Wednesday, September 16, 2020

පායා ඇයි හිනැහෙන්නේ ...

පායා ඇයි හිනැහෙන්නේ

නිල් ගුවනේ තරු රාශී

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී

පායා ඇයි හිනැහෙන්නේ


ඇගෙ වත මට නොපෙනේනම්

පුන් සඳ ඇයි හිනැහෙන්නේ ...//

නැතිදා ඇගෙ ගී රාවේ

කොවුලනි ඇයි ගී ගැයුවේ

කොවුලනි ඇයි ගී ගැයුවේ


වනයේ පිපි මල් ගොමුවේ

සමනලයිනි ඇයි නැටුවේ

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී


පායා ඇයි හිනැහෙන්නේ


ඇගෙ දිමුතු දසන් නොපෙනී

මට මොකටද මුතු පන්තී ...//


ඇගෙ කඳුළැලි නැති විටදී

ඕනෑ නෑ දියමන්තී

ඕනෑ නෑ දියමන්තී


පායා ඇයි හිනැහෙන්නේ

නිල් ගුවනේ තරු රාශී

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී

පායා ඇයි හිනැහෙන්නේ


ගායනය - එච්.ආර්. ජෝතිපාල

පද - ඇලෝයි ගුණවර්ධන

සංගීතය - මොහොමඩ් සාලි

හින්දි ගී තනුවකි.

1958 දී තිරගත වූ "මධුමතී" චිත්‍රපටියට ‍මොහොමඩ් රාෆි ගායනා කළ "Toote Hue Khwabon Ne" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

1958 තිරගත වුන මධුමතී චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ බිමල් රෝයි මහතා. '40 හා '50 දශකයේ ෂාරුක් ඛාන් වුනු දිලිප් කුමාර් මහතා එක්ක වෛජයන්ති මාලා තමයි රංගනයෙන් දායක වුනේ. ඉතාමත් ජනප්‍රිය ගීත ගණනාවක් මේ චිත්‍රපටියේ තිබුනා. ෂයිලේන්ද්‍රගේ ගී පද වලට සලීල් චෞද්‍රි තමයි සංගීතය එකතු ක‍ලේ. මේ ගීතය තමයි "ටූටේ හුවේ ක්වාබෝනේ" කියලා කියන්නේ සිංහල තේරුම "සිහින බිඳී ගියා" කියන එක. 








Monday, September 14, 2020

පානම් පත්තුවේ ...

පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය

ගමේ අයට නම් ගජමන් නෝනාය

කවි කර කියන්නේ දෑහින් දුටු දේය

වට වන්දනාවෙදි නඩයම දුටුදේය


වඳිනට ගිය කළට නුවරට දළදාව

ගමේ “චන්ඩි ස්ටැන්ලි” ද සිටියාය

යාළු නිළමේලා දොර හැර දුන්නාය

ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය


හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය

කතරගමට අපි යහතින් ආවාය

සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව

සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය


සිරිමහ බෝධියට ගියදා උදයේම

කාර් ගොඩක් ආවා එක එක පාට

තෙරපී සිටිත්දී අපි පඩි පෙළ ගාව

ඒ මහතුන රන්වැට පැන වැන්දාය

ගායනය - නන්දා මාලිනී පදරචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ඔස්ටින් මුණසිංහ 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය විරෝධාකල්ප ගී රචනා අතුරින් "පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය" ගීතය ගැන අදහස් දක්වමින්.. 

අපි සමාජ අසාධාරණය ගැන බොහෝවිට කතා කරනවා. ලිපි ලියනවා. මැතිවරණයක් කිට්ටු වෙනකොට හැමදෙනා ගේම කටේ තියෙන්නේ සමාජ අසාධාරණය ගැන. හැම කෙනෙක්ම එන්නේ සමාජ අසාධාරණය නැති කරන්න. නමුත් කවදාවත් මේ අසාධාරණය නැතිවෙන්නේ නෑ. මේ පීඩනය අපිට තියෙනවා. බැලූ බැලූ අත අපට දකින්න ලැබෙන්නේ මොනයම් හෝ අසාධාරණයකින් සිත් වේදනා කරන දර්ශන. ඉතිං මට හිතුනා නූගත් ගැමි ගැහැණියකගේ ඇසින් කිව්වොත් වඩාත් රසිකයන්ට ශ‍්‍රාවකයන්ට මේක දැනෙයි කියලා. මං මේ සඳහා තෝරා ගත්තේ ගැමි ගැහැනියක්. ඇය තමයි ඩිංගිරි අම්මා. ඇයට මං ආරෝපණය කරා ගජමන් නෝනගේ සහ රංචාගොඩ ළමයාගේ කවි කලාව. සමාජ අසාධාරණයට ලක් වෙච්ච සමාජ සංස්ථා ඕනෑතරම් තියෙනවා. එයින් එක් අංශුවක් තමයි මේ ගීතයෙන් විදහා දැක්වෙන්නේ. 

