Monday, August 10, 2020

සොමියට වරෙන් පුතා ...

නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ
වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි
තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි එළා ලා
ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළු මන්ට් ලා රිලි මන්ට් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ නෑ ඉඩ
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ගායනය- නිහාල් නෙල්සන්
තනු- නිහාල් නෙල්සන්
සංගීතය- ලාල් තේනබදු
රචනය- හේමසිරි හල්පිට

1954 වර්ෂයේ කොළඹ 12, එනම් පිටකොටුවේ මුහන්දිරම් ලේන් හීදී ගමගේ ගුණපාල නොහොත් ගුණේ අයියා මෙලොව එළිය දැක ඇත. ගුණපාලගේ පියා එකල හෝටල් හිමියෙක් වූ අතර ගුණසිංහ පිළිරුව අභියස පිහිටි සිංහල හෝටලය ඔහුගේ විය. ඔහුගේ සයවැනි පුතා ගුණපාලය. වයසින් වැඩෙත්ම ඔහු නැව් ජීවිතයට යොමු විය. ඒ තුලින් ඔහු වඩාත් සමාජශීලි ජීවිතයකට හුරු වූයේය. මෙම රස්සාවෙන් තෘප්තිමත් නොවූ ඔහු නැව් රස්සාව ඇතහැර පියාගේ හෝටලයේ කැෂියර් පුටුවේ වගකීම භාර ගත්තේ 1978 වසරේදීය. 

ඔහුගේ හෝටලයට පිටකොටුවේ මදාවි ෆ්ලැට් එක හොඳින් පෙනුනේය. එහි සිටි එක් කාන්තාවක් වූ සුසිලා කෙරෙහි ගුණපාලගේ සිත ඇදී ගියේය. ඔහු රුපියල් 5000 කට "මේ ගීතයට පදනම් වූ ගුණේ අයියගේ බජව් දාන කාමරේ" මිලදී ගෙන තිබුණේ සුසිලා නිතරම එම කාමරයට ඇස ගැටෙන නිසාවෙනි. ගෑණු කොතරම් ආශ්‍රය කරලා තිබුනත් ගුණපාලගේ සිත පැහැර ගැනීමට සුසිලා සමත් විය. පසුව ඔවුන් කසාද බැඳ එක් පුතෙකු ලැබුවත් පසුකලකදී සුසිලා වෙනත් පුද්ගලයෙකු සමඟ 1982 දී පමණ දීග ගොස් ඇත. පසුව ගුණපාල නොහොත් ගුණේ අයියා විසින් ගුණසිංහපුර කෙසෙල්වත්ත පිටකොටුව කේන්ද්‍ර කරගනිමින් හැලි අරක්කු ව්‍යාපාරයක් පටන් අරගෙන එයින් ලක්ෂපතියෙකු වී ඇත. ඉන්පස්සේ ගුණපාලගේ විනෝදනාත්මක ජොලි ජීවිතය පටන් අරගෙන ඇත. 

ඔහුගේ විනෝදනාත්මක ජීවිතයට සංගීතය බජව් ඉමහත් කැමැත්තක් වූ අතර ජනප්‍රිය ගායකයින්, සංගීතඥයින්ගෙන් ඔහුගේ කාමරය පිරී ඉතිරි ගියේය. ඔහු සැමට අත දිගහැර වියදම් කරමින් සල්ලි මිටි ගණන් විනෝදාය සඳහා විසි කර ඇත. නිතරම එහි මධූවිත, විවිධාකාර දුම් වර්ග, මස්කට්, පැණිබූන්දි වලින් මෙන්ම බජාර් එකේ අයියලාගෙන්ද පිරී තිබී ඇත. හරූන් ලන්ත්‍රා, නුවන් ගුණවර්ධන, නිහාල් නෙල්සන් එහි යාවජීව සාමාජිකයින් විය. දිනක් මෙම සමාගමට පැමිණි හේමසිරි හල්පිට විසින් කොල කැබැල්ලක ලියා දුන් ගීතය නිහාල් නෙල්සන්ගේ හඬින් රසවත්වී ජනප්‍රිය ගීතයක් බවට පත්විය.

