Monday, August 24, 2020

උතුරින් එන දුම්රියේ ...

උතුරින් එන දුම්රියෙ දේවී

කවුළුව ළඟට වෙලා

නොරවන් මට දේවී

නැත මා

කිසි වරදක් කරලා //

මාල තෝඩු තාලි සිලම්බු

අමනාපෙන් අහක

බලන්නේ//

ඔය නෝක්කඩු බැලුම් යටින්

සෙනෙහසදෝ හඬා වැටෙන්නේ

උතුරින් එන...

ගම හැරදා නුඹ ගියදා

කෝවිල් යන හිත

වැළපෙන්නේ//

අපි දෙවියන් සමගයි තව

ඉන්නේ

සිනා සිසී ඔබ බිමට බසින්නේ

උතුරින් එන...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

ගී පද - මහින්ද චන්ද්‍රසේකර

සංගීතය - ගුණදාස කපුගේ

මහින්ද චන්ද්‍රසේකර මහතා ඉපදිල තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඔයාමඩුව කියන ගමේ. එතුමගේ තරුණ කාලේ තමයි උතුරෙයි දකුණෙයි අතර කලබල ඇතිවුනේ. සිංහල දෙමල කලකෝලාහල නිසා. මේ නිසා එවකට හිටපු ජනාධිපතිතුමා වහාම නියෝග කරලා උතුරට දුම්රිය යැවීම නවත්තන්න. මේක හන්දා කෝච්චි ඇවිත් අනුරාධපුරේ ස්ටේෂන් එකේ නවත්තනවා, ආපහු කොලඹට යනවා. දැන් ඔහොම මාස ගාණක් යන කොට ටික ටික ආපහු ආරවුල් එහෙම අඩුවෙලා. ඉතින් ආයෙත් තහංචිය නැතිකරලා. යාල්දේවී ආයෙත් යාපනයට යන්න පටන් අරන්. දැන් ආපහු බඩු මුට්‍ටු සෙනග පුරවගෙන යාල්දේවී යාපනේ ඉඳන් කොලඹ එනවා. මෙහෙම කෝච්චිය එන වෙලාවක අපේ ගී පද රචකයත් අනුරාධපුර දුම්රිය නැවතුම් පලේ වේදිකාවට වෙලා ඉඳලා තියෙනවා. දැන් කාලෙකට කලින් ගහමරා ගත්තු හැමෝටම ඒ ඔක්කොම අමතක වෙලා. මිනිස්සුන්ගේ හැටි එහෙමයි. කාලෙකට පස්සේ නෑයො දැක්ක වගේ ඔක්කොම හිනාවේවී පදික වේදිකාවේ එහෙ මෙහෙ යනවා. මේ වෙලේ අපේ ගීත රචකයා මහින්ද චන්ද්‍රසේකරයන් අහම්බෙන් වගේ දැකලා තියනවා නවත්තලා තියෙන දුම්රියේ කවුලුවක් ලඟ වාඩිවෙලා ඉන්න බොහොම සුන්දර ද්‍රවිඩ තරුණියක්.

මහින්ද චන්ද්‍රසේකර මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් "මේ කාලේ අසූ තුනේ අවුරුද්ද අද ඊයේ වගේ නෙවෙයි. මටත් ඉතින් එච්චර වයස නැ. මේ තරුණිය බොහොම ලස්සනයි. කොන්ඩේ සමන් පිච්ච මල් ගහලා. කනට තිරුවංගල් දාල. මාලෙට මූකු ‍තෝඩු දාල" හිටියේ.

