Friday, July 17, 2020

මීන නුවන් යුගින් බලන් ...

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දිවයින පුවත්පතේ ඔහු විසින් රචිත ගී වලට පසුබිම් වූ කතා පිළිබඳව කරන ලද විවරණයක්.

එහිදී එතුමා ලියූ පේ‍්‍රම ගීතාවලියේ කැමති ගීතය ලෙස ”මීන නුවන් යුගින් බලන් මීනා” කියන ගීතය බව කියා ඇත. 

මීන නුවන් යුගින් බලන්

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා ...//

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත් බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

අත් වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු  ..//
මෘදංග නද ගැටබෙර හඩ
අපගේ දෙසවනට එකයි

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් ..
මීනා

ගායනය - නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

මේ ගීතය මං ලිව්වේ යාපනයේදී. යාපනයේ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට ආරම්භක කථිකාචාර්යවරුන් හැටියට පත්වීම් ලබලා ගියේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ සහ මම. මම ජීවිතේ පළවෙනි වතාවට තමයි යාපනේට ගියේ. ඊට කලින් වන්දනා ගමනකටවත් මම යාපනේට ගිහිං නැහැ. ඇත්තටම අපි යන කාලේ යාපනේ හුඟක් කලබලයක් තිබිච්ච් කාලයක් නෙමෙයි. දෙමළ භාෂාව සම්බන්ධයෙන් මට උනන්දුවක් ඇතිවුණේ මම යාපනේ හිටපු නිසා. බොහෝ දේවල් සිද්ධ වුණා යාපනේ හිටපු අවුරුදු කිහිපය තුළ. 

අපේ විශ්වවිද්‍යාලයේ පාලන අංශයේ හිටියා හිතවතෙක් සිංහල කෙනෙක්. එතුමා පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තා යාපනේ ඔහුගේ යටතේ සේවය කරපු සේවිකාවක් සමග. ඉතාම සුරූපී තරුණියක්. ඉතිං මේ පේ‍්‍රම සම්බන්ධයට දැඩි විරෝධයක් එල්ල වුණා ඔහුගේ පාර්ශ්වයෙනුත්, ඇය ගේ පාර්ශ්වයෙනුත්. හරිම සුන්දර ජීවිතයක් අපි ඔවුන් එක්ක ගත කළා. අපි ඔවුන් එක්ක නාගදීපේ ගියා, කැශුරිනා බීච් ගියා අපිත් එක්කම තමයි ඔවුන් ගේ පේ‍්‍රමය වැඩුණේ. ගම්ලත්, පතිරාජ සහ මම සමග අපේම තව සහෝදරයෙක් වගේ තමයි ඒ මිතුරා හිටියේ. මේ පේ‍්‍රම සම්බන්ධය තමයි මේ ‘මීන නුවන් නෙතින් බලං මීනා’ කියන ගීතය ලියන්න හේතු වුණේ.
 
මේ ගීතය සිංහල දෙමළ ජාතික සමගිය පිළිබඳ ලියැවුණු පළමු ගීතය නේද?
 
ඇත්තෙන්ම සිංහල දෙමළ ජාතික සමගිය සම්බන්ධයෙන් ලියවෙච්ච පළවෙනි ගීතය විදිහට මේ ගීතයට වෙනම තැනක් ස්ථාපිත වෙනවා ගීත සාහිත්‍යයේ. ඊට කලින් කුන්ඩුමනී කියලා ගීතයක් ලියවුණා. නමුත් මෙහි කුන්ඩුමනී කියලා දෙමළ චරිතයක් ගැන කියවෙනවා මිසක් එහෙම ජාතික සමගිය පිළිබඳ කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගීතාවලියේ පළවෙනි ගීතය හැටියට මෙහි විශේෂත්වයක් තියෙනවා.

(දිවයින)



දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ...

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙළූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ
කවුදෝ දන්නේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන 
තනුව හා සංගීතය - නිමල් මෙන්ඩිස්

Then he kissed me " කියන්නේ 1963 දී The Crystal සංගීත කණ්ඩායම විසින් නිකුත් කරන ලද ගීතයක්.මෙම ගීතය පසු කාලීනව වඩාත් ජනප්‍රිය වෙනවා මාටින් ස්කෝසස් ගේ Goodfellas (1990) චිත්‍රපටයේ හෙන්රි සහ කැරන් සමාජ ශාලාවක මුළුතැන්ගෙය පැත්තෙන් ඇතුළු වීමේ දර්ශණයේ දී පසුබිමෙන් වාදනය වීමත් සමග. මේ ගීතය අපට ද හුරු පුරුදු එකක් විය යුත්තේ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනියගේ " දවසක් දා වසන්ත සැණකෙළියේ " ගීතයෙහි ඇත්තේ මෙම "Then he kissed me " හි තනුව/සංගීතය වීමයි

අනතුරුව The Beach Boys සංගීත කණ්ඩායමත් මෙම තනුව ආශ්‍රයෙන් 1965 දී "Then i kissed her" නමින් ගීතයක් ගයා ඇත.