ගුණේ අයියා ගීතය පුරාවටම දුවන විශේෂ ලක්ෂණය නම්, එහි ඇති බජාර් උප-සංකෘතියේ වචන මාලාවයි. ඕනෑම උප සංස්කෘතියක ඊට ආවේනික ගති ලක්ෂණ අඩංගු වෙනවා. ගුණේ අයියාගේ ගීතය ඊට හාත්පසින්ම වෙනස්. මෙහි මුල, මැද, අඟ සියල්ලෙන්ම ඒ උප-සංස්කෘතිය නිරූපණය වෙනවා.

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණේ අයියගේ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ

මේ කොටසේ අගුළු දාල නෑ දොරේ කියන එකෙන් ගුණේ අයියගේ තියෙන විවෘත කම, සැමට එක විදියට සලකන ගතිය පෙන්නනවා. මෙහි එන මස්කට්, පැනි බූන්දි යන යෙදුම මේ ගිතයේ වැදගත් කොටසක්. මස්කට්, පැනි බූන්දි වැනි පැනිරස කෑම අවශ්‍ය ගංජා පාවිච්චි කරන අයට. මේ නොකියා කියන්නේ ගුණේ අයියාගේ කාමරේ ගංජා පරිභෝජනය උපරිම ලෙසට සිදුවන බවයි.  හේමසිරි හල්පිට ශූරීන් ගංජා වචනය භාවිතා නොකර වක්‍රාකාරයෙන් එහි ඇති වින්දය වචනයට නඟා ඇති ආකාරය හරිම සුන්දරයි.

මෙහි එන සක්විති සුව යන්නේන් අදහස් වන්නේ ගංජා වලින් ලබන සුවය හැර අන් කවරක්ද?

ගුණේ අයියගෙ කාමරයේ අගුල් දමා නැත. ඕනෑම කෙනෙකුට ඒමටත් පිටව යාමටත් අවසරය ඇත. ඕනෑම තරාතිරමක විවිධ අය බාධාවකින් තොරව ගුණේ අයියා හමුවීමට එති. මෙහි 'දොරේ' යනුවෙන් මුඩුක්කු සමාජයේ තවත් පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කිරීමටද යොදාගනියි.

ගුණේ අයියගෙ කාමරයේ නිතරම 'රියල් කතා' හෙවත් සත්‍ය කතා අහන්න පුළුවන්.

මෙහිදී ගී රචක හල්පිට  මගේ කාමරේ යනුවෙන් සදහන් කරමින් මේ කතාව අපට කියන්නේ ගුණේ අයියා විසින්ම බව හඟවයි.

ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන විවිධාකාර පුද්ගලයන් ගැන හදුන්වාදෙයි. පච්ච සිරාලා, කොච්චි අලාලා, ගුස්පි රොබාලා වැනි මුඩුක්කු සමාජය තුළ විවිධ පුද්ගලයන් හැදින්වීම සදහා ලබාදී ඇති නම් මෙන්ම සලුමන්ලා එලිමන්ලා කමරකටාලා
අලි වන්සෙන් වැඩ පෙන්වන සුපර්මෑන් ලා
බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
ටු තව්සන් ත්‍රි තව්සන් යයි විසි කරලා

ගුණේ අයියගෙ කාමරයේ කාඩ් සෙල්ලමත් යහමින් සිදුවෙයි. එනම් බුරු ගැසීම. පෙර කි චරිත වලට අමතරව තවත් චරිත කිහිපයක් ඔහු හදුන්වා දෙයි. ඒ නම් ඇසෙන විටම ඒ චරිත වල ලක්ෂණ මනාවට විද්‍යාමාන වෙයි.  ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන මේ පොරවල්  ටු තව්සන් ත්‍රි තව්සන් විසිකරනේ බූරු ගැසීමටයි නැත්නම් සුදුවටයි. මෙහිදී ගී පද රචකයා මෙවැනි වචන මාලාවක් යොදාගන්න ලද්දේ ඒ මුඩුක්කු පරිසරයේ හැගීම මනාවට දැනවීමටයි. මේ වචන ඉංග්‍රීසි වචන භාවිතය ඒ සංස්කෘතියේ දැනට ලැබෙන ලක්ෂණයකි.

