Wednesday, September 2, 2020

රෑ අහසේ ...

රෑ අහසේ

තරු කැට පායා දිලුනා...

මා තනි වී

සිතිවිලි සයුරේ වෙලුනා...


ඔබේ සුමුදු අත මා අත් පටලා

තරු දහසක්‌ පායා ඇති දිනයක

පියමං කෙරුවා පෙර අප දෙදෙනා

තරු කැට අතරේ රැඳී දිලෙනවා

සිතට දැනෙනවා...


තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා

සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා

ආදරයෙන් අප පියමං කෙරු හැටි

තරුකැට මා මතකයට ගෙනෙනවා

සිතට දැනෙනවා...

පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල

සංගීතය - ආත්මා ලියනගේ

ගායනය - ආත්මා ලියනගේ

තරු පායා ඇති රැයක නිසොල්මනේ මොහොතක්‌ අහස්‌ කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක්‌ වගේ. එහෙමත් නැතිනම් මල්වත්තක්‌ වගේ. අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා.

කෙතරම් සුන්දරද තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්. සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි.

මේ තරු කැටවල සුන්දරත්වය විඳි කිවියන් කී දෙනෙක්‌ කව් ගී පබඳින්න ඇත්ද? තරු දිලෙන රැයක නුබ කුස දෙස බලාසිටිද්දී සොබා දහම කෙරෙහි හිත තුළ ඇති වන බැඳීම කොතෙක්‌ දැයි කියා නිම කළ හැකිද.

රෑ අහසේ

තරු කැට පායා දිලුනා.......

මා තනිවී

සිතිවිලි සයුරේ වෙලුනා........

තරු කැට පායා දිලෙන රැයක තනි වූ සිතකට දැනෙන දැනීම්, හැඟෙන හැඟුම් ගැන කවර කතාද. එවන් මොහොතක තනි වූ සිතක්‌ සිතිවිලි සයුරේ එබී, කිමිදී, වෙලී ලබනා සැනසුම අතිශය සෞන්දර්යාත්මක නොවේද?

ආත්මා ලියනගේට මේ ගීතය ලියා දුන්නේ කුඩා කල පටන්ම ඔහු හා ඇසුරු කළ මිතුරෙක්‌. හේ ප්‍රේමලාල් උඩුමුල්ල. ඉතා සරල පදමාලාවක්‌. නමුත් ඒ තුළ මොකද්දෝ සුන්දර බවක්‌ සැඟවී තිබෙනවා. ආත්මාගේ ගැඹුරු මෙන්ම සංයමයෙන් යුත් හඬත් ඒකට හේතුවක්‌ වෙන්න ඇති.

ඔබේ සුමුදු අත මා අත් පටලා......

තරු දහසක්‌ පායා ඇති දිනයක

පියමං කෙරුවා පෙර අප දෙදෙනා

තරු කැට අතරේ රැඳී දිලෙනවා

සිතට දැනෙනවා

මේ පෙම්වතා තරු පිරි රැයක තනිව සිතිවිලි සයුරක නිමග්නව සිටිනවා.

ඔහුට සිහිපත් වෙනවා. ආදරබර පෙම්වතිය සමග ගත කළ ජීවිතය. දෙදෙනා අතිනත පටලාගෙන තරු පිරි රැයක ඇවිද ගිය හැටි. ඒ මතකය ඔහුට අහසේ තරුකැට අතරින් පෙනී නොපෙනී යනවා. එදා ඇය හා විඳි ආදරයේ මිහිරියාව අදත් ඔහුගේ සිතට දැනෙනවා.

දවසක්‌ ආත්මා බොක්‌ස්‌ ගිටාරයත් අරගෙන ගල්පාත රබර් වත්ත මැද තියෙන අපේ මහගෙදරට ආවා. ඒ මට කියලා සිංදුවක්‌ ලියාගන්න. ඔහු ගිටාරය වැයුවා. එක දිගටම මට වචන ගලාගෙන ආවා. මා අතින් ලියුවුණු පළමු ගීය. රෑ අහසේ නිර්මාණය වුණේ ඒ විදිහටයි. ප්‍රේමලාල් උඩුමුල්ල ගීතය ජනිත කළ හැටි පැවැසුවා.

මම ආත්මාට තවත් සින්දු පහක්‌ විතර ලියුවා. ඒත් ඒවා ඔහු විසිකළා. මම යළි ඒවා අහුලා ගත්තා. දැන් ඒ ගී අඩු පාඩු හදමින් යළි නිර්මාණය කෙරෙනවා.

තරු එළියක්‌ වී දෙනෙනට වැටිලා

සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා....

ආදරයෙන් අප පියමං කෙරු හැටි

තරු කැට මා මතකයට ගෙනෙනවා

සිතට දැනෙනවා.

මේ තරුද සමගින් සඳ පායා ඇති රැයක්‌. තරු එළියෙන් ඔබේ මුහුණ වැහිලා. චන්ද්‍ර කාන්තියෙන් ඔබේ මුහුණ සේදිලා පායා ඇති තාරුකා මා මතකයට නංවන්නේ ආදරණීය හැඟුමන්. ඒ ඔබත් මමත් ප්‍රේමයෙන් වෙලිලා පියමං කළ ආකාරයයි.

තරු කැට පායා දිලෙන ආකාශය දෙස බලා සිටිමින් සිතිවිලි සයුරක වෙලි සිටින මේ පෙම්වතා එක්‌කෝ ප්‍රේමයෙන් පරාජිත වූවෙක්‌ විය හැකියි. එහෙමත් නැතිනම් සිය බිරිය පෙම්වන්තියකව සිටි කාලයේ ඇය සමග ආදරය කළ හැටි සිහිපත් කරන්නෙකුද විය හැකියි.

ගී පද රචකයා ප්‍රේමලාල් වෛද්‍ය සැපයීම් අංශයේ සේවය කරන නිලධාරියෙක්‌. අවුරුදු තිස්‌පහක්‌ විතර පැරැණි මිත්‍රයා ආත්මා වෙනුවෙන් යළි ගී ලිවීමට දැන් ප්‍රේමලාල් සූදානම්.

