Thursday, July 16, 2020

හිතගාව දඟකලා ...

මේ ගීතය රචනා කළේ පසුගිය දා අප අතරින් සමුගත් ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය විසින්. මෙම ගීතය පිළිබඳව ඇය මෙසේ පවසා ඇත.

මේ ගීතය ලියන්න හේතු වුණු කාරණය බොහොම පුංචි කාරණයක් වුණත් එහි තුළ මහා ලොකු සුන්දරත්වයක් මම දැක්කා. 1980 දශකයේ දී තමයි මේ ගීතය මා අතින් ලියවුනේ. ඔය කාලයේදී මගේ ස්වාමිපුරුෂයාගේ මව රෝගී වෙලා හිටියා. ඉතින් මම ඉඩ ලැබුණු අවස්ථාවකදීම වගේ ඇයව බලන්න ගුවන් විදුලි සංස්ථාවේ ඉඳලා වැල්ලවත්තට යනවා. එතැන් සිට තවත් බස් රථයකට ගොඩවෙනවා වැල්ලවත්තේ ඉඳලා පාමංකඩ හරහා නාරහේන්පිටට යන එකක්. මේ බස් එක සෙනඟ එකතුවෙනතුරු වැල්ලවත්තේ නවත්වා තියෙනවා. ඉතින් ඔය බස් එකට ගොඩවුණු දවසක මම දැක්කා මට ඉදිරියෙන් හුඟක් ලස්සන ගෑණු ළමයෙක් ඉන්නවා.  

මේ ගෑණු ළමයා ජනේලය අයිනේ සීට් එකේ වාඩිවෙලා හිටියේ. ඒ මොහොතේ මම දැක්කා ඇය වරින්වර බොහොම හොරෙන් හොරෙන් හැරි හැරි කවුදෝ දිහා බලනවා. ඒ මොහොතේ මම දැක්කා ඇය ළඟම තියෙන බස් නැවතුම් පොලේ ඉන්න පිරිමි ළමයෙක් දිහා තමයි මේ විදිහට බලන්නේ කියලා. අර පිරිමි ළමයත් මෙයාගේ දිහාම බලාගෙන ඉන්නවා. කොහොම හරි ටික වෙලාවක් යද්දී බස් එක ගමන් ඇරඹුවා. මේ ගෑණු ළමයගේ ඇස් එහෙම පිටින්ම පිරිමි ළමයා ලඟයි. පිරිමි ළමයත් එහෙමයි. 

මේ විදිහට එකිනෙකා ඇස්වලින් බැඳිලා සිටියදි බස් එක ඉදිරියට ගමන් කළා. තවත් සුළු මොහොතයි ගත වුනේ. පිරිමි ළමයා එයා එක්ක හිටපු යාළුවන්ගෙන් මිදිලා දුවගෙන ඇවිත් බස් එකේ එල්ලුනා. ඉන්පස්සේ මම බස් එකෙන් බහිනතුරුම දැක්කා ඒ දෙන්නා ඇස් වලින් කතාකරනවා. ඒ වෙලාවේ මම පුංචි කොළ කෑල්ලක් අතට අරගෙන නෙතු ගාව හිනැහුණා පැතුමකට ඉඟිකළා කියලා පුංචියට ලියාගත්තේ ඒක ඇත්තටම මටත් අපූරු සිදුවීමක් වුණ හින්දා. 

ආදරය කරන දෙන්නා දිහා මම බැලුවේ බොහොම සුන්දර විදිහට. කෙසේ හෝ ඊට පසුවත් මම වතාවක් දෙවතාවක් මේ දෙන්නව දැක්කා. හැබැයි ඒ වෙද්දී දෙන්නා ආදරයෙන් බැඳිලා. ඉතින් මේ දෙන්නව දුටු  ඒ මොහොතේදීම මම ලියාගත්ත වාක්‍ය දෙක ගීතයක් බවට සම්පූර්ණ කරන්න සුදුසු පරිසරය සැකසුණා. මේ දෙන්නා පෙනුමෙන් හොදට ගැලපෙන යුවලක්. 

කුසුම් මේ ගීතය ඔය විදිහට ලිව්වා. ඒ කාලයේදීම වික්ටර් රත්නායකයන්ගේ සරල ගී වැඩසටහනක් ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කරන්න නියමිතව තිබුණා. ඒ මොහොතේ මම මේ ගීතය වික්ටර් රත්නායකයන්ට දෙන්න හිතුවා. ඇත්තටම ඔහුට තිබෙන ආදරණීය හඬට මේ ගීතය හොඳින් ගැලපේවී කියන විශ්වාසය මා තුළ තිබුණ හින්දා. 

වික්ටර් රත්නායක මහතා මේ ගීතය සරල ගී වැඩසටහනට තෝරා ගත්තා. ඒ සඳහා මට උදව් කළේ ගායිකා නෙරංජලා සරෝජිනී. ඒ වෙද්දී මම ඇයටත් ගීත කිහිපයක් රචනා කොට තිබුණා වගේම ඇයත් මගේ හොඳම යෙහෙළියක්. වික්ටර් රත්නායකයන් ඉතා අපූරු තනුවක් යොදා ගීතය ගායනා කළා. 

බොහෝ පෙම්වතුන් අදටත් මේ ගීතයට ඇලුම් කරනවා. රස විඳිනවා. ආදරය ඉදිරියේ ඒ හා මුසුවුණු කිසිදෙයක් පරණ නොවෙන හින්ද........ 

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා //

සන්සුන් වු කල්පනා
විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා
මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා
විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා
සුසුම් ආරාධනා

හිත ගාව දඟ කලා...

සිනිඳු මල් පෙති පුරා
බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා
ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා
නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා
සෙනෙහෙ ආරාධනා

හිත ගාව දඟ කලා... //

ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුසුම් පීරිස්

(සමන් ප්‍රියංකර නම්මුනිගේ)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...