ටින්කිරි ටින් ඒකෙන් නැත්නම් ටොනික් ඩප්පියෙන්
ෆෙස්ටු ෆේස් එනවානම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක්කෙරුවොත් තෙල්විද ගමෙන්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන් 

මුඩුක්කු පරිසරයක වුවත් ගුණේ අයියා අවංක පරහිතකාමී පුද්ගලයෙකි. කිසියම් සටනකට හෙවත් ගැටුමකට මුහුණදෙන විට සතුරා සතුවන බලය අවබෝදකොටගෙන ඒ අනුව සටන් කරන පුද්ගලයෙකි. ගුණේ අයියා අතින් පයින් ගහගනිමට පැමිණි කෙනෙකුට කඩුවෙන් කොටන පුද්ගලයෙකු නොවෙයි. ඔහුද සටනට බහින්නේ අතින් පයිනි. මුඩුක්කු පරිසරයක ජිවත් වන මිනිසුන්ගේ ඇති ඇතැම් අව්‍යාජත්වය මෙයින් පෙන්නුම් කරයි. හැකි නම් හැකි බවත් බැරි නම් බැරි බවත් කෙලින් ප්‍රකාශ කරන බොරුව නැති පුද්ගලයෙකි. මේ සියලු කරුණු වටහා දෙන්නේ මුඩුක්කු උප භාෂාවේ එන වචන යොදාගනිමිනි. මුඩුක්කු සමාජයේ ජිවත්වන මිනිසුන් පිළිබදව කෙරෙන සමාජ විග්‍රහයක් මේ ගීතය තුළ දැකිය හැකිය.

කොත නං කොත කුරුසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගේත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත

මේ කීමක් සිදු වුවත් ගුණේ අයියගෙ මුඩුක්කු පරිසරයේ හෙවත් වත්තේ සියලු දෙනා ගැන තොරතුරු ගුණේ අයියා ඉතාම හොදින් දනියි. එනම් සියලු දෙනාගේ ක්‍රියාකලාපයන් හැසිරීම් ගතිගුණ ගුණේ අයියා ඉතාම හොදින් දනියි. ඒ බව උක්ත පද මාලාවෙන් පෙන්වාදෙයි. මොන කතා කිව්වත් මොන දේ සිදුකරත් ඒ සියල්ල සැමට පෙර ගුණේ අයියාට වාර්තා වෙයි. එමෙන්ම කාගේත් කැරැට්ටුව ගුණේ අයියා දනියි.

දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත

ගීය අවසන් වන්නේ මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ යන වචන මාලවෙන්නි නමුත් ගියේ අවසන් පද මාලාවේ ගුණේ අයියගෙ චරිත ලක්ෂණ මනාවට විග්‍රහ කරයි. දුකට සැපට දෙකටම කා වෙනුවෙන් වුවත් එලියට බහින ගුණේ අයියගෙ හිත බ්ලේඩ් වලින් වත කැපෙන්නෙ නැත.
මේ ගීය සැබවින්ම මුඩුක්කු සමාජයේ එක් චරිතයක් යොදාගෙන ඔහු පිළිබදව විවරණයක් කරමින් සමස්ත මුඩුක්කු සමාජයම පිළිබදව සුක්ෂම ලෙස විග්‍රහයකට ලක්කරන්නකි. ගීතයටම උචිත නාද මාලාවකින් යුක්ත වේග රිද්මයෙන් යුක්ත මේ ගීය අප කාගේත් සිත ඇද ගත්තේ එහි නාද මාලවටයි. ගීතය පුරාවට විහිදුනු සෑම වචනයක්ම මුඩුක්කු පරිසරයට අවේනික වචනයන් ය. මුඩුක්කු සමාජයට ආගන්තුක එකදු වචනයක් මේ පදමාලාවට යොදාගෙන නැත.

