Thursday, July 16, 2020

එක කිරුළක් පළඳින්නට බෑ ...

"එක කිරුළක් පළඳින්නට බෑ එකම සිහසුනේ ඉන්නට බෑ සුලෝචනා" මේ ගීතය රචනා කළේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් හා වැඩසටහන් නිෂ්පාදිකාවක් වූ රත්නා ලංකා අබේවික්‍රමයි. ඇයට මේ ගීතය ගැන අදහස පහළ වුනේ හරිම පුදුම විදිහකට.

"දවසක් මම වැඩ ඇරිලා ගෙදර යද්දී බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේ තිරගත වන චිත්‍රපටයක ප්‍රචාරක පුවරුවක් දැක්කා. ඒක දුහුළු මලක් චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුව. මේ ප්‍රචාරක පුවරුවේ රවීන්ද්‍ර රන්දෙණිය හා නීටා ප්‍රනාන්දු රූප තිබුණා. එම පුවරුවේ උඩට වෙන්න මෙහෙම ලියා තිබුණා. "එක රැජිනකට කිරුළු දෙකක්" යනුවෙන්.

මම මේ ගැන ටිකක් කල්පනා කළා. ඇත්තටම එක් ගැහැණියක් කිරුළු දෙකක් බලාපොරොත්තු වෙන්න ගියොත් සිදුවෙන්නේ මොකක්ද යන්න මම කල්පනා කළා. එහෙම වුනොත් එතැන සිදුවෙන්නේ මහ විනාශයක් නේද කියලත් මගේ කල්පනාවට ආවා. 

ඔහොම කල්පනා කර කර බස් එකේ මම ගමන් කරද්දී යළිත් මගේ මතකයට ආවේ අපේ සමාජය තුලත් මේ වගේ ගැටලු කොයිතරම් සිදුවෙනවාද කියලා. ඒ තුලින් ප්‍රශ්න ඇතිවන ආකාරයත් මට සිහිපත් වුනා. මේ සියල්ල අතුරින් රත්නාගේ හිතට ආවේ මේ වෙනුවෙන් අළුත් ගීතයක් ලියන්නයි. ඇය තුන්කොන් ප්‍රේමයකට මැදිවෙන ගැහැණියක්. ඇගේ ගීතයේ ප්‍රධාන චරිතය කර ගෙන පද කිහිපයක් මෙන්න මෙහෙම ලිව්වා.

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ 
සුලෝචනා අප දෙදෙනාටම 
එක රජදහනක රජ කරන්න බෑ

ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනාම මෙන්න මේ විදිහට හිතලා ගැහැණියකට එයින් ඉවත් වෙන්න පුළුවන් නම් කොයි තරම් දෙයක්ද? මම මෙන්න මේ පණිවිඩය දෙන්න හිතාගෙනයි මෙවැනි ගීතයක් ලිව්වේ" රත්නා කිව්වා.

තුන්කොන් ප්‍රේමයකට මැදි වුණාට හුඟක් වෙලාවට එක් ගැහැණියකගේ ජීවිතේ සුනුවිසුනු වී යනවා. මානසික කලකිරීම් හා තාඩන පීඩන රැසකට මුහුණ දීමට සිදුවෙනවා. මේ ගැටුම් මැද්දේ ඇය ගෙවන්නේ ඉතාමත්ම පීඩාකාරී ජීවිතයක්. බොහෝ විට සමාජය තුලින් පවා ඇයට එල්ලවෙන්නේ දැඩි දෝෂාරෝපණ. 

රත්නා කියන විදිහට කවදාවත් ගැහැණුන් දෙදෙනාටම කිරුළ හිමිවෙන්නෙ නෑ. එක සිහසුනේ ඉන්නත් බෑ. ඒ වෙනුවෙන් තරඟයට යායුතුත් නෑ. ඒ වගේම දුක නොහදුනන අයගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

රත්නා ලංකා අබේවික්‍රම ලියූ මේ ගීතය ගයනා කළේ විශාරද මහාචාර්ය අමරා රණතුංගයි. ඇයගේ අපූරු ගායනයත් ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ මිහිරි තනුවත් මේ ගීතය රසිකයා අතරට යන්න බෙහෙවින්ම බලපෑ බව රත්නා කියනවා.

එක කිරුළක් පලදින්නට බෑ
එකම සිහසුණේ ඉන්නට බෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක රජදහනක රජ කරන්න බෑ

මගේ කදුළ ඔබගේ දෙතොලේ
සුවද සිනා රැල්ලක් වේවා...
සුලෝචනා දුක නොහදුනනා ඔබ
මේ ගැන තව ලත විය යුතු නෑ

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරගයකට ඉඩ දිය යුතු නෑ
සුලොචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්න බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්...
සුලොචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්න බෑ...

ගායනය - අමරා රණතුංග 
පදරචනය - රත්නා ලංකා අබේවික්‍රම 
සංගීතය - දයාරත්න රණතුංග 

(උපුටා ගැනීම - සුමිත් ප්‍රියංකර නම්මුනිගේ)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...