සාගර තරංගා ...

සාගර තරංගා සුදු වෙරළ සිබින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්සිලෙන්
ඔබේ දෙනෙතට එබී 
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුලන් දැලෙන් 
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

ගායනය - ජගත් වික්‍රමසිංහ
පදරචනය - රොඩ්නි විදානපතිරණ
සංගීතය - සුනිල් ධර්මසේන

මේ ගීතය නිර්මාණය වූයේ 1996 වසරේ දී. ඒ රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ සාගර තරංගා ටෙලිනාට්‍යයටයි. එය ශ‍්‍රී ලංකා මාලදිවයින් ඒකාබද්ධ නිෂ්පාදනයක්. රූගතකිරීම් තිබුණේ මාලදිවයින් දූපත්වලයි. සංගීත කණ්ඩායමක් වටා ගෙතුනු මෙම ටෙලිනාට්‍යයේ ජගත් වික්‍රමසිංහයන් ගී ගයමින් රඟපාන්නට නියමිතව තිබුණා. මීට අමතරව මධු මාධව අරවින්ද, නිල්මිණී තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ ඇතුළු ශ්‍රී ලාංකික නළු නිළි පිරිසක් දායකවන්නට ගියා. ඊට අමතරව මාලදිවයින් නිළියක්ද මෙහි චරිත නිරූපණය කළා. පසුබිමින් ඇයට ඇසෙන ගීතය හැටියටත් මේ ගීතය මරියසෙල් ගුණතිලක මහත්මියගේ හඬින් පටිගත වූවා.

ඒත් මේ ටෙලිනාට්‍යය අතරමග නතරවුණේ මාලදිවයින මුහුදේදි හටගත් දරුණු කුණාටුවක් නිසයි. කුණාටුවෙන් අනූ නවයෙන් දිවි බේරාගත් නළු නිළියන් සහ නිෂ්පාදක කණ්ඩායම නැවත ලංකාවට ආවා. ටෙලිනාට්‍යය නැවතුණත් ගීතය ඉතිරි වුණා. පසුව ජගත් වික්‍රමසිංහයන් විසින් ගායනා කරන ගීතය ජනප්‍රිය වුණා.    සාගර තරංගා සුදු වෙරල සිඹින්නා....

ඒ නිසා ටෙලිනාට්‍යයේ අවසානයට ඉතිරිවුනේ මේ අලංකාර ගීතය පමණයි. ඇත්තටම ජගත් වික්‍රමසිංහ මේ ගීය ගැයුවාට සාගර තරංගා ටෙලිනාට්‍යයේ අඩංගු ගීතය යුග ගීතයක්. මරියසෙල් ගුණතිලක සමගින් ජගත් වික්‍රමසිංහ තමා මේ ගීතය ගායනා කරන්නෙ. ටෙලි නාට්‍යය ගෙතුනෙත් සුසීමා වගේම සංගීත කණ්ඩායමක් වටා  පසුබිම් කරගෙන. මේ ගීතයේ රූප රාමු තුල රගපෑවේ ජගත් වික්‍රමසිංහ සමගින් නිල්මිණි තෙන්නකෝන්... නිල්මිනී තෙන්නකෝන් වෙනුවෙන් මරියසෙල් ගුණතිලක මහත්මිය මේ ගීතය ගායනා කලා.

රතුරෝස, සුසීමා, සාගර තරංගා වගේ ටෙලි නාට්‍යය 90 දශකයේ රසිකයන්ට අලංකාර ගීත රැසක්ම තිලිණ කරන්න සමත් උනා.






වැලි තල අතරේ...

වැලි තල අතරේ හෙමිහිට බසිනා  
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදුවුණදා  
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා//   

හිම කඳු වැටියේ සීතල සෙවණේ වන්දන තුරු පිහිරා   
හැපී එන මල් මුව රූ රසිනේ   
සුවඳ මුසු කෝමල මඳ පවනේ ගැටීලා පාවෙනා   
සත් සර නඟලා ටික ටික සෙලවී සිරිමහ බෝ හිමිගේ   
මනෝ හර පලු පත් අතු රිකිළි   
නටා ගිය තාලෙහි රස නැගුණා සරාගී ජීවනා   

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආදා   
සිටම තව මහමෙවුනා උයනේ   
නටයි කොළ වන්නම ලෙස මහ ​බෝ සුමීරී නාදෙනා”   

මේ ගිතයට තනුව නිර්මාණය කොට ගැයුවේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන්ය.   

