Tuesday, September 29, 2020

උන්මාදිනී හැන්ගුනා...

උන්මාදිනී හැන්ගුනා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


මල්මී සුගන්ධේ නැලැවී වෙලී

මල් වැල් ගොතන්නී වෘන්දා වනේ...

නිල් විල් තලාවේ කිමිදී මිදී

කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


ගෝපීලියන් හා යමුනා තෙරේ...

අවුදින් මුලා වූ රාධා මගේ...

වස්සානයේ ආ මේ කුළුවලින්

සන්තාපයේ ලා පොද වෑහුනේ...

රන් මිණි මෙවුල් දම් බිඳිනා වෙලේ..

කෝ කොයිද රාධා උන්මාදිනී...


උන්මාදිනී හැංඟුණා...

අනුරාග දෑසින් බලා...

සොඳුරුයි සුපෙම් ලෝචනා....

නෑසෙයි නුඹේ ගායනා...

දෙනුවන් සෙවූ අංජනා...

රාධා මගේ අංගනා...


පදරචනය - නිලාර් එම්. කාසිම් 

ගායනය - භාතිය හා සන්තුෂ් 

සංගීතය - භාතිය සන්තුෂ් 


ජනප‍්‍රිය ගායකයින් වන භාතිය සහ සංතුෂ් වරක් සඳහන් කරලා තිබුණා ඔබේ ගී පද රචනා නිසා ඔවුන්ගේ ගීතවලට සාහිත්‍යමය අගයක් එකතු කරන්න හැකියාවක් ලැබුණා කියලා? 

නිලාර් එම්. කාසිම් මහතා අදහස් දක්වමින් "මම ගීත රචනා කලාවේ යම් කිසි කාල පරිච්ඡේදයක් ගත කරලා, ඒ කියන්නේ මගේ ගීත ගණනාවක් සහෘදයෝ වැළඳගෙන ඉන්න කාල වකවානුවේ තරුණයෝ දෙන්නෙක් ආවා මාව මුණගැහෙන්න. ඇවිල්ලා කිව්වා මගෙත් එක්ක කතා කරන්න ඕන කියලා. ඒ තරුණයෝ දෙන්නා තමයි භාතිය සහ සංතුෂ්. එතකොට එයාල ගේ ”තාරුණ්‍යයේ” මුල්ම ගී එකතුව නිකුත් වෙලා. මම ඒ වෙද්දී විචාරයක් ලියලා තිබුණා ඒ සංයුක්ත තැටියේ අඩංගු ගීත දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා. ඒවායේ සාහිත්‍යයක් නෑ, ගීතමය ලක්ෂණ නෙමෙයි තියෙන්නේ කියන කාරණා ගැන මම බරපතළ විවේචනයක් ඉදිරිපත් කළා. හැබැයි මේ තරුණයෝ දෙන්නා අතිශය දක්ෂතාවලින් පිරිපුන් අය; ඔවුන් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා තමයි මම ඒ විචාරය ඉවර කළේ. ඔවුන් එය කියවලා තිබුණා. පසුව ඔවුන් මාව හම්බවෙලා දීර්ඝ කතා බහක අවසානයේ කිව්වා ‘අයියේ ඔයා කියපු දේ අපිට තියෙනවා, අපිට හොඳ පද රචනා ලැබෙනවා නම් කැමතියි, අපි අයියත් එක්ක වැඩ කරන්න කැමතියි’ කියලා. එදා ඒගොල්ලෝ මට පූර්ව තනුවක් දීලා කිව්වා අයියේ මේකට සිංදුවක් ලියන්න පුළුවන්ද කියලා. මං කිව්වා ගීතය පිළිබඳ මගේ ස්ථාවරයක් තියෙනවා, ඒ තැන ඉඳන් මම ලියන්නම්, ඕගොල්ලන්ගේ මුලින් ගීත එකතුව තියෙන මට්ටමේ නෙමෙයි හැබැයි, ඔයාලා ඒ ස්ථාවරයට එන්න එකඟයි නං අපි වැඩ කරමු කියලා. ඔවුන් ඊට නිහතමානීව එකඟ වුණා. ඒ තනුව ඇහෙනකොට මට යම් යම් කර්ණාටක සහ ඒ සංගීතමය නාද රටාවල තියෙන යම් යම් ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇහුණා. ඉතිං භාරතීය සමාජීය අත්දැකීමක් මේකෙන් ප‍්‍රකාශ වුණොත් හොඳයි කියලා තමයි මම ‘උන්මාදිනි හැංගුනා’ ගීතය ලිව්වේ. 

රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ගැන එවකටත් බොහෝ ගීත තිබුණා නේද? 

ඔව්. රාධා ක‍්‍රිෂ්ණා පෙම් පුවත ආශ‍්‍රිතව ගීත ගණනාවක් ඒ වෙනකොට සිංහලෙන් ප‍්‍රකාශ වෙලා තිබුණා. හැබැයි ඒ බොහෝ ගීත රාධා විසින් ක‍්‍රිෂ්ණා ආමන්ත‍්‍රණය කරන ගීත. මේකේ තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ක‍්‍රිෂ්ණා රාධාට ආමන්ත‍්‍රණය කරනවා. ඒකෙදි මම ලියපු වචන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මෙතෙක් ගායනා කරපු භාෂාව නෙවෙයි. පැරණි සාහිත්‍ය තුළ එන යෙදුම් එක්ක තමයි ගීත ගෝවින්දයේ ආභාසයෙන් මේක ලිව්වේ. ගීතය ලිව්වට පසු එක වචනයක් පිළිබඳවත් ඒගොල්ලෝ කිසිම ප‍්‍රශ්නාර්ථයක් මතු කළේ නැහැ. ඉතාම කැමැත්තෙන් ගායනා කළා. ඒ ගීතය අතිශයින්ම ජන ප‍්‍රසාදයට පත්වුණා. ඒ වෙනකොට ඔවුන්ට ලොකු දෝෂාරෝපණයක් එල්ල වෙලා තිබුණා සිරි සඟ බෝධි මාළිගාවේදී කියන නූර්ති ගීතය රැුප් කරලා ගායනා කිරීම පිළිබඳ. හැබැයි මේ සියල්ලම යටපත් වෙලා මේ ගීතය එක්ක භාතියලා අලූත් පේ‍්‍රක්ෂක පිරිසක් දිනා ගත්තා. ගීතය ජනප‍්‍රිය වෙනවත් එක්කම දෝෂ දර්ශනයට ලක් වෙනවා වෙනුවට ඔවුන්ට ආශීර්වාද කරන්න පටන් ගත්තා. මේ ගීතයෙන් පස්සේ භාතිය සහ සංතුෂ් මාත් එක්ක බොහෝ නිර්මාණවලට එළඹෙනවා. චාන්දනී පායලා, කිරි කෝඩු හිතට, හිත නාඹර තාලෙට, යාල් පනමේ පිපිච්ච, දේදුන්න සේදී, මීදුම උතුරන, මීදුමෙන් වැසී, වලාකුල් වියන් තනාලා වැනි චිත‍්‍රපට ගීත සහ වෙනත් ගීත රාශියක් මාත් එක්ක කරන්න පටන් ගත්තා. ඒ තුළ ඔවුන්ගේ ගමන් මගට සාහිත්‍යමය වටිනාකමක් මගෙන් එකතු වුණා කියන එක ඔවුන් ඉතාම නිර්ලෝභීව සහ නිහතමානීව අදටත් ප‍්‍රකාශ කරනවා. මම පුද්ගලිකව සතුටු වෙනවා විශාල රසික පරම්පරාවක් ආමන්ත‍්‍රණය කරන්න පුළුවන් බලවේගයක් වෙච්ච භාතිය සහ සන්තුෂ්ගේ කට හඬට මගේ වචන වලින් සාහිත්‍යමය අගයක් ලබා දෙන්න හැකිවීම ගැන. උන්මාදිනි හැංගුනා ගීතයේ පටන් ඔවුන් සහ මා අතර එදා ඒ ඇතිවෙච්ච සබැඳියාව මේ දක්වා අතිශය සහෝදරාත්මකව සහ ලෙන්ගතුව පවතිනවා. අපි අදටත් එකට වැඩ කරනවා. නිර්මාණකරණයේ යෙදෙනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)









No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...