Monday, August 3, 2020

මුනි නන්දන සිරි පාද වඳිම් ...

මුනි නන්දන සිරි පාද වඳිම්
මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී
ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්  ...//
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින් ...//
තුන් සරණේ පිහිට පතලා
සන්තොසිනේ ඉන් පිටත්වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනෙයි යමු නැවතී හැරමිටිපානේ
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි...////
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදේ

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ඇහැළ කනුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස් ගව්ව පසුකරමින් සාදු කියාලා //
මහ මළුවට විත් ගිරිදඹ නැගලා
සිරි පතුල වඳිමි නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ විහිදෙන මෝක්ෂ සුගන්දේ...//
මුනි නන්දන සිරි පාද වඳිම්, ශ්‍රී

ගායනය - ග්‍රේටා ජෙනට් ද සිල්වා සමග එම්.කේ. වින්සන්ට් ඇතළු පිරිස
පද රචනය - යූ.ඩී.පෙරේරා 
තනුව - හින්දි ගීයක තනුවකි
සංගීතය - යූ.ඩී. පෙරේරා

1937 දී තිරගතවූ "දුනියා නා මානේ" හින්දි චිත්‍රපටියට පාර්ෂුරම් ගැයූ "මාන් සාෆ් තෙරා හෛ යා නහින්" ගීයෙහි තනුව මෙහි යොදා ගෙන ඇත.

ග්‍රැමෆෝන් යුගයේ සිට ශ්‍රී පදස්ථානය ගැන ​ෙග්ය පද රචකයන් ගීත රචනයට පිවිස ඇත. ඒ ගීත අතර සිළුමිණක් සේ සැලකෙන යූ.ඩී. පෙරේරා ගේ ගේය පද සහිත මේ ගීතය ‘මුනී නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ’ ය. මෙහි විශේෂත්වය නම් ගීත රචකයා ජීවිතේටම සිරිපාදේ ගොස් නැති බවය. මේ පිළිබඳ තොරතුරු අපට කීවේ. යූ.ඩී. පෙරේරා මාස්ටර්ගේ දියණිය චම්පා පෙරේරා දිසානායක ය.   

‘තාත්තා උපත ලැබුවේ බණ්ඩාරගම වීදාගම 1902 පෙබරවාරි 02 වෙනිදා. තාත්තාගේ සම්පූර්ණ නම උඳුගොඩගේ ධර්මසිරි පෙරේරා. ඉගෙන ගත්තේ පානදුරේ මානමුල්ලේ බෞද්ධ මිශ්‍ර පාසලේ. ඉගෙනීමෙන් පස්සේ තාත්තා රත්මලානේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සේවය කළා. අන්තිමට ඉගැන්වූයේ මොරටුව කල්දෙමුල්ලේ ගොනාකෝවිල ශ්‍රී අත්ථදස්සි විද්‍යාලයේ. තාත්තා කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට බැඳිලා තියෙන්නේ වැඩිහිටි වියේදී.   

යූ.ඩී. පෙරේරා මාස්ටර් නමින් ප්‍රකට ඔහු ගීත රචනයට පිවිස ඇත්තේ 1939 වසරේ කොලොම්බියා ග්‍රැමෆෝන් ගීත සඳහාය. ඔහු ලියූ මුල්ම ගීතය ‘කරුණා මූදේ නාමු ගිලීලා’ ගැයුවේ මොහිදින් බෙග් හා කේ.කේ. රාජලක්ෂ්මීය. ඉන්පසු ඔහු ලියූ ගීත අතර ‘‘කෝප වෙන්නේ අැයි පෙම්බර ස්වාමි’’ (කේ.කේ. රාජලක්ෂ්මී) ‘‘දීපේ මගේ සාක්‍යසිංහ’’ (එච්.ඩබ්ලිව්. රූපසිංහ), ‘‘සිළුමිණ සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ’’ (අහමඩ් මොහිදීන්), ‘‘දුල් සල් වනේ ලකල්’’ (අසෝකා දේවි හා ස්ටැන්ලි මල්ලවාරච්චි) ‘‘මහා බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා (ජොහර්ෂා), ‘‘නාමෙ නොදිරනා කුණු කය දිරනා’’ (ඒ.ඇම්.යූ. රාජ්), ‘‘රාජ සඟබෝ හිස දී දුගියාට’’ (අහමඩ් මොහොදින්) කැපී පෙනෙයි.   

