Tuesday, September 22, 2020

පියමං කෙරුවෙමු ...

පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්….

පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……

දෙපාවාරු නැත ඔබ හැර යන්නට…..//


නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි…….

කෝල හැගුම් කෙළි කවට සිනාවයි…..//

මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි……

මගේ දෑස තුල යළිත් ඇදේවිද……..//


පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්…..

පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද……//

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු……

දෙපා වාරු නැත ඔබ හැර යන්නට…….//


නෙත කදුළින් හසකැනින් මුවා කල…..

සොදුරු පැතුම් පුරවා මන මත් කල…..//

මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි…..

මා හැදු පාසල් මවුනි දයාදර……//


පියමං කෙරුවෙමු මහ වේ මැද්දෙන්……

පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……..

ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු…….

දෙපා වාරු නැත ඔබ හැර යන්නට……//


ගායනය - සෝමතිලක ජයමහ, නීලා වික්‍රමසිංහ, සමිතා මුදුන්කොටුව   

පදරචනය - සෝමතිලක ජයමහ  

සංගීතය - සෝමතිලක ජයමහ  

මෙම ගීතයට පසුබිම සෝමතිලක ජයමහ මහතා විස්තර කරමින් "මා ඉතාමත් සරල සංසිද්ධීන් ගීතය සඳහා භාවිත කළා. ඔබට දැනෙන්නේ මේ සරලකම මත රචනා වීම නිසා විය යුතුයි."

මා පසුකාලීනව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙක්. මගේ කාර්යාලයේ ඇතැම් නිලධාරීන් පාසල් ළමුන්ගේ විභාග කටයුතු සඳහා රාජකාරියේ යෙදෙනවා. කොළඹ විශාඛා විද්‍යාලයේ විභාග කටයුතු වලට ගිය නිලධාරියෙක් මට ඇවිත් කිව්වා විභාගයේ අන්තිම දවසේ ළමයෙක් පන්තියේ කළු ලෑල්ලේ මේ වදන් පෙළ ලියලා තිබුණා කියලා.

මොකක්ද ඒ වදන් පෙළ

දෙපා වාරු නැත ඔබ හැර යන්නට’

මේ වචන පෙළ ඔබ තුළ කම්පනයක් ඇති කළා?

කම්පනයක් ඇති කළා ද කියන්නෙ! පාසල් එන අන්තිම දවසේ පාසලෙන් සදහටම නික්මෙන්න තිබෙන අන්තිම නිමේෂයේ මේ දරුවා තුළ ඇතිවුණ සංවේදනාව. පාසල් ගිය සෑම කෙනෙක් තුළම හට ගන්නක් නොවෙයිද?

ඔබ මේ සංවේදනාව ගීතයක් බවට පත් කරනවා?

ඔව්! පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්... ගීතය බිහිවන්නේ එදා ඒ වචන පෙළින් මා තුළ ඇති කළ කම්පනයයි.






Monday, September 21, 2020

ගහ කොළ මල් ...

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ

අසා සිටිනවා

අපේ පෙම් පිළිසඳරේ

රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා

අපේ පෙම් පිළිසඳරේ

රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ

රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ

රැයේ අඳුරේ ඒ මීවිත මටයි

එවිට ඔබට කතා නෑ – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ

සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ

ඹබේ සෙවනේ මා ගී හඬ ගොළුයි

මුවට වදන් මතක නෑ – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ

අසා සිටිනවා

අපේ පෙම් පිළිසඳරේ

රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ

දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ


දෑස් වලින් කතා කරමු

දෑස් වලින් – රහසේ .////


ගී පද : මහාචාර්‍ය සුනිල් ආරියරත්න

සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක

ගායනය : වික්ටර් රත්නායක සමඟ ලතා වල්පොල

චිත්‍රපටය : ශ්‍රී මධාරා

තිරගත වූ දිනය : 1977 මාර්තු 18

ඉදිරිපත් කිරීම : ශ්‍රී ගනේෂ නවෝ ෆිල්ම්ස් නිෂ්පාදනය -- දයානන්ද වන්නිආරච්චි, ආර්. එන්. බී. විජේරත්න මහත්මිය කතාව තිරනාටකය, දෙබස් සහ අධ්‍යක්‍ෂණය : සතිස්චන්ද්‍ර එදිරිසිංහ

