Monday, December 7, 2020

සොඳුරු අතීතයෙ ...

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී

මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී

ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇතී...


කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද

භවය පුරා ළඟ ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී

ඔබේ නමට පුද දෙන්න ඇතී...


නොසැලී නොතැවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඇතී

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඇතී


ගී පද - මාලනී ජයරත්න

තනුව - රෝහණ වීරසිංහ

ගායනය - ටී. එම්. ජයරත්න


මේ සිංදුව ලියුවේ මම බිරිඳක්‌ වූ පසුවයි. ඒ අසූ දෙක අසූ තුන කාලෙදි. අසූ හතරෙදි ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට තමයි මගේ මහත්තයා මේ සිංදුව ගායනා කළේ. රෝහණ වීරසිංහ තනුව හැදුවා. ආදරය කියන්නේ පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. සොඳුරු අතීතය කියලා මම අදහස්‌ කළේ යහපත් අතීතය. යහපත්වූ අතිතය හරිම සුන්දරයි. ගී පද රචිකාව පැවැසුවා.

ආත්මයෙන් ආත්මය එකට බැඳී ඉන්න බොහෝ පෙම්වතුන්. පෙම්වතියන් පෙරුම් පුරනවා. අඹුසැමියනුත් එහෙමයි. ඒත් ඒ විදිහට සංසාරෙන් සංසාරෙට එක්‌ වෙන්න වාසනාව ලැබනේනේ කීයෙන් කී දෙනාටද?

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී

මගෙ හද තුල ඔබ ඉන්න ඇතී

ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇතී


අපි අද ආදරෙන් බැඳිලා. මේ බැඳීම සංසාරගත පුරුද්දක්‌ වෙන්නැති. ඉහත ආත්මෙදිත් අපි දෙන්නා එකට ඉන්න ඇති. සමහරවිට ආත්ම ගණනාවක්‌ මගේ පිවිතුරු පැතුම වෙන්න ඇත්තේ ඔයාම තමයි. ඒ අතීත ආත්මවල අපේ ජීවිත අතිශයන්ම සුන්දර වෙන්න ඇති. ඒ හින්ද තමයි අපි ආයෙත් මේ ආත්මෙදි ආදරෙන් එකතුවෙන්න ඇත්තෙ.

බිරිඳකගේ සුන්දර පැතුමක්‌ ගයන්නේ ඇගේම සැමියා. මාලනී ජයරත්ත ගීපද රචිකාව. ගීය ගැන දැක්‌වූ අදහස මේ.

මේක පෙම්වතෙක්‌ පෙම්වතියත් අතර ඇතිවන කතාවක්‌ නොවේ. බිරිඳක්‌ සහ සැමියෙක්‌ අතර බැඳීමක්‌. ඕනෑම පවුලක වගේම මටත් ප්‍රශ්න තිබුණා. ඒත් ඒවා ජයගත් බව මට දැනුනා. ආදරය තුළ හිඳිමින් ඕනෑම ප්‍රශ්නයක්‌ ජයගන්න අපිට පුළුවන්. ප්‍රේමය කියන්නේ බැඳීමක්‌. ඒ ගැන තමයි මේ ගීයෙන් මම කියන්නේ.


කඳුළු සුසුම් මැද සතුටු සිනාමැද

භවය පුරා ළඟ ඉන්න ඇතී

එදත් මගේ සිත අද මෙන් කැපවී

ඔබේ නමට පුද දෙන්න ඇතී


ආදරේ කරමින් යන ගමනේදී ඉවසීම අවශ්‍යයි. කැපවීම අවැසියි. එහෙම යන ගමනේදී සෝ සුසුම්, කඳුළු ආගන්තුක නෑ. සතුට සිනාව. ඒත් එහෙම තමයි. ඉතින් විටෙක කඳුළු සලමින්. සුසුම් හෙළමින් තවත් වෙලාවක සතුටු වෙමින් සිනාසෙමින් මේ භවය පුරාම ඔයා මා ළඟ ඉන්න ඇති. මේ භවයෙදි වගේම ඒ භවයෙදිත් මම ඔයා වෙනුවෙන්ම කැප වෙන්න ඇති.

නොසැලී නොතැවී බාධක හමුවේ

ආ හින්දා ජය ගන්න ඇති

ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමු වෙන්න ඇතී


ආදරවන්තයන්ට, අඹුසැමියන්ට තරම් බාධක තවත් කාටද. ඒත් අපි ඒ බාධක හමුවේ නොසැලී සිටියා. හරියට මහ සාගරය මැද තියෙන ගල්පරයක්‌ වගේ. සැඩ සුළඟ කොතරම් බිහිසුණු වුණත්, රළ පහර කොතරම් ප්‍රචණ්‌ඩ වුණත් ගල්පරය සැලෙන්නේ නෑ. ඒ වගේ කිසිම බාධකයකට බැරිවුණා අපව වෙන් කරන්න. ඒ නිසාම තමයි අපේ පෙම ජයගන්න ඇත්තේ. බුදු හාමුදුරුවෝ මේ සංසාරෙදි නිවන් දකිනතුරු යසෝදරාවන්. උන්වහන්සේ පසුපස ආත්ම ගණනාවක්‌ ආවේ හරියට හෙවැනල්ලක්‌ වගේ. ඒ වගේම මේ හැම ආත්මෙකදිම අපි දෙන්නට අපි දෙන්න පුරුදුයි. අපි අද වාගෙම ඒ හැම ආත්මෙකදිම ආදරයෙන් එකතුවෙලා ඉන්න ඇති.

ආදරය, සෙනෙහස පූජාවක්‌. ඒ පූජාව පිවිතුරු විය යුතුයි. ඕනෑම දුකක්‌ කරදරයක්‌ විඳගැනීමට විශේෂයෙන්ම බිරිඳකට පුළුවන් වෙන්න ඕන. එවිට ජිවිතය ජයගන්න පුළුවන්. මාලිනි ජයරත්න පැවසුවා.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...