යූ.ඩී. පෙරේරා මාස්ටර් ලියූ ‘මුනී නන්දන සිරි පාද වඳිම්’ ගීතය අප අතීතයට ගෙන යන, සිරිපා යන ජනයා තුළ උපදින කරුණා මෛත්‍රී හා භක්තිප්‍රසාද රසයෙන් අප හද කුමුදු පුබුදු කරන බව මහාචාර්ය සුචරිත ගම්ලතුන් කියා තිබුණි.   

ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ පිරිස ගැයූ මේ ගීතය කො​ෙලාම්බියා තැටි අංක GE 15082 යටතේ නිකුත් වී ඇති බවත් මුල් ගායනයෙහි ශ්‍රැතිය C Minor තාලය/ බෙම්ටෝ 6/8 බවත් එහි රාගය භෛරවි බවත්, තාලය දාදරා (මධ්‍යලය) බවත් මහාචාර්ය අාරියරත්න සඳහන් කර ඇත.   

යූ.ඩී. මාස්ටර්ගේ දියණිය කියන්නේ මේ ගීතය ග්‍රේටා ජෙනට් ද සිල්වා ගයන විට ස්ටැන්ලි මල්ලවාරච්චි හා වසන්තා සන්දනායක අත්වැල් ගායනයෙන් සහාය වූ බවය. සංගීතය මෙහෙයවීමෙන් මොහොමඩ් ගවුස් මාස්ටර් දායක වූ බවත් තම පියා කියා ඇති බවය.   

‘තාත්තා සිරිපාදේ නොගියට එහි ගිය නෑයන්, මිතුරන්ගෙන් බොහෝ තොරතුරු අසා ඒ ඇසුරින් චිත්ත රූප මවාගෙන ඒ ගීතය ලියූ බවය. තාත්තාගේ හොඳම මිතුරා වූයේ ඒ කාලයේ විශිෂ්ට ලේඛකයකු, දක්ෂ පරිවර්තකයකු ව සිටි කේ.බී. සුගතදාස මහතාය.   

අපේ ගෙදර සර්පිනාවක් තිබුණා. ඇතැම් හවස් කාලවල තාත්තා සර්පිනාව වාදනය කොට, සුගතදාස මාමා එක්ක ගීත ගායනා කරනවා. හුඟාක් ගැයුවේ රූපසිංහ මාස්ටර්ගේ ගීත. තාත්තා පැරණි සාහිත්‍ය කෘති පරිශීලනය කළා. විශේෂයෙන්ම ඔය ගීතය ලියද්දී ‘සැළලිහිණි සන්දේශය’ කිහිප වතාවක්ම කියෙව්වා. කියලා අම්මා කියලා තිබුණා. පසු කාලෙක තාත්තා බලපු ‘කව් සිළුමිණ’ පොතේ ඇතැම් කවි යටින් පැන්සලෙන් සටහන් වගයක් ලියලා තිබුණා.   

අපේ පවුලෙන් තාත්තයි මමයි විතරයි ශ්‍රීපාදේ නොගියේ. අම්මයි අනිත් අයයි ගියා. ඒත් මම තාත්තා ලියූ ගීතයෙන් මනසින් ශ්‍රීපාදය වැන්දා. තාත්තා වගේම අැහැළ කණුව ළඟ නැවතිලා, අහස් ගව්ව පසු කළා. ‘සාධු’ කිව්වා. ලීණි හෙලේ අම්බලමේ නැවතී සිට විඩා සංසිඳවා ගත්තා. ධර්මරාජ ගලේ නැග්ගා. තුන් සරණේ කිව්වා. සීත ගඟුලෙ නෑවා. පඬුරු දැම්මා. ඇඟට සීතල දැනුණා. හැරමිටි පානේ නැවතිලා හිටියා. සිරි පතුල වැන්දා. සමන් දෙවියන්ට පින් දුන්නා’   

දියණිය එසේ කියන විට අපට හිතුණේ යූ.ඩී. මාස්ටර් කොපමණ වාරයක් ඒ අවස්ථා, සිද්ධි සිනමා සිත්තමක් ලෙස දකින්න ඇද්ද කියාය.   

