Thursday, August 20, 2020

හන්තාන කඳු පෙළ ...

 හන්තාන කඳු පෙළ හඳට ආවඩා

සරසවියට පිණි පොදක් වැටෙනවා

මගෙ හද මැදුරට අඳුර ගලනවා

බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා


කෝ ඈ..කොහෙද මගෙ රන් කිරිල්ලී

ඇයිදො ගියෙ ඉගිල්ලී

මා මෙහි හැරදා

ඈතයි…ඔබ ගියෙ දුර ඈතයි

නිවහන මගෙ සීතයි

එන්න යළි පියඹා


මා මෙන් තනි උන බට්ටිත්තෝ

ගොම්මන් අඳුරට බිය වීදෝ

විරහ ගීය මගෙ ගයනවදෝ

මා සනසන්නට හඬනවදෝ


පියඹා යන්නට මට නම් බෑ

ඈ සරසවියට එන්නෙත් නෑ

ගඟ ලඟ පෙම් මග පාළු වෙලා

මල් පෙති බොර දියෙ මලින වෙලා


කෝ ඈ..කොහෙද මගෙ රන් කිරිල්ලී

ඇයිදො ගියේ ඉගිල්ලී

මා මෙහි හැරදා

ඈතයි…ඔබ ගියෙ දුර ඈතයි

නිවහන මගෙ සීතයි

එන්න යළි පියඹා

ගායනය, පදරචනය හා තනුව - භද්‍රජී මහින්ද ජයතිලක

භද්‍රජී මහින්ද ජයතිලක මහතා ගැන කියනවා නම් ක්ෂේත්‍ර ගණනාවක් තුල හසල දැනුමක් ඇති පුද්ගලයෙක්. ගීත රචනය, ගායනය, චිත්‍ර ශිල්පය, ලේඛණ කලාව වගේ ලොකු පරාසයක් තුල විශේෂ දක්ෂතාවයක් දක්වපු කෙනෙක්.

ඔහු උපත ලබන්නේ 1948 වර්ශයේ නොවැම්බර් මස 20 වැනිදාකය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පාසැල් අවදියේ සිටම දෙස් විදෙස් පොතපත කියවීමට සහ ලිවීමට මහත් රුචියක් දැක්වීය. ස්ව උත්සාහයෙන් වඩවාගත් ලිවීමේ කුසලතාවය පෙරදැරි කොටගෙන ගැටවර වියෙහිදීම ඔහු නිර්මාණකරණයට පිවිසීම විශේෂත්වයකි.

මේ කුසලතාවය නිසාම මුලින්ම ගුවන්විදුලියේ ළමා පිටියට නාට්‍යය පිටපත් රචනය කරන්නට ඔහුට මග පෑදෙන්නේය. එහි සාර්ථකත්වය සමග එකල බෙහෙවින්ම ජනප්‍රිය ‘ගුවන්විදුලි රඟ මඩල’ සඳහා නාට්‍යය පිටපත් රචනයට එක්වීය. කොටස් වශයෙන් විකාශනය වූ ‘උළමාගේ රාත්‍රිය’ ගුවන්විදුලි නාට්‍යය එකල ශ්‍රාවකයන් අතරේ බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්වුනි. තවත් අතකින් තමාම සිංහල සහ ඉංග්‍රීසි පිටපත් රචනය කරමින් වේදිකා නාට්‍යය රංගනයට පිවිසෙන්නේය. මුල් අවධියේ මේ සියලු කටයුතු අතරේ වසර කිහිපයක් බැංකු සේවයෙහි ඔහු නියුතු විය. සුදු හංසයෝ ඉගිල ගියහ තුළින් පටන් ගත්කල ඔහු ලියූ නවකතා ගනන සියය ඉක්මවයි. මේ අනුව වැඩිම පොත් ප්‍රමාණයක් ලියූ ශ්‍රී ලාංකීය නවකතාකරුවන් කිහිපදෙනා අතරට ඔහුද එක්වන්නේය.