නිහාල් නෙල්සන්ගේ මෙම ගීතය 1985 දී "පුතුනි මට සමාවෙන්න" චිත්‍රපටය සඳහා යොදා ගෙන ඇත. මෙම ගීත  ජවනිකාව වෙනුවෙන් නිහාල් නෙල්සන් නටමින් රඟපා ඇත.

(උපුටා ගැනීමකි.)
(ජායාරූප උපුටා ගැනීම - මව්බිම පුවත්පත)










Thursday, August 6, 2020

මියුරු කල්පනා ...

මියුරු කල්පනා
නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
වරෙක නැළැවුණා
වරෙක ලතැවුණා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුණා
මියුරු කල්පනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි...//
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

මියුරු කල්පනා
නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
මියුරු කල්පනා

පිණි බිඳකින් මුතු අමුණමි
ගිණිසුරුගෙන් සීතල දෙමි...//
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

මියුරු කල්පනා
නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
වරෙක නැළැවුණා
වරෙක ලතැවුණා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුණා
මියුරු කල්පනා

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - සරත් දසනායක
දිණුම් කණුව චිත්‍රපටියෙන් (1974)

දිනුම් කණුවෙහි, අධ්‍යක්ෂ රංජිත් පෙරේරා, එහි සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක, මියුරු කල්පනා මියුරු වදනින් සැරසූ ප්‍රේමකීර්ති, චිත්‍රපටයේ දී පසුබිම් ගීතයේ අයිතිකරුවා වී රංගනයෙන් අප හද වසඟ කළ, යෞවනයේ සිහින කුමාරයා ටෝනි රණසිංහ, ගීතය ගයනු ලැබූ සාද ජවනිකාවේදී සමීප රූප ලෙස දුටු, ඩී. ආර්. නානායක්කාර, රුක්මණී දේවී, එච්.ආර්.ජෝතිපාල ආදී කිසිවෙකුත් අද අප අතර නොවේ.

ටෝනි රණසිංහ තම ගීයෙන් ඇමතූ සමීප රූපයක් වසා ගත් කාන්තිමත් දෑස් සතු වූ යෞවනිය, මාජි මන්ත්‍රිනායකය (ඇය රඟපෑ එකම චිත්‍රපටය මෙය පමණි). ටෝනි, මියුරු කල්පනා ගායනා කරමින් සාදයට රැස්වූවන් අතර සරයි.

මාජිගේ දිදුලන දෙනෙත තිරය වසාගත් සමීප රූපයේය. යුරෝපීය ඇඳුමින් සැරසුණු ඩී.ආර්.නානායක්කාර, දුම්වැටි‍යක් බොන දර්ශනයක් සමඟ, සාදයට ආලෝකයක් බඳු රුක්මණී දේවියගේ රූපයද පෙනේ. ටෝනි තම ගීයෙන්, වික්ටර් තම ප්‍රේමණීය ස්වරයෙන් ප්‍රේමකීර්ති තම අපූරු පද වැලින් හා සරත්ගේ මධුර් තනු නිර්මාණයෙන් මාජි අමතා පවසන්නේ කුමක් ද?

ටෝනි රණසිංහ මේ ගීතය ගයමින් රැඟූ දිනුම් කණුව චිත්‍රපටය තිරගත වන්නේ 1974 දී ය. නාඹර යෞවන විය පසුකොට සිටියද, වයස අවුරුදු තිස්හයේදී පමණ ටෝනිගේ රූපකායෙන් තාරුණ්‍යය ඉක්ම ගිය බවක් නොදකිමු. ඔහුගේ ඇමතුම්, සංවාද උච්චාරණය කරන, ඔහුටම අනන්‍ය විලාසය, කටහඬ සමඟ ඉතා අපූරුවට සුසංයෝගී වන හඬක් වී නම්, ඒ හඬ වික්ටර් රත්නායක සතු බව දිනුම් කණුවට පෙරාතුව වුව, 1969 තරම් ඈත කාලයක ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ හන්තාන චිත්‍රපටයේ නන්දා මාලිනී සමඟ ගායනා කළ, සරා සොඳුරුමල් පැටලී ගීතය ද අපට සිහිපත් කරයි.

