Thursday, July 9, 2020

ළා සඳ එළියේ නා පෙති හැලිලා ...

ළා සඳ එළියේ නා පෙති හැලිලා 
නා මල් සුවඳයි විහිදෙන්නේ 
මා දිවි රැය සුවඳින් මල් පුබුදා 
සඳදිය ඉල්ලයි හිමි සඳුනේ..

මවත් ඔබයි මගේ පියත් ඔබයි මගේ 
පිළිසරණත් ඔබමය වන්නේ 
අද සිට මගේ ඉටු දෙවියන් ඔබ වේ 
ඔබගෙනි සැප දුක විමසන්නේ..

නා පෙති සිඹලා තරු එළි නිවලා 
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම් 
පළමු වතාවට හිමි සඳුනේ..
ඔබේ දෙපා මත හිස රඳවන්නම් 
ම්..හ්.. හ්.. ම්.. හ්.. ම්..

මේ ගීතය දයා ද අල්විස් මහත්මියගෙන්, නිරංජලා සරෝජිනි මහත්මියගේ විවාහය සඳහා "මංගල තෑග්ග" ලෙස රචනා කර දුන් ගීතයක්. නිරංජලා සරෝජිනී "මෙනෙවිය", අබේවර්ධන බාලසූරිය මහතා සමග විවාහ වෙන්නට සති දෙකකට පෙර සරල ගී වැඩසටහනක් නියමිතව තිබුණා. ඒ සඳහා ගීතයක් නිර්මාණය කර දෙන මෙන් ඇය දයා ද අල්විස් මහත්මියගෙන් ඉල්ලා සිටියා. තව සති 2 කින් විවාහ වෙන්නට නියමිත තම ළබැඳි මිතුරියට, විවාහ වූ දින මධුසමය ගත කරන රාත්‍රියේ දී මනාලියගේ සිතේ ඇති සතුට සහ තම ළයාදර සැමියා වෙනුවෙන් පුදන සෙනෙහස දැක්වෙන ආකාරයට එතුමිය පද මාලාව සකස් කර දුන්නා.

මේ ගීතය ප්‍රචාරය වූ පසු එක්තරා පුද්ගලයෙක් දයා ද අල්විස් මහත්මියගෙන් අසා තිබෙනවා "ඔබේ දෙපා මත හිස රඳවන්නම් පළමු වතාවට හිමි සඳුනේ" කියලා තියෙන කොටසේ හැටියට දැන් කාලේ ඔහොම ගෑණු ඉන්නවා ද කියා!!! මොකද "පළමු වතාවට" කියන වචන දෙක නිසයි එහෙම අහලා තියෙන්නේ.

ගායනය - නිරංජලා සරෝජිනී
පදරචනය - දයා ද අල්විස් 
සංගීතය - එච්.එම්. ජයවර්ධන 

යොවුන් වියට පත් වුනාට පසුව යුවතියකගේ ජීවිතයේ එන ඊලඟ විශේෂ අවස්ථාව තමයි විවාහ ජීවිතයට ඇතුලත්වීම. එලෙස විවාපත් වී, මධු සමය ගත කරන යුවතියකගේ සිතුවිලි, තම හිමියන්ට කරන ආමන්ත්‍රණයක ස්වරූපයෙන් කියවෙන ගීතයක් රචනා කර තියෙනවා ප්‍රවීණ ගීත රචිකා දයා ද අල්විස් මහත්මිය. මේ අතිශය සුන්දර අවස්ථාව සහ සිතුවිලි, එයටම සරිලන අතිශය සුන්දර පදමාලාවකින් චිත්‍රණය කරන්නට දයා ද අල්විස් මහත්මිය සමත් වෙලා තියෙනවා. එච් එම ජයවර්ධනයන් සංගීතවත් කල නිරංජලා සරෝජිනී මහත්මිය ගායනා කරන ලා සඳ එළියේ නම් ගීතයයි ඒ.