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වැඩිකාලයක් එකල ගත කලේ කොළඹ කොටුවේ පිහිටි ටයිම්ස් මන්දිරයේ. එවකට කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල එයයි. 1947 ලංකාදීප පුවත්පතේ ආරම්භය සනිටුහන් වෙන්නෙත් මේ මන්දිරයේ. ලංකාදීප පුවත්පත ආරම්භ කරන නැකත පවා සාදන්නේ මානවසිංහයන්මයි.
මෙම ගීතය “ලංකාදීප” පත්‍රයේ කර්තෘ මාණ්ඩලිකයකුව සිටියදී කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහලේ දී ඔහුට ඇති වු කවි සිතුවිල්ලකිනි. ඒ ගැන ඔහු විසින්ම විස්තර කර ඇත්තේ මෙසේය.   

‘‘මම කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වැනි මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැළි වලින් වෙළි ගිය බෝ ගසක නැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමග වෙළි ගියේය. ​මේ ලතාව ඉබේටම වාගේ මගේ මුවින් “තන තන තනෙනා - තන තන තනෙනා- තානෙන තන - තානෙන තන තනෙනා - තනානා තානෙනා” යනුවෙන් මගේ මුවට නැගෙනාත් සමගම ඒ අභිරමණීය ප්‍රභාමත් ප්‍රශාන්ත ප්‍රභාතයේ නේරංජනා නදී තීරයේ බෝරුක් සෙවණේ සව්නේ ගෙවා, දැන පහන් වී ගිය මුහුණින් යුතුව ශාන්ත සමාධි සුවයෙන් වැඩ සිටි ශාක්‍ය සිංහයන් වහන්සේගේ විලාශයත් ඉන් පසුකලෙක සඟමිත් මෙහෙණිය විසින් සිරිමා බෝ දකුණු ශාඛාව හෙළ දිවට ගෙන ආ දිනයේ ඒ බෝපත් නටා ගිය සැටිත්, මගේ මනැසෙහි ඇදී ගියේය. මේ සිදුවීම් මවිසින් වචන වැලකට එක් කළේ බෝපත් නටා ගිය ලතාව අනුකරණයෙන් උපන් තාලයට අනුවයි.   

ටයිම්ස් මන්දිරයේ ඉදිරියෙන් පිහිටි බෝධීන් වහන්සේ නමක් එවකට වැඩසිටි සිටි අතර ඒ බෝධීන් වහන්සේගේ බෝ පත් සුළඟට සෙලවෙන නාදයට දෙසවන යොමුකල විට නිරායාසයෙන් ම එතුමාට මතක්වූයේ දඹදිව ගයා ශීර්ෂයේ එදා සිදුහත් කුමරුට බුදුවීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියේ බෝ පත් සෙලවෙන්නට ඇත්තේ ද මෙලෙසින් කියායි. එය වන්නම් තාලයක් දැයි එතුමාට සිතෙනවා. මුවගට වන්නම් තාලයක් ද මතක් වෙනවා. තන තන තනෙනා - තම්දන තනෙනා. ඒ තාලයට මේ ගීතය එතුමා අතින් ලියවෙනවා.

එය වන්නම් 18 ට පසු 19 වන වන්නමක් එකතු කරන්නට සමත් වුණ බවයි බොහෝ විචාරකයින්ගේ අදහස.

මේ ගීතය පිළිබඳව මහගමසේකරයන් වරෙක මෙසේ පවසා තිබෙනවා.

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහගෙන් ගීතයේ දියුණුවට විශාල සේවයක් සැලසුණා. ගුවන් විදුලියේ ගීත නාටක නිර්මාණය කළේ මොහුයි. ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමටත් ජාතිකානුරාගය වඩවන ගීත රචනා කිරීමටත් ඔහු විශේෂ දස්කමක් පෙන්වා තියෙනවා. මහ බෝ වන්නම මානවසිංහගේ හොඳම ගීතය කියල හිතනවා. මේ ගීතය ඇහෙන කොට ශාන්ත රසය මිශ‍්‍ර නිරාමිස පී‍්‍රතියකුයි අපට ඇති වන්නේ. මානවසිංහගේ රචනා ශෛලියටත් මේ ගීතය හොඳ උදාහරණයක්.

“මහ බෝ වන්නම” ට වස්තු විෂය වන්නේ ගලායන නේරංජනාවේ මැරෙන ඉපදෙන රළ දෙස බලමින් හිමාල කඳුවැටියේ සෙවණැල්ලේ මඳ පවනේ ලා දලු සලන ශ්‍රී මහා බෝධියයි. එහෙත් මේ නිර්මාණයේ විශේෂත්වය නිර්මාණකරුවා බෝධිය පසුබිම් කරගත් පමණින් භක්ති ගීයක් නිර්මාණය කර නොතිබීමයි. “මහ බෝ වන්නම” වූ කලී ස්වභාවධර්මයේ චමත්කාරයට ආගමික ගුණ සුවඳ තැවරූ රසිකයා තුළ නිරාමිස වින්දනයක් ජනිත කරවන්නා වූ නිර්මාණයකි.

