Saturday, August 1, 2020

ඔබ අසා සිටි නම් ...

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

අපාර මහ සාගරේ..
අපාර මහ සාගරේ නැගෙන රැලි තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

අපරිමාණ අම්බරේ..
අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

වනන්තරේ නිරන්තරේ..
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ගායනය - නෙලූ අධිකාරී
පද රචනය - මහින්ද දිසානායක
සංගීතය - රෝහණ වීරසිංහ 

මෑත භාගයේදී අතිශයින්ම ජනප්‍රිය වූ නෙලූ අධිකාරී ගායනා කරන මේ ගීතයද මහින්ද දිසානායකයන් ගේ තවත් අපූරු අත්දැකීමකි.

මම සති අග පත්තර කියවනවා වගේම කාන්තා පත්තරත් කියවනවා. දවසත් මම දැක්කා කාන්තා පුවත්පතකට අර්නස්ට් වඩුගේ කියන මාධ්‍යවේදියා ලිපියක් ලියලා තියෙනවා. ඒකෙ තිබුණා පුරුෂයෙකුට ආදරය වැදගත් වෙන්නේ ඒක ලබාගන්න තෙක් පමණයි. නමුත් කාන්තාවකට ආදරය කියන එක ඇගේ ජීවිතය තරම්ම වැදගත් කියලා. ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අත්දැකීම් ගත්තත් ඊට සමානයි. මගේ බිරිඳ වුණත් පෙම් කරන කාලේ කරපු ආදරය හැමදාමත් බලාපොරොත්තු වෙනවා නේද කියලා මට දැනුණා. ඒ ඇසුරින් තමයි මම “‘ඔබ අසා සිටී නම්" ගීතය ලිව්වේ. සමහරු ඉතින් මට දොස් කිව්වා මහින්ද ඇයි "ඇසට අසුවන මායිමේ" වගේ ගීතයක් ලියලා ඇයි මේවගේ බොළඳ ගීතයක් ලිව්වේ කියලා. ඔය කවුරු කොහොම කුමන ආකාරයකින් කිවුවත් ආදරය කියන තැනදී කවුරුත් බොළඳයි තමයි. හිට්ලර් මහා අධිපතිවාදියෙක් වුණත් ඊවා ළඟදි පූස් පැටියෙක් වගේනේ. ඒ නිසා ආදරය කොහොමත් බොළදයි තමයි.





Friday, July 31, 2020

පාංකිරිත්තා තක්කිට තරිකිට ...

පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ

පාංකිරිත්තා...

පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා

අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා ///

ගායනය - ෆ්‍රෙඩී සිල්වා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ප්‍රේමකීර්තිට ඔහුගේ ලිවීමේ හැකියාව මෙන්ම නිවේදක හැකියාවත් ක්‍රමයෙන් දියුණු වීමත් සමඟම ඔහුගේ පළමු ගීපද රචනාව ලියන්නේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරිටයි. ඒ ඔවුන් ගායනා කරන ‘හද පුද අසුනේ සෙනෙහස මැවුණා’ කියන ගීතයයි. 1969දි ප්‍රේම්ගේ කුළුඳුල් ගීපද රචනාව ලියැවෙන්නේ ඒ විදියටයි. ඒ වසරේ ම කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයට ප්‍රෙඩී සිල්වා ගයන ‘පරණ කෝට්’ ගීතයත් ප්‍රේම්ගේ අතින් රචනා වෙන්නේ ඔහුගේ පළමු චිත්‍රපට ගීතය බවට පත්වෙමින්. "ලොකුම හිනාව" චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීයද රචනා කොට ඇත. එසේ සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ ෆ්‍රෙඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.

“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා – තමන් දන්න දේ හරියට කරපන්…” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.

හාස්‍යය හා උපහාසය මුසු ගීත කලාවේ පුරෝගාමියා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වන අතර ඔහු විසින් උපහාසයේ හා අපහාසයේ වෙනස මැනවින් හඳුනාගෙන සමාජයට වටිනා පණිවුඩ ගීත රචනා හරහා ලබාදුන්නේය. ඒ සඳහා උපහාසාත්මක ගී ගායනයේ පුමුඛයා වූ ජනප්‍රිය විකට නළු හා ගායක ෆ්‍රෙඩ් සිල්වා යොදා ගෙන උපහාස ගීත කලාවක් බිහිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය.







