Thursday, June 17, 2021

ලක්වැසියන් කෙරෙහි නැමී ...

ලක්වැසි ජනතාවගේ දරුවන්ගේ සිත් තුළ ළදරු අවධියේ සිටම ජාතිකාභිමානය දැනවීම සඳහා ඔවුන්ගේ මහරු අතීතය සිහිපත් කරවන ළමා කාව්‍ය සාහිත්‍යයක් අප සතුව ඇත. මින් දශක නවයකට පෙර යුගයේ *ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් විසින් පබඳින ලද පද්‍ය අනූ පහකින් යුතු ‘දරු නැළැවිල්ල හෙවත් ජාතික තොටිල්ල’* ඒ අතර උසස් තැනක් ගනියි. ඒ පද්‍ය සංග්‍රහයෙන් තෝරාගත් පද්‍ය අටක් සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬින් සිංහල ගීත සාහිත්‍යයට එකතු වී ඇත. එහි පළමු පද්‍යය මෙසේය:


ලක්වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමී

පෙව්වේ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එමී


ඇස්. මහින්ද හිමියන්ගේ ජාතික තොටිල්ල කාව්‍ය සංග්‍රහයේ දසවැනි පද්‍යයෙන් ආරම්භ වන එම ගීතය සනාතන වටිනාකමින් යුතු වන අතර අද යුගයට එය අතිශයින්ම වැදගත් වෙයි. මිහිඳු මහරහතන් වහන්සේ සදහම් අම මී පොවා වැඩූ සිංහල සභ්‍යත්වය වර්තමාන යුගය වන විට මිසදිටු ඇදහිලි විශ්වාසයන්ගෙන් ආකූල ව්‍යාකූල වී පවතී. ඒ විසකුරු දෘෂ්ටි හා පුද්ගලයන් හඳුනාගෙන එයින් මිදී අරහත් මහ මිහිඳු හිමිපාණන් එදවස ලක්වැසියන් හට පෙවූ සදහම් මී යළි අප දරුවන් වෙත පෙවිය යුතු කාලය එළඹ තිබේ.


මවුබිමේ ඉතිහාසය නොදන්නා අධ්‍යාත්ම ශක්තියෙන් පිරිහුණු ජනකායකගේ දරුවන්ගේ සිත් තුළට බුදු දහමින් පෝෂණය වූ අතීත සභ්‍යත්වයේ මහිමය අනුක්‍රමයෙන් පිවිස වන ආකාරයට, ‘දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ කාව්‍යයේ කවි තෝරාගෙන ගීතයට එක් කොටගෙන තිබේ.


ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ


සිංහල ජාතිය නමැති රන් විමානයේ දැල්වූ මිණි පහන නම් සම්බුද්ධ ශාසනයයි. එම රූපකය සුනිල් එදිරිසිංහයන් ගයන වෙනත් ගීතයකින් කියැවුණේ ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ’ යනුවෙනි. ඒ පින්බිමට විපත් පත් හැම විටම එය රැක ගැනීම සඳහා වීර පුරුෂයෙකු බිහි වූ අයුරු සිංහල මහාවංශයේ ලියැවී ඇත. ඒ යුගය දැන් උදා වී ඇති බැවින් පුතණුවනි මේ ඔබට අවස්ථාවයි.


මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝ වේ

මේ ගැන වැඩ කළොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ


බුදු දහමේ මිණි පහනින් එළිය වූ උතුම් ලංකාද්වීපය දුසිරිත් ආකාරයක් බවට පත්ව තිබේ. එය වළකා රට නැඟුවොත් පුතණුවනි, ඔබගේ නම රන් අකුරින් ලියැවෙනු ඇත.


ඉටු කොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන් නම්

නුඹයි මගේ පුතා උතුම්


කලක් මිසදිටු ඇදහිලි වලට, දුසිරිතට, නිවට ගැති පිළිවෙතට යොමුව සිටි රටක් නැගුම ලෙහෙසි පහසු කාරියක් නොවේ. දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීම, වර්ග බෙදුම්වාදීන් මැඩීම ලොවෙත් ගැරහුම් ලැබීමට හේතුවන ක්‍රියා වෙයි. ඒවා ඉවසා රට නැගුමේ පිළිවෙතට උර දීම උතුම් ලක් පුතෙකුගේ කාරිය වන්නේය.


තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොළොත් උඹෙන් පුතේ

මෙලොවට කිසි ඵලක් නැතේ


අප උපන්දා සිට වැඩුණේ මේ රන් දිවයිනේ සාරය උරා බීමෙනි. දෙරණ ලිය දෙන භව භෝග සම්පත් භුක්ති විඳිමින්, මුනි සිරිපා, සිරි දළදා, සිරිමහබෝ, රන්වැලි සෑ දාගැබ් පිසගෙන හමන සුළං රැල් උරමින් අපි හැදී වැඩුණෙමු. එබඳු අනුප්‍රාණයක් ලබා දුන් රටට අප දිවි පෙවෙතින් කොටසක් – එනම් මෙහෙවරක් අප ලබා දිය යුතු ය. එය කළ හැක්කේ ශ්‍රම ශක්තියෙන් හා නැණ නුවණ මෙහෙයා කරන සේවයෙනි.


මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකත් හිරිහැරයත්

නිවනට සම කොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්


තමන් උපන් රටට, ජාතියට, ආගමට ළැදිව සේවය කිරීමෙන් අප ලබන තෘප්තිය ඉමහත්ය. අප ඉන් ලබන වෙහෙස, දුක්ගැහැට, හෙළන දහදිය බිඳු අපගේ මෙන් ම සියලු රටවැසියන්ගේ යහපත උදෙසාය. 


කාටත් හිමි පොදු දේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරවිරුකම්


අටලෝ දහම හුරු දිවි පෙවෙතකට උරුමකම් කියන හෙළදිව ජනතාව, තමන්ට මුහුණ පෑමට සිදුවන හිඟපාඩුකම් – අවහිරකම් විඳ දරා ගැනීමට ශක්තිය ඇත්තෝය.


එම හැකියාව අප ලැබුවේ බුදු දහම විසින් අප ජාතියට උරුම කොට දෙන ලද නොසැලෙන අධිෂ්ඨාන වීර්යය නිසාවෙනි. එය වූ කලී අප්‍රමාදයෙන් ප්‍රමාදය ජය ගැනීම පිළිබඳ ධීරයකු සතු ගුණයයි.


උස් තැන් දැක හැකිළෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ


ආදී සිංහල ජනයා කවරම බලවේගයක් හමුවේ වුවද නිවටුන් ලෙස හැකිළුණේ නැත. ජාතිය නිසා හෝ ආගම නිසා හෝ පුතුන් නිසා හෝ ධනය නිසා හෝ අධර්මයෙන් ජයග්‍රහණයක් නොපැතූ ඔවුහු කිසිදු කරුණක් නිසාවත් අසරණයන් නොපෙළුෑහ. තමන් අබිමුව වැටුණ පරාජිතයින්ට පවා ගෞරව කළහ. එසේ කටයුතු කිරීමෙන් ඉහළ තැනකට නැඟෙන පුතා අන් ජාතීන්ටද සුව සෙත සලසමින් සිංහල ජාතිය බබුළුවන්නේය. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේය.


ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් මම පොවමි එමී


ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය ‍රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ


මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කොලොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ


ඉටු කොට කල යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන්නම්

නුඹයි මගේ පුතා උතුම්


තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොලොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ


මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්


කාටත් හිමි පොදුදේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරු විරුකම්


උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ


ගායනය :සුනිල් එදිරිසිංහ

පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

සංගීතය : රෝහණ වීරසිංහ


(උපුටා ගැනීම – දයාපාල ජයනෙත්ති)




Friday, June 11, 2021

කඳුළ නිවන්නම් ...

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්

තනියට ඉන්නම් තනි නොකරනවා නම්

මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්

සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්


මල් පූදින්නේ දැඟිලි අතරේ

තැලී පෙලී මියෑදෙන්න නොවේ

සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි

හිත රිදවුම් සඟවන්න නොවේ


සඳ පායන්නේ හිරු නැති ලෝකේ

ඝනදුර දුරු කරවාලන්නයි

සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ

හිතකට එළියක්‌ ලැබ දෙන්නයි


පද රචනය හා තනුව  අශෝක කෝවිලගේ

ගායනය - ප්‍රියානි ජයසිංහ


ආදරය හරිම සුන්දරයි පවිත්‍රයි  ආදරයේ සුන්දර බව පවිත්‍රත්වය රඳා පවතින්නේ දෙදෙනාම එකිනෙකා ගැන එක හා සමානව හිතනවා නම් විතරයි. දෙදෙනාගේම හැඟීම් එක හා සමාන විය යුතුයි. හරියට තරාදියක්‌ වගේ. තරදිය සමබර වෙනවා වගේ තමයි දෙදෙනාගේ ආදරයත්. එක පැත්තක්‌ අඩු වුණොත් සමබරතාවය බිඳෙනවා. ආදරයේ සුන්දර බව පවිත්‍ර බව අඩුවෙලා යනවා.


කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්

තනියට ඉන්නම් තනි නොකරනවා නම්

මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්

සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්


මගේ නෙතට කඳුළු නොදුන්නොත් මම ඔයාගේ දුක්‌ කඳුළුත් නිවා දමන්නම්. මාව තනි කරන්න එපා. මාව තනි නොකළොත් මමත් ඔයාගේ තනියට ඉන්නම්. මාව අමතක නොකළොත් මම ඔයාගේ මතකයේ රැඳී ඉන්නම්. මගේ හිතට රිදවුම් ගෙන නොදුන්නොත් මම ඔයාට ආදරය කරන්නම්...


තරුණියකගෙන් තරුණයකුට කොන්දේසි මාලාවක්‌. ආදරය කරනවා නම් දෙදෙනාම සමබර විය යුතු බවයි මේ කියන්නේ. ආදරයේ සමබරතාව ගැන කියන මේ ගීය ලියුවේ අශෝක කෝවිලගේ. තනුවත් ඔහුගේමයි. දැන් අපි අශෝකට මඳක්‌ සවන් දෙමු.


