Monday, July 20, 2020

හදේ කොතැනක හෝ හිඳී ඔබ ...

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින් ...//

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද,
තනිවෙනා මොහොතින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැණින්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

කුමාරදාස සපුතන්ත්‍රි මහතා අදහස් දක්වමින් සුනිල් එදිරිසිංහයන් ගයන ගීතයක් තියෙනවා ”හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්” කියලා. මේ ගීතයට පසුබිම් වුණේ මගේ පෞද්ගලික අත්දැකීමක්. තරුණ කාලේදී මම හිටියේ කිරිබත්ගොඩ මගේ ඥාති ගෙදරක. ඒ ඉන්න කාලේදී අසල්වාසී ගෑනු ළමයෙක් එක්ක මගේ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇතිවුණා. මගේ පළවෙනි පේ‍්‍රමය ඒ. ඉතාමත් සුන්දර විදිහට ඒ අතීතය ගෙවුණා. ඇයගෙයි මගෙයි පේ‍්‍රමය අවුරුදු හතරක් පහක් විතර තිබුණා. ඔය කාලේදී 71 කැරැල්ල මතු වුණා. කොහොම හරි මටත් නොදැනුවත්වම මගේ පේ‍්‍රමයට වඩා මාව යොමුවුණා මේ විප්ලවීය කටයුත්තට. ඒකෙන් ඉගෙනීමේ කටයුතුත් හුඟක් දුරට අඩාල වෙලා, මම ඒ දේශපාලනේ ප‍්‍රබල සාමාජිකයෙක් වෙලා කැලේ පැනගෙන හිටියා. ඒ ඉන්නකොටත් මේ ගෑනු ළමයා මං ගැන හරියට හොයලා තිබුණා. පස්සේ ඔක්කොම ඉවරවෙලා හරි අමාරුවෙන් මං පණ බේරාගෙන ආපහු කිරිබත්ගොඩට ආවාට පස්සේ ඇය මුණගැහිලා කතා බහ කළා. එතකොට මේ ගෑනු ළමයාගේ දෙමව්පියෝ මේ දේශපාලන පක්ෂයට විරුද්ධ පක්ෂයක ප‍්‍රබලයින්. ඒ නිසාම මගේ සම්බන්ධතාවයට ඒගොල්ලෝ දැඩි සේ විරුද්ධ වුණා. 

හදිසියේ දවසක අපි මුණගැහුණා. මුණ ගැහිලා මුහුදු වෙරළකට ගිහිල්ලා කතා බහ කරලා එදා අපේ සම්බන්ධතාවය නැවතුණා. නමුත් එයා මාව දාලා ගියා කියන එක දැඩි වේදනාවක් වුණා. ඒ වේදනාවෙන් මම දැඩි සේ මුසපත් වෙලා ගීත ගොඩක් ලිව්වා. මේ ගීතය වුණත් හුඟක් දුරට ඒ පසුබිමේ තමයි කරුණු කාරණා ගොනු වුණේ.
 
එවකට හිතුනේ නැද්ද ඒ දේශපාලන ප‍්‍රතිපත්තිය ඈත් කරලා ප‍්‍රථම පේ‍්‍රමයට ඉඩ දෙන්න?
 
එහෙම හිතුනේ නෑනේ එවේලේ. හැබැයි මම ඇයට කිව්වා තව ටිකක් ඉවසන්න කියලා. ඒ වෙද්දී ඇයට වෙනත් යෝජනා ගෙනවිත් තිබුණා. පසු කාලයේදී ඇය හිත හදාගෙන තිබුණා. ඒකෙන් තමයි අපේ සම්බන්ධය නැවතුනේ.
 
ඇය නිසා ඔබ ගීත රචනා කළ බව ඇය දන්නවද?
 
ඇය දන්නවා. ඇයගේ සහෝදරයෝ බොහොම ලෙන්ගතුව කතා බහ කරනවා. ඇය පසුව විවාහ වෙලා දරුවෝ දෙතුන් දෙනෙක් එක්ක හොඳින් ජීවත් වෙනවා. මමත් අවුරුදු ගාණකට පස්සේ විවාහවෙලා. මටත් දරු දෙන්නෙක් ඉන්නවා. 71, 88, 89 මේ කාලය පහුවෙලා තමයි මමත් වෙනස් වුණේ.

(උපුටා ගැනීම - දිවයින)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...