රෑ අහසේ ගීතයට ලැබුණු ප්‍රතිචාරය නම් මම දන්නේ නැහැ. ළඟදී ආධුනික තරු ප්‍රසංගයකදී මේ ගීය තරුණයෙක්‌ ගැයුවා. මට සතුටක්‌ දැනුණා. ආත්මා කියනවා මේ ගීයට හුඟ දෙනෙක්‌ කැමැතියි කියලා. 

(උපුටා ගැනීම - දිවයින මීවිත)





Tuesday, September 1, 2020

නිවන් දුටු හිමි ...

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්


ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන

ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා

එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්


මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට

මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට

මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ


නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්

දෙසා වදහල මැනවි බුදු බණ

මහා කරුණාවෙන්

මහා කරුණාවෙන්

ගායනය - වික්ටර් රත්නායක

පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය - වික්ටර් රත්නායක

බුදුන් වහන්සේගේ අසම සම කරුණා ගුණය මූර්තිමත් කෙරෙන මෙම ගීතයට ගායනය සහ සංගීතය සපයන්නේ විශාරද ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. ගී පද වැල් ප්‍රේමකීර්ති ද අල්විස් ගේය. මේ ප්‍රතිභා පූර්ණ කලාකරුවන් දෙදෙනාගේ සුසංයෝගය ගීතයේ සාර්ථකත්වයට මනා පිටිවහලකි.

සම්බුදු පිළිරුවෙහි කාරුණික දසුන ඇදී යන්නේ සැදැහැවත් බොදු ශ්‍රාවකයාගේ මනසෙහිය. ඒ දෙස බලා සිටිනා ඔහුට බුදුන් වහන්සේගේ මහා කරුණාව මතකයට නැංවෙන අවස්ථා අපමණය. බුදුන් වහන්සේ සෑම දිනකම අලුයම පිබිදී ලෝක සත්වයා දෙස බලන්නේ මහා කරුණා සමාපත්තියට සම වැදීමෙනි. උන් වහන්සේ කවුරු කොතැනක සිටියත් එක් වරක් හෝ තනියම හෝ ශ්‍රාවකයන් සමඟ යොදුන් ගණනින් ගම් නියම් ගම් වෙතපා ගමනින්ම හෝ ඍද්ධියෙන් ම වැඩම කළේ අන්‍යයන්ගේ යහපත උදෙසාමය. අව් වැසි නොතකමින් ගස් යට, ගල් මත, සුන්‍යාගාර වෙත වාසය කරමින්, පිඬුසිඟා වඩිමින් අන්‍යයන් වෙනුවෙන්ම ඇප කැප වූ අයුරු අසම සමය. රාජ මහා අමාත්‍යවරු, සිටුවරු, කසළ ශෝධකයන්, මිනී මරුවන්, මැරවරයන්, යක්ෂයන්, බමුණු බැමිණියන්, දැසි දස්සන්, ගොවි, කම්කරුවන් ආදී අපමණ පිරිස් වෙත සම්බුදු දෙනෙත විවිර වුයේ මහා කරුණාවෙනි. ඒ ජීවමාන බුදුන් වහන්සේ අද දැකිය හැකි වන්නේ ත්‍රිපිටකය මනා ලෙස පරිශීලනය කිරීමෙනි.

ගීතයේ සඳහන් සේ සම්බුදු පිළිරුව දෙස බලා සිටින රසිකයා බණ පද අසා ඇත. එහෙත් ඔහුට බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ම බණ පද අසන්නට තරම් පිපාසයක් දැනෙන්නේ තම හදවත තෙමාලන බුදුන් වහන්සේගේ කාරුණාබර දසුනයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව

පමණි අද මට ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇතිමුත්

ඇසූයේ හිමිගේ හඬින් නොව’

මෙම පැදි පෙළෙන් එය මනාව අනාවරණය වෙයි. මෙහි විශේෂත්වය වන්නේ අනේපිඬු සිටු පුතුට බණ දේශනා කළ අයුරින් ම බුදුන් වහන්සේට බණ දේශනා කරන ලෙස අයැදීමයි.

‘ අනේපිඬු සිටු පුතුට මෙන්

අනේ හිමියනි මට ද දැන්

දෙසා වදහළ මැනවි බුදුබණ

මහා කරුණාවෙන්...

මහා කරුණාවෙන්...

අනේ පිඬු සිටු පුතුට බුදුන් වහන්සේ බණ දේශනා කළේ කෙසේ ද? යනුවෙන් රසික සිත විමසිලිමත් වෙයි. ඒ පින්බර පුවත මෙසේ ය.

