Thursday, August 6, 2020

මියුරු කල්පනා ...

මියුරු කල්පනා
නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
වරෙක නැළැවුණා
වරෙක ලතැවුණා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුණා
මියුරු කල්පනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි...//
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

මියුරු කල්පනා
නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
මියුරු කල්පනා

පිණි බිඳකින් මුතු අමුණමි
ගිණිසුරුගෙන් සීතල දෙමි...//
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

මියුරු කල්පනා
නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා
වරෙක නැළැවුණා
වරෙක ලතැවුණා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුණා
මියුරු කල්පනා

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - සරත් දසනායක
දිණුම් කණුව චිත්‍රපටියෙන් (1974)

දිනුම් කණුවෙහි, අධ්‍යක්ෂ රංජිත් පෙරේරා, එහි සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක, මියුරු කල්පනා මියුරු වදනින් සැරසූ ප්‍රේමකීර්ති, චිත්‍රපටයේ දී පසුබිම් ගීතයේ අයිතිකරුවා වී රංගනයෙන් අප හද වසඟ කළ, යෞවනයේ සිහින කුමාරයා ටෝනි රණසිංහ, ගීතය ගයනු ලැබූ සාද ජවනිකාවේදී සමීප රූප ලෙස දුටු, ඩී. ආර්. නානායක්කාර, රුක්මණී දේවී, එච්.ආර්.ජෝතිපාල ආදී කිසිවෙකුත් අද අප අතර නොවේ.

ටෝනි රණසිංහ තම ගීයෙන් ඇමතූ සමීප රූපයක් වසා ගත් කාන්තිමත් දෑස් සතු වූ යෞවනිය, මාජි මන්ත්‍රිනායකය (ඇය රඟපෑ එකම චිත්‍රපටය මෙය පමණි). ටෝනි, මියුරු කල්පනා ගායනා කරමින් සාදයට රැස්වූවන් අතර සරයි.

මාජිගේ දිදුලන දෙනෙත තිරය වසාගත් සමීප රූපයේය. යුරෝපීය ඇඳුමින් සැරසුණු ඩී.ආර්.නානායක්කාර, දුම්වැටි‍යක් බොන දර්ශනයක් සමඟ, සාදයට ආලෝකයක් බඳු රුක්මණී දේවියගේ රූපයද පෙනේ. ටෝනි තම ගීයෙන්, වික්ටර් තම ප්‍රේමණීය ස්වරයෙන් ප්‍රේමකීර්ති තම අපූරු පද වැලින් හා සරත්ගේ මධුර් තනු නිර්මාණයෙන් මාජි අමතා පවසන්නේ කුමක් ද?

ටෝනි රණසිංහ මේ ගීතය ගයමින් රැඟූ දිනුම් කණුව චිත්‍රපටය තිරගත වන්නේ 1974 දී ය. නාඹර යෞවන විය පසුකොට සිටියද, වයස අවුරුදු තිස්හයේදී පමණ ටෝනිගේ රූපකායෙන් තාරුණ්‍යය ඉක්ම ගිය බවක් නොදකිමු. ඔහුගේ ඇමතුම්, සංවාද උච්චාරණය කරන, ඔහුටම අනන්‍ය විලාසය, කටහඬ සමඟ ඉතා අපූරුවට සුසංයෝගී වන හඬක් වී නම්, ඒ හඬ වික්ටර් රත්නායක සතු බව දිනුම් කණුවට පෙරාතුව වුව, 1969 තරම් ඈත කාලයක ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ හන්තාන චිත්‍රපටයේ නන්දා මාලිනී සමඟ ගායනා කළ, සරා සොඳුරුමල් පැටලී ගීතය ද අපට සිහිපත් කරයි.

ගායනයෙන් ප්‍රේක්ෂක හදවත් අමන්දා නන්දයට ප්‍රමෝදයට පත් වූයේ වික්ටර් රත්නායකගේ ගායන මාධූර්යයෙනි. සරා සොඳුරු මල්පැටලී ගීයෙහි මෙන්ම, මියුරු කල්පනා ගීතයෙහිද රැඳී තිබුණු වික්ටර්ගේ ගායන මාධූර්යය ඔස්සේ, ටෝනි රණසිංහ නම් වූ තරුණ ප්‍රේමවන්තයාගේ ආදරණීය පෙම්වතාගේ රුව අපි දුටු වෙමු. වික්ටර්ගේ හඬට ඇලුම් කරන මොහොතක් පාසා ටෝනිගේ රුවට ද ඇලුම් කිරීමට අප පෙළැඹේ. වික්ටර්ගේ හඬින් යෞවනයේ මධුර ස්වරය විසිරෙන කළ ටෝනිගේ රුවින් තාරුණ්‍යයේ ආකර්ෂණීය රුව සොබාව පැතිරේ. ගායක වික්ටර් රත්නායක සේම, රංගනවේදී ටෝනි රණසිංහ ද අපගේ වීර චරිත වන්නේ එබැවිනි.

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ, ගේය පද සංකල්පනා අතර විශේෂයෙන් චිත්‍රපට ගීත සඳහා රචිත ගේය පද සංකල්පනා අතර, මියුරු කල්පනා ගීතය සුවිශේෂී වන්නේ, ඔහුගේ සරල ගීතාවලිය මතු නොව චිත්‍රපට සඳහා නිර්මාණය කළ, ගීත අතරද, අපූර්ව සංකල්ප රූප මවන කාව්‍යෝක්ති පූර්ණ, ගීතයක් වන බැවිනි.