‘තාත්තා ලියපු ගීත අතරින් කැමති ගීතයත් ‘මුනී නන්දන’ ගීතය. තාත්තා ලොකු ආඩම්බරයකින් හිතුවතුන්ට කිව්වේ. ‘මම සිරිපාදය නැගලා නැතිව වුණාට අපූරු ගීතයක් ලිව්වා’ කියලා. ඒ විතරක් නොවෙයි. මේ ගීතය ඇතුළත් කොලොම්බියා තැටිය ඒ කාලේ ලක්ෂයක් විතර අලෙවි වුණා ලු. ග්‍රැමෆෝන් තිබූ හැම බෞද්ධ ගෙයකම, පිංකම් පොළකම මේ ගීතය ඇසුණා කියලා වැඩිහිටියෝ කියනවා පුංචි කාලේ අපි අහල තිබුණා. එසේ පැවසුවේ යූ.ඩී. මාස්ටර්ගේ පුත්‍ර ප්‍රසව හා නාරිදේහ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා කීවේය.   

යූ.ඩී. මාස්ටර් හා බිරිඳ සෝමාට, ලක්ෂ්මි, රාජා, චම්පා හා හේමන්ත නමින් දරුවන් හතර දෙනෙක් වූහ. 1976 දෙසැම්බර් 02 වෙනිදා යූ.ඩී. මාස්ටර් ජීවිතයෙන් සමුගත්තේය.

ඒ.ඩී.රංජිත් කුමාර (ලංකාදීප)





                                                     


Saturday, August 1, 2020

ඔබ අසා සිටි නම් ...

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

අපාර මහ සාගරේ..
අපාර මහ සාගරේ නැගෙන රැලි තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

අපරිමාණ අම්බරේ..
අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

වනන්තරේ නිරන්තරේ..
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ගායනය - නෙලූ අධිකාරී
පද රචනය - මහින්ද දිසානායක
සංගීතය - රෝහණ වීරසිංහ 

මෑත භාගයේදී අතිශයින්ම ජනප්‍රිය වූ නෙලූ අධිකාරී ගායනා කරන මේ ගීතයද මහින්ද දිසානායකයන් ගේ තවත් අපූරු අත්දැකීමකි.

මම සති අග පත්තර කියවනවා වගේම කාන්තා පත්තරත් කියවනවා. දවසත් මම දැක්කා කාන්තා පුවත්පතකට අර්නස්ට් වඩුගේ කියන මාධ්‍යවේදියා ලිපියක් ලියලා තියෙනවා. ඒකෙ තිබුණා පුරුෂයෙකුට ආදරය වැදගත් වෙන්නේ ඒක ලබාගන්න තෙක් පමණයි. නමුත් කාන්තාවකට ආදරය කියන එක ඇගේ ජීවිතය තරම්ම වැදගත් කියලා. ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අත්දැකීම් ගත්තත් ඊට සමානයි. මගේ බිරිඳ වුණත් පෙම් කරන කාලේ කරපු ආදරය හැමදාමත් බලාපොරොත්තු වෙනවා නේද කියලා මට දැනුණා. ඒ ඇසුරින් තමයි මම “‘ඔබ අසා සිටී නම්" ගීතය ලිව්වේ. සමහරු ඉතින් මට දොස් කිව්වා මහින්ද ඇයි "ඇසට අසුවන මායිමේ" වගේ ගීතයක් ලියලා ඇයි මේවගේ බොළඳ ගීතයක් ලිව්වේ කියලා. ඔය කවුරු කොහොම කුමන ආකාරයකින් කිවුවත් ආදරය කියන තැනදී කවුරුත් බොළඳයි තමයි. හිට්ලර් මහා අධිපතිවාදියෙක් වුණත් ඊවා ළඟදි පූස් පැටියෙක් වගේනේ. ඒ නිසා ආදරය කොහොමත් බොළදයි තමයි.