අනේපිඬු සිටුතුමා රජගහ නුවර බලා පිටත්ව ගියේ භාණ්ඩ රැගත් ගැල් පන්සියයක් සමඟය. එදා වෙනදා මෙන් තමා පෙර මඟ පිළි නොගත් රජගහ සිටුතුමා සිටුගෙදර කටයුතු කළේ බොහොම යුහුසුළුවය. එයට හේතුව විමසූ අනේපිඬු සිටුතුමාට දැනගන්නට ලැබුණේ, රජගහ සිටුතුමාගේ මැඳුරේ බුදුපාමොක් මහ සඟනට දානයක් සූදානම් කරන බවයි. බුදු කෙනෙකුගේ අග්‍රඋපස්ථායක වීමට පෙර සසරේ සිටම පැතූ අනේපිඬු සිටුතුමාට “බුදුන්” යන වදන ඇසීමෙන්ම ඇතිවූයේ බලවත් ප්‍රීතියකි. එතෙක් සිටුතුමා කිසි දිනක බුදු කෙනෙකුදැක හෝ අසා නැත. ඒ නිසාම ඔහු “ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමටට දැන් යා හැකි දැ” යි රජගහ සිටුතුමාගෙන් විමසුවේය. එහිදී ඔහු පැවසුවේ භාග්‍යවතුන් වහන්සේ දකින්නට සුදුසු මොහොත දැන් නොවන බවත්, හෙට දිනයේ සිටු ගෙදර දන් පිණිස වඩින බුදුන් වහන්සේ දැකිය හැකි බවත්ය. අනේපිඬු සිටුතුමා, ඒ අමා මෑණී බුදු පියාණන් වහන්සේ හෙට දිනයේ දකින්නට යමි’ යි සිතමින් නැවත තම මැඳුර වෙත ගොස් රාත්‍රියේ සැතපී ප්‍රථම යාමයේ නින්දෙන් අවදිවී සිහි කළේ තමා මෙතෙක් නොදුටු බුදුරදුන් ගැනය. බුද්ධාලම්භන ප්‍රීතියෙන්ම පිවිතුරු වූ සිතෙන් නැඟුණු ආලෝකයෙන් ඔහුට දැනුණේ රාත්‍රිය පහන් වී හිරු උදා වූවා සේය. ඔහු වහා යහනින් නැඟිට සඳළුතලය වෙත පැමිණියේ රැය පහන් වි ඇතිදැයි සිතමිනි. නැඟී ඇති සඳෙහි දසුනෙන් තවමත් රාත්‍රිය බව දැනගත් ඔහු නොඉවසිලිමත් සිතෙන් තෙවරක්ම අවධි වූයේ මෙතෙක් නොදුටු බුදුරදුන් සිහි කරගෙනය. බුද්ධාරම්මණයෙහි සමාධි වූසිතින් ඔහු නැවතඅවධි වූයේ පශ්චිම යාමයේ අවසාන භාගයේ දීය. ඔහුට බුදුරදුන් දැකීමට යන පින්බර ගමන උදා වූයේ සත්මහල් ප්‍රාසාදයේ දොරගුළු ඉබේම විවිර වීමෙනි. පිවිතුරු සිතින්ම නැඟුණු ආලෝකය හමුවේඔහු මැඳුරෙන් පිටතට නික්ම ගියද අමනුෂ්‍යයන්ගේ බාධා හමුවේ සිටුතුමා නැවත මැඳුර වෙත පිය නැඟීමට යුහුසුළු වූයේ බියට පත්වය. එය දුටු ‘සීවක’ දෙවියා සිටුතුමාට නොපෙනෙමින්, ඔහුට ඇසෙන සේ පැවසූ වදන් පෙළෙන් සිටුතුමාට ඇති වූයේ ඉමහත් ධෛර්යයකි. ඔහුට බුද්ධාලම්භන ප්‍රීතියෙන් නැවත ආලෝකය පහළ වුව ද මඳ දුරක් ඉදිරියට යද්දී නැවතත් අමනුෂ්‍යයන්ගේ බාධා ඇති විය. එහි දී ද ‘සීවක දෙවියා’ ඔහු නැවත බුදුරදුන් දකින්න යන ගමන උදෙසා උනන්දු කරන්නට ඇත්තේ සිටුතුමාගේ පෙර සසරෙ හි පිනෙහි මහිමය නිසයි. මෙසේ තෙවරක්ම පහළ වූ ආලෝකය හමුවේ සිටුතුමා, බුදුරදුන් වැඩ සිටි ශීත වනයට පිවිසියේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.ඔහු මෙසේ සිතීය. බුදුන් වහන්සේගේ ‘බුද්ධත්වය’ සැබෑ නම් කිසිදිනක නොදුටු, නොදන්නා මාගේ නාමයෙන් අමතනු ඇත යන්නය. සිටුතුමා දුර සිටම පැමිණෙන දුටු අසම සම බුදුන් වහන්සේ ‘සුදත්ත’ මෙහි එන්නැ’යි ඇමතීය. එයින් බලවත් ප්‍රසාදයට පත් ශ්‍රද්ධාවන්ත සිටුතුමා උතුරා ගිය බුද්ධාලම්භන ප්‍රීතියෙන් සම්බුදු පාද මූලයේ වැඳ වැටුණේ නමස්කාර පූර්වකවය.

එහි දී බුදුන් වහන්සේ, සිටුතුමාට දහම් දෙසා දාන කථා ආදියෙන් සිත සකසා, චතුරාර්ය සත්‍ය පහදා දුන් අයුරු අපූර්වය. මෙසේ සෝවාන් ඵල ලැබූ සිටුතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් ව පසු දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ දනට ආරාධනා කළේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. ඔහු බුදුන් වහන්සේට වස් වැසීමටද ඇරැයුම් කර පහන් සිතින් කළ පරිත්‍යාගයද උතුම්ය. ‘ජේත කුමාරයාගේ’ උයනෙහි අටළොස් කෝටියක වියදමෙන් විහාරයක් කරවා බුදුපාමොක් මහ සඟරුවන වඩමවා අටළොස් කෝටියක වියදමෙන් කළ පූජෝපහාර ද ඉමහත්ය. මෙසේ සම්බුදු සසුන උදෙසා ඔහු පිදූ ධනය සිවු පනස් කෝටියක් බව ධර්මයේ සඳහන්ය.

ගීතයේ සඳහන් සේ අනේ පිඬු සිටු පුතුට දහම් දෙසුවා සේ තමාට ද දහම් දෙසන්නැ’යි බුදුන් වහන්සේට ඇරැයුම් කරන රචකයා විටක රළු කළු ගලකට ආරෝපණය වන්නේ සිතෙහි නැඟෙන ශ්‍රද්ධාව නිසාමය. තමා යකුළු පහරින් වෙන් වුණත් ඉවසා සිටින්නේ නෙළන කුළුණුබර බුදු පිළිම වහන්සේ උදෙසාය. තවත් විටක කුළුණු බර බුදු පිළිම වහන්සේ නෙළන්නට තරම් රළු කළු ගලක් කපා ඔපමට්ටම් කරන කලාකරුවා පෙන්වන දස්කම් විස්කම් සැබවින්ම විස්මිතය. ඒ උදෙසා කලාකරුවා මෙන්ම රළු කළුගලකට ආරෝපණය වන්නාගෙන් මතුවන ඉවසීමේ ගුණය මහා කාරුණික බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් දුන් සන්සුන්පිළිවෙත සේය.

