Monday, February 22, 2021

වෙරළු ගෙඩිය ...

වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන

කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන

උන් අපි එදා සත් කුළු පව් විලාසෙන

පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන


පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන

හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //

මහගෙයි බිමට තනි උරුමය කියාගෙන

සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන


වෙරළු ගෙඩිය...


තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති

ලන්දක කකා ලන්දක කල් යල් හරිති //

එක මිහි සයන කාටත් නිදි සුවය දෙති

බිම් පංගුවට ලොල් වී මළගම් නොයති


වෙරළු ගෙඩිය...


ගායනය - සුනිල් එදිරිසිංහ 

පද රචනය: වසන්ත කුමාර කොබවක

සංගීතය: වික්ටර් රත්නායක


මෙම ගීතය රචනා කළේ සුභාවිත ගී රැසක නිමැවුම් ශිල්පියකු වන සම්මානනීය පද රචක වසන්ත කුමාර කොබවකය.


“වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන

කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන...”


වසන්ත කියූ ගීතයේ පසුබිම් කතාව අපූරුය!


“මේ කතාව බොහොම දිගයි. මගේ පවුලේ ඉන්නේ මමයි අක්කයි. අම්මා ගුරුවරියක්, තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. අපේ නිවෙස තිබුණේ ලොකු වත්තක. තේ ගස් තිබුණට ඒක ගන කැලෑවක්. අම්මා අක්කා ලැබෙන්න කාසල් රෝහලේ නතර වෙලා ඉන්නකොට තාත්තා හැමදාම යනවාලු අම්මාව බලන්න. ඒ ගිහිල්ලා එන්නේ රෑ වෙලාලු. දවසක් එහෙම ගිහින් එනකොට තාත්තාට ඇහෙනවාලු වත්ත කෙළවරකින් පොඩි දරුවෙක් අඬන හඬ.


හොයල බලන කොට ඒ රෑ අසල්වැසි යුවළක් කුඩා දරුවෙක් සමඟ යාන්තම් පැලක් අටවගෙන ඉන්නවාලු. ඒ හිතුවක්කාරකමට විවාහ වුණ අසල්වැසි නිවෙසක ගැහැනු කෙනෙක්. ගමේ අය කියලා ඉඩම ලොකු නිසා වෙද මහත්තයා ඉඩම් කෑල්ලක් දෙයි, එහෙන් ඉන්න, කියලා. අපේ ඉඩම අද්දර දොළෙන් එහා පැත්ත කෑල්ල පහුකාලීනව ඒ අයට ලියලා දුන්නා. ඒත් ඒ මනුස්සයා අපේ ඉඩමෙන් තව තව අල්ලගන්න හැදුවා. මේ පවුලේ දරුවෝ නවදෙනෙක්. එක දරුවෙක් මගේ වයසේ. ඔහු මා සමඟ යාළු වුණා. ඒත් ඔහුගේ පියා මගේ පියා එක්ක තරහයි; රණ්ඩු කරනවා; මගේ තාත්තට බනිනවා. මේ මනුස්සයා ගහකින් වැටිලා කකුල කැඩුණාම ඒක හොඳ කළෙත් අපේ තාත්තා. ඒත් ඔහු නැවතත් තාත්තට බනිනවා. ඒත් උදේට මේ අය වේවැල් කපන්න කැලේට යනකොට මාව ඉස්සරහට හමු වෙලා තමයි යන්නේ. “මහත්තයා හමු වෙලා ගියාම අපට සරුයි...” ඔහු කිවුවේ එහෙමයි. එත් ඔහු මගේ තාත්තා එක්ක තරහයි. “මට වෙදමහත්තයා දැක්කාම තරහව ඉවසන්න බෑ.” ඉන්න හිටින්න තැනක් නොතිබුණු ඔහුටයි දරුවන්ටයි ඉඩම් කෑල්ලක් ලියලා දුන්න තාත්තා ගැන ඔහු කිව්වේ එහෙමයි. මේ අදහස මගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා.


පහුකාලීනව මම කොළඹ විශ්වවිද්‍යාලයට ආවා. ඒ කාලේ මම මාලනී බුලත්සිංහල හඳුනනවා. සින්දු ලියලා ඇයට යවනවා. දවසක් මම මාලනී අක්කා හමු වෙන්න ඇය ඒ දවස්වල සිටි නිවෙසට ගියා. ඈ කිවුව පාර දිගේ මඟ සලකුණු ඔස්සේ ගියේ. මඟ දිගට අහපු අහපු හැමෝම යන විදිහ කිව්වා. අන්තිමට ආව නිවෙස ගාවින් ඇහුවාම කිව්වා එහෙම කෙනෙක් ගැන දන්නේ නෑ කියලා. මම ඒ නිවෙසට එහායින් තිබුණු නිවෙසින් ඇහුවා. එතකොට මාලනී අක්කාගේ අම්මා ඇවිල්ලා කිව්වා ඒ ගෙදර කියලා.


මම මේ විස්තරය මාලනී අක්කාට කිව්වාම ඇය කිව්වා ඒ නෑයෝ වැට මායිම් ප්‍රශ්නයකට තරහයි කියලා. මේ අදහසත් ටික කාලයක් මගේ හිතේ තිබුණා. පුංචි කාලේ කොයි තරම් එකමුතුව හිටියත් වයසින් වැඩෙන කොට එකම පවුලේ සහෝදරයෝ අතරේ වුණත් ප්‍රශ්න ඇති වෙනවා. මේ හැමදේම ගැන හිතිලා තමයි පද පෙළ ලියවුණේ. මම එක්වර ගීතයක් ලියා නිම කරන්නේ නෑ. 1979 වසරේ තමයි ගීතය ලියැවුණේ. 1980 තමයි ගීතය පටිගත කෙරුණේ. සුනිල් එදිරිසිංහ මහත්මයා අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රසංගවලට එනවා. මම මේ ගීතය ඔහුට ලියා යැව්වා. වික්ටර් රත්තනායකයන් බොහෝම කැමැත්තෙන් මේ පදපෙළට අපූරු තනුවක් නිර්මාණය කර තිබුණා. අද වගේ පද රචකයෝ පද පෙළක් ලියාගෙන එය ගීතයක් බවට පත් කරගන්න දුක් විඳින්න අවශ්‍ය නෑ. ඒ කාලේ ගුවන්විදුලියේ අලුත් ගීත බිහි කළා. සුනිල් එදිරිසිංහයන් විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක්. ඔවුන්ට ගුවන් විදුලියෙන් සරල ගී ගායනා වැඩසටහන් වෙන් කර තිබුණා.


මේ වැඩසටහන් වලට අලුත් ගී ගැයුණා. මගේ මේ ගීතයට ඉඩක් ලැබුණේ ඒ විදිහට. ඒ වගේම තමයි අපේ පැරණි කතාවක් තමයි වෙරළු ගෙඩිය හරි හතකට කපලා මවුපියන්ටත් කොටස් වෙන් කෙරුවා කියන එක. ඒත් මට හිතුණා යමක් කොටස් හතකට සමානව කපන්න බැහැ කියලා. අපට යමක් කොටස් අටකට නම් සමානව කපන්න පුළුවන්. ඒ නිසා මම එය කොටස් අට කියලා වෙනස් කෙරුවා.”


වසර ගණනාවකට පෙර ලියවුණ ගීතය ගැන වසන්ත කුමාර කොබවක පවසන්නේ එසේය.


(උපුටා ගැනීම - ඉනෝකා සමරවික්‍රම/සිළුමිණ)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...