මේ සිංදුව කරලා අවුරුදු පහළොවක්‌ විතර ඇති. ඒ මම සංගීත ක්‍ෂේත්‍රයට ආ අලුත. මගේ පළමු ගීය "සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ" ගයන්න මාලිනී බුලත්සිංහල ශිල්පිනිය ඉල්ලා ගත්තා. ඉන්පසු තමයි මම මේ කඳුළු නිවන්නම් ගීය ලියුවේ.. ඒත් ගීතය පටිගත කරද්දී සමහර වචන වෙනස්‌ වුණා. මේ ගීය හදල අපේ බෑන්ඩ් එකේ ගායනා කරන්න ප්‍රියානිට ආරාධනා කළා. ඇගේ හඬට ගීය ගැලපුණා. අපි මංගල සාදවල මේ ගීය ගැයුවා. එක්‌ මංගල සාදයකදී තුන්සැරයක්‌ම කඳුළ නිවන්නම් ගායනා කරන්න ප්‍රියානිට සිද්ධ වුණා. ඒ තරමට ගීයට ප්‍රතිචාර ලැබුණා. ඉන් පස්‌සේ තමයි අපි තීරණය කළේ ගීය පටිගත කරන්න. අපි නොහිතපු ලෙස ගීතය ජනප්‍රිය වුණා.


මල් පූදින්නේ දෑඟිලි අතරේ

තැලී පෙලී මියෑදෙන්න නොවේ

සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි

හිත රිදවුම් සඟවන්න නොවේ


පිපුන මලක හැඩ දෙනෙත්වලට කොයිතරම් සුන්දරත්වයක්‌ ගෙන දෙනවද. පිපුණු මලක ලස්‌සන වඩාත් වැඩියෙන් විඳින්න පුළුවන් වන්නේ ගසේම තියෙද්දී නටුව අගට වී සුළඟට සෙලවෙමින් දසත සුවඳ පතුරන මල කෙතරම් පිවිතුරුද. මලක්‌ පූදින්නේ මේ සුන්දරත්වය ලබාදෙන්න මිස නටුව අගින් කඩා අතැඟිලි අතර තැලී පොඩි වී විනාශ වෙන්නද. නැහැ ඒ වගේ තමයි ආදරයත්. ආදරයක්‌ නැති හදවතකට නොවේ පෙම පිදිය යුත්තේ. ආදරය පිදිය යුත්තේ ආදරයක්‌ ලබන්න මිසක්‌ දුක කඳුළ සඟවා ජීවත්වෙන්න නොවේ.


සඳ පායන්නේ හිරු නැති ලෝකේ

ඝනඳුර දුරු කරවාලන්නයි

සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ

හිතකට එළියක්‌ ලැබ දෙන්නයි


හිරු බැස ගිය විට මුළු ලොවම අන්ධකාරයෙන් වෙළාගනී. ඒ ඝනඳුර දුරු කරන්නයි සඳ පායන්නේ. හඳ එළියත් හරියට පිවිතුරු ආදරය වගේ. හුදෙකලා වූ අඳුරු හිතකට පිවිතුරු ආදරයක්‌ පුද කළොත්. ඒ ජීවිතය අනිවාර්යයෙන්ම එළිය වෙනවා. හරියට සඳ එළියෙන් රැයේ ඝනඳුර මැකී යනවා වගේ.


ලස්‌සන ගීයක්‌. ප්‍රියානිගේ හඬ ගීයේ අරුත වඩාත් උද්දීපනය කරනවා. ගීය හොඳින් අසන්න. තනුවේත් අමුත්තක්‌ දැනෙන බව කිව යුතුමයි.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන් / දිවයින)



Monday, May 31, 2021

හිම දියවී හිමාලයේ ...

ලාංකීය සුභාවිත ගීත සාහිත්‍යයේ හමුවන අපූර්ව ගීතයක්. සදාතනික ආදරවන්තයන් වූ රාඨා සහ ක්‍රිෂ්ණා යොදාගෙන ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශෘංගාරය ඉදිරිපත් කරයි.


හිම දියවී හිමාලයේ යමුනා ගගඟ 

නගයි තරංගා..සුදු පෙණකැටි බලන්න රාධා....

සුළඟ හමයි සීතල සාදා..

සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..


හිමාලයේ හිම දියවී යමුනා ගඟ උතුරන අවස්ථාවක ගඟ අසල දෙදෙනාගේ හමුවීම සිදුවෙයි. හිම දියවී ඇත්තේ දෙදෙනාගේ ප්‍රේමයේ ඇති උණුසුම නිසාය..


සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාශේ

පීනන මේ ස්වර්න හංසයෝ..

අකීකරුද මෙතරම් රාධා..


වත නැමැති නීල ජලාශයේ පීනන ස්වර්ණ හංසයන් ඇගේ ලැම යි. හංසයෝ අකීකරුවීම යනු ඇගේ ලැමෙහි ඇති ආකර්ශනීය බවයි..


ඉඩදී දෙන්නට දඬුවම්

දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


"මාගේ ලැම හංසයන්ට ඔබ කැමති දඬුවමක් දෙන්න මම එය දෑස් පියාගෙන රසවිඳින්නම්" ශෘංගාරයේ රසය අපූරුවට ඉදිරිපත් කරන අවස්තාවක්..


මල්පෙති පොඩි වී ඉකිලන මේ හෝපලු

යහන් තලාවේ

සඳ දිය මිණිමෙවුලට වැටිලා

දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණිකැට

දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


දෙදෙනා හමු වී ඇත්තේ රාත්‍රියේ සඳ සෙවනකය. සඳ එළිය මිණිමෙවුලට වැටිල දෑස නිලංකාර වෙලා.. සංකල්ප රූප..