මේ හැමදෙයක්ම මම ඇහින් දැකපු දේවල්. මම දළදා මාලිගාවට යනකොට වරප‍්‍රසාද ලත් පුද්ගලයින් ගිහිල්ලා අනිත් අය පෝලිමේ ඉඳිද්දි දළදා වඳිනවා. ශ‍්‍රී මහ බෝධියට යන්න උපාසක අම්මලා පොරකද්දී වරප‍්‍රසාද ලත් අය ගිහිල්ලා රන් වැටෙනුත් ඇතුළට ගිහිල්ලා නළල තියලා ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මත සිවුරුත් පූජා කරනවා. කතරගම ගියත් එහෙමයි. මේකේ තියෙන්නේ සීයේ කොළ. මේ අවුරුදු ගාණකට ඉස්සරනේ. තවමත් ඒ සම්ප‍්‍රදායේ කිසි වෙනසක් වෙලා නෑ. දාහේ කොළේ තියෙනවා නං ඒ පූජා වට්ටිය තමයි මුලින්ම ඇතුළට යන්නේ. ඉතිං මේවා මොන තරම් හිත රිදුම් දෙන දේවල්ද? ඒ දේවල් තමයි මම මේ ඩිංගිරි අම්මා නමැති ගැමි ගැහැනියගේ මුවට නංවලා ඉදිරිපත් කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ ගීතය ඔය විරෝධාකල්ප කියන ගීත සම්ප‍්‍රදාය, ඒ ගීතවලට අකමැති අය පවා කැමැත්තක් ඇති වුණ ගීතයක්. ඒකට හේතුව මේ තුළින් ධ්වනිත වන ගැමි ස්වරය කියලා මට හිතෙනවා. ඒකට බෙහෙවින් බලපෑවා ඔස්ටින් මුණසිංහගේ තනුව සහ නන්දා මාලිනීගේ ගායනය. ඉතිං මේ ගීතයේ අත්දැකීම් මං හිතන්නේ මට විතරක් නෙමෙයි මේ රටේ හැම කෙනෙක්ම හැමදාමත් ලබන අත්දැකීම්. දළදා මාලිගාවට ගියොත්, ශ‍්‍රී මහා බෝධියට ගියොත්, කතරගමට ගියොත්, ඒ අය හැමදාමත් මේ අත්දැකීම දකිනවා, විඳිනවා. ඒකෙන් තමන්ගේ හදවතේ එක කොණක් රිද්දවා ගන්නවා. මං හිතන්නේ ඒක තමයි මේ ගීතයේ අත්දැකීම බවට පත්වෙලා තියෙන්නේ.

(උපුටා ගැනීම - දිවයින)





Friday, September 11, 2020

බිම්බරක් සෙනඟ ගැවසුන ...

බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන

ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

යුද්දෙකට ඇවිත් රුපුසෙන් 

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ.....

මාලිගාව කෝ..


ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච 

නාදයෙන් ඇලලුණ

වෘක්ෂ දේවතාවන් බිම වැටී පන ගසයි..

මිනී මල් පිපුණු සීතල පුන්‍ය භූමියේ ඇටක‍ටු

හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි

විලාපය නඟයි..


බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන

ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

යුද්දෙකට ඇවිත් රුපුසෙන් 

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..

මාලිගාව කෝ..


කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන

ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි

වෑ කන්ද කඩා බිම් ක‍ටු කම්බියෙන් බෙදා

මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්..

කඩුව බිම දමව්..


බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන

ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

යුද්දෙකට ඇවිත් රුපුසෙන් 

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..

මාලිගාව දෝ..


ගායනය - ගුණදාස කපුගේ

සංගීතය - ගුණදාස කපුගේ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

වෙල්ලස්සේ ගීතය උපත ලබන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් ලැබූ පෞද්ගලික අත්දැකීමක් පදනම්වය. එවකට රත්න ශ්‍රී ගුරුවරයෙක් ලෙස මොණරාගල සේවය කළේය. බහුජාතික සමාගමක් පැමිණ පැල්වත්තේ ගොවියන්ගේ ගම් බිම් කොල්ලකා ගැනීමේ සිද්ධිය මේ ගීයේ උපතට මුල් වේ. පැල්වත්තේ ගොවියන් නගරයට පැමිණ මේ සිදුවීම් මාලාවට විරෝධය පළ කරනවා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ඇස ගැටෙයි. ඔහු ද ගොවීන්ගේ විරෝධතාවයට එක්වෙයි. "බහුජාතික සමාගම් සිඹ පිළිගනිමු' යන බලධාරීන්ගේ මතය ගොවීන්ගේ ගම් බිම් උදුරා ගැනීමට රුකුල් දෙයි. මේ සුවිසල් අසාධාරණය දුටු අත්විඳීම් සජීවීව විඳගත් රත්න ශ්‍රී විජේසිංහයන් වෙල්ලස්සේ ගීතය ලියූහ. "වෙල්ලස්සේ ගීතය" යන හැදින්වීම ගීතයට අන්වර්ථ බව පෙනෙන්නේ වෙල්ලස්සේ වැසියන් මේ ගීතයට දක්වන ආදරය හා ගරුත්වය දකින විටය. ගීතයේ වචන මෙසේය.

වෙල්ලස්සේ ගීතය පසුකාලීනව සංවිධානය වූ ඇතැම් විරෝධතා ව්‍යාපාරවල පවා ගායනා විණි. මෙම ගීතය ලිවීම සඳහා රචකයා ආභාෂය ලබා ගන්නේ රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව පවතින පැරණි ජන කවියකිනි.