Thursday, July 30, 2020

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ...

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා//
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ//
මල්වරව දෙතොල් අනුරතිය යදී
මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී//
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
 
අපි ජීවත්වන මේ ලෝකයේ හැම දෙයක්‌ම සම්මත විදිහට සිද්ධ වෙනවානම්... ඒත්... එහෙම වෙන්නේ නැහැ. සම්මතයට පිටුපා යන දේ කොතරම් නම් අප වසන සමාජය තුළ සිදුවේද... එවැනි අසම්මත දැ කොතෙක්‌ ඔබට හා මට අත්දකින්නට සිදුව ඇත්ද

ආදරය නොහඳුනන්නන් අප අතර සිටිත්ද... නැත... ආදර හැඟුම් ඕනෑම කෙනෙකුගේ සිතේ පහළවන්නක්‌... මේ සමහර විට සම්මත ආදර බැඳීමක්‌ වෙන්නත් පුලුවන්... එහෙමත් නැතිනම් අසම්මත ආදර බැඳීමක්‌ වෙන්නත් පුලුවන්.

ආදර සබඳතා ඇතිවීම වරදක්‌ නොවේ. එහෙත්... ඒ ආදරය සම්මතයට පටහැනි නම්. කෙටියෙන්ම කියනවා නම් එය තහනම් ගසේ ගෙඩි කෑමක්‌. 

ආදරය සුන්දරයි. එහෙත් තහනම් ආදරය?
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා 

මේ අවසන්ව තිබෙන්නේ තහනම් ආදරයක්‌... සම්මත පෙමක විරහ වේදනාව නොවේ. ඔහු බලා හිඳින්නේ ඒ තහනම් ප්‍රේමයේ අවසාන බැල්ම දෙස... ඇය මින් මතු හමුවන්නේ නැහැ. ඒ නිසා ඇගේ බැල්ම දෙස ඔහු බලන්නේ කම්පා වන හදවතකින්. උපදින හැම ආත්මෙකදිම ඔබ මගේම වේවා. ඈ කියූ අවසන් වදන් නිසා හදවත තුළ ඇවිලෙන ගින්දර... හරියට ලැව් ගින්නක්‌ වගේ...

ඉතාම සුන්දර... සිතට කාවදින ගීයක්‌. පද රචකයා ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර තනුවකට ලියූ තවත් ගීයක්‌.

මේ ගීයට විශේෂම නිමිත්තක්‌ නැහැ. වරදක්‌ කළත් සිතකින් නොවේ. ගීය වගේමයි. සනත් නන්දසිරි මහාචාර්යතුමා තනුව ලබා දුන්නා. මට ගීය ලියද්දී මතක්‌ වුණා මේ සමාජය ගැන. හැම දෙයක්‌ම සම්මත ලෙස සිද්ධ වෙන්නේ නැහැ. කියන කාරණාව. ප්‍රනීත් ගීය ගැන දැක්‌වූයේ එවන් මූලික අදහසක්‌.

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ 
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී

මේ පෙම සමාජය නොපිළිගන්නා නමුත් ඔහු ඇයට බොහෝ සේ පෙම් බඳිනවා. ඇගේ දෙනෙත් වලට ඔහු එබී බලනවා. ඒ දැස්‌වලින් ඔහු ජීවිතය දකිනවා. ආදරය තහනම් එකක්‌ නම් ඇයට ඔහුට දෙදෙනාටම එකිනෙකා හා කියාගන්නට කොතරම් දුක හිතෙන දෑ ඇත්ද. ඒත් දැත් පටලවාගෙන ඇය ඇගේ දුක නොකීවත් ඔහුට ඒ දුක රහසක්‌ නොවේ. ඇගේ දොතොල් මල්වරයි. ඒ දොතොල් ඉල්ලන්නේ මොනවද අනුරාගය. ඉතින් එවන් දොතොලක්‌ දෙස බලා ඉන්නා කෙනෙකු උමතු නොවී හිඳීද...