ඇත්තටම මොකක්ද මේ මිණිමෙවුල...!!!! ම්ණි මෙවුල යනු අතීතයේ කතුන් තම රහසඟ වැසෙන සේ පැලඳි ආභරණයකි ...


ගායනය    :  අමරසිරි පීරිස් සමඟ වසන්තා තිලකාංගනී

පද රචවය : ධම්මික බණ්ඩාර (ආදී ආනන්දීයෙකි) මගේ පුංචි රෝස මලේ, හන්තානට පායන සඳ, ඇය ආයෙමත් ඇවිදින් යන ගීත රචනා කොට ඇත.

සංගීතය : ඩැනිස්ටර් පෙරේරා




Wednesday, May 19, 2021

මිටින් මුදා හැර බැලුවෙමි ...

මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//


සැඟෙව්වාට වලාකුළක් දුහුලින්

කලා සපිරි සඳ වැසුණාදෝ

හමා ගියද මාරුතයක්

සුළඟට තරු එළියත් නිවී යාවිදෝ


මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී


ගරා වැටෙන මහ වැස්සට සේදී

මලෙක පැහැය දියව යාවිදෝ

සමුගන්නට සිදු වූවත්

අපට දැනුන සුවඳ මැකී යාවිදෝ


මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//


ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග

පද - රත්මලේ බන්දුල ගුණවර්ධන

තනුව - විජේරත්න රණතුංග


මිටින් මුදා හැර බැලූවෙමි” කලක් ගීත දර්ශකවල එක දිගට ප‍්‍රචාරය වූ ගීතයක්?

 

රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මං දන්න දෙන්නෙක් හිටියා. මේ පෙම්වතා සහ පෙම්වතිය ඉතා සමීපව ඇසුරු කරන පවුල් දෙකක දරුවෝ දෙන්නෙක්. මේ දෙන්නගේ පවුල් දෙක කොතරම් සමීපද කියනවා නම් මේ දෙන්නට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරගන්න හැකියාවක් ධෛර්යයක් තිබුණේ නැහැ. දෙන්නම ගෙවල්වල අයට මේ ගැන කියන්න බය වුණා. හැබැයි ඔවුන් යටි සිතින් දැඩි ලෙස ආදරය කළා දෙන්නට දෙන්නා. මේ තරුණයට ආත්ම ශක්තියක් තිබුණේ නෑ මේ කාරණාව මේ යුවතියට ඉදිරිපත් කරන්න. නමුත් ආදරය දළුලා වැඩිලා එහෙමම ගියා. ආදරයක් කරලා ආදරවන්තයන් සේ ප‍්‍රකාශයට පත් නොවුණත් හදවතින් සිතින් ආදරවන්තයන්ට වඩා ඔවුන් ළංවෙලා හිටියා. ඒ අතරේ අවසාන කාලය වෙනකොට ආදරේ ප‍්‍රකාශ නොකර ඉන්න බැරිවෙලා කොහොම හරි අහම්බෙන් ආදරය ප‍්‍රකාශ කරනවා මේ තරුණයා තරුණියට. නමුත් එතකොට අර යුවතියට විවාහ යෝජනා ඇවිල්ලා. ඇයට සමුගන්න සිද්ධ වෙනවා. ප‍්‍රමාද වැඩියි. ඉතිං ඔහුගේ ප‍්‍රමාදය පසුතැවිල්ලකට හේතු වුණා. ඒත් ඔවුන් තරහා වුණේ නැහැ, ඒ සුහදතාව ඒ විදිහටම තියා ගත්තා. ප‍්‍රකාශයට පත් නොකරපු ඒ ආදරයේ මිහිරියාව ඔවුන් තුළ අදටත් ඒ විදිහටම තියෙනවා. ඕක තමයි කතාව. මට මතකයි මේ ගීතයට දුරකථන ඇමතුම් ලැබුණා මට හරියට. මේක ඔයාගේ ගීතය නෙමෙයි මේක මගේ ගීතය කියලා බොහෝ දෙනෙක් කිව්වා. ඒ කියන්නේ මේ ගීතයේ අත්දැකීම ගොඩක් අයට ඇති.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Monday, May 17, 2021

රූකඩ මඩු යාග පොලේ ...

රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ

ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...


ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට

ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු

මලට ළොලේ පිණි කඳුළේ

නිතර රැඳී උන් බඹරින්දු....


යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න දෑත වනන්නා

නිබඳ මගේ පිරුණු සෙනේ

නුඹ නොදනී මල්මද ලන්දු...


පද රචනය - වසන්ත කුමාර කොබවක

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


කතා ව්‍යවහාරයම ගීතයට තිඹිරි ගෙය වන්නට ඇත. හේතුව කතාවද නාදයකි. එසේ නම් ගීතය ද නාදයක්‌ම බව අපි දනිමු. මේ නිසාම ගීතය සෙසු සාහිත්‍යාංග පරයා ජනතාවට ඉතාමත් සමීප සාහිත්‍යාංගය ලෙස දැක්‌වීම වරදක්‌ නොවේ. අංග සම්පූර්ණ ගීතයක්‌ පහළවීමට පද, අර්ථය, රසය, භාවය, නාදය, ශ්‍රැතිය, ස්‌වරය, රාගය, ඡන්දස, වෘන්දය, ලළනය, කාලය මැනවි සුසංයෝජනය විය යුතුය. එවිට අප පතන තෘප්තිය, මානසික සුවය, හා ආධ්‍යාත්මික ආනන්දය හදවතේ ගැඹුරුම තැන ස්‌පර්ශ කරනා අපූරුව මොනවට පැහැදිලිය.


