය හමුවන තැන සිදුවන හාව ප්‍රකාශනය උදෙසා සිය දායකත්වය මැනවින් ලබා දෙන්නීය. ඇත්තෙන්ම මේ ගීතයේ පද රචනය, සංගීතය සහ ගායනය යන ත්‍රිත්වයම එකිනෙක පරයා නැගී සිටින බවක් දැනේ.

ගීතයේ මුල සිට අග දක්වා කියැවෙන්නේ අවනඩුවෙකි;

“දරදිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා”

නව යුවළගේ ආගමනයේ දී “සරසවි ලීලා රැඟුම් රඟා” පැමිණියේ යැයි පැවසීම තුළින් ධ්වනිත වන්නේ සෝපාහාසයයි.

“මට බහ දීලා
සරසවි ලීලා
රැඟුම් රඟා ඈ
සමඟින් ආවා”

ඉන් අනතුරුව එන්නේද කෝපය මුසු සෝපාහාසාත්මක ප්‍රකාශයෙකි.

“අනේ කමෙක් නෑ
සිරි සැප වේවා
මට වූ දේ නම්
ඇයට නොවේවා”

ගීතයේ පද රචනය ඩෝල්ටන් අල්විස් සූරීන් විසින් වන අතර තනුව සහ සංගීතය සරත් බාලසූරිය ගෙනි.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...