ශෲංගාරය වෑහෙන ගීයක්‌. තහනම් ආදරයක්‌. සමාජයට හොරා දෙදෙනා ආදරය කරද්දී ලබන රසය සම්මත ආදරයකින් ලබනා රසයට වඩා බොහෝ විට වෙනස්‌ බවක්‌ දැනෙනවා වෙන්නත් පුලුවන්...

ඉන්දියාවේ රජ කෙනෙක්‌ හිටියා. මේ රජුට රත්තරන් අඹ ගෙඩියක්‌ ලැබුණා. ඔහු එය තෑග්ගක්‌ ලෙස අග බිසවට දෙනවා. මේ අගබිසව ආදරය කරන්නේ රජුට නොවේ අගමැතිට. ඒ නිසා ඇය ඒ රන් අඹේ අගමැතිට තෑගි කරනවා. අගමැති මේ රන් අඹ ගෙඩිය බිසවගේ දාසියට තෑගි කරනවා. ඒ ඔහු දාසියට ආදරය කරන නිසා. දාසිය මේ කිසිම කෙනෙකුට ආදරේ නැහැ. ඇය ආදරය කරන්නේ රජුට. ඉතින් දාසිය මේ රන් අඹ ගෙඩිය රජුට තෑගි කරනවා.

මෙහි සුල මුල රජු සොයා බලනවා. ඔහුට ජීවිතය අවබෝධ වෙනවා. එක එක ශරීර කුඩා එකක විදිහයි. මේ රජු පසුව පොත් තුනක්‌ ලියනවා. ශෘංගාර ශතකය, වෛරානි ශතකය සහ නීති ශතකය නමින් මේ පොත් තුනම සිංහලයට පරිවර්තනය වී තිබෙනවා. ඔන්න ඔය වගේ අපට හිතන්න බැරි තැන් සමග අපේ සිත බැඳෙනවා. තහනම් ආදරයත් ඒ වගේ... ප්‍රනීත් අභයසුන්දර ගී පද රචකයා, කවියා හරි අපූරු කතාවක්‌ ගෙනහැර පෑවා.

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැති
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

ඔබ මගේත් නොවේ. මම ඔබේත් නොවේ. ඔබේ නිල් නුවන් මට පෙනෙන්නේ හරියට ආකාශය වගේ. මට ඉවසුම් නැහැ. ඒත් හිරිඔතප් රකින්නත් ඕනෑ...

සරල හැඟුම්බර ගතියක්‌ ගීය අසද්දි සිතට දැනෙනවා. ප්‍රනීත්ගේ පදමාලාව ගීයක්‌ බවට පත්වුණේ මහාචාර්ය සනත් නන්දසිරිගේ තනුව හා සංගීතයෙන් වගේම ගායනයෙන්.

සාමාන්‍ය සරල සුගම තනුවක්‌... සංකීර්ණ සංගීත නිර්මානයක්‌ නොවේ... ඇතිකරන වින්දනය ඉතාමත්ම සරලයි. ගීය ගයන සනත් නන්දසිරි පළකරන්නේ එවන් අදහසක්‌

ඒ කෙසේ වෙතත් මේ ගීය බොහෝ දෙනෙකුගේ රසභාවයන් උද්දීපනය කරන නිතර නිතර අසන්නට අපේ සිත බලකරන ගීයක්‌.

(අජිත් අලහකෝන් - දිවයින මීවිත)




Tuesday, July 28, 2020

සීත කඳුරැල්ලේ ...

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

කඳු යායේ හිම සේලේ
නව යව්වන පෙම් අරණේ
ඈ නුවන් මල් විලේ
මුදු මදහාස කැලුම් සැලෙ
ඈ නුවන් මල් විලේ
මුදු මදහාස කැලුම් සැලෙ

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

ඇයගේ සිනා රහස එදා
මා සිතට නොවේ දැනුනේ
ඈත කඳුකරයේ
මල් කැකුළුයි එය දන්නේ
ඈත කඳුකරයේ
මල් කැකුළුයි එය දන්නේ

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

ගායනය - රෝහණ සිරිවර්ධන 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - රෝහණ වීරසිංහ 