රංගනය : ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු හා ශ්‍රියානි පෙරේරා 

ගහ කොළ මල් කඳු වැටි මෙම රස වෑහෙන පෙම් පිළිසඳර අසාගෙන ඉන්නේ. මේ සොබා සෞන්දර්යය පමණක්  තමන් දෙස හොරැහින් බලාගෙන ඉන්න බව පෙම්වතුන් දන්නවා. තමන්ගෙ පෙම් පිළිසඳර අහන්න සොබා දහමත් අකමැති හැඩයි. එනිසා ස්වභාවධර්මය මුවින් අදහස් හුවමාරු කිරීම නවතා ඇස් වලින් කථා කරන්න අදහස් කරනවා. 

රන් දුණුකේ මල් මුවරද

දෙතොල් විතේ රැඳී දිලේ

රැයේ අඳුරේ ඒ මීවිත මටයි

එවිට ඔබට කතා නෑ - රහසේ

දෑස්වලින් කථා කරමු

දෑස් වලින් රහසේ 

දෑස්වලින් පමණක් කථාබස් කරමින් ආදරෙන් බැ‍ඳෙන්නේ සීගිරි අප්සරාවන් වගේ. 

සීගිරියේ පෙම් සිරිසර

නිසල ලෙසින් ගල් අරඹේ

ඔබේ සෙවනේ මා ගී හඞ ගොළුයි

මුවට වදන් මකත නෑ රහසේ

දෑස්වලින් කථා කරමු

දෑස්වලින් රහසේ 

සීගිරි අප්සරාවන් කතා කරමින් පෙම් කරයිද? සිගිරි පර්වතයේ ඔවුන් ගොළුයි. අන්න ඒ වගේ මේ පෙම්වතුන් දෙදෙනාත් එකිනෙකා ළඟ ගොළුයි. නිහඬව කතාකරන ඇස්වලින් ඔවුන් අදහස් ප්‍රකාශ කරමින් පෙම් කරනවා. ගීතය තුල ඉතාමත් රමණීය ලෙස මෙම පෙම් පිපිළිසඳර කියාපාන්නට රචකයා කටයුතු කර ඇත. 

(උපුටා ගැනීමකි)





පරසිදු කරලියැද්ද ...

පරසිදු කරලියැද්ද

දුව කිරුළිස පැළැන්ද

කුසුමාසන දේවිය

දෝන කතිරිනා

දිග නම් ගම් මොකටද

සිංහාසන කුමටද

සෙන්කඩගල ඇගෙ

රජ මැදුර සමානා//


කපිතන් දියෝගුගෙන්

දැන කඩු ශිල්ප හටන්

කොන්තය ගෙලේ බැන්ද

පරංගි වාඩියේ


කොණප්පු බණ්ඩාරට

පූජා කල ප්‍රේමය

මිහිරිම හීනයක්ද

වසන්ත කාලේ


පරසිදු කරලියද්ද...


වාහල ඉලංගමට

ගිය දා දන්තුරේට

අස් පන්තියේ හරඹ

දෑහින් දැකලා


දළුලන වසන්තයට

රොන්සුනු පුරාලයට

අළුත්ම මලක් වෙලා

පිපෙන්න හිතිලා


පරසිදු කරලියද්ද...


ගායනය - සිහශක්ති

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය - ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති


මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ මියුරුසර සංගීත වැඩසටහනේ "වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය" වෙනුවෙන් නිර්මාණය වූවකි.


