Saturday, August 29, 2020

මොකද මැණිකේ ...

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

කලයේ දිය නෑ - ළිපට දර නෑ

මඟ ඇති අම්මා බලා //

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ඔ‍හොම පිටු පා ඒ දවස්වල

කිසිම දුක දී නැහැ ග‍ියෙ 

ඔය නෝක්කඩු කියන බව

ඔබ දන්නවා මම නම් ප්‍රියේ


ඔ‍හොම පිටු පා ඒ දවස්වල

කිසිම දුක දී නැහැ ග‍ියෙ 

ඔය නෝක්කඩු කියන බව

ඔබ දන්නවා මම නම් ප්‍රියේ


මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ළඟදි ඉඳලා වෙනස් වීලා

මගේ මැණිකේ මා කෙරේ


සත්තකට නෑ ඇත්තමයි සුදා

ඒ වගේමයි ආදරේ

ළඟදි ඉඳලා වෙනස් වීලා

මගේ මැණිකේ මා කෙරේ

සත්තකට නෑ ඇත්තමයි සුදා

ඒ වගේමයි ආදරේ

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //


කලයේ දිය නෑ - ළිපට දර නෑ

මඟ ඇති අම්මා බලා //

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර / මාලා නන්දනී පෙරේරා 

සංගීතය - දේවානන්ද වෛද්‍යසේකර 

පදරචනය - කරුණාරත්න අබේසේකර 


මාතර පාරම්පරික රාජකීය වෙද පරපුරකින් පැවත ආ එරබද්දෙගොඩ දොන් පිලිප්පු වෛද්‍යසේකර ආයුර්වේද වෛදවරයා තම පස් වන පුතණුවන් බටහිර වෛද්‍යවරයකු කිරීමට සිහින මැව්වේය. එහෙත් පුතා කුඩා කල සිට ම සංගීතයට ආදරය කළේය. කෙදින හෝ සංගීතඥයකු වීමට ය; ඔහු සිහින මැව්වේ. ඔහු පසු කලෙක සිංහල සුභාවික ගීතයේ කුසලතා දැක් වූ විශිෂ්ට ගණයේ ගායකයෙක් විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ඔහු ගැයූ ගීත අතළොස්ස ද නොමැකෙන මං සලකුණු විය. ඔහු නමින් ඔහු දේවානන්ද වෛද්‍යසේකරය.

අදින් හරියට අවුරුදු 86 කට පෙර 1934 මාර්තු 23 වැනිදා මහනුවරදී උපත ලැබූ එරබද්දේගොඩගේ දොන් ධර්මසේන වෛද්‍යසේකරගේ මව වූයේ මහනුවර පල්ලියමුල්ලේ සීලවතී මැණිකේය.

“එකොළොස් දෙනෙකුගෙන් යුත් දරු පවුලක මම නම වෙනියා. අද ජීවත් වෙන්නේ නව දෙනයි. මට අයියලා තුන්දෙනෙකුයි, අක්කලා දෙදෙනෙකුයි, නංගිලා තුන් දෙනෙක් හිටියා. මෙයින් කලාවට සම්බන්ධ වුණේ එක අයියා කෙනෙක් විතරයි. එයා විමල් වෛද්‍යසේකර. “තරංගා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විමල් අයියා අද කැනඩ‍ාවේ පදිංචි වෙලා ඉන්නේ.” ඔහු අතීතයට යොමු වෙමින් කීවේය. මහනුවර පේරාදෙණියේ අමරවංශ මාවතේ නි‍ෙවසේ වෛද්‍යසේකරයෛා් නිතිපතා වෙදකම් කරමින් සතුටින් ජීවිතය ගත කරති.

මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ මූලික අධ්‍යාපනය ලබා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය ලැබූ ඔහු ඇලුම් කළේ පෙරදිග සංගීතයට ය. එහෙත් බටහිර සංගීතය මුල් තැනක් දුන් කිංස්වුඩ් විද්‍යාලයේ බටහිර සංගීතය නිසා ඔහු තනිවම සංගීතය ඉගෙනීමට උත්සාහ ගත්තේය. කුඩා කල සිටම දේවානන්ද හින්දි චිත්‍රපට ලෝලයෙක් විය.

“මහනුවර වෙම්බ්ලි සිනමාහලේ තිරගත වූ “බර්සාත්” චිත්‍රපටය නරඹලා කොයිතරම් එහි ගීතවලට අදාරය කළා ද කිව්වොත් ඒ චිත්‍රපටයේ ගීත එන වේලාවල් දන්න නිසා සිනමාහලේ දොර අසලට ගිහින් කන්දීගෙන ඉඳලා රසවිඳිනවා. මොකද? චිත්‍රපටය නැවත බලන්න සල්ලි නැති හින්දා. මම මහනුවර සිට කොළඹ ආවා වැඩිදුර ඉගෙන ගන්න පෙම්රොක් විද්‍යාලයට. එහිදී පන්ති සගයකු වූ මහනුවරම පසු කලෙක ගායකයකු ලෙස ප්‍රකට වූ ටියුඩර් කඳනආරච්චි මාව සංගීතය පැත්තට යොමු කළා.

