Friday, September 11, 2020

ඈත එපිට ගම්මානෙන් ...

ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ ...//


මලානිකව හඳ එලිය ගලා එන

අම්බලමක හෙව‍ණේ...//

බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර

දැල්වෙන එළිය බඳේ


ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


වේදනාව නෙතු අගට ගලාලා

ඉකිලන නිහඬ රැයේ ...//

නීල නුවන් තරු කැට බොඳ වෙනවා

කාටත් හොර රහසේ


ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - සුනිල් සරත් ‍පෙ‍රේරා

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

ඈත එපිට ගම්මානෙන් මතුවන ගීතය ලියන්න පසුබිම පිළිබඳව සුනිල් සරත් පෙරේරා මහතා අදහස් දක්වමින්. 

මෙය සනත් නන්දසිරි මහත්මයාගේ තනුවක්. ගයන්නෙත් එතුමා. මේකේ එක යෙදුමකින් හුඟක් දේ හඟවන්න පුළුවන්. වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ. කඳුළ හංගනවා. අර්ථ සංකෝචනය කියන එක මෙහි මැනැවින් පෙන්නුම් කෙරෙනවා. අර්ථය හුඟක් හකුළුවා දක්වන්න පුළුවන් භාෂා උපක‍්‍රමයක් එතන මං පාවිච්චි කරන්නේ. අර්ථ සංකෝචන විධි ක‍්‍රමයක්. එක යෙදුමෙන් හුඟක් දේ හඟවන්න පුළුවන්. 

ඉතිං හතර කෝරලේ රඹුක්කන කඳුකර ගම්මාන වල ගියාම විශේෂයෙන් මගේ බිරිඳගේ නිවහන තිබුණේ හතර කෝරලයට අයිති රඹුක්කන කඳුකර ගම්මානයක. ඉතිං එහේ හැන්දෑවක මං ගිය වෙලාවක එහේ ඇය ඉන්දෙද්දී මං ආවා කොළඹ එන්න. සති අන්තයේ එන්න හිතාගෙන” සතියේ මුල. එනකොට රාත‍්‍රී දුම්රියෙන් ආවේ. රඹුක්කන ඉඳලා එනකොට ඉස්සර ඈත කුප්පි ලාම්පු එලි දැල්වෙනවා. අනිත් එක හතර කෝරලේ ගම්බද හැන්දෑව හරි සුන්දරයි. ඈතින් ඒ කඳුකර ගමේ දෝංකාර නැගෙනවා ගැටබෙර හඬ. ඔය දෑලේ සමහර තරුණයෙක් වාදනය කරන බට ලී හඬ මට ඇහිලා තියෙනවා. ඉතිං මේවා ඔක්කොම සම්මිශ‍්‍රණය වෙලා හිතේ තිබිච්ච සංකල්ප රූප තමයි මට මතුවුණේ. එහෙ ඉඳන් එනකොට මට හුදකලා බවක් දැනුනා. මං හිතන්නේ වියෝවක් වගේ දෙයක් දැනුනා බිරිඳගෙන් වෙන්වෙලා එනකොට. කෝච්චියේ එනකොට රඹුක්කනටත් පොල්ගහවෙලටත් අතරේ දකින්න පුළුවන් ඒ කාලේ කුප්පි ලාම්පු එළි දැල්වෙනවා. හුදකලා ගෙවල්වල, පැල්පත්වල. ඒවත් මගේ හිතේ බලපෑවා. ඒවා ආශ‍්‍රයෙන් තමයි මේක ලිව්වේ. මූලික වින්දන මූලය වුණේ අර කඳුකර ගමක තියෙන සැන්දෑ පරිසරයයි. ඒ එක්කම මා ලබපු බිරිඳගෙන් ඈත්වෙලා එනකොට ගමේ ලබපු ඒ අත්දැකීමයි.

(උපුටා ගැනීම - දිවයින)





No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...