හෙළ මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව

බිම්බරකුත් සෙනග ඇවිත් රුවට කෙරෙව් මාලිගාව

දිවා රැයේ අඳුර නසා රන් කොත් බබලන සුබාව

ලංකාවට තිලකයක්ය සබරගමුවේ මාලිගාව

මෙම ජනකවියේ වචන ගීයේ ස්ථායි කොටසේ සඳහන්ව ඇත්තේ සටන් කවි ආරටය.

යුද්දෙටත් ඇවිත් සිඳුපිට නැව් නැඟලා පරංගි

උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා


යන සටන් කවියේ ආලෝකය ගීතයට ලැබී ඇත. 

"ගුණදාස කපුගේ මෑත අවදියේදී ගැයූ ගී වලින් ඉතාමත් සාර්ථක ගීය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ගීය වෙල්ලස්සේ ගීතයයි. වෙල්ලස්සේ ගීතයේ තනු රචනය අපූර්ව ගුණයකින් පිරී ඇත. පැරණි හේවා පන්නයක රණ බිමින් නැඟෙන ඉතිරි වූ කාහල නාදයක් ඒ තුළ නින්නාද වනු ඇසේ. අප ගීතයක් ශ්‍රවණය කරනුයේ විවේකය විනෝදයෙන් ගත් කිරීමටම නොවේ. සහෘද සිත්හි නව ආකල්ප සහ ජීවන දර්ශනයන් පුබුදු කිරීමට ඕනෑම කලා මාධ්‍යයකට හැකිය." 

මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීහු මේ ගීතය පිළිබඳ විචාරයක් සපයමින් මෙසේ සිය අදහස් පළ කරති.

"මේ ගීය රචනා කොට තිබෙන්නේ පැලවත්තේ සිද්ධිය බැහැර සිට නිරීක්ෂණය කොට නොව විපතට පත් ගොවීන්ගේ කඳවුර සිටය. එහිදී කවියා ගොවීන් සමඟ අනන්‍ය වෙයි. ගොවීන්ගේ ආත්මය ඔහුගේ ආත්මය නැමැති සුවිශේෂ කැඩපතෙහි පිළිබිඹු වෙයි.

මෙහිදී ගොවියෝ කුමක් කෙරෙත්ද? තමාට අහිමි කරන ලද ගම්බිම්, ගේ දොර, ගහකොළ සහ සතුන් සිහිව වැළපෙති.

බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි ?

අහිමි වී ගිය මෙලොව පැවැති අනර්ඝතම දෙය ලෙස ගොවීන්ට හැඟෙයි.

සෙනඟ නම් ප්‍රථම නිෂ්පාදන බලවේගයයි. මේ ගම්බිම්වල එබඳු සෙනඟ බිම්බරක් ගැවසුණහ. "බිම්බර" යන්න ගැවසුණු සෙනෙඟෙහි අසීමිත භාවය හඟවන්නකි. ගොවියාට සාමූහිකත්වය අවශ්‍ය හෙයින් සෙනෙඟ අවශ්‍යයි. එහෙයින් සෙනෙඟ ඔහුට අගනා වස්තුවක් වේ.

මාලිගාව කෝ? යන්න ගොවියාගේ හද පතුළෙන් නැඟි ශෝකී උක්තියකි.

සූර්යයා ගොවියාගේ වගාවටත් ගොවියාටත් වැඩීමට සහ යැපීමට අවශ්‍ය පෝෂණ පදාර්ථ සපයයි. වැඩ කිරීමට දවස උදා කරයි. ඔහු වෙහෙසට පත් සඳ සැඩ කිරණ හකුලා ගෙන අවරට බහී. චන්ද්‍රයා තුරු සිදුරෙන් පෙරා එවන නිමල් සඳ පහනින් උදේ සිට රෑ වනතුරු චණ්ඩ සූර්යය තාපයෙන් තැවී දැවුණු ගොවියාගේ ගත සිහිල් කරයි. සිත සැනසුම් කරයි. මෙලෙස සූර්යයා හා චන්ද්‍රයා සමඟ ගොවියාගේ ජීවිතය බැඳී ඇත. තමාගේ සම්භාවනාවට පත් චන්ද්‍රයා සහ සූර්යයා තම බිමෙහි උපන් බව කීමෙන් ඔහු මේ තමාගේ කම හඟවයි. නැතිවූ බිම ගොවියාට ස්වර්ණ භූමියකි. රන් නම් මෙලොව ඇති අගනාම වස්තුවයි. අන් සෑම දෙයකම අගය මැකෙන්නේ එයිනි. නැතිවූ බිම රන්මුවා බිමක් සේ ගොවියාට හැඟෙයි. "ස්වරණ භූමිය" යන්න ගොවියා හා පොළොව අතර ඇති අවියෝජනයීය බැම්මත් ඔහු පොළොවට දක්වන අනර්ඝතා හැඟීමත් හකුලා දක්වන්නකි.

