Wednesday, July 15, 2020

සීතල දිය පිරි සුනිල විලයි ..

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ “දෑස නිසා චිත්‍රපටය” තිරගත වන්නේ 1975 වර්ෂයේ ප්‍රදර්ශනය වූ අවසාන චිත්‍රපටය ලෙසය. චිත්‍රපටය සඳහා මහගමසේකර ගේය පද රචකයා විසින් රචනා කරන ලදැයි පැවසෙන ගීතය චිත්‍රපටයට ඇතුළු නොවන මුත් පසුව මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ සංකල්පනා සහිත ගීත ද්වයක් චිත්‍රපටයට ඇතුළත්ව තිබිණ. දෑස නිසා සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේය. චිත්‍රපටයෙන් නොඇසුණු ගී සංකල්පනාව සේකර අභාවයෙන් පසු ප්‍රකාශයට පත් වූ, මහගමසේකර නොපළ ගීත (1984) ගීත සංග්‍රහයට ඇතුළත් වේ. 

එකී ගීය ශ්‍රාවක රසික ජනයාගේ හුදී ජන පහන් සංවේගය උදෙසා, අපගේ කාලයේ ගායකයන් අතර, විශිෂ්ටතමයන් ගේ නාමාවලියෙහි උස් අසුනක සිටින සුනිල් එදිරිසිංහ 1984 දී ගායනා කරනු ඇසේ. රෝහණ වීරසිංහ ඊට තනුව හා සංගීත නිර්මාණය කළෝ වෙත්. සුනිලුත් මේ ගේය පද සංකල්පනාව තම ගීතාවලියට එක්කර ගන්නේ එක් අතකින් එහි රමණීය අර්ථ රසයෙන් යුත් වදන් මාලාව නිසා විය යුතුය. නොඑසේ නම්, ප්‍රබුද්ධ ගායකයකු විසින් ගායනාකොට ඇති ගීත සිය ගණනක් අතරෙහි මහගමසේකරගේ එක් ගී සංකල්පනාවක් හෝ ඇතුළත්ව තිබීම එකී ගායකයාට හෝ ගායිකාවට ගෞරවයක්, වරප්‍රසාදයක් හෝ දුලබ වාසනාවක් සේ සුනිල් එදිරිසිංහ සැලකූ හෝ ඔහුට හැඟුණු නිසා විය යුතුය. පළමුව ගුවන්විදුලියේ සරල ගීතයක් ලෙස පටිගත වූ මේ ගීතය, පසුව සින්ලංකා, කැසට් පටයකට ඇතුළත් විණ. සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන ලද සේකරගේ එකම ගේය පද සංකල්පනාව, මේ වන අතර සේකරගේ විශිෂ්ටතම ගේය පද සංකල්පනාවක් නොපළ ගී වැනි මුද්‍රිත කෘතියක සිරවන්නට ඉඩ නොදී, ශ්‍රාවක, රසික රසවින්දනයට එක්කර ගැනීම පිළිබඳ සුනිල් එදිරිසිංහ නම් වූ අපගේ කාලයේ ගායක සහෘදයාට මෙරට රසික ප්‍රජාවගෙන් පිරිනැමෙන භක්ත්‍යාදරය, සීමාන්තිකය. ඔහු විසින් ගායනා කොට ඇති ප්‍රේම ගීතාවලිය නම්වූ කිරුළෙහි දිදුලන මිණි කැටයක් බඳු මේ ගීතය ප්‍රේමයේ සුකුමාරත්වය, රමණීය බව, චමත්කාරය, සම්භෝගය ආදී මෙකී නොකී ගුණ පිරි අපගේ ප්‍රේම ගීත සාහිත්‍යයෙහි අන් කවර හෝ ප්‍රේම ගීතයකට නොදෙවෙනි, අපූර්ව පරිසමාප්ත ගීයක් වේ. ගීතයෙහි අරුත විසින් ඉල්ලා සිටිනු ලබන යෞවන ආදර ඇමතුමට සුනිල්ගේ හඬ සාධාරණය ඉටුකරන අතර, රෝහණගේ නාද මාලාව ගීතයේ ශ්‍රව්‍ය මාධූර්යය ඔපවත් කරයි.

“සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවා ලන
සුළං රැළක් වී
ඔබේ සිනා මට පවන් සලයි

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා

දෑසට නොපෙනෙන
ගන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන
මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව
සිය දහසක් මල්
මාවට කර හැම තැන පිපුණා...”