"වැලිතල අතරේ - හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස - වැඩ සිට බුදු වුණ දා තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ සමාධී භාවනා" 

රමණීය චිත්ත රූපයක් හා ඖචිත්‍යයෙන් යුතු විරිතක් මානවසිංහයෝ මෙහිදී භාවිත කරති. සුදු වැලිතලා සිපගෙන හෙමින් හෙමින් නේරංජනා නදිය ගලා බසිද්දී ගයා ශිර්ෂයේ බෝධි වෘක්ෂයකට පිට දී සමාධි සුවයෙන් වැඩ වසනු බුද්ධත්වය ලැබු ශ්‍රමණ භගවත් ගෞතමයන්ගේ රූපකාය, රසික මනසේ සිතුවම් වෙයි.

මුළු රචනය පුරාම ‘බෝපතක් සැලෙන රිද්මය පවත්වා ගැනීමට රචකයා සමත් වෙයි. දීර්ඝාක්ෂර බහුලව භාවිතා කිරීම නිසා සංගීතමය ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙයි.

ඒ අයුරින්ම ශි‍්‍ර මහා බෝධිය අවට පරිසරයේ චමත්කාරය රචකයා තම කවි ඇසට ගොදුරු කර ගනී. හිමාලයේ සිසිල, හා නලමුදු සුවඳ, ඉන්ද්‍රිය ගෝචර ලෙස චිරන්තන ගද්‍ය සම්ප්‍රදාය සමග සම්මිශ්‍රණය කරගැනීමට මානවසිංහයෝ සමත් වෙති.

මහා මරු කතරක් මැද සිට වුවද මේ වාග් මාලාව ශ්‍රවණය කරන කල්හි සීතල පවන් රොදක් සිරුර සිපගන්නා සුළු අර්ථ හා ශබ්ද මාධුර්යයක් තම පද මාලාවට රචකයා එක් කර ගනී.

"හිම කඳුවැටියේ - සීතල හෙවණේ චන්දන තුරු පීරා - හැපී එන මල් මුවරද රසිනේ සමඟ මුසු - කෝමල මද පවනේ ගැටීලා - පාවෙනා" 

සුභාවිත සිංහල ගීතයට අප්‍රමාණ මෙහෙවරක් කළ මානවසිංහයන් භාෂාව පරිහරණය කරන ආකාරය ගවේෂණය කළ යුත්තකි. “ගලන ගඟකි ජීවිතේ” “පාරමිතා බල පූජිත පූජිත” “පිපී පිපී රේණු නටන” “ආදරියේ රුචිරාණනියේ” වැනි නිර්මාණයන්හි භාෂා භාවිතය විමසා බැලීමෙන් මේ තත්ත්වය අවබෝධ කරගත හැකිය.

"සත්සර නගලා ටික ටික සෙල වී සිරිමා බෝ හිමිගේ - මනෝහර පලුපත් අතු රිකිලී - නටා ගිය තාලෙහි රස දැනුනා - සරාගී ජීවනා" 

මහ බෝ වන්නම භක්ති ගීයක් ලෙස ලේබල් ගැසිය නොහැකි වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් ජනිත කිරීම ඒකායන අරමුණ ලෙසින් පෙනී නොයන බැවිනි. රචකයා අවසානයේ පාඨකයා රැගෙන යන්නේ අනුරපුරයේ ජයසිරි මා බෝධිය වෙතටයි. සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමඟ සපැමිණි ජයසිරිමා බෝ අංකුරය මේ ධරණී තලයේ රෝපණය වූ දා පටන් එදා නේරංජනා නදී තීරයේ කොළ සැලු ලතාවට ම ලා දලු බෝ පත් සලන අයුරු දැක විඳ ගත හැකි බව රචකයා සිහිපත් කරයි.








හෙමින් සැරේ පා නගනා ...

මෙම ගීතයෙන් කියවෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ දෙවන දියණිය වන හර්ෂණී මල්ලවාරච්චි ගැනයි.

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී

ජීවිතයේ මාළිගව සතුට පුරා දී මනාව
වාසනාව මට ගෙනාව කැකුළු සුවඳ කිරි සිනාව
මල් සුවඳයි පින් සුවඳයි

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දෑවක
ඇත ඇදෙන කුරුළු රෑන ගයන ගීත ඉල්ලාගෙන
මුමුනන්නම් නළවන්නම්

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී
සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී
දුවේ හර්ෂණී

