Tuesday, July 7, 2020

සිරියා මේ සාරා ...

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා //

හෝ...

දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා

ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ගංගා පිරීලා‍ ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා //

හෝ..

යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අමධාරා

සිරියා මේ සාරා
නැගේවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා
හෝ ප්‍රේමේ අම ධාරා ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය – ටී.ආර්. පාපා
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

එච්. ආර්. ජෝතිපාල මහතාගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයයි.

1954 දී තිරගත වූ "මස්තානා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දුනියා කේ සාරේ ගමොන් සේ බෙගානා" (Duniya Ke Saare Ghamon Se Begaana) ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීතය අපි කවුරුත් එදා ඉඳන්ම ආදරය කරපු ගීතයක්. ලොකු කුඩා කාටත් කටපාඩම් වුණ, විනෝද වෙන අවස්ථාවකදී වුණත් නිරායාසයෙන්ම මුවගට නැගෙන මේ ගීතය එච්. ආර්. ජෝතිපාලයන් මුල්වරට සිනමාවට හඳුන්වාදුන් ගීතය බව ඔබ දැන සිටියා ද? නමුත් මේ ගීතය සුරතලී චිත්‍රපටියෙන් ඉවත්කරන්නට ගිය බවත් චිත්‍රපටි අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්නයන් දැඩි ස්ථාවරයක ඉඳගෙන මේ ගීතය චිත්‍රපටියට ඇතුළත් කලබවත් ඒ නිසාම ජෝතිපාල කෙනෙක් අපිට උරුමවුණ බවත් ඔබ දැන සිටියා ද? බලමු මේ කතාව. මේ කතාව හම්බවුණේ අර්නස්ට් වඩුගේ මහතා රචනා කල අමරණී‍ය ජෝති යන කෘතියෙන්.

එච්. ආර්. ජෝතිපාලයන් ඒ වෙනකොට චිත්‍රපටි තුනක් එනම් පොඩිපුතා, මතභේදය සහ පෙරකදෝරු බෑණා යන චිත්‍රපටි තුනේම අවස්ථා ලැබුණත් යම් යම් හේතුන් මත ගිලීහී ගියා. ඉතාමත් කළකිරීමෙන් හිටපු ජෝතිපාලයන් ලිබර්ටි සිනමාහල වෙතට යනවා සිරිල් පී. අබේරත්නයන් හමුවන්නට. එතුමා යන්නේ ස්ටැන්ලි ඕමාර් සහ එම්. පී. ගැමුණු යන කලාකරුවන් දෙපල සමගයි. අබේරත්නයන් ජෝතිපාලයන් එතෙක් ගයා තිබූ ගී තැටි අසා "මම හුඟක්ම කැමතියි අළුත් අයට අත දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා හෙටම එන්න" කියා කියනවා. ඒ වෙලාවේ තමයි ජෝතිපාලයන්ට දැනුණේ, තමන්ට සිනමාවේ දොරටු විවර වුණා කියලා. එතුමාව තෝරාගන්නේ චිත්‍රපටියේ නළු ආනන්ද ජයරත්නයන්ගේ පසුබිම් හඬට. ඉතින් සිරිල් පී. අබේරත්නයන්ට පුදුම ඉවක් තිබුණා ද කියලා හිතෙනවා ජෝතිපාලයන් ගැන එවන් සිනමාවේ ආරම්භක යුගයේ මෙවැනි තෝරාගැනීමක් බය නැතුව කරන්න.

ඉතින් ජෝතිපාලයන් කැටුව මේ පිරිස ඉන්දියාවේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරය වෙත යනවා මුලින්ම ගීත පටිගත කරන්න. මීට එකතුවෙනවා ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න (සිරිල් පී. අබේරත්න මහතාගේ දියණිය), අබේරත්න මහතාගේ බිරිඳ සහ පුතාත්. හැබැයි චිත්‍රපටියේ මේ ගීතය පටිගත කරන විටත් නැවතත් ප්‍රශ්නයක් ජෝතිපාලයන්ට පැන නගිනවා. එයට හේතුව ඒ චිත්‍රපටියේම එන "ප්‍රේමේ මෝරන කාලේ" ජී.එස්.බී.රාණි පෙරේරා / ධර්මදාස වල්පොල ගීතයට ජෝතිපාලයන්ට පොඩි කොටසක් ගයන්න තියෙනවා. ඒ කොටස ඇහුවායින් පස්සේ, චිත්‍රපටියේ කාර්මික අධ්‍යක්ෂ වූ ඉන්දීය ජාතික කේ. වෙම්බු නමැත්තා "අපෝ මෙයාට Screen Voice එකක් නැහැ. මෙයාව ගන්න එපා ෆිල්ම් එකට. එහෙම වුණොත් ෆිල්ම් එක සවුත්තු වෙනවා" යනුවෙන් පවසනවා.