වසර විසිහයකට ඔබ්බෙහි ඉහත සඳහන් රසභාව උද්දීපනය කළ ගීතයක්‌ තවමත් සහෘද හදවතේ ජීවත්වීම ආනන්ද ජනක ලකුණකි. ආදරය, විරහාව, ප්‍රේමය, සෙනෙහස, තේමාව කරගත් එදා මෙදා තුර ඇසුණු ගීත සම්භාරය සුළුපටු නොවේ. නමුදු චිරාත්කාලයක්‌ එකසේ ජනප්‍රිය වූ ගීත ඇත්නම් ඒ අතළොස්‌සකි.


රූකඩ මඩුයාග පොලේ

කෝළ නුඹේ රුවට ලොලේ

ආල පිරූ මා ගැන් දැන්

නැද්ද නිනව්වක්‌......


කොළඹ සඳ එළිය ගමේ සඳ එළිය තරම් අවිහිංසක නැත. කොළඹ පිපෙන මල් ගමේ පිපෙන මල් තරම් සුන්දර නොමැත. ගමේ උපදින ආදරය ද එසේමය. සෞම්‍යය. පාරිශුද්ධය. හැඟුම්බරය. මේ සියල්ලටමත් වඩා සංවරය. විනීතය. සදාචාර සම්පන්නය. ගුරු දෙගුරුන්ට අවනතය. ඒ නිසාම ගමේ දෙහදක භද්‍ර යෞවනය මතින් කල එළි බසිනා ප්‍රේමය ද මල්ඵල දරන්නේ ගමේ යාග පොළේ, රූකඩ මඩුව සමීපයේ, සල්පිලේ වීම යට කී අවිහිංසක බව තව තවත් ත්‍රීව්‍ර කරන්නකි. මෙවන් තැනකදී ඔවුනොවුන්ට වදනක්‌ දෙකක්‌ කතා කරන්නට නොහැකි වන කළ නෙතිත් නෙත දොඩා සිත් සනහා ගැනීමට තරම් ගමේ උපදිනා පෙම් සිත් තාදි ගුණයෙන් පොහොසත්ය.


ගමේ වැල ගමේ කපුටන්ට යෑයි කතාවක්‌ තිබුණ ද, ගමේ යුවතිය ගමේම තරුණයෙකුගේ සුළැඟිල්ලේ නොදැවටෙනා තැන් ද නැතුවා නොවේ. එවන් අනුභූතියක්‌ වසන්ත කුමාර කොබවක පද අහුරකට ගොනු කළේ ජනශ්‍රැතිය ද ඇසුරු කරගෙනය. මෙවන් යුගයක ගමේ යුවතිය ගම හැර යන හේතු කාරණා බොහොමයක්‌ ඇත. ඇතැම් විට සිදාදියේ රැකියාවකට විය හැකිය. නැතිනම් සරසවියට වීමට පුළුවන. මේ දුරස්‌වීම නිසා ඇයට ඔහු ගැන නිනව්වක්‌ නොමැත. මින් මතුවෙන විප්‍රලම්භ ශෘංගාරය වසන්ත කුමාර මතු දැක්‌වූ පදවැල් හා මුසුකර ඇති ආකාරය අතිශයෙන්ම ප්‍රශස්‌තය


ඈතලන්ද දිය මංකඩ

බෝම පිපී තිබුණු මලට

ආලවන්ත බහක්‌ දෙන්න

ආ බඹරින්දූ......


ඔහුගේ බොහෝ ගීතවල දිස්‌වන්නේ එකම රටාවකි. එනම් ඒ ජන කවි ආරය. උපමා අලංකාර යෙදුම් මතින් ජන කවියට සමීප වන මේ බස්‌ වහර විධිත්, කවි බස මතුකරලීමට සමත් ය. මේ වසන්තයේ ගැමි සංස්‌කෘතියේ ප්‍රතිභා ප්‍රභාව යෑයි පැවසීම වරදක්‌ නොවේ. අජීවී ස්‌වභාවික පරිසරයට සජීවී බව ආරෝපණය කරනා රචකයා ගමේ ගොඩේ ගහේ වැලේ මලේ කොළේ රුව ගුණ ඔස්‌සේ ඇය මලක්‌ ලෙස ද ඔහු බඹරා සේ මතු කරලීමට සමත්ව ඇත.


යාය පුරා මල් උතුරා

කෝල දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න

දැත් වනන්නා...