(උපුටා ගැනීම - බුදුසරණ පුවත්පත)







Monday, August 31, 2020

පාට පොදක් තිලකලා ...

පාට පොදක් තිලකලා නලල් තලාවේ 

කැලුම් වළලු නෙතින් අතුරලා 

මුතු සිනා සල සලා නැලවි නැළවියේ 

නිවන් මහද නීල වරලියේ... 


ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ 

තුටින සලල රැඟුම් රඟ රඟා...

පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා 

නිමා නොහැක ආල කුමරුනේ... 


පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ 

මල් නුවරේ පෙම් සුවඳේ...

ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී 

ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී

ආල වඩන ගීත සුරල් පා.. වේවී.. 

හොහෝ හෝ.. හහා හා..

හොහෝ හෝ.. හහා හා..

හෝ........

පාට පොදක් තිලකලා....

ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ 

පුංචි වියේ අන්දරසේ.... 

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා 

සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා 

සීතාවන් රුවන් ළඳුන් මා... ලා මා

හොහෝ හෝ.. හහා හා..

හොහෝ හෝ.. හහා හා..හෝ.......

පාට පොදක් තිලකලා.........

ගායනය : එච්.ආර්. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක

පද රචනය : සෝමපාල ලීලානන්ද

සංගීතය : සරත් දසනායක

චිත්‍රපටය : කස්තුරි සුවඳ

අධ්‍යක්ෂණය : සේන සමරසිංහ

තිරගතවු දිනය : 1974.03.08

රගපෑම් : ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, බන්දු සමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා

සේන සමරසිංහ නමැති චිත්‍රපට නිෂ්පාදකයා දෙවැනි චිත්‍රපටය අරඹන්නේ අධ්‍යක්‍ෂවරයකු ලෙස අභියෝගාත්මක පිම්මක්‌ පනිමිනි. ඒ පිම්ම තමාගේ සිනමා ජීවිතය සුවඳවත් කරනු ඇතැයි ඉවක්‌ සේන සමරසිංහට තිබුණේදැයි නොදන්නා නමුත් එය එසේම සිදුකරමින් "කස්‌තුරි සුවඳ" සිනමා පටය එදා ප්‍රේක්‍ෂක සිත් ආලෝකනය කරමින් සිනමා හල්වල පැල් බැඳ මාස ගණන් අඛණ්‌ඩව ප්‍රදර්ශනය විය. සිව්කොන් ප්‍රේම වෘතාන්තයක්‌ වටා ගෙතුණු කස්‌තුරි සුවඳ චිත්‍රපටයේ එදා වාණිජ සිනමාවේ පාතක යෝධයන් වූ ගාමිණී - මාලනී මිල්ටන් ජයවර්ධන ලයනල් දැරණියගල අද්විතීය රංගනයක නියෑළෙමින් යොවුන් හදවත් ආනන්දයෙන් පිරවූයේය. කස්‌තුරි සුවඳ චිත්‍රපටය පරිපූර්ණත්වයට පත්වීමට සරත් දසනායකයන්ගේ සුමියුරු සංගීතය, සෝමපාල ලීලානන්දයන්ගේ මතකයේ රැඳෙන දෙබස්‌ හා ගීත පදමාලාවන්ද මහෝපකාරී වූ බව කිවමනාය. එහි එන පාට පොදක්‌ තිලකලා (ඇන්ජලීන් - ජෝති) හදවිමන් දොරින් ( කරුණාරත්න අබේසේකර) පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ (ඇන්ජලීන්) ලස්‌සන ලෝකෙක ඉපදීලා ( ජෝතිපාල) මල්වයසේ මධුසිහිනේ (ජෝති, වික්‌ටර්, ඇම්. ඇස්‌.) අද පවා ජනප්‍රියත්වයේ ඇති ගීත බව සනාථ කිරීමට ද රූපවාහිනී නාලිකා ඔස්‌සේ ජනප්‍රිය කිරුළ හඹා යන්නවුන්ට ප්‍රේක්‍ෂක හදවත් සොරාගැනීමට මෙම ගීත ගැයූ සැණින් මහෝපකාරී වන අයුරින් ප්‍රකට වේ. 

සෝමපාල ලීලානන්දයන් ලියූ "පාට පොදක් තිලකලා" ගීතය ගයනු ලැබුවේ එච්.ආර්. ජෝතිපාලයන් හා ඇන්ජලින් ගුණතිලකය. මෙය සකල කාලයටම පොදු පාට පොදක්මය.

”පාට පොදක් තිලක ලා

නළල් තලාවේ

කැලුම් වළලු නෙතින් අතුරලා

මුතු සිනා සල සලා නැළවී නැළවී ඒ

නිවන් මහද නීල වරලියේ”

"කස්තුරි සුවඳ" චිත්‍රපටයට මෙම ගීතය රචනා කර ඇති අතර එහි කාන්තා චරිතය රඟපෑවේ මාලිනි ෆොන්සේකාය. ඇයට තරුණයන් තුන් දෙනෙක් පෙම් කරයි. තරුණයාගේ චරිතය රඟපෑවේ ගාමිණි ෆොන්සේකාය.

ඔහු ආදරයෙන් පරාජිත වී නැවත තම ගමට යයි. මේ සිදුවීම තවත් තීව්‍ර කිරීමේ අවශතාව නිසා ඉහත ගීතය රචනාව ලබාදුන් බව ඔහු පවසයි. තම මුල්ම ආදරයේ විරහව ඉවසිලවන්තව දරා ගැනීමට හුරු පුරුදු වූ ඔහු එකී ආදරය ගැන මෙසේ ලීවා පමණක් නොව, ඔහු ගේ සිත තුළ හැමවිටම තිබුණු ‘‘ආදරය පූජනීයයි‘‘ යන හැඟීම නිසාම ඔහු ලියූ සෑම චිත්‍රපට ප්‍රේම ගීතයකටම මේ අදහස කැටි වූයේය.

"පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ

මල් නුවරේ පෙම් සුවඳේ‘‘‘‘

තරුණයන් කිහිප දෙනෙක් එකම තරුණියකට පෙම් බඳින්නේ කෙසේ හෝ ඇයව ලබා ගැනීමේ අරමුණ සැමදෙනාගේම සිතෙහි එකසේ තබා ගනිමිනි.

මෙම "පාට පොදක් තිලකලා" ගීතයේ තනුවටම පසුකාලීනව රවිලාල් විමලධර්ම මහතා (යශෝධා විමලධර්මගේ පියා) විසින් හින්දි වචන යොදා  "ආජු මෙරා දිල්" නමින් ගීයක් රචනා කොට ජෝති හා ඇන්ජලින් ලවා ගායනා කර ඇත. 









Saturday, August 29, 2020

සඳ රාජිනී ...

සඳ රාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී

මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී

සඳරාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී 

මේ රැයේ පාලුවේ... 

ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා

මතකේ සදා සුවඳේ වෙලී සංසාරයේ ඉන්න මා හා

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ...

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ...

වේදනා යා කළේ... මායාව සේ...

වැළපෙන්න දෝ මේ ලෙසින්... 

රෑ තුන්යමේ හඬනා මගෙන්

වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ

සුළඟේ රැඳී කාටත් හොරා

මාගේ ළඟින් ඉන්නදෝ...

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ

වේදනා යා කළේ මායාව සේ

පළිගන්නදෝ මේ ලෙසින්....

ගායනය - නිරෝෂා විරාජිනි 

පදරචනය - රොඩ්නි විදානපතිරණ 

සංගීතය - සරත් ද අල්විස් 

මං ඔයාට ආදරේ කළ තරමට ඔයා මට ආදරේ කළා ද. සයුරු තලාවක. සුදුමුදු වැල්ලේ. මම ඔබේ තුරුලට වී හිටියා. අපි දෙන්නා ගොඩාක්‌ දේ කතා කළා. තේරුමක්‌ ඇති දේට වඩා අපි කතා කළේ තේරුමකට නැති දේ ඒත් අපි එයින් සතුටක්‌ ලැබුවා. මං ඔයාට ආදරේ කළ හැටි. දන්නේ මේ ඉර හඳ ගස්‌ කොළං විතරමයි. වැඩියෙන්ම ඒ ගැන හඳ සාක්‍ෂි දේවි. අපි දෙන්නගේ ආදරේ ගැන... අපි දෙන්නා හඳ එළියේ කොයිතරම් වෙලා තුරුළුවෙලා ආදර බස්‌ තෙපලුවද.

අනේ ඒත් අද ඔයා මගෙන් වෙන්වෙලා. ඔයාගේ හදවතේ තවත් කෙනෙකුට ඉඩක්‌ දුන්නේ කොහොමද. සදා කාලයටම ඔයා මගේ මං ඔයාගේ කියලා නේද අපි කතා කළේ ඇයි මගෙන් වෙන්වෙන්න හිතුවේ. අද මම තනිවෙලා. එදා මාව තුරුළු කරගෙන හිටපු ඔයා අද. ඇය සමග. අපි ආදරේ කළ හැටි හොරැහින් බලා සිටි සඳු පවා අද නිහඬයි. මේ පාලු රාත්‍රියේ මම තනිවෙලා වේදනා විඳිනවා. සඳ රාජනිය හැංගිලා. අනේ මේ හදවතේ නැගෙන ගින්දර මාව දවා අළු කරාවි.

සඳ රාජිනී ඇයි ද හැංගී

ඇයි ද හැංගී

මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී

සඳරාජිනී ඇයි ද හැංගී

ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ...

විරහව මේ තරමටම දුකක්‌ද දෙයියනේ. ඇයි ඔයා මට මේ දුක දුන්නේ. ඔයා මාව දාලා ඈතට ඈතට නොපෙනී ගියා නම්. මට දුක ඉවසා ගන්න පුලුවන්. ඒත් ඔයා මගෙන් සමුගන්න ආවේ ඇයත් එක්‌ක. අතිනත් අරගෙන.මම කොහොමද ඉවසන්නෙ. කමක්‌ නැහැ. අපේ අතීත ආදර සුවඳ මා එක්‌ක හැමදා හිඳිවී. මේ සංසාරය නිමාවෙන තුරු ඒ සුවඳේ වෙලිලා ඔයා මා එක්‌කම ඉන්න.

එදා අපි කොයිතරම් සිsහින මැව්වද. පැතුම් පැතුවද. ඒත් එදා පැතූ පැතුම් ප්‍රාර්ථනා කළ සතුට අද නැහැ. කෝ ඒ සිනාවන් මායාවක්‌ වෙලා. ජීවිතයම මායාවක්‌. වේදනාව ඉතිරි කළේ මට මේ විදිහට වැළපෙන්නද.

ඈ හා බැඳී ආවා එදා

සමුගන්න මාගෙන් මිදීලා

මතකේ සදා සුවඳේ වෙලී

සංසාරයේ ඉන්න මා හා

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ

වේදනා යා කළේ මායාව සේ

වැළපෙන්න දෝ මේ ලෙසින්.

පෙම්වතියකගේ වැළපීම වේදනාව විරහව වගේම මේ ගීයේ පදමාලාව අතර ශෘංගාරයකුත් සැඟවී තිබෙනවා. මේ පද එකිනෙක අමුනා ගීයක්‌ බවට පත්කළේ රොඩ්නි විදානපතිරණ, සරත් ද අල්විස්‌ තනු නිර්මාණය කළා. නිරෝෂා ගීය ගයන්නේ හදවතින්මයි.