ගායනය මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන

මෙම ගීත රචනාවට පාදක වූ සිදුවීම ඉතා අපූරු කතාවක්. දිනක් මිල්ටන්ගේ මිතුරු ප්‍රේමකීර්ති මහතා මිල්ටන්ගේ නිවසට යම් කාරණාවක් සඳහා පැමිණෙනවා. එහිදී ඔහුට මිල්ටන්ගේ කුඩා දියණිය සුරතල් කිරීමට අවස්තාවක් ලැබෙනවා. කුඩා දියණිය ඇසුරු කළ කුඩා කාලය තුල ඔහුගේ සිතට පැමිණි සිතුවිලි සමුදාය ඔහු ගීතයක් බවට පත් කරනවා. දියණියගේ නම විමසා සිටි ඔහු මිල්ටන්ගෙන් පෑනක් කොලයක් ඉල්ලා ගන්නවා. හදිස්සියේ කොලයක් සොයාගැනීමට අපහසු වූ මිල්ටන් ඔහුට තම සිගරට් පෙට්ටියේ ඊයම් කොලය ලබා දෙනවා. එක් වරම ලියා නිමකළ මේ පද මාලාවට පසුව ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ සංගීතය එකතු කර අලංකාර ගීතයක් මිල්ටන් විසින් ගායනා කරනවා.

මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සියලුම දරුවන් වෙනුවෙන් ගැයුණු ගී කිහිපයක් තිබෙනවා. ඒ "දුවේ හර්ෂණී", "දූ නදී හිනැහෙනවා ", "රනිල් පුතේ හිනැහෙන්", "මා දිවිමගේ දිලෙන තාරක පුතේ" යන ගීතයි.

(උපුටා ගැනීම - ගීයක වතගොත)



ඔබ රූ සිරියෙන් ...

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකළෙම් අනුවණ කම්

චුල්ල ධනුද්ධර ජාතකය අපේ රටේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ මනමේ කතාව විදිහට. මේ කතාවට මනමේ කියන නම ලැබුණේ ඇයි කියන එක ගැන නම් විද්වතුන් අතර එකඟත්වයක් නැහැ. කොහොම වුණත් නාඩගමක් විදිහට පැවතුණු මනමේ කතාව වේදිකා නාට්‍ය​යක් බවට පත් කරලා සිංහල වේදිකාවට අලුත් ආරම්භයක් ලබා දුන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා. 

1956 වසරේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද මනමේ නාට්‍යය, විදග්ධ සිංහල නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. මනමේ නාටකයේ චරිත අතර කැපී පෙනෙන චරිත ත්‍රිත්වය වන්නේ මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදිරජු ය. තක්සලාවේ සිටි කුමාරවරු අතර දක්ෂතම ශිෂ්‍යයා මනමේ කුමරුයි. ඔහු තම ශිල්ප හැදෑරිම අවසන් කර කක්සලාවෙන් නික්මෙන්නේ ධනුද්දර යන නාමය සහ දිසාපාමොක් ඇදුරුතුමාගේ දියණියද කැටුවයි. කුමරා, කුමරියද කැටුව දඹදිව බරණැස් පුරයට යන ගමනේදී විශාල ඝන වනයක් පසු කළ යුතුවේ. මොවුන් දෙපළ විවාහ වීමේ ප්‍රීතියද සමගින් ගමන් කරන නිසා ඔවුන්ට වනය පෙනෙන්නේ ඉතා අලංකාරවයි.

“වසන්තශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවකට බඳුවූ වනාන්තරයේ සෝබාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර. වන රැජිනද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සේය”

මෙසේ සතුටින් ගමන් කරන ඔවුන් දෙදෙනා අතරමගදී නොසිතූ කරදරයකට පත්වෙයි. ඒ නම් වනයේ වෙසෙන වැදිරජු හමුවීමයි. වැදිරජු මනමේ කුමරුට අණ කරන්නේ කුමරියව වනයේ නවත්වා යන ලෙසයි. එයට අකමැතිවන මනමේ කුමරු සමග වැදි රජ තනිවම සටන් කරයි. සටන අවසන මනමේ කුමරු වැදිරජු යටත් කරගනී. මනමේ කුමරු වැදි රජුගේ හිස සිඳලීමට කුමරියගෙන් තම කඩුව ඉල්ලයි. නමුත් මේ අවස්ථාවේදි කුමරිය කුමරුට පවසන්නේ වැදිරජුට සමාව දෙන ලෙසය.

“මේ වැදි රජුට තම සෙනග සමග එකවරට අපව විනාශ කරලන්නට ඉඩ තිබුණේ නොවේද හිමියනි. එහෙත් ඔහු ඔබ සමග තනිවම සටන් කළේය. ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ. ඔහු මරාදැමීම නොවටනේය හිමියනි. ඔහුට සමාව දෙනු මැනවි.”

මෙයින් මනමේ කුමරු කම්පනය වන අතර අවසානයේ වැදිරජ කුමරියගෙන් කඩුව උදුරාගෙන මනමේ කුමරු මරා දමයි. මේ මනමේ නාට්‍යයේ සාරාංශයයි.