නිබඳ මගේ පිරුණු සෙනේ

නුඹ නොදනී මල් මද ලන්දූ


ළඳ බොළඳ කම් පෑ දැරිවිය මල්වර වූ දවසේ ඔහුගේ සිතේ උපදින අව්‍යාජ විනීත ආස්‌වාදය ඇතිකරලන්නට මලෙක මෙලෙක මතුකරලීම අලංකාරය සිහිගන්වන්නකි. මෙම බස්‌වහර භාවාර්ථ මතු වනසේ මුළු ගේය පද සංකල්පනාව පුරාම ගලායැම ජන සාහිත්‍ය  විචාර සිහිගන්වන්නකි. ඇය දීග යන වයසේ පසුවනවා පමණක්‌ නොව දෙමවුපියන් ඒ සඳහා මඟ හසර ලක ලැහැස්‌ති කරදී අවසාන බවද මේ පදවැල් හීං යටි පෙළින් ශ්‍රාවක සිතට ගම්‍ය කර ඇත්තේ සංකේත භාවිතයෙනි. රූපකාර්ථවත් බස්‌ වහර මතින් ඔහුගේ චින්තාවලිය වේදනා ප්‍රවාහයක්‌ බවට පත් නොකර සංවේගයේ මන්ද මාරුතයක්‌ කරන්නට උපයුක්‌ත කර ගත් බස්‌ වහර මනාව සෑහේ.


කෝළම්, නාඩගම් සම්ප්‍රදායේ ගායනාවක්‌ මේ පදවැල හා මුසුව ඇතැයි ශ්‍රාවකයාට හැඟේ. ඒ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායකගේ හඬෙහි සුසංගතව පවත්නා පාරම්පරික ගැමිකම හේතුවෙනි. පැරැණිතම වූත් නාද නිධානය ගැබ්ව ඇත්තේ මිනිස්‌ කටහඬේ යැයි යන අදහසට උපරිම සාධාරණය ඉටු කරලීමට මුවින් හඬ රටා පමණක්‌ නොව සප්ත ස්‌වර නාද රටාව ද මුසු කිරීමට රත්නායකයෝ පොහොසත් බව පෙන්වූහ. මේ නිසා මෙවන් ගීත ඇසෙන කල අප ලබන ආනන්දය මේ විශ්වය පුරා ඇති මනුස්‌සකමේ සෙනෙහසට හා දයාවට අප පෙරළා ආදරය කළ යුතු බව මතුකරලන්නකි. ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලන්නට අප තරම් ශික්‍ෂණයක්‌ ලැබූ ජාතියක්‌ වෙන කොතැනකවත් නැත. ඒ බව පසක්‌ කෙරුමට මේ ගීතය මතින් උපන් හෘද සාක්‍ෂිය වඩාත් අප්‍රමාණිකය.


(උපුටා ගැනීම - දිවයින)




Thursday, May 13, 2021

උන්මාද සිතුවම් ...

උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ

පාළු හුදකලා සුළඟ පමණි උරුමේ

හඬා වැටෙන සිත සදාසරණ මත

තනිවේවි එක්ටැම්ගේ


උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැඟව ගියේ

දැනේ තවම මට මලේ සුවඳ පොද

තනිවේවි එක්ටැම්ගේ


උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


තනිවේවි එක්ටැම්ගේ ////.


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව - සරත් දසනායක


1980 දී තිරගත වූ "එක්ටැම් ගේ' සිනමා කෘතියේ ගීයකි.


සිංහල සාහිත්‍යයේ ප්‍රසිද්ධ එක් ටැම් ගෙවල් දෙකක් හමුවේ. පඩුවස්දෙව් රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රා සිය සොයුරන් විසින් සිය රාජ්‍යයත්වය පිළිබඳවු බියක් හේතුවෙන් එක් ටැම්ගෙයක සිරකර පුවත අප අසා ඇත්තේ කුඩා කාලේයෙදීය. 


දෙවන එක්ටැම් ගේ අපට හමුවන්නේ හර්බට් රන්ජිත් පිරිස් ශුරීන් විසින් අධ්‍යක්ශණය කර 1980 දී රිදී තිරයේ දිග හැරුනු එක්ටැම් ගේ සිනමා නිර්මාණයයි.

එක්ටැම් ගේ  චිත්‍රපටියේ මාලි (මාලිනි ෆොන්සේකා) ඉතා දුකසේ ජීවනෝපාය ගෙනියන මවකගේ දුවක්. මේ මවගේ ජීවනෝපාය වුයේ බත් සැපයිමයි. මෙම නිවසට නිතර යන එන විල්සන් (ජෝ අබේවික්‍රම) ස්වොත්සාහයෙන් දියුණුවන තලතුනා වයසක් කෙනෙක්. මෙම නිවස අසල ඇති වැඩපොලක සුපවයිසර් කෙනෙක් වන සරත්ට (රවීන්ද්‍ර රණ්දෙනිය) මාලි ගැන අදහසක් පහල වෙනවා. ඔහු කෙලිදෙලෙන් ගෙවන කෙනෙක් වුවත් ඔහුට මාලි ගැන ඇතිවෙන්නේ අවංක ආදරයක්. මේ අවංකකම කෙතරම්ද කියනවනම් ඔහු තමන් මීට පෙර තරුණියන් දහතුන්දෙක් හා සම්බන්දකම් පැවැත්වූ බව මාලි හා පවසනවා. ඔහුගේ අවංකකම හදුනා නොගන්නා මාලි ඔහුගේ ආදරය සැක කරනවා. මේ අතර විල්සන්ගේ මාලිට විවාහ යෝජනාවක් එන්නේ විල්සන් තම නමට ගත් ලොරිය භාරයක් ඔප්පු කිරීමට කතරගම වන්දනාමාන කරන අතරමයි. මාලිගේ මව මේ ගැන කිසිදු දෙගිඩියාවක් නැතුවම කැමත්ත දෙනවා. මාලිද සිය හිත තුල වූ සැක සංකා නිසාම විල්සන්ට කැමත්ත දෙනවා. ඒත් විල්සන් කියන්නේ මුදල් මත ජීවිතය මෙහෙයවන කෙනෙක්. මාලිගේ වයසත් සමඟ විල්සන්ගේ නොගැලපීම් මතුවෙන්නේ මාලිගේ හිතේ මතුවෙමින් යටයන පැරනි ආදරය හෙතුවෙනි. විල්සන්ගේන් ඉවත් වන ඇය, ඈ නොපිළිගත් ආදරය සොයනවා. ඒ වන විට අර සුපවයිසර්වරයා සමාජ ආශ්‍රයෙන් ඈත්ව, ප්‍රදිපාගාරයක (එක්ටැම්ගෙයකට සමාන) ජීවත්වන බව ඇයට ආරංචි වෙනවා. උන්මාද සිතුවම් මැවේ සිදේ ගීතය මතුවෙන්නේ එක්ටැම්ගේ චිත්‍රපටියේ අවසාන යාමේදී එනම් මාලි තම පැරණි පෙම්වතා බලන්න යන ගමනේදී.