තමාගේ නැති වී ගිය නිවාසය ගොවියාට පෙනෙන්නේ මාළිගාවක් ලෙසත්ය. මාළිගාවක් නම් ස්වර්ණ රජත, මුතු මාණික්‍ය ගවමහීසාදී භව බෝග සම්පත් රැස් වී තිබෙන තැනකි. කවියා කියන්නේ ගොවියාගේ පැල් කොටය තුළ මේවා පැවති බව නොව ගොවියාට තම ගෙපැළ මාළිගාවක් මෙන් වටිනා බව ය.

මාළිගාව කෝ?

යන්නෙන් මේ සියල්ල සිහි වන විට ගොවියාගේ සකල විධ අධ්‍යාත්මය පුරා ඇවිලෙන ගිනි ජාලාව අපට පසක් නොවන්නේ ද? 

අනතුරුව ගොවියාට සිහිවන්නේ බහුජාතික සමාගමේ කුලීකාර කොන්ත්‍රාත්කරුවන් තම ගම්බිම් සමතලා කළ ප්‍රචණ්ඩ ආකාරයයි.

යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වටකරේ

මනරම් මාලිගාව දෝ?

මෙහි 'මාළිගාව දෝ?' යන්න සිදුවූ විනාශය ගැන ගොවියා තුළ උපන් ශෝකාකූල විස්මය පළ කරන යෙදුමකි.

තම මුතුන් මිත්තන්ගේ මිනී වළවල් පවා උගුළුවා විසිකෙරෙන සැටි ගොවියාට පෙනෙයි. 'විලාපය නඟයි' යනුවෙන් මෙහිදී ගොවියා තුළ හටගත් වේදනාව ධ්වනිත වෙයි.

තම පණ නල රැක දුන් වෑ කන්ද කඩා ඇත. බැලූ බැලූ අත භූමිය කම්බි ගසා කොටු කර ඇත.

ගොවියා කුමක් කරන්නද ? ඔහුට මේ විපත දූරිභූත කළ හැකිද ? නොහැකිය. ගොවියා මුහුණ පා සිටින්නේ තමාට වඩා දහස් ගණනක් බලවත් සතුරෙකුටය. ඔහුට කළ හැකි එක ම දේ කිම? සුසුම් හෙළීම හා වැළපීම පමණි.

මේ රණ බිමේ හිස ගසනා

කඩුව බිම දමවු

මේ අයැදීම ඉටු වේවි ද? නැත්තේමය. අගනා කලා කෘතියක් වින්දෙමු යන පහන් හැඟීම අප හද විනිවිදී. මේ ගීතය ගීත රචකයා සතු සමාජ දර්ශනය මොනවට පැහැදිලි කරයි."

කෙතෙක් අරගල කලද වෙල්ලස්සේ ගොවීහු සටනින් පරාජය වූහ. පාලකයින්ගේ උවමනාවන් ඉටුකරමින් බ්‍රිතාන්‍යයේ ස්ථාපිත කරතිබූ බුකර් ටේට් (Booker Tate) නම් සමාගමක් අක්කර 60,000 ක පමණ උක්වගාවකින් සහ පැල්වත්තේ දැවැන්ත සීනි කම්හලක් කේන්ද්‍ර කරගනිමින් බුත්තල හා වැල්ලවායේ අක්කර දහස් ගණනාවක් සීනි කර්මාන්තයට පවරා ගැණුනි. පැල්වත්ත සීනි සමාගමේ නින්දගම් වූ බිමෙක සිය දහස් ගණනක් ජනයාට කඹුරන්නට සිදුවිය. වනගත ගම් සිය ගණනක ජනයාට බ්ලොක් යැයි යළි නම් කෙරුණු ජනාවාස කට්ටි වල යාන්ත‍්‍රික ජීවිතයකට යළි හුරුවන්නට සිදුවිය. වැල්ලවාය කරමැටිය ගමේ උප්පැන්නයද 1985 අවුරුද්දේ සිට වෙනස් වූ අතර ගම්මුන්ගේ කටට නුහුරු බ්ලොක් 03 නම් අලූත් නමක් ගමට උරුම විය. 

රජයෙන් ලබා දෙන ලද සහනාධාර මත යැපෙමින් ලංකාවේ මිනිසුන්ට වැඩි මිළට සීනි විකුණමින් මෙම සමාගම ටික කලකට පසු විකුණා දැමූ බූකර් ටේට් රටින් පිට වුණේ ය. ඒ වෙනුවට පැමිණි දේශීය ව්‍යවසායකයින් ද බුකර් ටේට්ට වඩා වැඩි වෙනසක් ගෙනාවේ නැත. වනයෙන් යැපෙනු වෙනුවට උක් දඬු සොයා වගා බිම් වෙතද, ඉන් ඔබ්බට ගම්බිම් වෙතට ද කඩා වදින වල් අලි හසුවන සියල්ල විනාශ කර දමති, මිනී මරති. සිඳී ගිය ආරවල ජල කඳුලක් නැත. උක් වගාවට පෙර නොතිබූ වකුගඩු රෝගය ද ගම්මුන් පෙලීමට පටන් ගෙන ඇත.

(උපුටා ගැනීමකි)





සිතින් විතරක්‌ ...

සිතින් විතරක්‌ පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ...

මට ද ඔබ හිමි නෑ...


නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී

දෙතොල් ඔබගේ මදහසින් සැරසේ

දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ

දෙතොල් සිනහා මවනු මට බෑ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මටද ඔබ හිමි නෑ...


සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ

නිසල කරන් මම ඉන්නම් සෑම දින

කාත් කවුරුවත් නොමැති මා හට

ඔබත් අහිsමිව ගියපු අරුමය

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මට ද ඔබ හිමි නෑ


පද රචනය - ආරාධනා ඒකනායක

තනුව - නවරත්න ගමගේ

ගායනය - චාමර වීරසිංහ

යෞවනය, ආදරයට අත වනන කාලය සහකරුවෙක්‌ ගැන සහකාරියක්‌ ගැන හැඟීම් ඇතිවන සමය ආදරය කරන කාලය වගේම ආදරයෙන් විඳවන කාලය තනිව සිනාසෙන කාලය වගේම තනිව හඬන කාලය.

සිතින් විතරක්‌ පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ...

ආදරය නිසා විඳවන හිතක්‌. ඔහු ඇයට ආදරය කරනවා. ඒත් මේ ආදරය හිතේ ඇතිවුණු ආදරයක්‌ විතරයි. ඇයට සැබෑවට පෙම් කරන්න ඔහුට වරම් නෑ. ඔහු ඇයට ආදරය කරන බව ඇය දන්නෙත් නෑ. ඔහු ඇය දෙස නිතර බලා ඉන්නවා. ඒ ළඟ ඉඳන් නොවේ. දුරට වෙලා ළං වෙන්න බෑ. ඔවුන්ට ඒ ආදර ලෝකය හිමි නෑ. ඇයට ඔහුත් ඔහුට ඇයත් කවදාවත් අයිති නැහැ.

ආරාධනා ඒකනායක ගීයේ පද රචනය කළේ ඇය. "සිතින් විතරක්‌" මම ලියූ පළමු ගීය. මේක ලියලා මම රන්සිළු ඕඩියෝ ආයතනයට දුන්නා. ඔවුන් ඉන්පසුව නවරත්න ගමගේ ප්‍රවීණ සංගීතඥයා ලවා තනුවක්‌ නිර්මාණය කරගෙන චාමරට ගීය දී තිබෙනවා. මේක පොදු අත්දැකීමක්‌.

නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී

දෙතොල් ඔබගේ මදහසින් සැරසේ

දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ

දෙතොල් සිනහා මවනු මට බෑ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ 

මට ද ඔබ හිමි නෑ...

මේ පෙම්වතාව ඇය නිතර හමුවෙනවා. ඒත් කතා කරන්න අවස්‌ථාවක්‌ නෑ. ඇය ඇසිපිය නොගසා ඔහු දෙස බලා ඉන්නවා. නාදළුවන් දෙතොල් අතරින් සිහින් සිනාවකුත් උපදිනවා. ඒත් ඔහුට ඈ දෙස බලලා වැඩක්‌ නෑ. ඈ හා සිනාසෙන්න ඕනෑ නෑ නිශ්ඵල වැඩක්‌. ඇය කවදාවත් හිමි නොවන බව ඔහු දන්නවා.

ආරාධනා ශ්‍රී එෆ් එම් නාලිකාවේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක තනතුරේ කටයුතු කරමින් තමයි ගීය ලියන්නේ.

"මේ ගීය නිසා චාමර හුඟාක්‌ ජනප්‍රිය වුණා. ඔයාගේ සිංදුව හින්දා තමයි අද මට මේ ජනප්‍රියත්වය කියලා දවසක්‌ චාමර මට කිව්වා. මටත් සතුටුයි මේක තමයි මගේ පටන් ගැනීම...

සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ

නිසල කරන් මම ඉන්නම් සෑම දින

කාත් කවුරුවත් නොමැති මා හට

ඔබත් අහිමිව ගියපු අරුමය

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ...

මට ද ඔබ හිමි නෑ..

ඈ ඉදිරියේ ඔහුගේ හිත චංචලයි ඒත් ඒ හිත හැම වෙලාවෙම නිශ්චලව තියාගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු තනිකඩයෙක්‌. ඈ සමහර විට විවාහක තරුණියක්‌ වෙන්නත් ඇති. ඔහුගේ හිත ඉකිබිඳිනවා. මං තනිවෙලා කාත් කවුරුවත් මට නෑ. ඔයාත් අහිමිව ගියාදෙන්. ආදරේ මම ඔයාට ආදරේ වගේම ඔයාත් මට ආදරේ කරනවා නම් අපි කවදාවත් ළං වෙන්නේ නැත්නම් මට මීටත් වඩා දුක හිතේවි. කමක්‌ නෑ. අපිට අපි අයිති නෑ.

අපි ආදරය කරන කෙනා බොහෝ විට අපිට ලබාගන්න වාසනාවක්‌ නෑ. තරාතිරම, රැකියාව, රූපය, ධනය, බලය ආදරයට හරස්‌ වෙන්න පුළුවන්. ඒ නිසා ආදරය කරන්න වෙන්නේ සිතින් විතරයි. මේ ගීයෙන් කියන්නේ එහෙම ආදරයක්‌ ගැනයි. ආරාධනා වගේම චාමරත් අලුත්. ඒත් තනු නිර්මාණය කළ නවරත්න ගමගේ ප්‍රවීණයෙක්‌. නවරත්න ගමගේගේ තනුව ගීයට විශාල ආලෝකයක්‌ වී තිබෙනවා. එය තරුණ ශිල්පීන් දෙදෙනකුට ඉදිරියට ඒමට පිටිවහලක්‌ වුණා.