සිංහලේ අන්තිම රැජින දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවීට එම උරුමය ආවේ තම පියාවන කරලියද්දේ බණ්ඩාර රජුගෙනි. එතුමා සීතාවක රාජසිංහ රජුට බියේ පෘතුගිසීන්ගෙන් උදව් ලබාගැනීම සඳහා රජ පවුලම කතෝලික ආගම වැළඳ ගත්තේ කුසුමාසන කුමරිය ළදරු අවස්ථාවේදීමය. අභීත රණකාමියකු වූ සීතාවක රජුගෙන් ආධාර ලැබුණු වීරසුන්දර බණ්ඩාර, කරලියද්දේ රජුට විරුද්ධව කැරලි ගැසුවේ තම පුතා කොනප්පු බණ්ඩාර හා උඩරට වැසියන් සමගය. වීරසුන්දරගෙන් ගැළවීමට බැරිව අවසානයේ කරලියද්දේ රජුට, සිය පවුල සමගම ත‍්‍රිකුණාමලයට පැන යෑමට සිදුවේ. එහිදී රජුත්, දේවියත් අකල් මරණයකට පත්වූයේ වසූරිය වසංගතය නිසාය. තුන් හැවිරිදි කුඩා කුමරියත්, රජුගේ බෑණනුවන් වන යමසිංහ බණ්ඩාරවත් මන්නාරම පෘතුගීසි බළකොටුව වෙත ගෙන යනු ලැබිණි. යන්තම් තරුණවියට එළැඹෙන තෙක් මෙහි සිටි කුමරිය පෘතුගීසි රජ කුමරියක සේ අධ්‍යාපනය ලැබුවාය. පෘතුගීසීන්ට අවශ්‍ය වූයේ දෝන කතිරිනාව පෘතුගීසි සෙනවියකුට විවාහ කර දී, කෝට්ටේ සිටින තම සිංහල රූකඩ පාලකයා වන දොන් ජුවන් ධර්මපාල සේ ඇයව කන්දේ රාජ්‍යයේ තබා ගැනීමටය. 

ආක‍්‍රමණකාරී පෘතුගීසි හමුදාවට දෙවැනි වරට පාඩමක් කියා දුන්නේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර දන්තුරේ සටනේදීය. ඉන් අනතුරුව සිංහාසනයට උරුම කිවූ දෝන කතිරිනා නොහොත් කුසුමාසනාදේවීව බලෙන්ම සරණ පාවා ගෙන 1 වැනි විමලධර්මසූරිය නමින් රජ විය. 

මේ රාජකීය දෙපළගේ ඊළඟ ප‍්‍රධාන කටයුත්ත වූයේ අනාරක්ෂිතව තිබූ දළදා වහන්සේ නුවරට වැඩම වීමයි. ඒ අනුව රජ වාසල අසලින්ම දළදා මාලිගය ඉදි කෙරුණි. එහි ඇති අදටත් බොහෝ සෙයින් වැඳුම් ලබන මැණික් පිළිම වහන්සේ පූජා කෙරුණේ දේවිය අතිනි. එය දේවියගේ ඥාතීන් විසින් සාදවන ලද්දකි. 

රජ වාසල සිටි සෙනරත් නමැති උපවැදි වූ රජුගේ ඥාති සොහොයුරාත්, ඒකනායක මුදලිත්, ඔවුනගේ සහචරයනුත්, විශේෂයෙන් දෙවනගල නායක හිමිගේ අකැමැත්ත නිසාත් දේවිය දැඩි ආතතියකට පත්වූවාය. තම දේවියගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගත් රජු කෑගල්ලේ වැලිමන්නන්තොට එතුමිය උදෙසා මාලිගයක් තැනවීය. එය සතර කෝරලයටම ඇති එකම මාලිගයයි. 

රජුගේ අභාවයෙන් පසු අකැමැත්තෙන් වුවද එතුමියට සිදු වූවේ තමා පිළිකුල් කරනා තැනැත්තා, එනම් විමලධර්මසූරිය රජුගේ පුංචි අම්මාගේ පුතා වන උපැවිදි වී සිටි සෙනරත් සමගම විවාහ වීමටය. 

විමලධර්මසූරිය රජු මියගියේ ලන්දේසීන් හමුවී එන අතරය. ලන්දේසීන් විසින් කුසුමාසන දේවිය සම්බන්ධයෙන් කරනා ලද නොහොබිනා විහිළුවක් නිසා ඇතිවූ විරෝධයකදී රජුගේ පිරිස අතින් ලන්දේසීන් කපිතාන්වරයෙක් මිය ගියේය. ඇත්තටම රජුගේ දේවිය සම්බන්ධයෙන් එවැනි දෙයක් කීමට කපිතාන්වරයාට හයියක් ආවේ අපගේ එකෙකුගේ ඉගැන්වීම් බසකටද? ඇත්තටම එය කුමන්ත‍්‍රණයක්ද? එහි පිටුපස සිටියේ සෙනරත්ද? ඔහු කුසුමාසන දේවිය බලහත්කාරයෙන් විවාහ කරගැනීමෙන්ම සහ රාජ්‍ය විචාරය තම අතට ගැනීමෙන් එය සනාථ නොවන්නේද? එතෙක් දවස් දේවිය විසින් රාජ්‍ය විචාරමින් සිටියාය. එහෙත් වරක් ඔහු ලන්දේසී රාජ්‍යයට දන්වා ඇරියේ විමලධර්මසූරිය රජුගේ දරුවන් කුඩා නිසා නිසි වයස් එළැඹෙන තෙක් රාජ්‍ය විචාරන බවය. 