හැත්තෑව දශකයේ දී සංස්කෘතික වැඩසටහනකට සහභාගි වෙන්න ජෝතිපාල, එම්.එස්. ප‍්‍රනාන්දු, සී.ඞී. ෆොන්සේකා, කි‍්‍රස්ටෝපල් පෝල් සමඟ නුවරඑළියට ගියා. දින හතරක් පහක් එහි සිටියා. එක්තරා යෞවනියක් අපව දැන හඳුන ගත්තා. ඇය මා කෙරෙහි විශේෂත්වයක් දැක්වූවා. අපි ආයෙත් කොළඹ එද්දී මේ යුවතිය කන්දක් උඩ ඉඳලා ලේන්සුවක් වනමින් අපට සමුදෙනවා දැක්කා. මට ඇය ගැන අනුකම්පාවක් ඇතිවුණා. මේ මිහිරියාව නිසා කොළඹට එද්දී මගේ හිතේ තනුවක් නිර්මාණය වුණා. කොළඹ ආ හැටියේ මම කරුණාරත්න අබේසේකර හමුවෙලා මේ කතාව කිව්වා. මල්ලී තනුව මුමුණන්න කියලා ඔහු මට කිව්වා. ඔහු විනාඩි දහයෙන් සිංදුව ලියුවා.
 
මෙම ගීය නිර්මාණය වුණේ ඒ විදිහටයි.

(දිවයින)





Monday, July 27, 2020

පෙම්බර මධු මගේ ...

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //

ගායනය : වික්ටර් රත්නායක
පදරචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය : පී එල් ඒ සෝමපාල

මේ ගීතය ඇතුළත් වෙන චිත්‍රපටයේ නමත් ‘පෙම්බර මධූ’මයි. චිත්‍රපටයේ නිෂ්පාදිකාව (සිනෙරු චිත්‍රපට) වන සීතා රත්වත්ත මහත්මියට ගීතය වෙනුවෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ හඬ පාවිච්චි කරන්න අවශ්‍ය වී තිබෙනවා. ඒ ඇයගේ ප්‍රියතම ගායකයා වික්ටර් වීම නිසා. නමුත් මේ ගීතයේ පදරචකයා කරුණාරත්න අබේසේකර වීම නිසා ගැටළුවක් වී තිබුණා. ඒ කාලේ දී කරුණාරත්න අබේසේකර සහ වික්ටර් රත්නායක අතර ගැටුමක් ඇතිවෙලා වික්ටර් රත්නායක කරුණාරත්න අබේසේකරගේ කිසිම පදරචනාවක් ගායනා නොකරනවා කියන ස්ථාවරයේ ඉඳලා තියෙනවා කියන කතාව නිසා.

මේ අවස්ථාවේදී නිෂ්පාදිකාව උපක්‍රමශීලී වෙලා වික්ටර් රත්නායකට කියනවා, මේ ගීතයේ ගී පද රචකයා ධර්මසිරි ගමගේ කියලා. ගීතය පටිගත කරන්න මොහොතකට පෙර මේක කරුණාරත්න අබේසේකරගේ කියලා දැනගන්න වික්ටර් රත්නායක මහත්තයා නැවතත් ගීතය ගායනා කිරීම ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ඒ වටා හිටපු අය ඔහුව ගීතය ගායනා කරන්න එකඟ කර ගෙන තියෙනවා.

නමුත් මේ ගීතයත් හින්දි ගීතයක අනුකාරකයක්. මෙහි හින්දි ගීතය වන "මෙරේ දුවා හේ කේ තුම්" ගීතය ඇතුලත් වෙලා තිබෙන්නේ 1959 වසරේ තිරගත වූ චිරාග් කහා රෝශ්නි කහා (Chirag Kahan Roshni Kahan) නම් චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මසූද් රානා විසින්.