උන්මාද සිතුවම් මැවේ බි‍ඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්

තනි වේවි එක් ටැම් ගේ


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත, සරත් දසනාකයන් විසින් සංගීතය සම්පාදනය කල එක්ටැම්ගේ ගීතය ගයන්නේ අප අතරින් වියෝවූ ගුණදාස කපුගේ ශුරින් විසින්. මේ ගීතය සදහා ගායකයෙක් තෝරාගැනිම ගැන විවාදයක් ඇතිවී තියෙනවා. බොහෝ අය අමරදේවයන් යොජනා කරද්දී මේ ගීතයට ගැලපෙන්නේ කපුගේ ගේ හඬ කියා සරත් දිසානායකගේ තීරණයට හැමෝම එකඟ වෙලා තියෙනවා. කපුගේ ගේ හඬ මේ ගීතය පුරාවටම රසිකයා සලිත කරනවා. එක්ටැම්ගේ චිත්‍රපටියේ මතුවීමට මුලිකව බල පෑවේ මෙම ගීතයයි. සමස්ත චිත්‍රපටියේම විනාඩි තුනකට කැටිකීරීමට මෙම ගීතය සමත් වෙයි.


ගීතය පටන් ගන්නේ උන්මාද වචනයෙන්. එය කලින් සදහන් කල උන්මාද චිත්‍රාගේ එකටැම්ගෙට පාඨකයා සම්බන්ධ කරයි. එහෙත් වෙනසක් ඇත. උන්මාද චිත්‍රා එක්ටැම්ගේ ගතවුයේ දේශපාලන හේතුවක් ලෙස මිස ස්වකැමත්තෙන් නොවේ. එහෙත් චිත්‍රපටියේ එක්ටැම් ගතවන්නේ ස්වකැමැත්තෙන්ම මෙන්ම චිත්‍රාමෙන් නොව සමාජයෙන් ලැබෙන ඇරයුමද ප්‍රතික්ෂේප කරයි. 


අනන්ත සයුරේ බියකරු දියඹේ

පාළු හුදකලා සලඟ පමණි උරුමේ

හඩා වැටෙන සිත සදා සරණ මට

තනි වේවි එක් ටැම් ගේ


උන්මාද චිත්‍රාව එකටැම්ගෙයක සිරකරන ලද්දේ එහි සිට සමාජ සම්බන්ධතා පැවැත්විය නොහැකි නිසා විය යුතුය. එහෙයින් එකටැම්ගෙයක් ඇති පාළුව හුදකලාව ගැන වෙනත් වචන නැත.


දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැගව ගියේ

දැනේ තවම මට මලේ සුවඳ පොඳ

තනි වේවි එක් ටැම් ගේ


දහසක් මල් මැද එකම මලයි පැතුවේ. ඔහු කිහිප දෙන්ක් ඇසුරු කලද ඔහු පැතුවේ මාලි පමණය. මෙම ගීතයේ සංවේදීතම තැන මෙතනයි. එය තමන්ගේ කෙලිකාරකමට ලද ත්‍යාගයකි. එහෙත් ජීවිතයේ සමහර අවස්ථා යලි නිවැරදි කල නොහැක.


(උපුටා ගැනීම - අලියා දැකීම බ්ලොග් අඩවිය)




Friday, April 23, 2021

හන්තානට පායන හද ...

හන්තානට පායන හද ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න//


අඳුරු ලලා වහිනා කළ සරසවි බිම තෙමෙන්න

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න..


ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න //

මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න


හන්තානට පායන හද ලස්සනයිද කියන්න

මා නොදකින  ඒ පුර හද ඔබට හැකිය දකින්න


පද රචනය : ධම්මික බණ්ඩාර 

ගායනය : අමරසිරි පීරිස් 

සංගීතය : ඩැනිස්ටර් පෙරේරා 


මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ පෞද්ගලික අත්දැකීමක් පදනම් කොට ගෙන ගෙත්තම් කරන ලද්දකි. ඔහු ඉගැන් වූ උසස් පෙළ පංතියේ සිදුවීමක් වස්තු විෂය වී ඇත. එනම් එම පංතියේ සිටි සිසුවකුගේ හා සිසුවියකගේ ප්‍රේම සබදතාවයකි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය. නමුත් සිසුවාට සරසවි වරම් නොලබන්නට විය. කලකට පසු දම්මික බණ්ඩාරයන්ට  මෙම සිසුවා මුණගැසිණි .  ඔහුගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ " සර්, මම ඒ සම්බන්ධය නතර කරා. මට කැම්පස් යන්න බැරි වුනා.එයාගේ ලෝකය දැන් වෙනස්නේ.. මම දන්නවා ඒක හරි ලස්සනයි.. මම එයත් එක්ක හිටියම එයාට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒකයි මම එහෙම කරේ" යනුවෙනි.