ගායනයෙන් ප්‍රේක්ෂක හදවත් අමන්දා නන්දයට ප්‍රමෝදයට පත් වූයේ වික්ටර් රත්නායකගේ ගායන මාධූර්යයෙනි. සරා සොඳුරු මල්පැටලී ගීයෙහි මෙන්ම, මියුරු කල්පනා ගීතයෙහිද රැඳී තිබුණු වික්ටර්ගේ ගායන මාධූර්යය ඔස්සේ, ටෝනි රණසිංහ නම් වූ තරුණ ප්‍රේමවන්තයාගේ ආදරණීය පෙම්වතාගේ රුව අපි දුටු වෙමු. වික්ටර්ගේ හඬට ඇලුම් කරන මොහොතක් පාසා ටෝනිගේ රුවට ද ඇලුම් කිරීමට අප පෙළැඹේ. වික්ටර්ගේ හඬින් යෞවනයේ මධුර ස්වරය විසිරෙන කළ ටෝනිගේ රුවින් තාරුණ්‍යයේ ආකර්ෂණීය රුව සොබාව පැතිරේ. ගායක වික්ටර් රත්නායක සේම, රංගනවේදී ටෝනි රණසිංහ ද අපගේ වීර චරිත වන්නේ එබැවිනි.

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ, ගේය පද සංකල්පනා අතර විශේෂයෙන් චිත්‍රපට ගීත සඳහා රචිත ගේය පද සංකල්පනා අතර, මියුරු කල්පනා ගීතය සුවිශේෂී වන්නේ, ඔහුගේ සරල ගීතාවලිය මතු නොව චිත්‍රපට සඳහා නිර්මාණය කළ, ගීත අතරද, අපූර්ව සංකල්ප රූප මවන කාව්‍යෝක්ති පූර්ණ, ගීතයක් වන බැවිනි.

ළඳකගේ ආදරය වෙනුවෙන් ඈ සැනැහෙන්නී නම්, ඈ හිනැහෙන්නී නම්, මේ පෙම්වතාට කළ නොහැක්කේ කුමක්ද? ඔහු විස්මිත මැවුම් පානා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ නම්, පිනි බිඳකින් මුතු අමුණන්නේ කෙසේද? ඔහු ඇගේ ආදරය වෙනුවෙන්, පාන්නේ යැයි පැවසෙන සියලු විස්කම් යථාර්ථයෙන් ඈතය. සුරංගනා කතාවක, මන්ත්‍රකාරියක ගේ මැවීම් සිහිගන්වන ආකාරයේ වීර ක්‍රියායි. දිනිසුරුගෙන් සීතල දෙන්නේ කෙසේද?

නිර්මාණය පුරා දිවෙන්නේ උත්ප්‍රාසයයි. එහෙත් ඈ වෙනුවෙන්, ඔහු නිර්මාණය කරන්නේ යැයි පැවසෙන සියල්ල සුන්දර වස්තූන්ය. එසේම එලෙස මවන්නට දුෂ්කර දෑයි. පිනි බිඳක් සේම මුතු ඇටයක් ද සිත් ගනී.

එහෙත් පිනිබිඳු එක්කොට මුතු ඇමිණීමට මැකී නොයන පිනි බිඳු රාශියක් ඕනෑ වේ.