ළඳකගේ ආදරය වෙනුවෙන් ඈ සැනැහෙන්නී නම්, ඈ හිනැහෙන්නී නම්, මේ පෙම්වතාට කළ නොහැක්කේ කුමක්ද? ඔහු විස්මිත මැවුම් පානා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ නම්, පිනි බිඳකින් මුතු අමුණන්නේ කෙසේද? ඔහු ඇගේ ආදරය වෙනුවෙන්, පාන්නේ යැයි පැවසෙන සියලු විස්කම් යථාර්ථයෙන් ඈතය. සුරංගනා කතාවක, මන්ත්‍රකාරියක ගේ මැවීම් සිහිගන්වන ආකාරයේ වීර ක්‍රියායි. දිනිසුරුගෙන් සීතල දෙන්නේ කෙසේද?

නිර්මාණය පුරා දිවෙන්නේ උත්ප්‍රාසයයි. එහෙත් ඈ වෙනුවෙන්, ඔහු නිර්මාණය කරන්නේ යැයි පැවසෙන සියල්ල සුන්දර වස්තූන්ය. එසේම එලෙස මවන්නට දුෂ්කර දෑයි. පිනි බිඳක් සේම මුතු ඇටයක් ද සිත් ගනී.

එහෙත් පිනිබිඳු එක්කොට මුතු ඇමිණීමට මැකී නොයන පිනි බිඳු රාශියක් ඕනෑ වේ.

පිනි බිඳු සැණෙකින් හිරු එළියෙන් මැකී යන්නකි. දිනිසුරු පතුරවන්නේ උණුසුම් වූත්, තෙදවත් වූත්, ගතට සිහිල නොගෙනෙනා උණුසුම ම පමණි. ඉදින් ගීත රචකයා පවසන්නේ, දිනිසුරුගෙන් සීතල දෙන බවයි. කටු අකුලකින් මල් පුබුදුවීම බොරුය. එහෙත් කටු අකුලක මලක් පිපී ඇත්නම්, එය සුන්දර දසුනකි. එහෙත් එය නෙළාගැන්මද දුෂ්කරය. ඇගේ සැනසුම වෙනුවෙන්, ඔහු ඒ සියල්ල ඉටුකිරීමට සූදානම් ය. ඇගේ ඇස’ග දැල්වෙන මියුරු කල්පනා දකින ඔහු සිත හිනැහේ. එහෙත් වරෙක හිනැහෙන හිත තවත් වරෙක ළතැවේ. නුහුරු නුපුරුදු ගිනි දහසකින් සිත මැලවේ.

වරෙක හිනැහුණා වරෙක ළතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුණා”

හිනැහෙන, ළතැවෙන , මැලැවෙන හදින් යුතු ඔහු ඈ සිනාවෙන් තබන්නට, ඇගේ සැනසුම වෙනුවෙන් සැබෑ ලෝකයේ සිදු නොවෙන, මනෝලෝකයක දී පමණක්, ඉටුකර ගැන්මට හැකිවේ යයි විශ්වාස කෙරෙන ‘ප්‍රාතිහාර්ය පාන්නෙ මැයි පවසයි.

‘හිම ගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කඩු තුඩු මත සැතැපෙන්නෙමි
ඔබ සැනැහේනම්...”

හිමාල පර්වතය ඔහුට වැලි අහුරකි. මහාසාගරය කුඩා දිය රැල්ලකි. පෙම්වතාගේ ෆැන්ටසියේ දී ඔහුගේ මනෝමය රූපය ඈ වෙනුවෙන් ඔහුගේ ආදරයේ කූට ප්‍රාප්ත අවස්ථාව ප්‍රකාශ කෙරෙන්නේ ද කිසි දිනෙක ඉටුකළ නොහෙන දුෂ්කර ක්‍රියාවක් කරන්නෙමැයි යන පිළිණ දීමෙනි.

“කඩු තුඩු මත සැතැපෙන්නෙමි
ඔබ සැනසේනම්”

කියායි මෙහි කතා නායකයා පවසන්නේ.

තියුණු කඩු තුඩක් මත සැතැපීම යනු ජීවිතයත් මරණයත් අතර අවදානම් සහිත දුෂ්කර අභියෝගයකි. ගේය පද රචකයා විසින් කතා නායකයාගේ මුවට නංවන්නේ, ප්‍රායෝගිකව, සැබෑ ලෝකයේ කළ හැකි එකදු ක්‍රියාවක් හෝ නොවේ. කල්පිත ලොව සිදුවේ යැයි ඇදැහිය හැකි දේය.

එහෙත් අසීමිත ප්‍රේමයක් හමුවේ ඉරහඳ පවා ගෙනැවිත් දෙන්නට, පිළිණ දෙන පෙම්වතුන්ගේ කතා අප අසා ඇත. මේ පෙම්වතාත් ඊට නොදෙවෙනිය.

දිනුම් කණුව චිත්‍රපටයේ ටෝනි රණසිංහ, සැහැල්ලු ඇඳුමකින් සැරසී, සැහැල්ලු ලෙස මේ ගීය ගයමින්, වරින්වර, ප්‍රධාන නිළිය, මාජිගේ ගැඹුරු නිසල දෑස දෙස බලමින් කෙරෙන රංගනය මන බඳී.

වික්ටර් විසින් තම ගායන ජීවිතය තුළ ගයන ලද අපූර්වතම චිත්‍රපට ගීතාවලියේ ඇතැම් ගීතයක්, මියුරු කල්පනා සමඟ මතකයට එයි.

(දිනමිණ - බුද්ධදාස ගලප්පත්ති මහතා)








No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...