Friday, November 13, 2020

සිනා දොළක් වන් සිනාමලී ...

සිනා දොළක් වන් සිනාමලී

මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී

බලා උන්නෙ එනතුරු පෙර වාගේ

ඇයි පිට පාරෙම අද...


පෙරට වඩා අද හැඩකාරයි

ආඩම්බර පාටයි

නාඳුනන ලෙස කෝල බැලුම් නෙත

නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ

ඇයි සිනා නැතුව අද...


වදුලු පුරා දං හිඹුටු සොයා

කෙළිදෙළෙන් නිදැල්ලේ

දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය

නුඹේ ළපටි සිත දෙගුරුන් අවුල් කළාදෝ

ඇයි කතා නැතුව අද...


පද රචනය -  කුලරත්න ආරියවංශ

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය පිළිබඳව කුලරත්න ආරියවංශයන් අදහස් දක්වමින්..... 

අපි ගමේ හැදිච්ච අයනේ. ඒ කාලේ අපේ ගම්වල පිරිමි ළමයි ගැහැනු ළමයි එකට සෙල්ලම් කරනවා. දුව පනිනවා. ඔහොම ඉඳලා ගැහැනු දරුවෙක් වැඩිවිය පැමිණුනාට පස්සේ ඒ කාලේ අපිටත් ඇහෙනවා ඉතිං මේ අම්මලා වැඩිහිටියෝ එහෙම කියනවා පිරිමි ළමයි එක්ක සෙල්ලමට යන්න එපා දැන්, ඔයා ලොකු ළමයෙක්නේ වගේ දේවල්. ඒගොල්ලන්ට ඒ අර සිදුවීම ටිකක් බරපතළ කරලා ජීවිතේ කියලා දෙනවා ඉතිං. දරුවාගේ තියෙන අර කෙළිලොල් නිදහස් පැවැත්ම ඊට පස්සේ පොඞ්ඩක් වෙනස් වෙනවා. ගැමි පරිසරයේ සිද්ධ වෙච්ච අපි පොඩි කාලේ තිබිච්ච දෙයක්. 

ඉතිං ඔය අත්දැකීම තමයි මං ඔය වික්ටර් රත්නායකයන්ට පස්සේ කාලෙක ගීතයක් රචනා කරද්දී ලිව්වේ. සංගීතය එතුමාගෙමයි. ගීතය තමයි ‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය. හැත්තෑව දශකයේ මුල්ම කාලයේ ගායනා කරපු ගීතයක්. මට දැනගන්න ලැබුණා ගුවන් විදුලියෙන් මුල්ම කාලේ මේ ගීතය වාදනයට පොඩි තහනමක් ආව කියලා. මොකද මේ ගීතයේ අර මල්වර නැකතින් දොරට වඩින කියන වචන නිසා වෙන්න ඕන, ඉන්පස්සේ ඒ තහනම ඉවත් වෙලා. කොහොම හරි ඊට පස්සේ ඒ ගීතය ජනප‍්‍රිය වුණා.

කුලරත්න ආරියවංශයන් එය වික්ටර් අතට පත් කිරීමට පෙර කපුගේටද පෙන්වූයය. එහි ස්ථායි කොටස අවසන් වන්නේ ‘ඇයි පිට පාරෙම අද?’ යනුවෙනි. මේ ගීතයේ අන්තරා කොටස් දෙකම අවසන් වන්නේ ‘ඇයි හිනා නැතුව අද?’ සහ ‘ඇයි කතා නැතුව අද?’ යනුවෙන්ය. ඒ ගීතය දෙස ස්වල්ප වේලාවක් නෙත් යොමා සිටි කපුගේ “ඇයි කුලේ මේ අවසාන පේළි තුනටම හිටි අඩියේ කැඩෙන පේළි තුනක් යෙදුවේ?” යි විමසුවේය. කුලේ “මං මේක වික්ටර් අයියාට දෙන්නයි ලීවේ...” කියද්දී විසිතුරු තනු නිර්මාණ ශිල්පියකු වූ කපුගේ තවදුරටත් කිසිත් නොකිය‍ා සිනා සුණේ වික්ටර්ගේ නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳ මනා අවබෝධයක් හා විශ්වාසයක් ඔහු සතු වූ නිසාය.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...