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
නොකළෙම් අනුවණ කම්
මුළා වුනේ ඔබ මුළා නොවිමි මම
මනමේ කුමාරියේ

මෙම ගීතය රචනා වී තිබෙන්නේ වැදිරජගේ ආත්ම ප්‍රකාශනයක් ලෙසිනි.“ඔබගේ රූප ශ්‍රීයෙන් මත්වී මම අනුවණ කමක් නොකළෙමි. මනමේ කුමරියනි, මුළා වූයේ ඔබ මිස මා නොවේ” සිය ස්වමිපුරුෂයාගේ මරණයෙන් කම්පිත වන ඇය වැදිරජුට චෝදනා කරයි. අවසන වනයේ තනිවන මනමේ කුමරියට වැදිරජුගේ සිත ගැනීම හැර වෙන කළ හැක්කක් නැත. ඒ ඇයට තනිවම වනය තරණය කළ නොහැනි බැවිනි. එබැවින් ඇය වැදිරජුගේ සිත ගැනීමට තැත් කරයි. විවිධ චාටු බස් කියයි. “මා කඩුව අතට ගත්තේ ඔබට දීම සඳහා මිස මනමේ රජුට දීම සඳහා නොවේ” යයි කුමරිය පැවසූ විට වැදිරජ කෝපයටත් විස්මයටත් පත්වී කුමරිය වනයේ තනිකර දමා යයි. ඉහත ගීත කොටස වැදි රජ පවසන්නේ එබැවිනි.

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
සටන් වැදිමි මම – සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අපහට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිමි මම – සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

මනමේ කුමරු මුළු දඹදිවටම අග රජ වුවද මේ වනයේ අගරජ වන්නේ වැදිරජු ය. එය ඔවුන්ගේ උරුමයයි. ඔවුන්ගේ නිජබිම වනයයි. දඹදිව අගරජ වුවද වනයේ වැදිරජ ඉදිරියේ පිටස්තරයෙකි. තමන් වනයට අධිපති බව මනමේ නාට්‍යයේ වැදිරජ මෙසේ පවසන්නේ එබැවිනි.

මේ අරණ් හිමගිර සිට දෙරණේ
මාගෙ සරණේ වේ මාගෙ සරණේ
නැතහොත් වේය මරණේ
මුළු දඹදිවටම තොප මහ රජ වුව – මාගෙ විජිතය මෙය මම වෙමි අගරජ
කව්ද තට මෙහි පිවිසෙන්නට කීවේ – අවසර නොමැතිව බල තට වන දේ

මනමේ කුමරිය තරම් රූමත් ස්ත්‍රියක් වනයේ නැත. මනමේ කුමරුද වැදිරජ තරමටම හී විදීම ප්‍රගුණ කළ අයෙකි. වැදිරජ තමන්ගේ නිජබිමවන වනය රැකගත යුතුය. ඔවුන්ට ඇති එකම උරුමය එයයි. ඔහු මනමේ කුමරු සමග සටන් වදින්නේ එය රැකගන්නටය යන්න මේ ගීතයෙන් පැහැදිලිවේ. මනමේ නාට්‍යය සිහිගන්වන මනරම් ගී තනුවක් යොදා තිබීම නිසා මේ ගීතය වඩාත් රසවත් වී ඇත.

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක ..//
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරුවූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන් ...//
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළාවුණී ඔබ
මුළා නොවෙමි මම
මනමේ කුමාරියේ

ගීත රචනය – ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය – එඩ්වඩ් ජයකොඩි
සංගීතය – පණ්ඩිත් අමරදේව



මගේ බිසොවුනේ අසාපන්...

විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩකැයි සිතේ. එමෙන්ම එය අපූරු නිර්මාණයකි. මේ ගීතයට ඉතා සුන්දර වූත් දීර්ග වූත් පසුබිම් කතාවක් තිබේ. පද රචනයේ අදහස තවත් තීව්‍ර වන ආකාරයෙන් මෙය සංගීතවත් කොට ගායනය කරණු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගීතයේ පලමු පද කීපය මෙලෙසින් වෙයි. 

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

ගීතය බිහිවීමට ආසන්නතම හේතුව පසුවට තබා මුලින්ම ගීතයේ පදනම සකස්වූ ආකාරය විමසා බලමු. මෙම ගීතය රචනයට රත්න ශ්‍රී ට නිසැකවම ජාතක කතා පොතෙහි ඇතුලත් ප්‍රේමයේ සියුම් අවස්ථාවන් ස්පර්ශ කරන වෙස්සන්තර ජාතකයේ බලපෑම නොකිව මනාය. පසු කලෙක මෙම ජාතක කතාව නාඩගම්ක් වශයෙන්ද නැවත නීතීඥ ජෝන් ද සිල්වා විසින් නූර්තියක් ලෙසින්ද ඉදිරිපත් කරන ලදී. මෙහිදී ජාතක කතාවට සමාන හෝ එයටත් ඔබ්බට වූ බලපෑමක් වෙස්සන්තර නූර්තිය හරහා රත්න ශ්‍රී ගේ මෙම ගීතයට වී දැයි ඇතැම්විට සිතේ. පහත දැක්වෙන්නේ වෙස්සන්තර නූර්තියේ එන ගීතයක කොටසකි. 