 

විමලධර්මසූරිය රජුට දාව තමන් වැදු වැඩිමහල් පුතු, මහා අස්ථාන කුමරුන් ගැනද කුසුමාසන දේවිය පසුවූයේ බියෙනි. එයට හේතුව සෙනරත් රජු නිතර කුඩා කුමරුගේ ක‍්‍රියාවන් විවේචනය කිරීමයි. කුමරුගේ විනෝදාංශයක් වූයේ කොණ්ඩ කුරුල්ලන් කෙටවීමයි. කෙසේ හෝ ඔටුන්න හිමි කුමරු සියල්ලම දැන සිටිය යුතු බව පවසමින්, සෙනරත් රජු කුමරුවා මහියංගණය රජවාසලට ගෙනයන ලද්දේ පිහිනුම් ආදිය ඉගැන්වීමටය. එතුමිය සිතු සේම සෙනරත් රහසින් එතුමියගේ වැඩිමහල් පුතු මරා දැම්මේ පළමුව විෂ අඹයක් කන්නට දී දෙවනුව මහවැලි ගඟට නාන්නට ඇරීමෙනි. මේ අඹ ගෙඩිය දෙවුනේ කුඩාකල සිටම කුමරුන් බලාකියා ගත් ස්ත‍්‍රිය අතිනි. කුමරුගේ සම වයසේ සිටි සේවක කොලූවෙක්ද මේ සමග මරා දමන්නට සිදුවූයේ මේ අඹ ගෙඩියේ රහස එළි වූ හෙයිනි.  

සියලූ දෝෂවලින් මිදීමට ඉතා උත්කර්ෂවත් අවමඟුල් පෙරහැරක් පවත්වා කුමරුන් ආදාහනය කරවන ලදී. මේ වනවිට කුසුමාසන දේවිය සෙනරත්ව තදින් පිළිකුල් කරමින් සිටියාය. එයට හේතුව මේ වන විටත් දේවියගේ පළමු විවාහයේ දියණියන් දෙදෙනා වන සූර්ය අදසින් හා අන්තන් අදසින්ව ද සෙනරත් අතින් අපයෝජනයට ලක්වී තිබීමයි. මේ කුමරියන් දෙදෙනා සදහටම අවිවාහකව තැබීමටයි සෙනරත්ට අවශ්‍ය වූයේ. තමන් අපයෝජනයට ලක්වන බව නොදැනීම දියණියන් දෙදෙනා සෙනරත්ට හිතවත් වූහ. 

ඒ නිසාම රජ බිසව කලකිරී දියණියන්ද, සෙංකඩගල මාලිගයද අත්හැර වැලිමන්තොටට ගියේ තම වැඩිමහල් පුතුගේ අළු බඳුනද රැගෙනය. මේ වන විට එතුමිය තම බාල පුතු ගැබ් දරා සිටියාය. 

ඉතින් සිංහලේ සිටි බලවත්ම පාපතරයා අතින් අසාධාරණයට පත් වූ සිංහලේ කඳුළු බිංදුව නමින් ප‍්‍රකට අසරණ කුසුමාසන දේවිය තම බාලම පුත් 2 වැනි රාජසිංහට උපත ලබා දී බලවත් වූ මානසික අවපීඩනය නිසා අවු. 36 ක් පමණ වයසේදී ජීවිතයෙන් සමුගත්තීය. තමා ජීවත්වීමට වඩාත් ප‍්‍රිය කළ වැලිමන්නන්තොට මාලිගා භූමියේම එතුමිය භූමදාන කරන ලදී. තමාව වැඩියෙන්ම අසාධාරණයට ලක් කළේ බෞද්ධයන් බව ඇය ඒ වනවිට හොඳින් තේරුම්ගෙන සිටියාය. ඒ නිසාම නැවත ඇය හොඳ කිතුනු බැතිමතියක් වූවාය. හිතවත් කුරුවිට රාලගෙන් එතුමිය අවසන් ඉල්ලීමක් කළාය. තමාට සමාදානයේ සැතපෙන්නට අවශ්‍ය නිසා ඇයව භූමදානය කරන ලෙසත්, එසේ කරන විට, තමා මේ ලෝකයේ වඩාත්ම ආදරය කළ වස්තූන් 3 ම තමා අසලින් තබන ලෙසත්ය. ඒවා නම් තම පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලයයි. 