(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)





ඈත එපිට ගම්මානෙන් ...

ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ ...//


මලානිකව හඳ එලිය ගලා එන

අම්බලමක හෙව‍ණේ...//

බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර

දැල්වෙන එළිය බඳේ


ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


වේදනාව නෙතු අගට ගලාලා

ඉකිලන නිහඬ රැයේ ...//

නීල නුවන් තරු කැට බොඳ වෙනවා

කාටත් හොර රහසේ


ඈත එපිට ගම්මානෙන් නැග එන

බටලී හඬ අතරේ

ඉතාම දුක්බර කවියක් මතුවෙද

ඇය නිදි නොමැති පැලේ


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

පද රචනය - සුනිල් සරත් ‍පෙ‍රේරා

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

ඈත එපිට ගම්මානෙන් මතුවන ගීතය ලියන්න පසුබිම පිළිබඳව සුනිල් සරත් පෙරේරා මහතා අදහස් දක්වමින්. 

මෙය සනත් නන්දසිරි මහත්මයාගේ තනුවක්. ගයන්නෙත් එතුමා. මේකේ එක යෙදුමකින් හුඟක් දේ හඟවන්න පුළුවන්. වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ. කඳුළ හංගනවා. අර්ථ සංකෝචනය කියන එක මෙහි මැනැවින් පෙන්නුම් කෙරෙනවා. අර්ථය හුඟක් හකුළුවා දක්වන්න පුළුවන් භාෂා උපක‍්‍රමයක් එතන මං පාවිච්චි කරන්නේ. අර්ථ සංකෝචන විධි ක‍්‍රමයක්. එක යෙදුමෙන් හුඟක් දේ හඟවන්න පුළුවන්. 

ඉතිං හතර කෝරලේ රඹුක්කන කඳුකර ගම්මාන වල ගියාම විශේෂයෙන් මගේ බිරිඳගේ නිවහන තිබුණේ හතර කෝරලයට අයිති රඹුක්කන කඳුකර ගම්මානයක. ඉතිං එහේ හැන්දෑවක මං ගිය වෙලාවක එහේ ඇය ඉන්දෙද්දී මං ආවා කොළඹ එන්න. සති අන්තයේ එන්න හිතාගෙන” සතියේ මුල. එනකොට රාත‍්‍රී දුම්රියෙන් ආවේ. රඹුක්කන ඉඳලා එනකොට ඉස්සර ඈත කුප්පි ලාම්පු එලි දැල්වෙනවා. අනිත් එක හතර කෝරලේ ගම්බද හැන්දෑව හරි සුන්දරයි. ඈතින් ඒ කඳුකර ගමේ දෝංකාර නැගෙනවා ගැටබෙර හඬ. ඔය දෑලේ සමහර තරුණයෙක් වාදනය කරන බට ලී හඬ මට ඇහිලා තියෙනවා. ඉතිං මේවා ඔක්කොම සම්මිශ‍්‍රණය වෙලා හිතේ තිබිච්ච සංකල්ප රූප තමයි මට මතුවුණේ. එහෙ ඉඳන් එනකොට මට හුදකලා බවක් දැනුනා. මං හිතන්නේ වියෝවක් වගේ දෙයක් දැනුනා බිරිඳගෙන් වෙන්වෙලා එනකොට. කෝච්චියේ එනකොට රඹුක්කනටත් පොල්ගහවෙලටත් අතරේ දකින්න පුළුවන් ඒ කාලේ කුප්පි ලාම්පු එළි දැල්වෙනවා. හුදකලා ගෙවල්වල, පැල්පත්වල. ඒවත් මගේ හිතේ බලපෑවා. ඒවා ආශ‍්‍රයෙන් තමයි මේක ලිව්වේ. මූලික වින්දන මූලය වුණේ අර කඳුකර ගමක තියෙන සැන්දෑ පරිසරයයි. ඒ එක්කම මා ලබපු බිරිඳගෙන් ඈත්වෙලා එනකොට ගමේ ලබපු ඒ අත්දැකීමයි.

(උපුටා ගැනීම - දිවයින)





Monday, September 7, 2020

ඈත ගව් ගණන් දුරින් ...