මේ නම් සුනිල් එදිරිසිංහ වැනි, අසූව දශකයේ තාරුණ්‍යයේ සිටි යෞවන ගායකයෙකුගේ හඬ පෞරුෂයම සිත්හි තබා, මහගමසේකර රචනා කළ ගීතයක් නො‍වේදැයි මසිත මගෙන්ම සිය දහස් වරක් ප්‍රශ්න කරනු දැනේ. සේකරගේ ගේය පද රචනා කලාවෙහි වුව, ප්‍රේමය පිළිබඳ සුන්දර වූත්, රමණීය වූත්, පරිණත වූත්, අත්දැකීමක් නොවේද ඉහත ගීතයෙන් අපගේ හදවතට සමීප කරනු ලබන්නේ. කථකයා ජීවිතය නම් කාන්තාරයේ සැරිසරන්නේ අන්ධකාරයේය. අරමුණකින් තොරව එහේ මෙහේ පාවී යන ජීවිතයකට ඈත සිතිජයෙන් උදාවන නිහඬ නෙතක් අත වනයි. අහසත් මුහුදත් යාවන සිතිජ ඉමෙන් උදාවෙන තාරකාවක් ද ඇගේ නිහඬ නෙත?... ජීවිත කතරේ අසරණ වී අන්ධකාරයේ සැරි සරන්නකුට, අපේක්ෂාවේ නෙතක් හමුවීම කෙතරම් අසිරිමත් සිදුවීමක් ද? ඔහුගේ ජීවිතය සීතල දියෙන් පිරුණු නිල්වන් විලයි. එමැද ඈ සුවඳ මලක් සේ පිපී, ගිමන නිවන සුළං රැළක් වී, ඇගේ සිනාවෙන් ඔහුට පවන් සලන්නීය. ආදරයේ, සම්භෝගී මොහොතක, තනි වී සිටි හදකට දැනෙන සංතුෂ්ටිය, උණුසුම, ප්‍රීතිය නොවේද සුවඳ මල, ගිමන් නිවන සුළං රැළ, ඇගේ සිනාව මගින් ධ්වනිත කරන්නේ? ගන නිල් අන්ධකාරයෙන්, ඔහුගේ දෑස වැසී ගිය මොහොතේ, ඈ ඔහු දෙස බලන්නී, හදවතිනි. එහිදී, දෑසට හසුනොවනා ඔහු හද පතුලේ රැඳුණු සුන්දරත්වය, ඇයගේ මනැසට හසුවීමෙන් අනතුරුවද ඔහු හද පත්ලෙහි සුන්දරත්වය ඈ දකින්නී? අපේක්ෂා බිඳ ජීවන කතරේ අතරමං වී මං මුලා වී සැරිසැරූ යෞවනයකුට ජීවිතාපේක්ෂා දල්වන්නට, ඔහුගේ ඇතුළු හද ගැබ සුන්දරත්වය ස්පර්ශ කොට සීතල දිය පිරි නිල්වන් විලක් මැද සුපිපුණු සුවඳ මලක් වී, ගිමන් නිවන පවන් පොදක් වන්නට ඈ ඔහු වෙත ළං වන චමත්කාරජනක වූ මොහොත, සේකරගේ උපමා රූපක තුළින් විසිතුරුව චිත්‍රණය වේ. ඈ ඔහුට පූජා කරන්නේ කුමක් ද? ඇගේ දෝතින් ඈ ඇගේ කුසුම ආදරයෙන් පුදන්නීය.

“ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව
සිය දහසක් මල්
මා වටකර හැම තැන පිපුණා”

ඇගේ හදවත විල මැද පිපි, සුවඳ කුසුම, දෝතින් ආදරයෙන් පුදනවා යයි පවසන්නේ, ආදරය සමඟ භක්තියකින් ද කියාත් සිතේ. ඒ කෙතරම් අසිරිමත් වූ මොහොතක් ද කියා ගේය පද රචක සේකර නිර්මාණයකරන චිත්ත රූපය දෙස බලන්න. ඈ ඔහුට දෝතින් ඈ හද විල පිපි කුසුම පුදන කල්හි ඔහු වටා සිය දහසක් මල් පිපේ. ඔහු හදවත ජීවිත කතරක් නොව, නිල් දියෙන් පිරුණු සුවඳ මලින් සැදුණු විලකි. එහි මල් දහසක් පිපී ඔහු වටා වූ අඳුර, හුදෙකලාව පලවා හරින බව හඟවයි. සේකරගේ මුල් කාලීන, ගේය පද සංකල්පනාවන්හි දක්නට නොලැබෙන චමත්කාරයක් දැනවීමට ඔහු විසින්, ජනකවියේ බස භාවිත කරනු වෙනුවට, අත්දැකීම වඩාත් කලාත්මකව විචිත්‍රවත් කිරීමට සමත්, ගීතවත් භාෂාවක් උපයෝගී කොටගෙන ඇත්තේ, චිත්‍රපටයේ චරිතය සිත්හි තබා මෙම ගීය රචනා කිරීම නිසාද කියා සිතේ. දෑස නිසා හි ප්‍රධාන චරිතය නිරුදක ගේ නොපෙනෙන දෑස හමුවේ ඔහුට ආදරය කරනු ලබන රූමත් යුවතියකගේ චරිතයක් චිත්‍රපට කතාවෙහි වේ. නිරුදකගේ ජීවිතයට ඈ සුවඳ මලක් වූවාය යන්න කීමට සේකරට ඕනෑ වීද කියා වරෙක සිතේ. සීතල දිය පිරි සුනිල විලයි, ඒ විල මැද ඔබ සුවඳ මලයි ගීතයෙන් වහනය වන ප්‍රේමයේ නැවුම් සුවඳ, අඳුරෙහි තනි වූ ඕනෑම යෞවනයකුගේ සිත ආලෝකවත් කරමින්, රැඳී සිටී. සුනිල් එදිරිසිංහම විනා අන් කවරකුට ද මේ ආදරය, යෞවන ප්‍රේමයේ චමත්කාරය හද තෙමනා, ළය සනහන සිහිල් දිය දහරකින් දැනවෙන සිසිල පිරි හඬකින් ගායනා කළ හැකිවේද? සුනිල් ගේ ගායනය පවනට ළං වන මොහොතක් පාසා අපි ඔහුගේ හඬට වශීවී සිටිමු. සේකර, සුනිල්, රෝහණ සහෘද ත්‍රිත්වයට අපි පෙම් බැඳ සිටිමු.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...