Thursday, July 9, 2020

සිප එන සමනල මුදුනින් ...

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම නිදහස ලැබු දිනය වන ජන රජ දිනය මැයි මස 22 වනදාට යෙදී තිබේ.
 
1972 වසර් මැයි මස 22 වනදා සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත්  අතර එමඟින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සෛවරීය රාජ්‍යයක් බවට පත්විය.

එදින දහවල් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන් අතර ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්විම පැවැත්විම, රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භ විම අද වැනි දිනක සිදුවිය. එනයින්ම ජනරජ ලාංජනයත් , ඊට ධර්ම චක්‍රයත් – ඉරත් – හඳත් – පුන්කලසත් – පළාපෙති මධ්‍යයේ අසිපත අරා සිටින සිංහ රුවත් එක්වන්නේ මේ දිනා ගත් සැබෑ නිදහස නිසාය. ඒ පමණක් නොව ජාතික ධජයේ රතු පැහැ කොටසේ සිවු කොණට බෝපත් හතරක් එකතුවන්නේ ද 1972 මැයි 22 වනදා ලද ජාතික ජයග්‍රහණය හේතුවෙනි . ඒ පමණක් නොව queens house ජනාධිපති මන්දිරය වූයේ ද මෙදින පටන්ය.

මෙම ජනරජ දිනය සනිටුහන් කරමින් කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් විසින් රචිත ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගයන මෙම අපූර්ව ගීතය ඔබ මීට ප්‍රථම අසා ඇති බවට විශ්වාස කරමි.

මෙම ගීතය ගායනා කරන ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ  ගායන ශිල්පී සංගීතඥ ආචාර්ය වික්‍ටර් රත්නායකයන්ගේ වකුගඩු තුළ සිදුකළ ශල්‍ය කර්මයකින් පසුව ඔහු තරමක් සුව අතට පත්වෙමින් සිටියත්, ශල්‍ය කර්මයේ සංකූලතා මත නැවත ඇති වූ ශ්වසන ආබාධයක් හේතුවෙන් මේ වන විට යළිත් ඔහු දැඩි සත්කාරයට ඇතුළත් කර ඇත. ඉතා ඉක්මණින් වික්ටර් රත්නායකයන් යළි යථා තත්ත්වයට පත්වී ඔහුට ඉක්මන් සුව සැලසේවායි පතමු. ඒ සමඟම මෙවැනි විශිෂ්ඨ ගීතය පදරචනය කළ නැසීගිය කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්ට නිවන් සුව පතමු. 

සිප එන සමනල මුදුනින්
සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින්
ලංකා.. රන් තඹර කැකුළ
විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී...

භූ පාලන නව රැල්ලේ
එක ධජයක සෙවණැල්ලේ
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...