Monday, December 7, 2020

රජ මැදුරක ඉපදී ...

රජ මැදුරක ඉපදී සිටියා නම්

නුඹත් රජෙකි පුතුනේ

හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි

අද නුඹෙ සිරියහනේ...

හීනෙන් හිනා නොවී

මා හඬවාපන් මේ රෑ යාමේ...


පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලී

දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී

අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...


රජ මැදුරක...//


ඉද හිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ

දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ

ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ

හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...


රජ මැදුරක...//


ගායනය: විශාරද මාලනී බුලත්සිංහල

ගී පද: ලූෂන් බුලත්සිංහල

සංගීතය: එච්. එම්. ජයවර්ධන 


රජ මැදුරක ඉපදී සිටියා නම් ගීතයට පදනම් වූ ඔබේ ළමා කාලයේ මතකය?

ඉස්කෝලේ ඉන්දැද්දී අපි ගීත නාට්‍ය එහෙම කරනවා. ඒ කාලේ ජනප‍්‍රිය ගීතවලට මම මගේ වචන දානවා. ඒවා සභාවේ කියනවා. එහෙම තමයි මං ගීත රචනය මුලින්ම කළේ. ඒ එක්කම රඟපාන්න මං ආසයි. ඉතිං මාත් එක්කම හිටියා ලයනල් රණසිංහ කියලා මගේ යාලූවෙක්. බොහොම දක්ෂයෙක්. මට මතකයි ගුවන්විදුලියේ එයාට තිබුණා සම්බන්ධයක්. ඉතිං ඒ ලයනල් රණසිංහ තමයි මාව ගුවන්විදුලියට පළවෙනි වතාවට එක්කං ගියේ. ඒ කාලේ දරිද්‍රතාවය හුඟක් තදින් තිබුණා. තාත්තා විතරයි හම්බ කළේ. අපේ කියලා කිසිම දෙයක් අපිට තිබුණේ නෑ. අපේ තාත්තා තද බල සමසමාජ කාරයෙක්. එයා බොහොම තද විදිහට වෘත්තීය සමිති කටයුතු කළා වරායේ. ඒවත් අපිට බලපෑවා ජීවිතේට. දුප්පත්කම තමයි ඉතිං අපි වැඩියෙන්ම ඇසුරු කරපු දේ. රජ මැදුරක ඉපදී සිටියා නම් අපේ කතාව. එක්තරා මොහොතක තාත්තා ලෙඩ දුක්වලට ගොදුරු වෙනවා. ඒ ඔක්කොම මැද්දේ අපි බොහොම අමාරුවෙන් ඉහ ගහගෙන හිටියේ. ඒ කාලේ තිබුණා රෝහල් ලොතරැයිය කියල එකක්. අපේ තාත්තා ඉතිං දුප්පත්කම හින්දා වෙන්නැති හැමදාම ඒ කාලේ ලොතරැයියක් ගන්නවා. එක සැරයක් මං අපේ ලොකු නැන්දගේ ගෙදර ඇවිත් ඉන්නකොට තාත්තා ඇවිල්ලා මට චෙක් එකක් පෙන්නලා මගෙන් ඇහුවා මේ ගාණ කියන්න පුළුවන්ද උඹට කියලා. මං කිව්වා රුපියල් තිස්දාස් එකසිය විසි පහයි කියලා. අපේ තාත්තට අර ලොතරැයියේ දෙවැනි තෑග්ග ඇදිලා. ඉතිං අපි රත්මලානේ හිටපු අපේ ඒ දරිද්‍රතාවයෙන් මදක් මිදිලා පාමංකඩට ආව. මේ අත්දැකීම් තමයි ගීයේ තියෙන්නේ. 

ලූෂන් බුලත්සිංහල තම “සෙවණැලි නොමැකේ නම්” ගීත සංග්‍රහයේ එක් පිටුවක මෙලෙස අතීත කතාවක් දිග හරියි. මාලනී බුලත්සිංහල තම පළමු ගුවන් විදුලි සරල ගී වැඩසටහනට සිංදුවක් ඉල්ලා සිටින්නේ ලූෂන් බුලත්සිංහලයන් ගෙනි. “රජ මැදුරක ඉපදී සිටියා නම්” යනු එම ගීතය බව පවසන ලූෂන් මෙසේ විග්‍රහ කළේය.

“රජ මැදුරක ගීයට මාලනී වගේම එච්. එම් ජයවර්ධනත් ආදරය කළා. හැමවෙලාවෙම ඒ ගීතයට ඔහුගේ ඇති ආධ්‍යාත්මික සමීපතාවය ගැන උද්දාම වුණා. දුප්පත්කම අපි තුන්දෙනාගේම ජීවිත වලට විශාල ආලෝක දහරාවක් එල්ලකොට තිබීම මේ උද්දාමයට හේතුවයි. අපේ බාල සන්දියේ දී දුප්පත්කම එක්ක අපි සෙල්ලම් කළ හැටි තමයි මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙන්නේ”


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...