පිනි බිඳු සැණෙකින් හිරු එළියෙන් මැකී යන්නකි. දිනිසුරු පතුරවන්නේ උණුසුම් වූත්, තෙදවත් වූත්, ගතට සිහිල නොගෙනෙනා උණුසුම ම පමණි. ඉදින් ගීත රචකයා පවසන්නේ, දිනිසුරුගෙන් සීතල දෙන බවයි. කටු අකුලකින් මල් පුබුදුවීම බොරුය. එහෙත් කටු අකුලක මලක් පිපී ඇත්නම්, එය සුන්දර දසුනකි. එහෙත් එය නෙළාගැන්මද දුෂ්කරය. ඇගේ සැනසුම වෙනුවෙන්, ඔහු ඒ සියල්ල ඉටුකිරීමට සූදානම් ය. ඇගේ ඇස’ග දැල්වෙන මියුරු කල්පනා දකින ඔහු සිත හිනැහේ. එහෙත් වරෙක හිනැහෙන හිත තවත් වරෙක ළතැවේ. නුහුරු නුපුරුදු ගිනි දහසකින් සිත මැලවේ.

වරෙක හිනැහුණා වරෙක ළතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුණා”

හිනැහෙන, ළතැවෙන , මැලැවෙන හදින් යුතු ඔහු ඈ සිනාවෙන් තබන්නට, ඇගේ සැනසුම වෙනුවෙන් සැබෑ ලෝකයේ සිදු නොවෙන, මනෝලෝකයක දී පමණක්, ඉටුකර ගැන්මට හැකිවේ යයි විශ්වාස කෙරෙන ‘ප්‍රාතිහාර්ය පාන්නෙ මැයි පවසයි.

‘හිම ගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කඩු තුඩු මත සැතැපෙන්නෙමි
ඔබ සැනැහේනම්...”

හිමාල පර්වතය ඔහුට වැලි අහුරකි. මහාසාගරය කුඩා දිය රැල්ලකි. පෙම්වතාගේ ෆැන්ටසියේ දී ඔහුගේ මනෝමය රූපය ඈ වෙනුවෙන් ඔහුගේ ආදරයේ කූට ප්‍රාප්ත අවස්ථාව ප්‍රකාශ කෙරෙන්නේ ද කිසි දිනෙක ඉටුකළ නොහෙන දුෂ්කර ක්‍රියාවක් කරන්නෙමැයි යන පිළිණ දීමෙනි.

“කඩු තුඩු මත සැතැපෙන්නෙමි
ඔබ සැනසේනම්”

කියායි මෙහි කතා නායකයා පවසන්නේ.

තියුණු කඩු තුඩක් මත සැතැපීම යනු ජීවිතයත් මරණයත් අතර අවදානම් සහිත දුෂ්කර අභියෝගයකි. ගේය පද රචකයා විසින් කතා නායකයාගේ මුවට නංවන්නේ, ප්‍රායෝගිකව, සැබෑ ලෝකයේ කළ හැකි එකදු ක්‍රියාවක් හෝ නොවේ. කල්පිත ලොව සිදුවේ යැයි ඇදැහිය හැකි දේය.

එහෙත් අසීමිත ප්‍රේමයක් හමුවේ ඉරහඳ පවා ගෙනැවිත් දෙන්නට, පිළිණ දෙන පෙම්වතුන්ගේ කතා අප අසා ඇත. මේ පෙම්වතාත් ඊට නොදෙවෙනිය.

දිනුම් කණුව චිත්‍රපටයේ ටෝනි රණසිංහ, සැහැල්ලු ඇඳුමකින් සැරසී, සැහැල්ලු ලෙස මේ ගීය ගයමින්, වරින්වර, ප්‍රධාන නිළිය, මාජිගේ ගැඹුරු නිසල දෑස දෙස බලමින් කෙරෙන රංගනය මන බඳී.

වික්ටර් විසින් තම ගායන ජීවිතය තුළ ගයන ලද අපූර්වතම චිත්‍රපට ගීතාවලියේ ඇතැම් ගීතයක්, මියුරු කල්පනා සමඟ මතකයට එයි.