Friday, July 31, 2020

පාංකිරිත්තා තක්කිට තරිකිට ...

පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ

පාංකිරිත්තා...

පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා

අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා ///

ගායනය - ෆ්‍රෙඩී සිල්වා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ප්‍රේමකීර්තිට ඔහුගේ ලිවීමේ හැකියාව මෙන්ම නිවේදක හැකියාවත් ක්‍රමයෙන් දියුණු වීමත් සමඟම ඔහුගේ පළමු ගීපද රචනාව ලියන්නේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරිටයි. ඒ ඔවුන් ගායනා කරන ‘හද පුද අසුනේ සෙනෙහස මැවුණා’ කියන ගීතයයි. 1969දි ප්‍රේම්ගේ කුළුඳුල් ගීපද රචනාව ලියැවෙන්නේ ඒ විදියටයි. ඒ වසරේ ම කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයට ප්‍රෙඩී සිල්වා ගයන ‘පරණ කෝට්’ ගීතයත් ප්‍රේම්ගේ අතින් රචනා වෙන්නේ ඔහුගේ පළමු චිත්‍රපට ගීතය බවට පත්වෙමින්. "ලොකුම හිනාව" චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීයද රචනා කොට ඇත. එසේ සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ ෆ්‍රෙඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.

“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා – තමන් දන්න දේ හරියට කරපන්…” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.

හාස්‍යය හා උපහාසය මුසු ගීත කලාවේ පුරෝගාමියා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වන අතර ඔහු විසින් උපහාසයේ හා අපහාසයේ වෙනස මැනවින් හඳුනාගෙන සමාජයට වටිනා පණිවුඩ ගීත රචනා හරහා ලබාදුන්නේය. ඒ සඳහා උපහාසාත්මක ගී ගායනයේ පුමුඛයා වූ ජනප්‍රිය විකට නළු හා ගායක ෆ්‍රෙඩ් සිල්වා යොදා ගෙන උපහාස ගීත කලාවක් බිහිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය.







Thursday, July 30, 2020

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ...

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා//
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ//
මල්වරව දෙතොල් අනුරතිය යදී
මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී//
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
 
අපි ජීවත්වන මේ ලෝකයේ හැම දෙයක්‌ම සම්මත විදිහට සිද්ධ වෙනවානම්... ඒත්... එහෙම වෙන්නේ නැහැ. සම්මතයට පිටුපා යන දේ කොතරම් නම් අප වසන සමාජය තුළ සිදුවේද... එවැනි අසම්මත දැ කොතෙක්‌ ඔබට හා මට අත්දකින්නට සිදුව ඇත්ද

ආදරය නොහඳුනන්නන් අප අතර සිටිත්ද... නැත... ආදර හැඟුම් ඕනෑම කෙනෙකුගේ සිතේ පහළවන්නක්‌... මේ සමහර විට සම්මත ආදර බැඳීමක්‌ වෙන්නත් පුලුවන්... එහෙමත් නැතිනම් අසම්මත ආදර බැඳීමක්‌ වෙන්නත් පුලුවන්.

ආදර සබඳතා ඇතිවීම වරදක්‌ නොවේ. එහෙත්... ඒ ආදරය සම්මතයට පටහැනි නම්. කෙටියෙන්ම කියනවා නම් එය තහනම් ගසේ ගෙඩි කෑමක්‌. 