ඇන්තනි පීටර් හෙට්ටිආරච්චිගේ කතාවක් ඇසුරින් සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ “පෙම්බර මධූ” (1977) චිත්‍රපටය ලාංකේය සිනමාව තුළ විකල්ප අවසාන සහිත එකම චිත්‍රපටය විය හැක. එකම චිත්‍රපටයේ එක් අවසානයක් (අධ්‍යක්ෂවරයාට අනුව සුඛාන්තමය අවසානය) සහිත චිත්‍රපටය එක් සිනමා ශාලාවකදීත් අනෙක් අවසානය (අධ්‍යක්ෂවරයාට අනුව ඛේදාන්තමය අවසානය) සහිත චිත්‍රපටය තවත් සිනමා ශාලාවකදීත් එකම වකවානුවකදී ප්‍රදර්ශනය වී ඇත. විකල්ප යථාර්ථ පිළිබඳ නම් දරා සිටින සිනමාකරුවා පෝලන්ත ජාතික ක්‍රිස්තෝෆ් කීස්ලොව්ස්කිය. එකම චිත්‍රපටය තුළ විවිධ ආකෘති මඟින් කීස්ලොව්ස්කිගේ සිනමාව තුළ විකල්ප යථාර්ථ නිරූපණය වුව ද සුගතපාල සෙනරත් යාපා එකම චිත්‍රපට කතාවට අවසාන දෙකක් ගොඩනගමින් එකම නමින් යුත් චිත්‍රපට දෙකක් ලෙස විකල්ප යථාර්ථ ඉදිරිපත් කර ඇත.

(1977.04.22) “පෙම්බර මධූ“ චිත්‍රපටය තිරගත විය. “පෙම්බර මධූ“ චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙසේය.

සේනක (විජය කුමාරණතුංග) තම නිවසේ සේවය කළ සේවිකාවකගේ (ශාන්ති ලේඛා) දියණියක් වන මධූ (මාලනී ෆොන්සේකා) සමඟ ආදර සබඳතාවයක් ඇති කර ගනියි. ඔවුන් දෙදෙනා හඳුනන්නේ කුඩා කල සිට ය. පසුව ඔවුන් දෙදෙනා විශ්ව විද්‍යාල වරම් ලැබ එකම විශ්ව විද්‍යාලයේ දී නැවත හමු වේ. ඔවුන් සමඟ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන විවාහක කාන්තාවක් වන ඩල්සි (ගීතා කුමාරසිංහ) සමඟ සේනක ලිංගික සබඳතාවයක් පවත්වයි. ඒ බව දැන ගන්නා මධූ, සේනක සමඟ පවතින ආදර සබඳතාවය නවතා දමයි. ඔවුන් දෙදෙනා නැවත සමඟි කරවන්නට ඔවුන් දෙදෙනාගේම හිතවතෙකු වන අසෝක (රවීන්ද්‍ර රන්දෙනිය) උත්සාහ කරන නමුත් එය අසාර්ථක වේ. විශ්ව විද්‍යාල අවසන් විභාගයෙන් අසමත් වන සේනක ව්‍යාපාරික කටයුතු වලට යොමු වේ. අවසන් විභාගයෙන් සමත් වන මධූ ගුරුවරියක් ලෙස පත්වීම් ලබයි. මධූ විවාහ වීමට නියමිත බව දැන ගන්නා සේනක එය කඩාකප්පල් කර දමයි. ඒ හේතුවෙන් අවිවාහකව සිටින මධූ පසුව සිය මවට ප්‍රතිකාර කළ වෛද්‍ය ලාල් (ටෝනි රණසිංහ) සමඟ විවාහ වීමට කැමැත්ත පළ කරයි. සේනක තවමත් මධූ පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින බව දැන ගන්නා ලාල්, සේනකට මධූ මුණ ගස්වා ඇගේ තීරණය දන්වන ලෙස ප්‍රකාශ කරයි. ඒ අනුව චිත්‍රපටයේ එක් අවසානයක දී සේනක හා මධූ නැවත එක් වන අතර අනෙක් අවසානයේ දී සේනක මුහුදට බිලි වී මිය යයි.

අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය. දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.








Saturday, July 25, 2020

පාරමිතා නොපුරමු අප දෙදෙනා ...

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ...
පාන සිනා සුළඟට විසි කරමු...
හමුවෙන හැම වාරේ...

කඳුළුවලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ...
දෝර ගලන තුරු කඳුළු සලන්නම්
මට ඔබ නොපෙනෙන සේ...

මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
වෙන්වී යන්න බැරී...
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

ගායනය - ශෂිකා නිසංසලා 
පදරචනය - ලලිත් වසන්ත 
සංගීතය - ජයසිරි අමරසේකර 

සංසාරය කියන්නේ කෙළවරක්‌ නොදකින ගමනක්‌. මේ දිගු සසර ගමනේදී අප හැම කෙනෙක්‌ම එක්‌ එක්‌ ආත්ම භවයන්හි උපදිනවා. සමහර විට අද එකට එක්‌ව සිටින දෙදෙනෙක්‌ ඊළඟ සංසාරයෙදීත් එකට එක්‌වෙනවා. ඒත් තවත් අයට සසරින් සසර එහෙම එක්‌වෙන්න ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක්‌ පෙරුම් පුරනවා. මීළඟ සංසාරෙදිත් අප එකටම උපදීවා කියලා.

පියාණෙනී, මා නැවත උපන්නොත් මේ සංසාරෙදී ඔබේම පුතු වේවා කියා සමහරු පවසන්නේ පියා කෙරෙහි තිබෙන දැඩි බැඳීම නිසාමයි.

සංසාරේ පැතූ පැතුම් නිමාකොට මෛත්‍රී බුදුන් දැක නිවන් මඟට එන දැන් මගේ සදාදර අම්මා ඔබම වේවායි පතන්නේ ඒ නිසාමයි.

ඔබ, මටම අයියන්ඩිය වී මා ඔබේ නැගණිය වී එකම මව් කුසයේ උපදින්නට අපි දෙදෙනාම පාරමී පුරමු යැයි සමහරු පතනවා.

මේ සංසාරෙදි එකතු වන්නට නොහැකි වූ පෙම්වතුන් පතන්නේ ඊළඟ සංසාරේදීත් අඩුම ගානේ සහෝදරයන් වී හෝ උපදීවා කියලා. සසරින් සසරට අපි දෙන්නා පෙම්වතුන් වී උපදීවා කියාත් සමහරු ප්‍රාර්ථනා කරනවා.

ඒත් මතු හැම භවයකදීම හමු නොවී ඉඳිමු යෑයි පෙම්වතෙකු ගෙන් ඉල්ලා සිටින්නට පෙම්වතියකට සිදු වේ නම් 

පාරමිතා නොපුරමු අප දෙදෙනා 
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු...
හමුවෙන හැම වාරේ...

අපි දෙන්නා මතු උපදින හැම භවයකදීම පාරමිතා නොපුරා ඉඳිමු. ඇය ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඇය පවසන පාරමිතාව කුමක්‌ද... ඒ යළි යළි එකට එක්‌වේවා යන පැතුමයි. ඒත් ඇය කියා සිටින්නේ මතු මතු සංසාරවලදී අපි දෙන්නා එක්‌ නොවේවා කියා... අපි දෙන්නා හමුවන හැම වාරයකදීම එකිනෙකා සමග සිනා නොවී ඉඳිමු. ඒ පාන සිනාවන් සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරිමු. ඒ ඇයගේ ප්‍රාර්ථනාවයි.

මේ ගීයේ පද රචකයා ලලිත් වසන්ත. පද මාලාව ඉබේම සිතේ පිළිසිඳගත් බවයි ඔහු කියන්නේ.

මට මේ පද මාලාවට නිමිත්තක්‌ නැහැ. නිකමට හිතට ආවා. මම ලියුවා. පද මාලාව දැකපු හැටිය ජයසිරි අමරසේකර සහෘදයා කිව්වා හරිම ලස්‌සනයි. මේක ශෂිකාගේ කැසට්‌ එකට හොඳයි කියා.

කඳුළුවලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ...
දෝර ගලන තුරු කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ....

ඇයට තවමත් ඔහු පෙනෙන්නේ අවිහිංසක ලෙසට. ඔයාගේ අවිහිංසක රූපය කඳුළුවලින් මැකිලා යනව නම්... මම දෝර ගලා යන තුරු කඳුළු හලන්නම්. එතකොට මට ඔබ නොපෙනී යාවි. 