ඇය මේ ගීතයේ යොදාගෙන ඇති රූපක ඉතාම විශිෂ්ඨයි:

"මා දිවි රැය සුවඳින් මල් පුබුදාසඳ දිය ඉල්ලයි හිමි සඳුනේ"
"නා පෙති සිඹලා තරු එලි නිවලා සඳවත සැතපෙයි මල් යහනේ"

මේ මාතෘකාව ගැන කියන්නට මීට වඩා සුදුසු පද තවත් ඇත්ද කියන එක සැකයි.

එච් එම් ජයවර්ධනයන්ගේ සංගීතයත්, ගීතය අවසානයේ එන වදන් නොමැතිව කරන ගායනයත් ගීතයේ අදහසට ඉතාම හොඳින් ගැලපෙනවා.

මේ ගීතයේ අනෙක් පැතිකඩ තමයි පරිසරය සහ සොබා දහම සමග ඇති සම්බන්ධතාවය. දයා ද අල්විස් මහත්මිය මේ ගැන වරෙක පුවත් පතකට කියා තිබුණේ මෙහෙමයි.

"මගේ ගීත සාහිත්‍යය පුරාම දිවයන්නේ මා හා පරිසරය අතර තියෙන සබඳතාවයි. පරිසරයයි මගේ ජීවිතයයි කියන්නේ එකක් මිස දෙකක් නෙවේ. කුඩා කාලේ මම චිත්‍ර අඳින්න බොහෝම දක්ෂයි. මං ඇඳපු හැම චිත්‍රයකම වගේ තිබුණේ ගහ, කොළ, ඉර, හඳ වගේ සොබාදහම සම්බන්ධ වස්තූන්. එයින් මිදෙන්න මට අද බැහැ. ඒ නිසා මගේ ගීත බොහොමයක පාරිසරික විචිත්‍රත්වය සැඟවිලා තියෙනවා. සොබාදහම ඇසුරෙහි යම් නිර්මාණයක් කරනකොට එය මගේ හදවතට දැනෙනවා වැඩියි.

නූතන තරුණියකට මෙවැනි මධුසමයක වලංගුභාවය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැ‍ඟෙන්නේ ද එහෙයිනි. ගැහැනිය, පිරිමියාගේ පාද නමස්කාර කළ යුතු ද යන්න මෙකළ බොහෝ විට නැ‍ඟෙන ප්‍රශ්නයකි. මේ සියලූ ප්‍රශ්නවලට සරිලන එක ම උත්තරයක් සොයා සපයා ගැනීම පහසු නැත. කෙසේ වුව ද ඒ කාලේ තරුණියන් මේ කාලේ තරුණියන් තරමට ම දේවල් දැන ගෙන සිටියේ නැත. විද්‍යාවේ, තාක්ෂණයේ මහිමයෙන් බොහෝ දේ නිරාවරණය වෙමින් පවතින මෙකළ ස්ත්‍රී-පුරුෂ භාවයට, විවාහයට, මෙන් ම ප්‍රේමයට ද සැපයී ඇති නව අර්ථකථන බොහෝ ය.

අද වන විට පේ‍්‍රමය හෝ විවාහය හිමිකරගෙන ඇත්තේ එදාට වඩා වෙනස් වටිනාකම් ය. එහෙත් ජීවිතය සුන්දර වන්නේ, සිත පිනායන්නේ ලෝකයේ අභිරහස්, අභිරහස් ලෙසින් ම පැවතුණ විට දී යැයි අදහසක් පළකර ඇත්තේ ඉන්දියානු චින්තකයකු වූ භගවාන් ශ්‍රී රජ්නිශ් හෙවත් ඕෂෝ ය. කෙසේ වුව ද ඒ යුගයේ යුවතියකට මධුසමය, මධුසමයක් ම වූ බව නම් නිබොරු ය.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...