භද්‍රජී මහතා වසර 44ක් තිස්සේ ජීවත්වන්නේ ඇමෙරිකාවේය; ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙමට් නම් ප්‍රදේශයේය. ඔහු එහි නාට්‍යකරණය, චිත්‍ර ශිල්පය වැනි විෂයයන් උගන්වන ගුරුවරයෙක් ලෙස සේවය කරයි. ඇමෙරිකාවේ ජීවත්වුවද වසරකට කීප වරක් ලංකාවට පැමිණෙන්නට ඔහු අමතක කරන්නේ නැත.

භද්‍රජී මහින්ද ජයතිලක ඔහුගේ බට්ටිච්චා සමඟ, අප හදට සමීප කළේ, හන්තාන අඩවිය පසුබිම් කොට ගත් තවත් එක් ප්‍රේම පුරාණයක් පමණි. එහි අත්දැකීම අපූරුය. ඔහුගේ ගායනා විලාසය හද ඇඳ බැඳගනී. අත් දැකීම පුරා ගිලිහුණු ප්‍රේමයක ශෝකය දැවැටී ඇත. බට්ටිච්චාද ඔහු මෙන් තනි වී ඇත. ඌ හඬන්නේ ඔහු වෙනුවෙනි. තනි වූ බට්ටිච්චා ගේ හැඬුම භද්‍රජී නිර්මාණය කරන පෙම්වතාගේ හැඬුමම නොවන්නේ ද?

“හන්තාන කඳුපෙළ හඳට ආවඩා

සරසවියට දිය පොදක් වැටෙනවා

මගෙ හද මැදුරට අඳුර ගලනවා

බට්ටිච්චෙක් මගෙ දුකට අඬනවා...”


කෝ ඈ කොයිද මගේ රන් කිරිල්ලී

ඇයිද ගියේ ඉගිල්ලී මා මෙහි හැරදා

ඈතයි ඔබ ගිය දුර ඈතයි

නිවහන මගෙ සීතයි එන්න යළි පියඹා....”

ඔහුගේ හද මැදුරට අඳුර ගලාගෙන එයි. ඒ සමඟම තනි වූ ඔහුගේ සිත දුකින් පිරෙයි. ඔහුගේ දුකට බට්ටිච්චෙක් ද හඬයි. කවියා එමගින් කිරිල්ලිය හැර ගිය බට්ටිච්චා සංකේතවත් කරන්නේ තනිවූ පෙම්වතාගේ චරිතයයි. වරෙක ඔහු මෙසේ කියයි. “මා මෙන් තනිවුණු බට්ටිච්චෝ... ගොම්මන් අඳුරට බියවීදෝ - විරහගිය මගේ ගායනාවදෝ මා සනසන්නට හඬනවදෝ... ඈ ඔහු හැර දා ඈතින් ඈතට ගොසිනි. ඔහුට ඈ වෙත යන්නට නොහැකියි. බට්ටිච්චෙක් කෙලෙස දුර පියඹා යන්නද?

‘පියඹා යන්නට මට නම් බෑ

ඈ සරසවියට එන්නෙත් නෑ

ගඟ ළඟ පෙම් මග පාළු වෙලා

මල්පෙති බොරදිය මිලිනවෙලා....