ඉතින් මේ ලස්සනට වශී වෙලා වුන් මහින්ද චන්ද්‍රසේකරයන් ඇය දිහා බලං ඉන්නකොට එකපාරම ඇය ඔහු දිහා බලලා. ඒත් දැකපු ගමන් මේ ගෑණු ළමයා රවලා අහක බලාගෙන. මේ වෙලේ මෙතන හිටපු චන්ද්‍රසේකරයන්ගෙ යාලුවා මේ ඔක්කොම සිදුවීම් පෙල දැකලා. ඉතින් එයා කියලා තියෙනවා. "ගණන් ගන්න එපා. කෙල්ලො ඔහොම තමයි" කොහොම උනත් මේ සිදුවීම පද රචකයට එක පාරට අමතක කරන්න බැරිවෙලා. එතුමට මේ කාන්තාවට කියන්න ඒ මොහොතේ ගොඩාක් දේවල් හිතට ඇවිල්ලා. පස්සේ තමයි මේ දේවල් මතක් වෙලා තියෙන්නේ. ඒත් ඔක්කොටම වෙලාව පරක්කු වැඩියි. මොකද ඒ වෙනකොට කෝච්චිය පිටත් වෙලා. 

ඒ සුන්දර දෙමල තරුණියට කියාගන්න ගොඩක් දේවල් තිබුනයි කියපු ටික වැඩිදුරටත් එතුමා විස්තර කරනවා මෙහෙම "එක්දහස් අටසිය දහ අටේ ඌවේ මහ කැ‍රැල්ල හොඳට පැරදුනා. කැප්පෙටිපොල ඇතුලු ප්‍රධානම කැරලි නායකයෝ මිහින්තලේ ඉන්න ඇති, අපේ මේ නායකයෝ ඔක්කොම ‍රැකවරණය ලබාගත්තේ මේ කැලැවල් වලට ඇවිල්ල. ඒ වෙලාවේ පිලිමතලාවේ නිලමෙගෙ කකුලේ තුවාලයක් හැදිලා පයින් යන්න බෑ. දෝලාවක තියලා උස්සගෙන යන්න ඕනේ. දැන් යන්නේ අනුරාධපුරේ මැදින්. මෙහෙම යනකොට එක තැනකදි එතුමා කෑ ගහලා කියනවා "ඔය දෝලාව බිම තියපන්. මේ දුවන්නේ බයේ කොයි වෙලේ සතුරන්ට අහුවෙයිද දන්නේ නැ." කියලා එතුමා දෝලාවෙන් බහිනවා. බැහැල එතුමා පයින් යනවා. මෙහෙම යන ගමන් එතුමා කියනවා "අපි සිංහලයො කවදාවත් මෙතනින් දෝලාවක, ඇතුන්, අසුන් පිට ගිහින් නැ." එහෙම යන්න එපැයි කියලා නීතිය දැම්මේ ක්‍රිස්තු පූර්ව එකසිය හැට එකේ දු‍ටුගැමුණු රජතුමා. ඇයි?..එතන තමයි එලාරගෙ සොහොන. ක්‍රිස්තු පූර්ව එකසිය හැට එකේ ඉඳලා ක්‍රිස්තු වර්ශ එක්දාස් අටසිය දහඅට දක්වා මේ නීතිය ආරක්ෂා කරපු, ඒ මැරිච්ච සතුරට ගරු කරපු, අපි හොඳ මිනිස්සු නෙවෙයිද? අපට රවන්න වටිනවද?"

මේ කතන්දරේ එතුමට කියන්න ඕනිවෙලා තිබිලා. ඒත් මේ කියාගන්න බැරිඋන ඔක්කොම මෙතුමා එදා රාත්‍රියේම ගී පද පෙලකට පෙරලනවා උතුරින් එන දුම්රියේ දේවී කවුලුව ලඟට වෙලා. නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා. 

මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසක තියනවා ගම හැරදා නුඹ ගියදා. කෝවිල් යන හිත වැලපෙන්නේ කියලා ආරම්භයක්. මේ පද ටිකට නම් මේ සිදුවීම කිසිම සම්බන්දයක් නැ. ගීතයේ අලංකාරය තවත් වචනෙන් විස්තර කරන්න එකතු කර ගත්තු යෙදුමක් තමයි ඒක. කොහොම හරි මේ ගීතයේ නාද මාලවත් දුම්රියක හඬ ඉස්මතු කරනවා. මේ ඔක්කොමත් එක්ක කරුණාරත්න දිවුල්ගනේ ගායකයාණන්ගේ ගී හඬට එකතු වෙලා අවසානයේ සාර්ථක ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා.

(උපුටා ගැනීම - රජීගේ සන්නස)






No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...