මම ඔය පද ටික ලිව්වේ සරත්ගේ තනුවට. සරත් තනුව නිර්මාණය කළාට පස්‌සේ වචන ටික ලියන එක මට අභියෝගයක්‌ වුණා. නිමිත්තක්‌  අත්දැකීමක්‌ පදමාලාවට නැහැ. රෙකොඩින්වලට අරගෙන යද්දීත් මම පදමාලාව මඟ දිගට හැදුවා. ඉවර කළේ ස්‌ටුඩියෝ එකේදී රොඩ්නි ගී උපත විස්‌තර කළා.

රෑ තුන්යමේ හඬනා මගෙන්

වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ

සුළඟේ රැඳී කාටත් හොරා

මාගේ ළඟින් ඉන්නදෝ

ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ

ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ

වේදනා යා කළේ මායාව සේ

පළිගන්නදෝ මේ ලෙසින්....

මගේ හදවත පැළෙන්න එනවා. මේ තරම් හඬන්න. මේ තරමට කඳුළු කොහෙන් ආවද මන්දා. ඒත් ඉවරයක්‌ නැහැ. රැයක්‌ දවාලක්‌ නෑ. ඔබ සිහිවන තත්ත්පරයක්‌ තත්ත්පරයක්‌ පාසා මගේ ඇස්‌ දෙකෙන් කඳුළු කැට කඩා වැටෙනවා. හදවත ඉකිබිඳිනවා.

අනේ මගෙන් වෙන්ව යන්න එපා. හැබැහින් එන්න බැරිනම් අඩුම ගානේ කාටත් හොරෙන් සුළඟ එක්‌ක ඔයාගේ සුවඳ එවන්න. ඔයා මා එක්‌ක ඉන්නවා වගේ දැනේවී. මට ඔයා නැතුව ඉන්න බෑ. මා පැතූ සිනාව අද කෝ. මායාවක්‌ වගේ මේ දුක මට දෙන්න. මගෙන් පළිගන්න මම කළ වරද මොකක්‌ද.

ඉතාම වේදනාබර ගීයක්‌. නිරෝෂාගේ හඬ හැබෑ ශෝකාකූල බවකින් යුක්‌තයි. ඒ හඬට ඔබින ගී තනුව සංගීතය වගේම රොඩ්නිගේ පදමාලාව විරහ වේදනා විඳින්නන්ගේ හදවත් ඉතා තදින්ම වෙලාගන්නා බවට සැකයක්‌ නැහැ.

(උපුටා ගැනීම - අජිත් අලහකෝන් දිවයින)






සුළගේ ලෙලෙනා ...

සුළගේ ලෙලෙනා මලසේ දඟපා

අප පාසල් ගිය කාලයේ

යාළුවො අද නැත - වෙන අය එහි ඇත

කාලය මැවූ වෙනසක අරුමේ


ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය

හැමදෙන එක පංතියෙ විලසේ..//

අප පොත්වල දුටු රජවරු සිටුවරු

වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

සුළගේ ලෙලෙනා...

සාම ලා අමරලා පොත්තුල තව ඇත

එන එන අය හා යාළු වෙතේ..//

අපේම පාසල අපේම මව විය

එදවස් අපහට නැත ආයේ...

සුළගේ ලෙලෙනා...

පද රචනය - විපුල ධර්මප්‍රිය ජයසේකර

ගායනය හා සංගීතය - ශාලිත අබේවික්‍රම


ශාලිත අබේවික්‍රම ගයන ‘සුළඟේ ලෙළෙනා’ ගීතය කියන්නෙත් අදත් ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ගීතයක්. ශාලිතට ලාංකේය අසන්නන් අතර ජනප්‍රිය ගායකයෙක් විදියට කිරුළ පලඳින්න හේතු වන මේ ගීතය ලිව්වේ විපුල්. විපුල්ගේ පාසල් කාලය සිහිපත් කරමින් ලිව්වේ. විපුල් පාසල් ගියේ තර්ස්ටන් විද්‍යාලයට. තර්ස්ටන් විද්‍යාලයෙන් බිහිවුණු සොඳුරු පෙර ගමන්කරුවෙක් විදියට ඔහුගේ නම පාසලේ ලියවෙන්නේ රන් අකුරෙන්. ‘සුළඟේ ලෙළෙනා’ ගීතය පාසලේ විශේෂ කටයුතු වලදී වැයෙන්නේ මේ නිසා.  ඔහු සම්බන්ධ අතීතයේ වුණු සොඳුරු සිදුවීම් කිහිපයකුත් මතකයට නැඟුවේ මේ අයුරෙන්.

‘සුළඟේ ලෙළෙනා’ ගීතය විපුල්ගේ අතෙන් ලියැවෙන්නේ පාසලේදී. ඒ කියන්නේ තර්ස්ටන් විද්‍යාලයේදී. දවසක් විපුල් තමන් ඉගෙන ගත්ත පාසලට ගියේ මොකක්දෝ කාරණයකට. පාසලේ ගේට්ටුවෙන් ඇතුල් වුණා විතරයි ඔහුගේ සිහියට නැඟුණේ අතීතය. ඔහු සිතෙන් ඒ පාසල්විය රස වින්ඳා. ඒ දවස්වල කාලය ගෙවූ නුග ගහ තවමත් එහෙමමයි. ඔහු නුග ගහ ළඟ වාඩිවුණේ ඒ පුරුද්දට වගේ. ඒත් එදා හිටිය කවුරුවත් අද නුග ගහ ළඟ හිටියේ නැහැ. අතේ තිබුණු කඩදාසිය දිගහැරිය විපුල් සාක්කුවෙන් ගත්ත පෑනෙන් එයට තට්ටු කළා. මේ විදිහටයි ගීතය ලියවුනේ.

“සුළඟේ ලෙළෙනා මලසේ දඟපා

අප පාසැල් ගිය කාලයේ

යාළුවෝ අද නැත වෙන අය එහි ඇත

කාලය මැව් වෙනසක අරුමේ”





මොකද මැණිකේ ...