මගෙ මන්ද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගෙ
නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
හිමාල දේසෙ වේවි
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ

ගීතයේ පද පෙලට නූර්තියෙන් ලද ආභාෂය පද විමසීමෙන් පැහැදිලි වේ.

ගීතයේ පසුබිම් කතාව නොකීවොත් එය ගීතය විඳීමට යම් ආකාරයක අඩුවක් වේ යැයි සිතන නිසා එය මෙසේ ඉදිරිපත් කරමි. රත්න ශ්‍රී විසින් රචිත බොහොමයක් ගීත වලට ඔහු තම අත්දැකීම් යොදා ගැනීම දැකිය හැක. මෙම ගීතයද තමන්ගේම අත්දැකීමක් පසුබිම් කර ගනිමින් බිහිකල ගීතයකි. මෙම කතාවේ වෙස්සන්තර රජු රත්න ශ්‍රී වන අතර මන්ත්‍රී දේවිය ඔහුගේ ආදරණීය බිරිඳ හේමමාලියයි. නමුත් මෙය යම් තාක් දුරකට වෙනස් වූ වෙස්සන්තර කතාවකි.

පලමු ගුරු පත්වීම තෙල්ලඹුරේ පාසලට ලැබුනු රත්න ශ්‍රී ට යම් හේතුවක් නිසා වෙල්ලස්සට නැතිනම් මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය විද්‍යා විදුහලට දුෂ්කර මාරුවීමක් ලැබුනි. මේ වනවිට හේමමාලිය සරණ බැඳ සිටි ඔහුට දූ සිඟිත්තියන්ද දමා යන්නට වෙන මේ ගමන සැබැවින්ම වංකගිරියට යෑමක්ම බඳු විය. ඔහුගේ සිත කම්පනය කල මෙම සිදුවීම ඔහු මුලින්ම මෙසේ කවියකට නගයි. මෙම කවිය මුල් වරට 'තරුණී' පත්‍රයේ පලවේ. ඒ 1980 ගණන්වලය.

මගේ බිසොවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණි
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ

තරුණී පත්‍රයේ පලවූ මෙම කවිය දකින ප්‍රවීන ගීත රචක ස්වර්ණ ශ්‍රී බණ්ඩාර විසින් එය මෙසේ ගීතයක් ලෙස සකසා ලියමනක් ද සමඟින් රත්න ශ්‍රී වෙත යවයි. පහත දැක්වෙන්නේ ඔහු විසින් නිර්මාණය කල ගීතය සහ යැවූ ලියමනෙහි අදහසයි.

මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණි
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
බුදුවෙන්ට ඕන නුඹලා
මට නිවන් මඟ කියල්ලා
පේලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
බෝ ප්‍රවේසමෙන් ඉන්නම්
මගෙ මෙහෙය මම කරන්නම්

හිතාදරයාණෙනි;

මෙය ලියන අප හමුව ඔබට මතක ඇතැයි සිතමි. නිරතුරුව ඔබේ කටයුතු හා තොරතුරු ලිපි මඟින් දකිමි. සොම්නසට පත්වෙමි. මේ සතියේ ‘තරුණි’ පුවත්පත දැකීමෙන් මෙය ලිවීමට සිදුවුණි. එහි පළවූ කවෙන් ඔබේ අලුත් තොරතුරු දැන ගතිමි. ඒ කවි පෙළ අගය කරමි. ඔබේ අනවසරයෙන් ‍මම ඒ කවි පෙළ ආස්සරයෙන් ඔබේ නමින් ගීයක් සකස් කොට අප මිත්‍ර ගුණදාස කපුගේ මහත්මාට දුනිමි. ඔහු එයට තනුවක් යොදා ගයන වග කීවා. මේ ඒවග ඔබට දැනුම් දීමකි. කපුගේ මහත්මාත් ඔබට ලියාවි. මෙය මගේ හිතුමනාපයට කළාට කම්නැත. මේ හා මා සැකසූ පිටපත ද ඇත. අනුරාධපුර පළාතේ ආ විටක හමුවෙමු.

ජය හිතාදර
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

ගුණදාස කපුගේ ගායනා කරනු ලබන්නේ නැවත වරක් රත්න ශ්‍රි සංකරණය කරන ලද ඔහුගේ කවි පෙලින් නිමවූ ගීතයයි. ගීතයේ ආරම්භය මෙසේ වෙයි.