ධම්මික බණ්ඩාරයන්ගේ හදවතට දැනුන මෙම සිසුවාගේ හා සිසුවියගේ විප්‍රයෝගය උපයුක්ත කොට ගනිමින් " හන්තානට පායන හද ලස්සනයිද කියන්න.. " යන ගීතයෙහි පද බදින ලදී. ප්‍රේමයේ දී පරිත්‍යාගයන් අපට ඇසෙනුයේ දකිනුයේ ඉතා කලාතුරකිනි . ප්‍රේමය වෙනුවෙන් ගුටි බැට මෙන්ම මරාගන්නා සමාජ තත්වයක මෙවන් වූ ආත්ම පරිත්‍යාගයෙන් යුතු ප්‍රේමවන්තයන් ඉතා විරලය.


මෙහි එන ප්‍රේමවන්තයා ඔහු ආදරය කළ ප්‍රේමවන්තියගෙන් මෙසේ වෙන්වෙනුයේ නිසැකවම ඇයට ආදරය නිසා ය. නොඑසේනම් සරසවියෙහි ඇති සුන්දර ලෝකයෙන් සිමා මයිම්,  තහන්චි දමා ඈ ඇද බැද තබා ඔහුගේ ලෝකයට කැන්දා ගන්නට ඔහුට තිබුනි. නමුත් ඇගේ අනාගත අභිවෘද්ධිය තකා ඇයගෙන් වෙන්වූයේ උපෙක්ෂාවෙනි.


හන්තානට පායන හද ලස්සනයිද කියන්න 

මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..


පේරාදෙණිය විශ්වවිද්‍යාලය හන්තාන කන්ද සමඟ සමීප නෑ සබඳතාවක් කියයි. විශ්වවිද්‍යාලයේ පෙම්වතුන්ගේ පාරාදීසයක් බවට හන්තාන කන්ද පත්ව ඇත. තමා පෙම් කළ ඒ යුවතියට පෙම්වතකුගේ දෑතෙහි වෙලී හන්තාන කන්දේ ඇති සුන්දරත්වය දකින්නට, විදින්නට සැලැස්වීමට ඔහු ඇයගේ ජීවිතයෙන් සමුගනියි.


අදුරු ලලා වහිනා කළ සරසවි බිම තෙමෙන්න 

කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න..


සරසවිය තුළ පෙම්වතුන් කුඩ යටට වි පෙම් සුව විදිනා බව දන්නා නිසාම ඇය වෙනුවෙන් ඔහු ප්‍රාර්ථනාවක් එක්කරයි. ඔහු ඇගේ ජීවිතයෙන් සමුගන්නා ලද්දේ ඇගේ ජීවිතය රිසි සේ විදිමට හැකිවේවා යන අහිංසක බලාපොරොත්තුවකිනි  . හිරි පොද වැස්සේ සරසවිය තුළ අන් පෙම්වතුන්ගේ ප්‍රේම ජවනිකා ඇගෙ දෙනෙතට හසුවේ. එහෙයින්නි ඈ යන එන මග තොට ඇගේ හිතට පාළුවක්, තනිකමක් නොදනේවා යනුවෙන්  ප්‍රාර්ථනාවක් එක් කරනුයේ..


ලතා මඩුළු අත වනාවී එපා අහක බලන්න

මා  ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න


පේරාදෙණිය සරසවියත් , මහවැලි ගඟත් එකිනෙකට බද්ධ වු වස්තුන් දෙකකි.හදවත් සමඟ ගණුදෙනු කරනා තැන පෙම්වතුන්ගේ ප්‍රේමයන් පරිත්‍යාග කිරීමට තරම් උපෙක්ෂා සහගත පෙම්වතුන් පෙම්වතුන්ගේ ලෝකවල විරල ය. " ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න" මේ තුලින් ඔහු කියනුයේ සරසවි බිම තුළ පෙම්වතකු හමු වුවහොත් ඔහු හා එක්ව ජීවිතය බෙදාගන්න යන්න නොවේද? එදවස උදා වුවහොත් තමා ගැන ඇති අතීත මතකයන් සියල්ල සදහටම අමතක කරන්න යැයි ඔහු ඇයගෙන් ඉල්ලීමක් කරයි.


ඉතා කෙටි පද මලාවක් තුළින් විශාල ගැඹුරක් මවන්නට තරම් මෙම ගීතය සමත්ය.හන්තාන කඳූ වැටියේ සුන්දරත්වයත් සමඟ ශ්‍රාවකයා සංවේදි කරන්නට පද රචනයටත්, සංගීතටත්, අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬත් යන ත්‍රිත්වයෙහි සුසංයෝගයයට හැකිවිය.


(උපුටා ගැනීම - ගී මංජරී)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...