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

කලයේ දිය නෑ - ළිපට දර නෑ

මඟ ඇති අම්මා බලා //

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ඔ‍හොම පිටු පා ඒ දවස්වල

කිසිම දුක දී නැහැ ග‍ියෙ 

ඔය නෝක්කඩු කියන බව

ඔබ දන්නවා මම නම් ප්‍රියේ


ඔ‍හොම පිටු පා ඒ දවස්වල

කිසිම දුක දී නැහැ ග‍ියෙ 

ඔය නෝක්කඩු කියන බව

ඔබ දන්නවා මම නම් ප්‍රියේ


මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ළඟදි ඉඳලා වෙනස් වීලා

මගේ මැණිකේ මා කෙරේ


සත්තකට නෑ ඇත්තමයි සුදා

ඒ වගේමයි ආදරේ

ළඟදි ඉඳලා වෙනස් වීලා

මගේ මැණිකේ මා කෙරේ

සත්තකට නෑ ඇත්තමයි සුදා

ඒ වගේමයි ආදරේ

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //


කලයේ දිය නෑ - ළිපට දර නෑ

මඟ ඇති අම්මා බලා //

මොකද මැණිකේ හණික යන්නේ

තාම නෑනේ රැ වෙලා //

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර / මාලා නන්දනී පෙරේරා 

සංගීතය - දේවානන්ද වෛද්‍යසේකර 

පදරචනය - කරුණාරත්න අබේසේකර 


මාතර පාරම්පරික රාජකීය වෙද පරපුරකින් පැවත ආ එරබද්දෙගොඩ දොන් පිලිප්පු වෛද්‍යසේකර ආයුර්වේද වෛදවරයා තම පස් වන පුතණුවන් බටහිර වෛද්‍යවරයකු කිරීමට සිහින මැව්වේය. එහෙත් පුතා කුඩා කල සිට ම සංගීතයට ආදරය කළේය. කෙදින හෝ සංගීතඥයකු වීමට ය; ඔහු සිහින මැව්වේ. ඔහු පසු කලෙක සිංහල සුභාවික ගීතයේ කුසලතා දැක් වූ විශිෂ්ට ගණයේ ගායකයෙක් විය. චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ඔහු ගැයූ ගීත අතළොස්ස ද නොමැකෙන මං සලකුණු විය. ඔහු නමින් ඔහු දේවානන්ද වෛද්‍යසේකරය.

අදින් හරියට අවුරුදු 86 කට පෙර 1934 මාර්තු 23 වැනිදා මහනුවරදී උපත ලැබූ එරබද්දේගොඩගේ දොන් ධර්මසේන වෛද්‍යසේකරගේ මව වූයේ මහනුවර පල්ලියමුල්ලේ සීලවතී මැණිකේය.

“එකොළොස් දෙනෙකුගෙන් යුත් දරු පවුලක මම නම වෙනියා. අද ජීවත් වෙන්නේ නව දෙනයි. මට අයියලා තුන්දෙනෙකුයි, අක්කලා දෙදෙනෙකුයි, නංගිලා තුන් දෙනෙක් හිටියා. මෙයින් කලාවට සම්බන්ධ වුණේ එක අයියා කෙනෙක් විතරයි. එයා විමල් වෛද්‍යසේකර. “තරංගා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විමල් අයියා අද කැනඩ‍ාවේ පදිංචි වෙලා ඉන්නේ.” ඔහු අතීතයට යොමු වෙමින් කීවේය. මහනුවර පේරාදෙණියේ අමරවංශ මාවතේ නි‍ෙවසේ වෛද්‍යසේකරයෛා් නිතිපතා වෙදකම් කරමින් සතුටින් ජීවිතය ගත කරති.

මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ මූලික අධ්‍යාපනය ලබා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය ලැබූ ඔහු ඇලුම් කළේ පෙරදිග සංගීතයට ය. එහෙත් බටහිර සංගීතය මුල් තැනක් දුන් කිංස්වුඩ් විද්‍යාලයේ බටහිර සංගීතය නිසා ඔහු තනිවම සංගීතය ඉගෙනීමට උත්සාහ ගත්තේය. කුඩා කල සිටම දේවානන්ද හින්දි චිත්‍රපට ලෝලයෙක් විය.

“මහනුවර වෙම්බ්ලි සිනමාහලේ තිරගත වූ “බර්සාත්” චිත්‍රපටය නරඹලා කොයිතරම් එහි ගීතවලට අදාරය කළා ද කිව්වොත් ඒ චිත්‍රපටයේ ගීත එන වේලාවල් දන්න නිසා සිනමාහලේ දොර අසලට ගිහින් කන්දීගෙන ඉඳලා රසවිඳිනවා. මොකද? චිත්‍රපටය නැවත බලන්න සල්ලි නැති හින්දා. මම මහනුවර සිට කොළඹ ආවා වැඩිදුර ඉගෙන ගන්න පෙම්රොක් විද්‍යාලයට. එහිදී පන්ති සගයකු වූ මහනුවරම පසු කලෙක ගායකයකු ලෙස ප්‍රකට වූ ටියුඩර් කඳනආරච්චි මාව සංගීතය පැත්තට යොමු කළා.

මේ අතර මස්සිනා (ඊ.ඒ. ජයනෙත්ති ලොකු අක්කගේ සැමියා) මගේ සංගීතයට ඇති උනන්දුව දැක සංගීත සාජ්ජ බලන්න එක්කන් ගියා. දක්ෂ තබ්ලා වාදකයකු මගේ මස්සිනා රූපසිංහ මාස්ටර් ප්‍රවීණ තබ්ලා පොඩි අප්පුහාමි (ප්‍රවීණ ගායක මිල්ටන් පෙරේරාගේ පියා) ගෙන් මස්සිනා සංගීතය හදාරා තිබුණා. ඔහුගේ මඟ පෙන්වීම නිසා මට සංගීතඥ එම්.ජී. සුගතදාසයන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ මහතාගේ “සරසවි කලායතනයට” සම්බන්ධ වීම නිසා සිතාරය, වයලීනය, එස්රාජය, තබ්ලාව හා රාගධාර සංගීතය හැදෑරීමට අවස්ථාව ලැබුණා.” විමල් වෛද්‍යසේකර තම කලා ජීවිතයේ ආරම්භය ගැන සඳහන් කරමින් කීවේය.