අසරණ වූ තුරුණු පෙම් සිතක හැඟුම් සමුදායකින් බිඳක් භද්‍රජී, තම ගායනාවෙන් අපට පවසයි. ඈ සමඟ එක්ව සිටි සමයේදී ඔවුන්ගේ ආදර උණුසුම අද කොහිද? ඈතයි. ඔබ ගිය දුර ඈතයි - නිවහන මගේ සීතයි. නිවහන තුළ වූ උණුසුම ඇයයි. ඈ යළි සරසවියට නොඑන්නීය. ඉදින් කුමන උණුසුමක් ද ඔහුගේ නිවහනෙහි? දැන් ඔහුගේ නිවහන සීතයි. කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන බිම අම්බලමකදී වුව, අපට ඇසුණු භද්‍රජී ගේ මියුරු හඬ එදා මෙන්ම අදත් හදට සමීපය. කෝ ඈ කොයි ද මගෙ රන් කිරිල්ලී - ඇයිද ගියේ ඉගිල්ලී යනුවෙන් හන්තාන අඩවියෙන් ඇසෙන සෝ ගී මෙන්ම ප්‍රේමයේ සුවඳ නොදැවටුණු හද කකියන දුක් ගීත ද අපට අද ද ඇසෙන බව දනිමි.

(උපුටා ගැනීම - බුද්ධදාස ගලප්පත්ති/දිනමිණ)





Wednesday, August 19, 2020

අද අපි ඉන්නේ විනෝදෙන්ම ...

 අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී

ඔව් මේ රෑ

කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී

එය හොද නෑ


මම නැළවෙන්නේ ඔබේ සිතේ හැංගී

ඔව් මේ රෑ

සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා

ඔව් මේ රෑ


සැනසෙමු නැළවෙමු නටා අපි

එකතුව රිසි ලෙස සිනාසිසී

පැද්දෙන පෙරළෙන රැගුම් බලා

පැද්දෙන පෙරළෙන රැගුම්


හැමටම එක ලෙස ආදරයයි

මම ඔබගේ පෙම් සාගරයයි

පෙම් ලොව සුරතලි මා ඔබේ

පෙම් ලොව සුරතලි මා


අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී

ඔව් මේ රෑ

කවුරුද ඉන්නේ හොරා වගේ මත්වී

එය හොද නෑ


ගායනය - මිනෝන් රත්නම්

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - ආර්. මුත්තුසාමි/ ද ජෙට්ලයිනර්ස්

1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ඇතුලත් වූ ගීයකි.

"ජේම්ස් බොන්ඩ්" චිත්‍රපටි මාලාවේ පළමු කතා වස්තුව 1962 දී මුල්වරට තිරගත වු "Dr. No" චිත්‍රපටයේ එන "Under the Mango Tree" ගීයේ තනුවටයි "අද අපි ඉන්නේ" ගීය කරුණාරත්න අබේසේකරයන් විසින් නිර්මාණය කර තිබුණේ. 

Dr. No චිත්‍රපටයේ මෙම ඉංග්‍රීසි ගීය ගැයූ Diana Coupland මහත් ජනප්‍රියත්වයක් ලැබුවා. 

සත පනහ චිත්‍රපටයේ මෙම ගීතය රඟපාමින් ගායනා The Jetliners සංගීත කණ්ඩායම. ඔවුන් 60 දශකයේ මුල් කාලයේ ලංකාවේ ඉහළින්ම වැජඹුණු සංගීත කණ්ඩායමක් එහි කළමණාකරු වුනේ ටෝනි ප්‍රනාන්දු.කණ්ඩායමේ සාමාජිකයන් වුණේ මේ අය.

සොහාන් පීරිස්          - ගායනයෙන්

ලොරේටා කොච්      - ගායනයෙන්

ඉන්ද්‍රා රාජා               - ගිටාර්

ඇන්ටන් ගුණවිජය  - ගිටාර්

ෆීලික්ස් ප්‍රනාන්දු       - බේස් සහ ගායනයෙන්

හැරිස් ජුරම්පති        - ඩ්‍රම්ස්

මේ කණ්ඩායම වඩාත් දීප්තිමත්ව බැබලෙන්න පටන් ගත්තේ මිනෝන් රත්නම් කණ්ඩායමට එකතු වූවායින් පසුවයි.

