Wednesday, March 31, 2021

මිනිසා ...

මිනිසා

මරණ තුනක් ඇති මිනිසා

බලා සිටී

නිරුවත් දෑසින්

බලන්න කන්‍යාවී


ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිඳිද්දී

සංත්‍රාසයෙන්

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

වයන්න වීණා

කන්‍යාවී


නියඟලා මල් පාට දේදුණු

දෙබෑ කර එන ගිරා පොව්වන්

පියුම් කැකුළක් තුඩින් පාරා

බලෙන් පුබුදන

හංසයා

බලන්න නිරුවත් දෑසින්

ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කළඑළි ගන්වා

වයන්න වීණා

කන්‍යාවී


මිනිසා.....

මරණ තුනක් ඇති මිනිසා


ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිඳිද්දී

සංත්‍රාසයෙන්

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

වයන්න වීණා

කන්‍යාවී


ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - ලූෂන් බුලත්සිංහල

තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


අසුව දශකයේ දවසක ලුෂන් බුලත්සිංහල හොයාගෙන පරාක්‍රම නිරිඇල්ල එනවා ඔහුගේ සිරිමැදුර චිත්‍රපටයේ තිරනාටකයත් අරගෙන චිත්‍රපටියට ගීතයක් ලියාගන්න. තිරනාටකය කියවපු ලුෂන්ට සිහියට එනවා අපේ පැරණි කවියක්.


"වනේ ගිජිදාය දුටුවොත් වනසාය

ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය.

අතකින් කරවැලකි අතකින් දඬුබෑය

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"


චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය අනතුරකින් කශේරුව ආබාධිතයෙක් වීම නිසා කතා කිරිමේ හැකියාව නැතිවු කෙනෙක්. ඔහු සංගීතඥයෙක්. ඒ නිසාම ඔහු සංගීතයට ඇලුම් කරන සහෝදරයාගේ බිරිඳත් එක්ක සම්බන්ධතාවයක් ඇතිවෙනවා. නමුත් නිවසේ මෙහෙකාරිය තමයි ඔහුගේ සියලු අවශ්‍යතා ඉටුකළේ. ඔවුන් දෙදෙනා අතරත් සම්බන්ධයක් තියනවා. මේ තුන්කොන් අරගලය එක්ක ලුෂන් අතින් ලියවෙනවා මෙහෙම පදවැලක්.


දඩුවැල් බෑයයි සේද සළුවයි

දරා දෝතින්

මේ බලන්න සරස්වතී

මරණ තුනක් ඇති මිනිසා

බලා සිටී.

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝධර තුඩු ඉකිබිදිද්දී


පරාක්‍රම නිරිඇල්ලයි, කේමදාස මාස්ටර් එක්ක කාරෙකේ යන ගමන් ලුෂන් මේ පදවැල කියවනවා. පදවැල අහගෙන හිටපු මාස්ටර් කාර් එක නවත්තනවා.

"මරණ තුනක් ඇති මිනිසා බලා සිටී ඒක තමයි ලයින් එක. ලුෂන් එතනින් සිංදුව පටන් අරන් ආපහු ලියන්න."

තරමක සංකීර්ණ වුවත් සංකල්ප රූප වලින් අලංකාර වූ මේ ගීතය රචනා වෙන්නේ එහෙමයි. 


ලුෂන් අතින් ලියවුනු මේ ගීතයේ යොදා ඇති උපමා රූපක මෙන්ම ඉපැරිණි සාහිත්‍යයේ ඇති සියුම් තැන් ආභාෂයෙන් ලබාගත් දැනුම, මිනිස් සිතේ ගැඹුරුම පතුලින් නැගෙන හැඟීම් පිළිබඳව උද්දීපනය කිරීමට යොදාගෙන ඇත. 


නියඟලා මල් පාට දේදුනු

දෙබෑ කරගෙන එනු ගිරා පොව්වන්

පියුම් කැකුලක් තුඩින් පාරා

බලෙන් පුබුදන හංසයා බලන්න නිරුවත් දෑසින් 

මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය. මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.


ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කල එලි ගන්වා

වයන්න වීණා කන්‍යාවී

ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්‍රේමසිරි

කේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් ” සිරිමැදුර ” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් “වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.

(උපුටා ගැනීමකි)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...