ආදරය සුන්දරයි. එහෙත් තහනම් ආදරය?
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා 

මේ අවසන්ව තිබෙන්නේ තහනම් ආදරයක්‌... සම්මත පෙමක විරහ වේදනාව නොවේ. ඔහු බලා හිඳින්නේ ඒ තහනම් ප්‍රේමයේ අවසාන බැල්ම දෙස... ඇය මින් මතු හමුවන්නේ නැහැ. ඒ නිසා ඇගේ බැල්ම දෙස ඔහු බලන්නේ කම්පා වන හදවතකින්. උපදින හැම ආත්මෙකදිම ඔබ මගේම වේවා. ඈ කියූ අවසන් වදන් නිසා හදවත තුළ ඇවිලෙන ගින්දර... හරියට ලැව් ගින්නක්‌ වගේ...

ඉතාම සුන්දර... සිතට කාවදින ගීයක්‌. පද රචකයා ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර තනුවකට ලියූ තවත් ගීයක්‌.

මේ ගීයට විශේෂම නිමිත්තක්‌ නැහැ. වරදක්‌ කළත් සිතකින් නොවේ. ගීය වගේමයි. සනත් නන්දසිරි මහාචාර්යතුමා තනුව ලබා දුන්නා. මට ගීය ලියද්දී මතක්‌ වුණා මේ සමාජය ගැන. හැම දෙයක්‌ම සම්මත ලෙස සිද්ධ වෙන්නේ නැහැ. කියන කාරණාව. ප්‍රනීත් ගීය ගැන දැක්‌වූයේ එවන් මූලික අදහසක්‌.

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ 
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී

මේ පෙම සමාජය නොපිළිගන්නා නමුත් ඔහු ඇයට බොහෝ සේ පෙම් බඳිනවා. ඇගේ දෙනෙත් වලට ඔහු එබී බලනවා. ඒ දැස්‌වලින් ඔහු ජීවිතය දකිනවා. ආදරය තහනම් එකක්‌ නම් ඇයට ඔහුට දෙදෙනාටම එකිනෙකා හා කියාගන්නට කොතරම් දුක හිතෙන දෑ ඇත්ද. ඒත් දැත් පටලවාගෙන ඇය ඇගේ දුක නොකීවත් ඔහුට ඒ දුක රහසක්‌ නොවේ. ඇගේ දොතොල් මල්වරයි. ඒ දොතොල් ඉල්ලන්නේ මොනවද අනුරාගය. ඉතින් එවන් දොතොලක්‌ දෙස බලා ඉන්නා කෙනෙකු උමතු නොවී හිඳීද...

ශෲංගාරය වෑහෙන ගීයක්‌. තහනම් ආදරයක්‌. සමාජයට හොරා දෙදෙනා ආදරය කරද්දී ලබන රසය සම්මත ආදරයකින් ලබනා රසයට වඩා බොහෝ විට වෙනස්‌ බවක්‌ දැනෙනවා වෙන්නත් පුලුවන්...

ඉන්දියාවේ රජ කෙනෙක්‌ හිටියා. මේ රජුට රත්තරන් අඹ ගෙඩියක්‌ ලැබුණා. ඔහු එය තෑග්ගක්‌ ලෙස අග බිසවට දෙනවා. මේ අගබිසව ආදරය කරන්නේ රජුට නොවේ අගමැතිට. ඒ නිසා ඇය ඒ රන් අඹේ අගමැතිට තෑගි කරනවා. අගමැති මේ රන් අඹ ගෙඩිය බිසවගේ දාසියට තෑගි කරනවා. ඒ ඔහු දාසියට ආදරය කරන නිසා. දාසිය මේ කිසිම කෙනෙකුට ආදරේ නැහැ. ඇය ආදරය කරන්නේ රජුට. ඉතින් දාසිය මේ රන් අඹ ගෙඩිය රජුට තෑගි කරනවා.

