Thursday, July 9, 2020

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ...

"චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ"

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ඉගෙනගත්තේ ගාල්ල පැත්තේ ඉස්කෝලෙක. තමන්ගේ ගමේ ඉඳන්, ඉස්කෝලෙට සැතපුම් විස්සක විතර දුරක් තිබුණා. උදේ හවා හැමදාම මේ දුර ගාටන එක අමාරු නිසා, මේ කොලු ගැටයා ඉස්කෝලේ බෝඩිමේ නතරවෙලා තමයි ඉගෙනීම් කටයුතු කළේ.

හැම සති අන්තෙම ගෙදර යන ඔහු, වැස්සෙන් බේරෙන්න වගේම, ගිමන නිවාගන්න පාවිච්චි කළේ ඒ ගමන අතරමග තිබුණු වඩු මඩුවක්. මේ වඩුමඩුවේ වඩු රාළත්, ඔහුගේ තරුණ දියණියත් ජීවත්වුණේ එයටම ඈඳා හදපු පුංචි නිවසක. මේ වඩු රාළ, ගැටවර වියේ හිටි රත්න ශ්‍රී එක්කත් හරි හිතවත්. තමන්ගේ බිරිඳ මියගිය හැටිත්, ඉන්පස්සේ එකම දියණිය අමාරුවෙන් හදා වඩා ගත්ත හැටිත් ඔහු රත්න ශ්‍රී එක්ක විටින් විට පැවසුවා.

දවසක්දා මේ විදියට වඩු මඩුවට ගොඩවුණු ඔහුට දැකගන්න ලැබුණේ ඒ වඩු රාළ බොහොම දුකින් ඉන්න විදියයි. තරුණ රත්න ශ්‍රී මේ ගැන ඔහුගෙන් ඇහුවේ කුතුහලයෙන් යුතුවයි. බැලින්නම් වඩු රාළගේ තරුණ දියණිය, සිදාදියේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. මේ ගැන කියද්දී ඔහුගේ දෑසින් කඳුළු වැටෙන හැටි, යොවුන් තරුණයෙක් වුණු රත්න ශ්‍රීගේ මතකයේ තැන්පත් වුණේ, හරි අපූරු විදියට. මේ සිද්ධිය වසර ගණනාවක් ඔහුගේ හිතේ තියෙනවා,

පසුව ඔහුට කියවීමට ලැබෙනවා රුසියානු සාහිත්‍යයයේ දැවැන්තයකු වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ තානායම්කරු කියන කෙටිකතාව,තානායමක් කරන මහලු පියෙකු දොන්යා නම් දියනියක් රැකබලාගන්නවා නගරෙන් ආ සිටුවරයකු  සමග දියනිය පලායනවා  පියා දියනිය සොයා යනවා නමුත් දියනිය පෙන්වන්නෙවත් නැහැ සිටුවරයා සල්ලි මිටියක් විසිකරනවා පියා දෙසට සල්ලි පාගා දැමූ පියා මෙහෙම හිතනවා "නගරයෙන් එන ජේත්තුකාර තරුණයන්ට රැවටිලා පැනලායන ඉතිහාසෙ එකම කෙල්ල දොන්‍යා වෙන්න බෑ,ඉදිරියටත් එහෙමවෙයි,හැබැයි ඔව්න් අද හොදට සේද අදිනවා හෙට පාර අතුගානවා" මේ කතා දෙකම පදනම් කරගෙන ඔහු අතින් ගීතයකට පෙරලෙනවා.

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඬ හා රෝහන වීරසිංහගේ සංගීතය ඒකට එකතු වෙද්දී, දියණිය අහිමි වුණු පියෙකුගේ සිතිවිලි අතරට අපටත් යන්න අවස්ථාව ලැබෙනවා.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

 මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...