Friday, December 18, 2020

මම නම් ආසයි ...

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා

මා හා හිනැහුණු අහිංසකාවිය

අදත් එදා මෙන් දකින්න ඇත්නම්

මට පෙම් කල මුදු නිසංසලාවිය

මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ

පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්

ලෝකය යනතක ගමනේ යද්දෙන්

පුංචි දැරිය යුවතියක වුනාදෙන්

මගේ බොළඳ හිත මට තිබුනාදෙන්

ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ

දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ


මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ගායනය හා සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි 

පදරචනය - මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර 


ඔබේ ආදරණීය බිරිඳට ලියූ ගීයක්ද මම නං ආසයි අහන්න නයනා ගීතය? 

එහෙම ම කියන්නත් බෑ ඉතිං. ඔහේ ලිව්වා. හැබැයි ඇගේ නම නයනා තමයි. අපි පාසල් කාලේ මුණගැහුණේ. ගීතය මං ලියලා තිබුණා. ඒ දවස්වල සනත් අයියලාගේ ගෙදර මගේ පොත් තිබුණා. මං නිතරම සනත් අයියා ඇසුරු කළා. එහෙ යනවා. පොත් අරං යනවා පැය දෙක තුනක් ඉන්නකොට පාඩම් කරනවා. මට වෙනම දීලා තිබණා මේසයක් එහෙම වාඩිවෙලා වැඩ කරන්න, නිදියගන්න, කන්න බොන්න දෙනවා ඉතිං එයාලා. ඉතිං එහෙ මගේ කටු සටහන් පොතක් තිබුණා. ඒක සනත් අයියා දන්නවා. එකේ ලියලා තිබුණ එකක් තමයි සනත් අයියා ඔය මටත් නොකියා රෙකෝඞ් කරලා තිබුණේ. මං කතරගම ද කොහෙද ගිහිල්ලා එනකොට සනත් අයියා ගීතය කරලා තිබුණා. මේක දෙවැනි ගීතය. මට මතක හැටියට උසස්පෙළ කාලේ වගේ ලිව්වේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...