(දිනමිණ - බුද්ධදාස ගලප්පත්ති මහතා)








Tuesday, August 4, 2020

දෑස පියාගත් කල ...

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ...
සිත සැනසුවේ.....//

අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...//
සිත කැළඹුනේ - ඇයි නොම දැනේ...
කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී..

දෑස පියාගත් කල..

රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා...//
මතකය මගේ - අවදි වුනේ..
ඒ එදා‍ය මේ මෙදාය මට සිතාගන්න නොදී...

දෑස පියාගත් කල...

පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : ජැක්සන් ඇන්තනි/ ජෝර්ජ් සේනානායක 

70 දශකයේදී චිත්‍ර කතා පත්තර පාඨක ජනතාව අතර ජනප්‍රිය මාධ්‍යයක් විය. එම මාධ්‍යය යෞවන යෞවනියන් අතර ජනප්‍රිය කරලීම සඳහා සතුට චිත්‍ර කතා පත්තරයට සම්බන්ධ වී නිර්මාණකරණයේ යෙදුණ ජනක රත්නායක නම් විශිෂ්ට චිත්‍ර ශිල්පියා විසින් මහඟු මෙහෙවරක් ඉටු කර ඇති බව අවිවාදිතය. සංවේදී ආදර කතාන්දරයක් කේන්ද්‍රගත කරමින් ඒ වටා නිර්මාණය කරනු ලබන චරියන්ගේ හැඩ තල තත්කාලීන සමාජයේ ජීවත් වූ චරිතයන්ට වඩා එයට දශකයකට පමණ ඉදිරියේදී දැක බලා ගත හැකි චරිතයන් බවට නිර්මාණය කිරීමට ජනක සැම විට උත්සාහ ගෙන තිබීම, ඔහුගේ ප්‍රතිභාවේ අනන්‍යතාවය විය. එබැවින් ඔහු මැවූ චරිතවලින් සර්වකාලීන බවක් විශද විය. ජනක විසින් සතුට චිත්‍ර කතා පත්තරයට නිර්මාණය කරන ලද සුසීමා චිත්‍ර කතාව පාදක කරගෙන ‘සුසීමා’ ටෙලි නාට්‍යය නිර්මාණය කරන ලද්දේ ෆයින් විෂන් රූපවාහිනී නිෂ්පාදන ආයතනයේ අධිපති රොහාන් වැලිවිට විසිනි. විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ලද ප්‍රවීණයන්ගේ පළමු රූපවාහිනී ආගමනය සිදුවන්නේ ද මේ ටෙලි නාට්‍ය නිර්මාණය තුළිනි. ජැක්සන් ඇන්තනි සහ ක්ලැරන්ස් විජේවර්ධන ඒ අතුරින් ප්‍රධාන වේ. ටෙලි නාට්‍යය පුරා දිවෙන සංගීත අන්දරය ඖචිත්‍ය වශයෙන් ගීත සහ සංගීත ඛණ්ඩ යොදා ගැනීම පිණිස ක්ලැරන්ස් දැක් වූ දක්ෂතාවය අද පවා එම ටෙලි නාට්‍යය ජනතා ආකර්ෂණය දිනා ගැනීමට හේතු ප්‍රත්‍ය වන ප්‍රධාන සාධකය බව අවිවාදිතය. ජැක්සන් ඇන්තනි සහ ජෝ්ර්ජ් සේනානායක විසින් ටෙලි නාට්‍යයේදී ගායනා කරනු ලබන ‘දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව’ යන ගීතයට දශක තුනක ආයු කාලයක් ගත වී තිබුණ ද වර්තමානයේදී පවා ඕනෑම සම්භාෂණයකදී ගැයෙන ගීතයක් බවට එය ජනප්‍රිය වී ඇත. එයින් විශේෂ වන්නේ ක්ලැරන්ස්ගේ නොමියෙන ප්‍රතිභාවයි.

(උපුටා ගැනීම - අනුර මාධව ජයසේකර)



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...