ඈත ගව් ගණන් දුරින්

ලෝකයේ නොයෙක් රටින්

පාවෙවී ආ වලාසිතා

දෙව් ලියන් මැවූ විලාසිතා


ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //

ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල


සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල

සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න

ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල


පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //

පාවෙවී ආ වලාසිතා

දෙව් ලියන් මැවූ විලාසිතා


පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //

ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්

නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ //

පත්තරේට වැටෙනකල් අනේ

රෑට නින්ද යන්නෙ නෑ අනේ


ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //

ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ///

ගායනය - නාරද දිසාසේකර සහ පිරිස

පද - මහගම සේකර

තනු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

ගැටවරයෝ චිත්‍රපටියෙන්

1964 අවුරුද්දේ තිරගත වුණ ගැටවරයෝ චිත්‍රපටය මයික් විල්සන් සහ තිස්ස ලියනසූරිය යන අයගේ අධ්‍යක්ෂණයක්. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ සෝබනී අමරසිංහ වගේ විශිෂ්ට රංගධරයන් එකතු වුණ නිර්මාණයකට සේකරගේ පද මාලාවකින් යුත් ගීතයක් අමරදේවයන්ගේ සංගීතයෙන් එකතු වුණ එක අහම්බයක් නෙවෙයි. අදට අවුරුදු 50කටත් වඩා කලින් සමාජගත වුණ ගීයක් වුණත් අදටත් මේ ගීතය අමතක කරන්න අමාරුයි. සේකරගේ වචනවලට ඔහු බලාපොරොත්තු වුණ හඬ සැපයුවේ නාරද දිසාසේකර සහ පිරිස.

බෝට්ටු නිෂ්පාදනාගාරයක සුළු සේවක පිරිසක මුවින් ගැයෙන ගීයකි. “ඈත ගව් ගණන් දුරින්” යනුවෙන් ඇරැඹෙන “හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල - පත්තරෙන් ඇවිත්, මෙහේ නැද්ද යම් කෙනෙක් - ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝ ජෙනික්” නූගත් සේවකයන්ගේ රැඟුමට - ඔවුන්ගේ දැන උගත්කමට සරිලන පරිදිය, සේකර ඒ ගීය ලියන්නේ, බස හසුරුවන්නේ.

(උපුටා ගැනීමකි)




Friday, September 4, 2020

පින් මන්ද රංග භූමියේ ...

පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී

නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ


වැදි රජ සමගින් අවසැඟ

මනමේ කුමරිට රැවටුණ //

මනමෙ කුමරා මමයි නංගියේ

ධනුදර වුණාට ඉහත සංදියේ

ධනුදර වුණාට ඉහත සංදියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ...

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට

වෙඬරු සදිසි උණු වෙන සිත් මිස //

තිරය මෑත් කරන වංගියේ

අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ

අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ


පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී

නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ ///

ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද

පද රචනය - වසන්ත දුක්ගන්නාරාල

අපූරු ගීත රචනා හාරසියයකට වැඩි ගීත සංචිතයක හිමිකරු වන ඔහු ප‍්‍රවීණ ගීත රචක වසන්ත දුක්ගන්නාරාළ මේ ගීතයේ පසුබිම සම්බන්ධයෙන් පැහැදිලි කරමින්. 

ඔබට මතකද ඉස්කෝලේ, ඩෙස්ක් එකේ කවි කුරුටු ගාපු කාලේ? 

ඒක මං මට අවුරුදු දොළහ, දහතුන පිරෙනකොටම කරපු දෙයක්. ඉස්කෝලේ අටේ පංතියේ විතර ඉන්නකොට ඩෙස්ක් එකේ කවි කුරුටු ගානවා. මිශ‍්‍ර පාසලක මං ඉගෙනගත්තේ. ඉන්නෙත් පිටිපස්සෙම පේළියේ. දවසක් ඩෙස්ක් එකේ කුරුටු ගගා ඉන්න අතරේ කොළ කෑල්ලක කවියක් ලියලා එහා පැත්තේ හිටපු ගෑනු ළමයකුට දුන්නා. ඒ ගෑනු ළමයා ඒක ටීචර්ට දුන්නා. ටීචර්ගෙන් ඒක ප‍්‍රින්සිපල්ටත් ගිහිල්ලා. ඒ කාලේ හැටියට ඒ වගේ දෙයක් කරන එක ලොකු වැරැද්දක් බවට පත්වෙලා, මට ලොකු දඬුවමක් ලැබුණා. 

ඉන්පස්සෙත් කවි ලිව්වද? 

ඊට පස්සේ ටික කාලෙකට මං කවි ලියන්න ගියේ නෑ. ඔහොම ඉඳලා නවයේ පංතියේ අන්තිම වගේ වෙනකොට මං ආයේ කවියක් ලියලා දුන්නා. 

එකම කෙනාටද? 

ඔව් ඔව් දෙවැනි සැරෙත් දුන්නේ එකම කෙනාට. හැබැයි ඒක ටීචර්ට ගියෙත් නෑ; ප‍්‍රින්සිපල්ට ගියෙත් නෑ; හැමෝම නිහඬ වුණා. ඒක එච්චරයි. අපි ලොකු වෙලා උසස්පෙළට යනවා. ඇය එක විෂය ධාරාවක යනවා. මං වෙන විෂය ධාරාවක යනවා. අවුරුදු ගාණකට පස්සේ මම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා. ඇය වෙනත් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කළා. පෙර කියූ කවි කතාව යොවුන් වියේ ආපු සිතුවිල්ලක් විතරක් වෙලා. මම දුක්ගන්නාරාල වෙලා ජීවිතවල ඉස්සරහට යනවා. පසු කාලයේ අපේ ඉස්කෝලේ තෑගි බෙදාදීමේ උත්සවයකට ප‍්‍රධාන ආරාධිතයා හැටියට මට ආරාධනා ලැබිලා මං ගියා. එදා ? අපේ ආදි ශිෂ්‍ය එකතුවකුත් පැවැත්වුණා. ඒකට ඉතිං හැම තැනම විසිරිලා ඉන්න අය ආවා. පොඩි කාලේ දැක්ක අය ඊට පස්සේ හම්බෙන්නේ එදාට. ඉතිං එදා අර කවිය ලියපු ගෑනු ළමයත් ඇවිල්ලා හිටියා. හැබැයි ඇය විවාහවෙලා මාව ඔහුටත් අඳුන්වලා දීලා නික්ම යනකොට මට කොළ කෑල්ලක් දීලා ගියා. පොඩි කොටු රූල් කොළයක්. මේක දැන් කියවන්න එපා; ගිහිල්ලා කියවන්න කියලා තමයි ඒ කොළ කෑල්ල ඇය මට දුන්නේ. මං බෝඩිමට ගිහිං බලපුවාම මගේම අත් අකුරු. මම අර නවයේ පන්තියේදී ඇයට ලියලා දීපු කවි කොළ කෑල්ල ඇය මට ආපහු දීලා. 