මෙහි සුල මුල රජු සොයා බලනවා. ඔහුට ජීවිතය අවබෝධ වෙනවා. එක එක ශරීර කුඩා එකක විදිහයි. මේ රජු පසුව පොත් තුනක්‌ ලියනවා. ශෘංගාර ශතකය, වෛරානි ශතකය සහ නීති ශතකය නමින් මේ පොත් තුනම සිංහලයට පරිවර්තනය වී තිබෙනවා. ඔන්න ඔය වගේ අපට හිතන්න බැරි තැන් සමග අපේ සිත බැඳෙනවා. තහනම් ආදරයත් ඒ වගේ... ප්‍රනීත් අභයසුන්දර ගී පද රචකයා, කවියා හරි අපූරු කතාවක්‌ ගෙනහැර පෑවා.

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැති
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

ඔබ මගේත් නොවේ. මම ඔබේත් නොවේ. ඔබේ නිල් නුවන් මට පෙනෙන්නේ හරියට ආකාශය වගේ. මට ඉවසුම් නැහැ. ඒත් හිරිඔතප් රකින්නත් ඕනෑ...

සරල හැඟුම්බර ගතියක්‌ ගීය අසද්දි සිතට දැනෙනවා. ප්‍රනීත්ගේ පදමාලාව ගීයක්‌ බවට පත්වුණේ මහාචාර්ය සනත් නන්දසිරිගේ තනුව හා සංගීතයෙන් වගේම ගායනයෙන්.

සාමාන්‍ය සරල සුගම තනුවක්‌... සංකීර්ණ සංගීත නිර්මානයක්‌ නොවේ... ඇතිකරන වින්දනය ඉතාමත්ම සරලයි. ගීය ගයන සනත් නන්දසිරි පළකරන්නේ එවන් අදහසක්‌

ඒ කෙසේ වෙතත් මේ ගීය බොහෝ දෙනෙකුගේ රසභාවයන් උද්දීපනය කරන නිතර නිතර අසන්නට අපේ සිත බලකරන ගීයක්‌.

(අජිත් අලහකෝන් - දිවයින මීවිත)




Tuesday, July 28, 2020

සීත කඳුරැල්ලේ ...

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

කඳු යායේ හිම සේලේ
නව යව්වන පෙම් අරණේ
ඈ නුවන් මල් විලේ
මුදු මදහාස කැලුම් සැලෙ
ඈ නුවන් මල් විලේ
මුදු මදහාස කැලුම් සැලෙ

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

ඇයගේ සිනා රහස එදා
මා සිතට නොවේ දැනුනේ
ඈත කඳුකරයේ
මල් කැකුළුයි එය දන්නේ
ඈත කඳුකරයේ
මල් කැකුළුයි එය දන්නේ

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

ගායනය - රෝහණ සිරිවර්ධන 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - රෝහණ වීරසිංහ 

හැත්තෑව දශකයේ දී සංස්කෘතික වැඩසටහනකට සහභාගි වෙන්න ජෝතිපාල, එම්.එස්. ප‍්‍රනාන්දු, සී.ඞී. ෆොන්සේකා, කි‍්‍රස්ටෝපල් පෝල් සමඟ නුවරඑළියට ගියා. දින හතරක් පහක් එහි සිටියා. එක්තරා යෞවනියක් අපව දැන හඳුන ගත්තා. ඇය මා කෙරෙහි විශේෂත්වයක් දැක්වූවා. අපි ආයෙත් කොළඹ එද්දී මේ යුවතිය කන්දක් උඩ ඉඳලා ලේන්සුවක් වනමින් අපට සමුදෙනවා දැක්කා. මට ඇය ගැන අනුකම්පාවක් ඇතිවුණා. මේ මිහිරියාව නිසා කොළඹට එද්දී මගේ හිතේ තනුවක් නිර්මාණය වුණා. කොළඹ ආ හැටියේ මම කරුණාරත්න අබේසේකර හමුවෙලා මේ කතාව කිව්වා. මල්ලී තනුව මුමුණන්න කියලා ඔහු මට කිව්වා. ඔහු විනාඩි දහයෙන් සිංදුව ලියුවා.
 
මෙම ගීය නිර්මාණය වුණේ ඒ විදිහටයි.

(දිවයින)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...