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

ඇය ඔහුට මන්ත්‍රී දේවියක්ම වෙයි. එනම් සියලු දුක් පීඩා, වේදනා ඉවසා දරා ගෙන ඔහුත් සමඟ ජීවිතය නම් වූ ගංගාව තරණය කිරීමට ඔහු අත් නොහැර ඔහුව තේරුම් ගත් ඇය ඔහුට මන්ත්‍රී දේවියක් මිස වෙන කව්ද? හේමමාලි පිලිබඳ රත්න ශ්‍රී විසින්ම රචිත පහත කාව්‍ය වලින් එය මනාවට ඔප්පුවේ. 

පහත කවි කිහිපය ඔහු විසින් රචිත 'වස්සානේ' ග්‍රන්ථය හේමමාලියට පුද දුන් ආකාරයයි.

කිරි ශිරා සියක්‌ ඉල්පී..
කෘශ ළැමට ඇදී එත්මැයි..
පියයුරෝ දෙදෙන හොරැහින්..
බිම බලාගෙන හඬත්මැයි..

ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දෙදරුන්
රක්‍ෂා කෙරෙත්මැයි   

ඉහත කවියේද 'හාමතේ නොලා දෙදරුන්' යන පදය යෙදී ඇති අන්දම කෙතරම් සුන්දරද. 

ඔහු අයැදින්නේ වෙසතුරු රජු පසුපස පේවී පැමිණි මන්ත්‍රි දේවිය මෙන් ඔහුත් සමඟ දුෂ්කරවූ ඔක්කම්පිටියට යාමට නො එන ලෙසිනි.

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

එහි ගෙවීමට ඇති දුෂ්කර ජීවිතය ඔහු ඉහත පද පෙලින් ඉදිරිපත් කරයි. මෙහිදී වෙස්සන්තර නූර්තියේ ඇති පහත පද දෙපල ද ඒ හා සම වෙයි. 

නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
හිමාල දේසෙ වේවි
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ

මෙහිදී රත්න ශ්‍රී යන් ද 'හිමය' යන වචනය යොදා ගනී. හිමය යනු හිමාලයයි. ඔහු යන්නේ හිමාලයට නොවේ. නමුත් ගමනේ ඇති දුෂ්කර බව කියා පෑමට ඔහු වෙස්සන්තර නූර්තියෙන් ලැබූ ආභාෂය මැනවින් යොදා ගනී.

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ

මෙම ගීතයෙ එන 'නුඹ චන්ද්‍ර මඬල වැන්නේ. සාපැටව් එහි නිදන්නේ..' යන පද දෙක සුන්දරත්වය අතින් ඉහලම ස්ථානයක ඇති බවට පැහැදිලිය. මෙහිදී සඳ මඬල ලෙස සිය බිරිඳව උපමා කරන ඔහු සඳ මඬලේ නිදන සා පැටවුන් ලෙසින් දකින්නේ තම දියණියන් දෙදෙනාවයි. මෙම උපමාවද ඔහු වෙස්සන්තර කාව්‍ය සංග්‍රහය කියැවීමෙන් ලැබූ ආභාෂය හරහා සමීප වූවක් දැයි වෙස්සන්තර කාව්‍ය සංග්‍රහයේ ඇතුලත් පහත කවි පද දෙස බැලීමේදී සිතේ.

ලප සේ සඳ විලසේ දවසක් වෙන්නූ වෙම්මා
එපසේ බුදුකෙනකුන් මෙන් රැකිදැයි නිතිපෙම්මා 

මෙහිදී දරුවන් සහ මව වෙනුවෙන් උපමා රූපක වන්නෙ සඳත් සඳෙහි ලපත්ය.

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්

මෙම ගීතයේද ඉහත පදවැල සම්පූර්ණයෙන්ම වෙනම සමාජ කතිකාවතක් ගොඩ නගයි. ඔහු සියුම් ලෙස සමාජයේ පවතින සාකච්ඡාවට බඳුන් විය යුතු මාතෘකාවක් ඉදිරිපත් කරයි. 

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සාපැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

අවසාන කවියෙන් ඔහු අහිංසක ඉල්ලීමක් කරයි. එයත් ඔහු ඉදිරිපත් කරන ආකාරය කෙතරම් සුන්දර දැයි බලන්න.. 

හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

ඔහු මොණරාගල සේවය කරන කාලයේ ලියූ කවි ගීත එකතු කර 'වංකගිරිය' නමින් කවි පොතක් ද එලි දකවන ලදී. එම පොතේ මෙම ගීතය හඳුන්වා තිබුනේ 'වංකගිරියට පිටත්වීම' යනුවෙනි. 

රත්න ශ්‍රී විජෙසිංහයන් ගේ ආදරණීය හේමමාලියන්ට නිවන් සුව පතන අතරම රත්න ශ්‍රී විජෙසිංහයන්ට තවත් මෙවැනි සුන්දර නිර්මාණ එලිදක්වන්නට ලැබේවායි පතමු.

(උපුටා ගැනීම - ගී පොතයි මී විතයි)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...