දැන් අබේරත්න මහතා කල්පනා කරනවා මොකද කරන්නේ? අළුත් ගායකයෙක්ව තමුන් එක්කගෙන ආවා. මේ අතරේ මානසිකව වැටුණු ජෝතිපාලයන් අබේරත්න මහතාගේ දියණිය වූ ස්වර්ණා අබේරත්නයන්ට සහ පුතණුවන්ට ඉතාමත් හැඬූ කඳුලෙන් කියා සිටිනවා "අයියෝ බබා. මට ආපහු ලංකාවට යන්න බැහැ. කොල්ලෝ මට ගල් ගහලා මරා දමාවි. මම බදුලු කෝච්චියට ගිහින් 'ටකස්' වෙනවා" යනුවෙන්. ඉතාමත් දුක හිතුණු ස්වර්ණා දියණිය තම මවට අබේරත්න මැතිණියට මේ ගැන පවසනවා. අවසානයේ දී අබේරත්න මහත්මිය තම සැමියාට පවසනවා, "වෙම්බු නෙමෙයි ලංකාවට යන්නේ. ඔයයි ෆිල්ම් එක අරගෙන ආපහු ලංකාවට යන්නේ. ඔයා වෙම්බුට අවනත වෙන්න එපා. එහෙම වුණොත් ඔයාට ජීවිතයකටත් වග කියන්න වෙයි. ඒ නිසා ඔය ළමයව නිකම්ම යවන්න එපා. ගීත දෙකක්වත් දෙන්න" කියා. සාමාන්‍යයෙන් අබේරත්න මහතා තම බිරිඳට ගරු කරන කෙනෙක්. ඒ නිසාම තමන්ගේ දැඩි ස්ථාවරය තබාගෙන කාර්මික අධ්‍යක්ෂකට යටත් නොවී අබේරත්නයන් චිත්‍රපටියේ මේ ගීතය සමග ගීත 4 ක්ම ජෝතිපාලයන්ට ලබාදෙනවා. 

ඉතින් මේ ගීතය චිත්‍රපටියට පෙර තැටිගත කරලා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ නිසාම ජෝතිපාලයන්ගේ හඬ ශ්‍රාවක අවධානයට යොමු වී තිබුණා. ඒ කාලයේ අද වගේ නෙමෙයි. චිත්‍රපටියට පෙර එහි ගීත ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙනවා. ගීත පොත් පවා නිකුත් වෙනවා. ප්‍රේක්ෂක අවධානය ඒවාට යොමුකරලා තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්නේ. එතකොට සිංදු හොඳ නම් ෆිල්ම් එක නැගලා යනවා. ගුවන්විදුලිය ඒ සඳහා මහඟු මෙහෙවරක් කලා. ගී තැටි සමාගමුත් ඒ සඳහා උදව් කලා. ඉතින් මේ ගීතයත් HMV (His Masters Voice) WN586 අංක දරණ ගීත තැටියේ (LP Record) තැටිගත වෙලා තියෙනවා. 

ඉතින් පොදුජන ගායකයා ලෙස විරුදාවලිය ලත් ජෝතිපාලයන්ට ඒ තත්ත්වෙට පත්වෙන්න සිරිල් පී. අබේරත්න මහතා ඇතුළු පවුලේ සැම කරපු උදව්ව ගැන අපි කවුරුත් දැනගත යුතුයි. ඔවුන්ට ගරු කල යුතුයි.

සුරතලී චිත්‍රපටිය ගැන සැකෙවින්
තිරගත වූ දිනය – 1958 සැප්තැම්බර් 19
නිෂ්පාදනය – ජබීර් ඒ. කාදර්
කතාව හා දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - සිරිල් පී. අබේරත්න
කාර්මික අධ්‍යක්ෂණය - කේ. වෙම්බු (ඉන්දීය ජාතික)
නැටුම් - ශේෂා පලිහක්කාර සහ පිරිස
සංගීත අධ්‍යක්ෂණය – ටී. ආර්. පාපා (ඉන්දීය ජාතික)
ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
ගීත පටිගත කිරීම – වාහිනී චිත්‍රගාරය (මදුරාසිය)
ගීත සංඛ්‍යාව - 12

(මාධව විජේසේකර)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...