Thursday, July 16, 2020

රත්තරන් මැණික් මුතු මොකටද ඒවා ...

ශ්‍රීමති තිලකරත්න ශිල්පිනියගේ ආදරණීය සැමියා වන ප්‍රවීණ වාද්‍ය ශිල්පී මහින්ද තිලකරත්න මේ ගීතය නිර්මාණය වු හැටි මෙසේ විස්තර කර ඇත. 

එවකට සිංගර් කර්මාන්ත ශාලාවේ වැඩකළ මගේ පඩිය ලෝන්වලට කැපෙනවා. ඉතින් පඩි දවසක ලැබුණු පඩියත් රැගෙන මම ගෙදර යන්න පිටත්වුනා. පසුව නුගේගොඩ පිහිටි නිතරම යන කල්බ් එකට ගියා. මම දැක්‌කා ප්‍රේමකීර්ති ද අල්විස්‌ මුල්ලක වාඩිවෙලා ඉන්නවා. ප්‍රේම් එතැනට එන්න කියලා අතින් සංඥවක්‌ දුන්නා. මම ගියා. මොකද බං මූණ වෙනස්‌ වෙලා. ප්‍රේම් ඇහුවා. අද පඩි දවස. ඒත් ශ්‍රීමතිට දෙන්න කිසිම දෙයක්‌ නෑ. මම කිව්වා. ඒ වෙලාවෙම එතැන මේසේ උඩ තිබුණ අත පිහදාන්න ගෙනාපු කොලයක්‌. ප්‍රේම් මොනවද ඒකේ ලිව්වා. “හිස්‌ අතින් යන්න එපා… ඉඳා මේක දිපං ශ්‍රීමතීට” ප්‍රේම් ඒ කොලේ මට දුන්නා.

රත්තරං මැණික්‌ මුතු මොකටද ඒවා
හිස්‌ අතින් සිනා සිසී පැමිණේවා

මේ සිංදුව ක්ෂණිකව ප්‍රේමකීර්ති විසින් රචනා කළේ එහෙමයි වික්‌ටර් රත්නායක තනුවත් සංගීතයක්‌ නිර්මාණය කළා. මහින්ද පැවැසුවේය. 

රත්තරන් මැණික් මුතු මොකටද ඒවා.
හිස් අතින් සිනා සිසී පැමිණේවා..

මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ..
මිණි මුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ

මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහස හඟවා
ඔබ පැමිණුනු පසු සිහිලෙන් හදවත පිනවා
මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ශ්‍රීමතී තිලකරත්න



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...