මේ දෙදෙනාගේ පෙම බිඳී ඇත්තේ කවර වරදක්‌ නිසාද. සමහර විට ඔහු අහිංසකයි. ඔහුගේ වරදක්‌ නොවේ. මේ ඇයගේ වරදින් සිදුවන වෙන්වීමක්‌ විය හැකියි.

මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
වෙන් වී යන්න බැරී...
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී...

අපි දෙන්නා ඔයා මටත්, මම ඔයාටත් කොතරම් පෙම් කළාද අපි ආදරය කළේ කවදාවත් වෙන් වෙන්න බැරි විදිහට. ඒත් අද අපි වෙන් වෙනවා.

මේ සමුගැන්ම ඇය වෙනත් කෙනකු සමග අතිනත ගන්නා බැවින් විය හැකියි. වෙන්වී යන්න බැහැ. එත් අපි දෙදෙනාට ආයෙත් හමු වෙන්නත් බැහැ. වෙනත් කෙනෙකුගේ බිරිඳක්‌ විදිහට මම කොහොමද ඔබව හමු වෙන්නේ... ඒක සම්මතයට විරුද්ධයි. අපි වරදට වහල්වෙලා. අසම්මත ආදරවන්තයන් නොවී ඉඳිමු. ඕ කඳුළු පිරි දෙනෙතින් ඔහුගෙන් දයාබරිතව ඉල්ලා සිටිනවා.

ගීතයේ පද මාලාවට සරිලන තනුවක්‌ ජයසිරි අමරසේකර ශිල්පියාගෙන් ලැබී තිබෙනවා. ශෂිකා නිසංසලාගේ හෙළූ අහිංසක බව මේ ගීයට මනා ලෙස ගැළපෙනවා.

(අජිත් අලහකෝන් - දිවයින මීවිත)





ආශාවේ මල් වැටෙන් එබී ...

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

රෑ නිල් අහසේ
නිදන සඳවතී ...//
අදින සළු.. මිදුලෙ එලූ
අදින සළු.. මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

පායන සඳ සේ
රුසිරු හසරැළී ...//
දෙතොල වෙලූ.. නයන කළූ
දෙතොල වෙලූ.. නයන කළූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

ගායනය - විශාරද බණ්ඩාර අතාවුද
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - විශාරද ගුණදාස කපුගේ

විශාරද ගුණදාස කපුගේ මහතාට එවකට තම පෙම්වතිය ප්‍රේමා විතානගේ විවාහ ගිවිස ගෙන තම ප්‍රියාදර බිරිඳ  සිය මිතුරන්ට හඳුන්වා දෙන්නට ගුවන් විදුලියට කැඳවා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ ඔහුට ප්‍රවීණ ගීපද රචක ඩෝල්ටන් අල්විස් මහතා මුණගැසී ඇත. කපුගේ මහතාගේ අළුත් බිරිඳ දුටු ඩෝල්ටන් අල්විස් මහතාගේ සිත තුළ ජනිත වූ කාව්‍යමය සිතුවිල්ල ගීයකට පබඳා කපුගේ මහතාට මංගල තෑග්ගක් ලෙසින් ලබාදී ඇත. එය අතට ගත් සැනින් කපුගේ ශූරීන් එයට මනරම් තනුවක් ‍නිර්මානය කර ඇත. මේ සියල්ල කපුගේ මහතාගේ ප්‍රිය බිරිඳ  ප්‍රේමා මහත්මිය බලා සිට මෙම ගීය කපුගේගේ හඬින් අසන්නට මහත් ආශාවෙන් සිට ඇත. 

මේ අතර තමාගේ සරල ගී වැඩසටහනට ගීයක අඩුවක් නිසා ගුවන් විදුලි සංස්ථාව තුලදී කලබලවී සිටි තරුණ ගායකයෙකු වූ බණ්ඩාර අතාවුදයන්ගේ කලබලයට හේතුව හඳුනාගන්නා කපූගේ මහතා, නුදුරු දිනකදී තමා විසින් ගයන්නට සිටි "ආශාවේ මල් වැටෙන් එබී" ගීතය නිර්ලෝභීව පරිත්‍යාග කර ඇත්තේ ඔහු තුල ඇති මානුෂිකත්වය හා පරිත්‍යාගශීලීත්වය නිසාය.



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...