මොනවද ඒ කොටුරූල් කොළ කෑල්ලේ ලියලා තිබුණේ? 

දුනු කඩු මොටදැයි පේ‍්‍රමෙට, වෙඬරු සදිසි උණුවෙන සිත් මිස, ඔන්න ඔහොම තව මොනවද හෑල්ලක් ලියලා මං තිබ්බා. අවුරුදු පහළොවකට විස්සකට විතර පස්සේ තමයි ඇයගෙන් මට ඒ කොළ කෑල්ල ආපිට ලැබුණේ. 

ඒ කවියේ වචන ඔබේ පළවෙනි ගීතයේත් තිබෙනවා නේද?

 ඒ වචනත් අරගෙන මං පසුව කවියක් ලිව්වා. ගීත රචනයක් හැටියට නෙවෙයි. අපේ කාලේ අපි ‘දිවයින’ ඇතුළු හැම පත්තරේටම කවි ලියනවා. දවසක් ඒ කවිය මං අතේ තියන් ඉන්නකොට අපේ මිතුරා මංජුල වෙඩිවර්ධන කිව්වා, මචං මේකේ සිංදු ගතියක් තියෙනවා කියලා. එතකොට සිංදු එකක් දෙකක් ලියලා තිබ්බට මං ජනප‍්‍රිය වෙලා නැහැ. පස්සේ මං හිතුවා මේක ගීතයක් කරන්න. ඒ ලියවුණු ගීතය පින් මන්ද රංග භූමියේ, පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිටවෙලා ගියේ, මං සිංහයාට බයයි නංගියේ. අර කවියේ කෑල්ලකුත් ගන්නවා මං මේකට. දුනු කඩු මොටදැයි පේ‍්‍රමෙට, වෙඬරු සදිසි උණුවෙන සිත් මිස කියලා. ඉතිං මේක තමයි මගේ ජනප‍්‍රිය මට්ටමට ආව පළවෙනි ගීතය. 

මේ ජනප‍්‍රිය ගීතයේ තනුව සේනානායක වේරලියද්ද මහත්මයාගේ? 

මං ඒ ගීතය ලියලා වේරලියද්දට දුන්නා. ඒ කාලේ මං වේදිකා නාට්‍ය කෙරුවනේ. මේ වගේ දෙයක් ලියැවෙන්නෙත් ඒකයි. වේදිකාවේ තියෙන අත්දැකීමුයි ඔක්කොමත් එක්ක. අසම්මත පේ‍්‍රමයක් හැටියට ලියවුණේ. ඒ කියන්නේ අපිට හමුවෙන්නේ නැති පෙම්වතුන් දෙදෙනෙක් කියන හැඟීම ඒකෙ තිබ්බේ. වේරලියද්දට ගීතය දීලා දවස් දෙකකට විතර පස්සේ ජෝන් ද සිල්වා එකේ නාට්‍ය දර්ශනයකට මම මේක් අප් කර කර ඉන්න ගමන් වේරලියද්ද කෝල් එකක් දීලා ඇහුවා මගෙන් කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා ජෝන් ද සිල්වා එකේ ඉන්නේ කියලා. එතකොට වේරලියද්දත් ජෝන් ද සිල්වා එකේ ඉඳන් තමයි මට කෝල් කරලා තිබුණේ. මොකද ඔහු රාජ්‍ය නැටුම් කණ්ඩායමේ. එතකොට ඔවුන් නවාතැන් ගෙන තිබුණේ ඒ පරිශ‍්‍රයේමයි. මං මේ කොට්ටම්බා ගහ යට ඉන්නේ පොඞ්ඩක් එන්නකෝ කිව්වා. සර්පිනාවත් තියන් ඉන්නවා මං යද්දී. දෙවැනි මහින්ද නාට්‍යයේ රඟපාන්න මං ඇඳගෙනම ගියා ඔහු ළඟට. ඒ ගමන අරකට මාරු මෙලඩියක් වැටුණා මචං කියලා ගහලා පෙන්නුවම, ඕක තමයි ඒ සිංදුව. ඒක ඉතිං බොහොම ජනප‍්‍රිය වුණා.

(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)










නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...