Thursday, July 9, 2020

ජය සිරිමා හාමුදුරුවනේ ...

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු අපේ ජාතියේ මුදුන් මල්කඩය. සිද්ධාර්ථ බෝධිසත්වයන් බුදු බව පසක් කරගනු වස්, සෙවන පැතූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද ඉන්දියාවේද වැඩ නොවසති. එතැන වැඩවසන්සේ පසුව පැන නැගුණු බෝධියකි. එහෙත් එම මුල් බෝධියෙන්ම මතුවූ අංකුරයක් වන අපේ ශ්‍රී මහා බෝධිය වර්තමානයේදී ලොව පවතින පැරැුණිම වෘක්ෂය බවටද පත්ව තිබේ. ඉතින් මේ සිරිමා බෝධිය පිළිබඳව බොදු ගීත රචකයන් අතින් ලියැවුණු. ගායකයන්ගේ ගායිකාවන්ගේ මුවින් ගැයුණු ගීත ගණනික් රාශියකි.

ඒ අතරින් දීපිකා ප‍්‍රියදර්ශනී ගයන ජය සිරිමා හාමුදුරුවනේ ගීතය සුවිශේෂීය.

මෙම ගීතයට පද එක් කළ මහින්ද චන්ද්‍රසේකර ගීත රචකයා අනුරාධපුරයේම නැතිනම් නුවර කලාවියේම වාසයකරන්නෙකි.
ඉතින් අපි මහින්දට සවන් දෙමු.

‘‘මගේ ගම මැදවච්චිය. මේ නිසා පුංචි දවස්වල ඉඳලාම ජය ශ්‍රී මහා බෝධියට අප නිතර නිතරම වගේ එනව යනවා. හිටපු ගමන් කිරි ආහාර පාත්තරයක් අරගෙන ඇවිත් පූජාකරලා යනවා.

ඒත් 1985 දී අපේ ජයසිරි මා බෝ හාමුදුරුවන් වැඩ ඉන්න භූමියට කොටි ත‍්‍රස්තවාදීන් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළා. මේ ප‍්‍රහාරයෙන් පස්සෙ බෝධීන් වහන්සේ වඳින්න පුදන්න යන්න සිද්ධ වුණෙත් තහංචි මැද පරීක්‍ෂණවලට පවා ලක්වෙලා. දොරටුව ළඟ පොලිසිය ගෑණුන්ට එක පෝලිමක් පිරිමින්ට තව පෝලිමක්. අපි කිරි ආහාර පාත්තරයක් අරගෙන ගියොත් ඒකත් ගලෝල කූරු ගහල බලනවා මොනවහරි පුපුරන ද්‍රව්‍යයක්වත් හංගලද කියලා. ඒත් අපි මේ කිරි ආහාර පාත්තරේ අරගෙන එන්නේ පුදුම විදිහෙ ශ‍්‍රද්ධාවකින්. ලූණුවත් බලන්නෙ නැතුව.

මේ විදිහට මළුවට ඇතුල්වෙන අපිට උඩ මළුවට නම් යන්න ලැබෙන්නෙම නෑ.

ඒත් ඉස්සර, ඒ කියන්නෙ අපි පුංචි කාලේ නම් අපි කිසිම තහංචියක් නැතුව උඩ මළුවටත් ඇතුල් වුණා. ඒ කාලෙ රන්වැටක් තිබුණෙත් නැහැ. තිබුණෙ යකඩ වැට විතරයි.

ඉස්සරෝම කාලෙ මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කැලෑවෙන් වැහිල තිබිලා තියෙන්නෙ. මේ බෝධීන් වහන්සේ හොයාගත්තු හාමුදුරුවෝ තනියෙන්මයි බෝධීන් වහන්සේ රැුකගෙන තියෙන්නේ.

වියළි කාලෙට අනුරාධපුරේ වැව් ඔක්කොම හිඳෙනවා. වතුර ටිකක් ඉතුරු වෙන්නෙ තිසා වැවේ විතරයි. ඉතින් කැලේ ඉන්න අලි ඔක්කොම තිසා වැවට එනවා වතුර බොන්න. ඊට පස්සෙ මේ ගොල්ලො උඩ මළුව පැත්තට හැරෙනවා. බෝ කොළ කන්න අලි හරිම කැමැතියි. මේ කොළවල තියෙන කිරි රහට උන් ආස නිසා.

ඉතින් අලින්ගෙන් බෝධීන් වහන්සේ රැුකගන්න එක සෑහෙන ප‍්‍රශ්නයක්. බැරිම තැන හාමුදුරුවෝ බෝධීන් වහන්සේ බාරකාර ගම්වල අයට කතාකරල මේ බෝධීන් වහන්සේ රැුකගන්න එකතුවෙන්න කියලා ඉල්ලීමක් කළා.

මගේ ගම මැදවච්චිය කිව්වනෙ. මගේ ආච්චිලගේ කාලෙදි පුළුවන් තරම් දර එකතුකරගෙන කරත්ත ගණනාවක පටවගෙන මළුවට එන පුරුද්දක් තිබුණා. සතියක් තිස්සෙ රෑට ගිනි මැල ගහගෙන මේ බෝධිය අලින්ගෙන් ආරක්‍ෂා කරනවා. උදේට බෝධියට වන්දනාමාන කරනවා. පූජා පවත්වනවා. එක පැත්තකින් මේක ලොකුම පිංකමක්.

මේ කට්ටිය ආපහු යන්නේ ඊළඟ කරත්ත පේලිය අවට පස්සෙ.

ඉතිං මෙන්න මේ උපාසක නඬේක කෙනෙක් බෝධීන් වහන්සේ වන්දනා කරන්න ආවොත් ඒ ඇත්තට හරි ඇත්තියට හරි හිතෙන දේවල් තමයි මම මේ ගීතයට ලිව්වෙ.’’

ජය සිරිමා හාමුදුරුවනේ
දරමිටි ඇද්දා රෑ නිදිමැරුවා
ගිනි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරි මා හාමුදුරුවනේ

වැලි මළුවේ හිඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුණ
අපේ බාර පිළිගන්න හොඳයි

රන්වැට පාමුල සාදු කියනකොට
ලෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි.

(සංගීතය - රෝහණ වීරසිංහ)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...