මේ අතර මස්සිනා (ඊ.ඒ. ජයනෙත්ති ලොකු අක්කගේ සැමියා) මගේ සංගීතයට ඇති උනන්දුව දැක සංගීත සාජ්ජ බලන්න එක්කන් ගියා. දක්ෂ තබ්ලා වාදකයකු මගේ මස්සිනා රූපසිංහ මාස්ටර් ප්‍රවීණ තබ්ලා පොඩි අප්පුහාමි (ප්‍රවීණ ගායක මිල්ටන් පෙරේරාගේ පියා) ගෙන් මස්සිනා සංගීතය හදාරා තිබුණා. ඔහුගේ මඟ පෙන්වීම නිසා මට සංගීතඥ එම්.ජී. සුගතදාසයන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ මහතාගේ “සරසවි කලායතනයට” සම්බන්ධ වීම නිසා සිතාරය, වයලීනය, එස්රාජය, තබ්ලාව හා රාගධාර සංගීතය හැදෑරීමට අවස්ථාව ලැබුණා.” විමල් වෛද්‍යසේකර තම කලා ජීවිතයේ ආරම්භය ගැන සඳහන් කරමින් කීවේය.

තම මස්සිනාගේ මාර්ගයෙන් ගුවන් විදුලියේ සංගීත අංශයේ පී. ඩන්ස්ටන් ද සිල්වා හමුවී 1953 පණඩිත් රතන ජන්කර් පඬිතුමාගේ පරීක්ෂණය ඉදිරිපත් වූ පහළොස් හැවිරිදි එකම තරුණයා වෛද්‍යසේකරය. සී ශ්‍රේණියෙන් සමත් වෛද්‍යසේකරට “මාසික රැඟුම” ප්‍රසංගයේ ගීතයක් ගැයීමට අවස්ථාවක් ලැබිණ. එම ගීතය රචනා කර දුන්නේ සංගීතඥ එම්.ජී. සුගතදාසන්ය. මෙහි විශේෂය නම් මේ ගීතයේ තනුව නිර්මාණය කළේ මේ ළාබාල ගායක වෛද්‍යසේකරයන් වීමය. ඔහු ඉන්පසු ‘නව මිහිර’ , ‘රස දහර’ සංගීත වැඩසටහන්වලින් තම ප්‍රතිභාව විදහා පෑවේ ය.

“මගේ සරල ගී වැඩසටහනට මට අවශ්‍ය වුණා කරුණාරත්න අබේසේකරයන් ලවා ගීතයක් ලියවා ගන්න. දවසක් ගුවන් විදුලියේ කොරිඩෝව දි‍ගේ කරු ඇවිදගෙන එනවා. මට ඔහුට අත්පොළොසන් දී කතා කළා. ඔහු නැවතුනා. මම ඔහු වෙත ගියා.

“කරු, මගේ සරල ගී වැඩසටහනට ගීතයක් ලියලා දෙන්න.” මම කිව්වා. ඔහු මගේ අතින් අල්ලාගෙන 10 වැනි මැදිරියට එක්ක ගියා.

දේවානන්ද‍ගේ ගම කොහේද?” මහනුවර

එහෙනං ලස්සන මැණිකෙලා ඇති නේද?”

“මම හිනා වුණා. කරු මැදිරියේ තියෙන ලොකු පියානෝව උඩ තියාගෙන ගීතයක් ලිව්වා. “මේක යුග ගීතයක්”

කරු සිනාවෙමින් කඩදාසි මා අත තබා ගියා. මම මේ ගීතයට තනුවක් ගැන සිතමින් ඉන්න වේලාවක මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් එක් නුවර පීල්ලට ගියා නාන්න. රිදී ජල ධාරාවෙන් හිසට දැනෙන විට තනුව ඉබේම මැවුණා. මේ ගීතය මම ගැයුවේ මාලා නන්දනී පෙරේරා සමඟ. ඒ කාලේ ඇය ජනප්‍රිය ගායිකාවක්. ඇය හා විල්ප්‍රඩ් පෙරේරා “තනියම ඇයි මේ වනේ” ගීතයට මම ප්‍රිය කළා. මම හිතුවා මගේ ගීතයේ සහාය ගායිකාවට ඇය තෝරා ගන්න. ඇය මෑතක මිය ගියා. මේ ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. මගේ තනුවක්.”

(උපුටා ගැනීම - සිළුමිණ)







No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...