මිනෝන් රත්නම් සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන අවධියේ සිට සංගීතයට විශේෂ දක්ෂතාවක් දැක්වුවා. ඇගේ මව සංගීත ගුරුවරියක්. ඒ නිසාම ඇය තුළත් ජන්මයෙන්ම ආ සංගීතයට නැඹුරුවක් තිබුණා. වයස අවුරුදු හතේදි ඇය ලංකා ගුවන් විදුලියේ (Radio Ceylon) කුසලතා පරීක්ෂණයකින් සමත් වුනා. පසුව ඉතා තරුණ වියේදීම ඇය The Jetliners කණ්ඩායම සමගින් එකතු වුණා. අනතුරුව ඇය කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන ගායිකාව බවට පත්වුණා.

ඇයගෙ සම්පූර්ණ නම Mignonette Malathi May Rutnam. නමුත් මිනෝන් රත්නම් ලෙසයි ඇයව බොහෝ දෙනා හඳුනාගත්තේ. මිනෝන් එකතු වුණාට පස්සේ The Jetliners ලෙසට වඩා Mignonne & The Jetliners යනුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා.

ඔවුන් මුල් කාලයේ ගාලු මුවදොර හෝටලයේ Coconut Grove රාත්‍රී සමාජ ශාලාවේ ඉදිරිපත් කිරීම් කරනු ලැබුවා. ඒ කාලයේ විශාල කීර්තිනාමයක් දිනා ගන්නට ඔවුනට හැකිවුණා. වර්නන් කොරයා මහතාගේ ඇසුර නිසා ගුවන් විදුලියේ ආසියානු සේවය ඔස්සේ ආසියාවේම කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස ප්‍රචලිත වන්නටත් පුළුවන් වුණා.

මිනෝන් රත්නම්ට ගායනයට එහා ගිය සංගීත කුසලතාවක් තිබුණ නිසා The Jetliners නාමය ජාත්‍යන්තරය තුළ බබලවන්න පුළුවන් වුණා.

කණ්ඩායමේ කළමණාකරු වූ ටෝනි ප්‍රනාන්දුගේ බිරිඳ මිය ගියාට පසුව මිනෝන් ටෝනි හා විවාහ වුණා.

ඉතා ප්‍රකට "බොම් බොම් බොම්, බොම්බෙ මෙරේ හායි" ගීය බිහිවෙන්නෙ The Jetliners බොම්බායේ කොන්ත්‍රාත්තුවකට එහි ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරද්දි. ඉන්පසු සිංගප්පූරුව හා හොංකොං වලත් ඒ අයුරින්ම ලොකු ගිවිසුම් සමග ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් කරනවා.

මිනෝන් රත්නම්ගේ "Love don't let me down" ගීය ජාත්‍යන්තර සංගීත උත්සවයකදී තානාපති සම්මානයක් (Embassy Award) දිනා ගැනීමට සමත් වුණා. ජපානයේ පැවති තවත් ජාත්‍යාන්තර තරඟයකදී මැත්සුහිතා සම්මානයෙන් සහ හොඳම ගී නිර්මානය හා ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ ජූරි සම්මානයකින් අගැයීමට ලක් වුණා.

ඇතන්ස්හී පැවති පස් වැනි ඔලිම්පියාඩ් සංගීත තරඟයේදී අවසන් වටයට තෙරෙන්නට The Jetliners කණ්ඩායමට හැකිවුණා. ඔවුන් ඉදිරිපත් කළ ඔබ නිසා නම් ගීය තුළින්.

ජපානයේ පැවති ලෝකයේ උත්කර්ෂවත්ම ගායන උත්සවයක රන් සම්මානයෙන් පිදුම් ලබන්නටත් The Jetliners කණ්ඩායමට හැකිවුනා. ලොව පුරා නම රැන්දූ සංගීත  කණ්ඩායමක් ලෙස The Jetliners හඳුන්වන්න පුළුවන්.


(උපුටා ගැනීම - ගී අරණ)




The Jetliners


   
Mignone Ratnam Fernando


නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...