Monday, November 30, 2020

නින්ද නැති රැයේ ...

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


කිළිපොලා සැළී යමින් නොහිමි සීතලේ

තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ

හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී

රෝස පෙති කඩා හැළේ


ගායනය - ගුණදාස කපුගේ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

තනුව - ගුණදාස කපුගේ


"නින්ද නැති රැයේ" ගීතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් අදහස් දක්වමින්.... 

මාව මොනරාගලට මාරු කළාට පස්සේ මං හිටිය නවාතැන ඉස්සරහට පේනවා මරගල කන්ද. ඒ කන්ද මීදුමෙන් වැහිලා යනවා. ඒක උඩින් හඳ පායනවා. පොද වැස්සක් වැටෙනවා. මට ඉතිං පරිසරයත් එක්ක මතක් වෙනවා ඇය. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නේ ඇයිද ප‍්‍රථම පේ‍්‍රමයේ. හඳ කඳුළු මීදුමක හැංගිලා අඬනවා. මං කල්පනා කරනවා ඒ ඇය තමයි. ගෙදර තනිකරලා දාලා ආපු ඇගේ ඒ නිල් ඇස් වල එළිය කාන්තිය නිවිලා යනවා. ඒ කියන්නේ අඬන්න සූදානම් වෙනවා. වැහි බිංදු වැටේවි, ඔන්න අඬන්න පටන් ගන්නවා. තොල් සැලෙන්න පටන් ගන්නවා. මාසෙකට විතර සැරයක් ඇවිල්ලා ආයේ ඉක්මනටම මං ආයේ මගේ සේවයට යන්න පිටත් වෙන්න ඕන ආයේ අවදිවෙලා පහුවෙනිදා. 

ඇය වෙනුවෙන් හුඟක් කවි ලියා තියෙනවා ගීතවලට වඩා. මේක විවාහයට පෙර ලියවුණු ගීතයක්.

මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරණයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහයකට විතර පස්සෙ නැවත පටිගත කරනවා. ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිටපිටම වසර 03 ක් පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි. 

(උපුටා ගැනීමකි)







No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...