Tuesday, July 7, 2020

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ...

තම පුතු විසින් සංගීතවත් කල ගීතයක් ගායනය කරන්නට ලැබෙන්නේ නම් මවකට එය මහත් භාග්‍යයක් නොවන්නේද. එමෙන්ම තම ස්වාමියා විසින් සංගීතවත් කල බොහෝ ගීතද ගායනා කරන්නට ඈ වාසනාවන්ත වූවාය.
නමුත් අපගේ අවාසනාවට අද ඈ අප අතර නැත. මාලනී බුලත්සිංහ ගුරු මෑණියනි ඔබ අපේ සිත් තුල සදා අමරණීයයි.......

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරා

ගායනය - මාලනි බුලත්සිංහල
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස් (ආදි ආනන්දියෙකි)

මේ ගීතය ලියැවෙන්නේ 99/ 2000 කාලයේදී. මෙය එක්වරම බිහිවුන ගීතයක් වන්නේ නෑ. මාලනිය තමාට ගීතයක් ලියාදෙනමෙන් විදුරගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඇය ඔහුගේ දක්ෂතා පිලිබඳව වැටහීමක් තිබෙන නිසාවෙන්. ඔහු විසින් රචිත යුග ගීයක් මාලනියගේ සිත්බැඳ ගන්නා නිසා තමයි මාලනිය එවැනි ඉල්ලීමක් සිදුකරන්නේ. විදුර ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නේ මාලනිය නිකම් කියූ දෙයක් කියා සිතායි. නමුත් දෙතුන් වතාවක් ඔහුට මෙය කියන නිසාවෙන් ඔහුට මෙය සිදුකරන්නටම වෙනවා.

මාලිනී ඇන්ටි හමුවෙන ගාණෙම අහනවා සින්දුවක් ලිව්වද කියලා. මම 'ඔව්' ලියනවා කිය කියා හිටියා. ඔය අතරේ අපේ ගෙදර අය පදිංචිය වෙනස් කරනවා. තාත්තා වරායේ වැඩ කරන නිසා බ්ලූමැන්ඩල්වල වරාය නිවාසවලට එන්න වෙනවා. ඒ වෙනකොටත් මම ප්‍රේමයක පැටලිලා හිටිය නිසා මේ දුරස්වීම මට හොඳට දැනෙනවා. නිතර හමුවුණ එක නැති වෙනවා. ටෙලිෆෝන් තිබුණෙත් නැති නිසා ලියුම්වලින් විතරයි ගනුදෙනුව. මගේ ප්‍රේමවන්තිය දිග ලියුම් එවනවා මල් පෙති එහෙම දාලා. මම ලියුම් ලිව්වට දාන්න මට සල්ලි නෑ. ඒවා මගේ සාක්කුවෙම තියෙනවා. ඒ නිසා සිත් තැවුල් තිබුණා. ඔය කාලේ තමයි මාලනී ඇන්ටි සින්දුව ඉල්ලන්නේ. එයාට දෙන්න හිතාගෙන මම බර වචන දාලා සින්දුවක් ලියනවා.

මේ දළු ලෑ ඝනදුරට හොරෙන්
සඳ සුවඳ දැනේ නම්
නොමියේ මැයි සඳ සිසිල සිතින්
ගනදුරට බියයි මං . . .

මේක යුග ගීයක්. නමුත් මාලිනී ඇන්ටිගේ CD එකට ඒ වෙනකොටත් යුග ගී 2 ක් තිබුණ නිසා මට වෙන ගීතයක් ලියන්න වුණා. ඒක ලිව්වේ කසුන් කරපු melody එකට. කසුන් ගිටාර් එක play කරත්දි ඒ melody එකට මට ආව වචන ටික තමයි 'ගී පද කීමට මාල ගිරා' කියන වචන ටික. ගීතය ඉවර කරන්න මාසයක් විතර ගියා. කසුන් වරින් වර හදන melody එක මට දුරකථනයෙන් කියනවා. මම ඒක අහගෙන පද ලියනවා. ඒ කාලේ දුරකථන පහසුකම් නැති නිසා අල්ලපු ගෙදර දුරකථනයට තමයි කසුන් ජචතත දෙන්නේ.

දුරකථනයෙන් ගලා ආපු කසුන්ගේ melody එක විදුර ලිව්ව පද පේළි සුන්දර ගීතයක් නිර්මාණය කළා. මාලිනී බුලත්සිංහල කළ අවසන් සංයුක්ත තැටිය වුණ 'මොනාලිසා'ට එය ඇතුළත් වුණා.

ගීතය පටිගත කළ දවසේ මාලිනී බුලත්සිංහල විදුරට ද ආරාධනා කළා. අහම්බයකින් ඒ දිනය විදුරගේ උපන් දිනය වුණා.

'ඒ කාලේ ගීත රචකයෙකුට සින්දුවක් ලිව්වම රුපියල් 2000/- ක් දුන්නා. මාලිනී ඇන්ටි මට ඇඩ්වාන්ස් එකක් විදියට රුපියල් 1000/- ක් දුන්නා. ඒ ආසන්නයේම දිනක ඈ විදේශ සංචාරයකට පිටත්ව ගියා. ඒත් ඈ ආපසු ආවේ නෑ. ඊට පස්සේ මම කසුන්ට 'සොඳුරු සිතුවම්' ගීතය ලිව්වා. ඔහු ඒක ගායනා කළේ නිරංජලා මංජරීත් එක්ක.'

මාලිනී බුලත්සිංහලට සින්දු ලියන කොට ප්‍රේමයේ සිත් තැවුල් මැද සිටි විදුර සිය ප්‍රථම ප්‍රේමයම වූ ඇය අද ඔහුගේ ප්‍රිය බිරිය කරගෙන සිටී. ඇය සමිතාය. එසේම 'සිහෙල තෙසරණ' පුතුය. ඔවුන් සමඟ ආදරණීය ජීවිතයක් ගෙවමින් වර්තමානයේ බොහෝ පොත් දොරට වැඩීම්, ගී දොරට වැඩීම් ඔහුටම ආවේණික ගැඹුරු හඬ පෞරුෂයකින් ඉදිරිපත් කරමින් කලා ලොව දිගු ගමනක නියුතු වෙනවා.

(සරසවිය)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...