තම මස්සිනාගේ මාර්ගයෙන් ගුවන් විදුලියේ සංගීත අංශයේ පී. ඩන්ස්ටන් ද සිල්වා හමුවී 1953 පණඩිත් රතන ජන්කර් පඬිතුමාගේ පරීක්ෂණය ඉදිරිපත් වූ පහළොස් හැවිරිදි එකම තරුණයා වෛද්‍යසේකරය. සී ශ්‍රේණියෙන් සමත් වෛද්‍යසේකරට “මාසික රැඟුම” ප්‍රසංගයේ ගීතයක් ගැයීමට අවස්ථාවක් ලැබිණ. එම ගීතය රචනා කර දුන්නේ සංගීතඥ එම්.ජී. සුගතදාසන්ය. මෙහි විශේෂය නම් මේ ගීතයේ තනුව නිර්මාණය කළේ මේ ළාබාල ගායක වෛද්‍යසේකරයන් වීමය. ඔහු ඉන්පසු ‘නව මිහිර’ , ‘රස දහර’ සංගීත වැඩසටහන්වලින් තම ප්‍රතිභාව විදහා පෑවේ ය.

“මගේ සරල ගී වැඩසටහනට මට අවශ්‍ය වුණා කරුණාරත්න අබේසේකරයන් ලවා ගීතයක් ලියවා ගන්න. දවසක් ගුවන් විදුලියේ කොරිඩෝව දි‍ගේ කරු ඇවිදගෙන එනවා. මට ඔහුට අත්පොළොසන් දී කතා කළා. ඔහු නැවතුනා. මම ඔහු වෙත ගියා.

“කරු, මගේ සරල ගී වැඩසටහනට ගීතයක් ලියලා දෙන්න.” මම කිව්වා. ඔහු මගේ අතින් අල්ලාගෙන 10 වැනි මැදිරියට එක්ක ගියා.

දේවානන්ද‍ගේ ගම කොහේද?” මහනුවර

එහෙනං ලස්සන මැණිකෙලා ඇති නේද?”

“මම හිනා වුණා. කරු මැදිරියේ තියෙන ලොකු පියානෝව උඩ තියාගෙන ගීතයක් ලිව්වා. “මේක යුග ගීතයක්”

කරු සිනාවෙමින් කඩදාසි මා අත තබා ගියා. මම මේ ගීතයට තනුවක් ගැන සිතමින් ඉන්න වේලාවක මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් එක් නුවර පීල්ලට ගියා නාන්න. රිදී ජල ධාරාවෙන් හිසට දැනෙන විට තනුව ඉබේම මැවුණා. මේ ගීතය මම ගැයුවේ මාලා නන්දනී පෙරේරා සමඟ. ඒ කාලේ ඇය ජනප්‍රිය ගායිකාවක්. ඇය හා විල්ප්‍රඩ් පෙරේරා “තනියම ඇයි මේ වනේ” ගීතයට මම ප්‍රිය කළා. මම හිතුවා මගේ ගීතයේ සහාය ගායිකාවට ඇය තෝරා ගන්න. ඇය මෑතක මිය ගියා. මේ ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය ගීතයක්. මගේ තනුවක්.”

(උපුටා ගැනීම - සිළුමිණ)







Tuesday, August 25, 2020

පිනිබර යාමේ ...

පිනිබර යාමේ සැවුලන් අඬලනවා

අම්මා වටකර ලිප ගිනි නැලවෙනවා

කොළඹ රේල්ලුව රජ ගමනට එනවා

නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා


පුතුනේ අකුරට යන්න පමාවී

ගුරු සිත රිදිලා වේවැල අඬවාවී //

ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා

දුක්වේවී අම්මා..

පිනිබර යාමේ....

වේල දෙවේලේ කුසගිනි නොබලා

කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා //

කලට රුවන් වැසි වස්සන තාලේ

සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා

පිනිබර යාමේ....

ගායනය - සුනිල් එදිරිසිංහ 

පදරචනය - ලූෂන් බුලත්සිංහල 

සංගීතය - වික්ටර් රත්නායක 

ගීතය රචනා කළ ලූෂන් බුලත්සිංහලයන් අදහස් දක්වමින් "මම ඉපදී හැදී වැඩුණේ රත්මලාන ප්‍රදේශයේ. එදා එහි අපමණ ගැමි සුන්දරත්වයක්, ජීවන පැවැත්මක් තිබුණා. ඒ වටපිටාව තමයි මගේ ගී නිර්මාණවල උල්පත වුණේ. එහෙම නැතිව මම හද්දා පිටිසර අමු ගැමියෙක් නෙවේ. ඒත් අද අපි දකින රත්මලානට වඩා ඉතා සන්සුන්, නාගරීකරණයෙන් ඔද්දල් නොවූ පරිසරයක් එදා එහි තිබුණා.

“පිනිබර යාමේ සැවුලන් හඬලනවා” ගීතයත් මගේ කුඩා කාලයේ ඇත්දැකීම්වලට සම්බන්ධයි. මේ ගීතයේ කියැවෙන වෙලාවට තමයි අපේ තාත්තා කෝච්චියේ වැඩට යන්නේ. රත්මලානේ මුහුද අද්දර තමයි අපේ ගෙවල් තිබුණේ.

ලුනාව පැත්තෙන් කෝච්චිය එන සද්දෙ ඇහෙන කොට තාත්තා ගෙදරින් පිටත්වෙනවා. ඉහේ හිටන් පොරවගෙන නිදන් ඉන්න මාව ඇහැරවලා, මට දවසේ වැඩ නියම කරලා තාත්තා ගෙදරින් යන්නෙ. ඒ අත්දැකීම් මට හොඳට මතකයි. ඒත් ‘පිනිබර යාමේ’ ගීතයෙන් කියැවෙන දරුවා මං කියලා හුඟක් අය දන්නෙ නැහැ.

(උපුටා ගැනීමකි.)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...