(දෝන කතිරිනාගේ කතාව උපුටා ගැනීම - තිලකා රන්දෙනි/දිවයින)





Thursday, September 17, 2020

පෙම්බර කුමරාණ ...

පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


කල්පය ගතවේවී

පෙම් සිළ වියැකේවී ...//

යෞවනයට රොන් පූදින පිනිමල් වැස්සේ

සංකාවට කවුළු හරින සුසුමද පවනේ

ළඟ දැවටෙන්නේ

සිත බිය වෙන්නේ


පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


ගං දිය නොසැලේවී

කෙවිලිය නොගයාවී ...//

තුන් හිත ළඟ මන්දාරම් අඳුර ගලන්නේ

ඔබ නැති යාමේ

රෑ තනි යානේ


පෙම්බර කුමරාණ

නුඹ නැති සඳ පාන ...//

මා රිදවයි සිත තනිවෙයි

වත මැලවේවී


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

පද රචනය - වසන්ත කුමාර කොබවක

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


දශක ගණනාවක් පුරා, පරම්පරා කිහිපයක ජනප‍්‍රියත්වය එක ලෙස රැඳී ගීත ගණනාවක් රචනා කළ වසන්ත කුමාර කොබවක මෙම ගීතයට පසුබිම් වූ හේතුව විස්තර කරමින්.

අතිශය පෞද්ගලික මගේ කුටුම්බ ජීවිතය සම්බන්ධ සිදුවීමක් තමයි දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් ගායනා කරන පෙම්බර කුමරාන ගීතයට ප‍්‍රස්තුත වුණේ. මම ඒ කාලේ මගේ තුන්වෙනි වෘත්තිය විදිහට තෝරාගන්නවා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නිලධාරී තනතුර. ඉතිං බේරුවල ප‍්‍රදේශයේ මුහුද අයිනේ තියෙනවා රේගු නිවාරණ කාර්යාලයක්, ඒකට මාව අනුයුක්ත වෙනවා. එතකොට මගේ වැඩිමල් පුතා ඉපදුන අලූතමයි. ඔහු කිරිකැටියෙක්. අනිත් එක අපි අපේ අලූත් නිවස හදාගෙන යන කාලේ. ඉතිං මගේ බිරිඳයි දරුවයි තනි කරලා මට එහෙ ගිහිං රැකියාව කරන්න වුණා. දවල් දවසේ අනිත් සේවා මඬුල්ල එක්ක රාජකාරි කරන වෙලාවේදී ඒ තරං තනියක් දැනෙන්න නැහැ. නමුත් හැන්දෑ උනාට පස්සේ හුඟක් වෙලාවට සිහිවෙනවා දරුවා අඬනවා ඇත්ද, සියලූම දේවල් තනියෙන් කරගෙන මගේ බිරිඳ කොහොම ඉන්නවා ඇත්ද, කියලා. අපි නව නිවස තනන්න පටන් ගත්ත ස්ථානයත් හරි පාලූ තැනක්. කුඹුරක් අයිනේ. කැලෑව ඈතින්. ඉතිං තාරුණ්‍යයේ සිටින බිරිඳකට ඒක දරාගන්න පුළුවන් දෙයක්ද දන්නේ නැහැ. දැන් වගේ ජංගම දුරකථන තිබුණෙත් නැහැ. හරි තනිකමක් දැනෙනවා. එතකොට කාර්යාලයේ මගේ නිවහන තියෙන්නේ ඉහළ මාලයේ. එතන ඉඳන් මුහුද දිහා බැලූවහම මට මුහුදු රැල්ලත් එක්ක හඳ එළියේ පිළිබිඹුව මැකිලා යනවා. අන්ධකාර වෙනවා. ආයේ එළිය එනවා. මං ඉතිං ? වෙනකං සඳලූ තලයේ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මුහුදේ ඝෝෂාවයි. හඳ එළියයි. ඉතිං ගෙදරදී හඳ හොඳට පැහැදිලි දවසට අපි පොඩි පුතාවත් වඩාගෙන හඳ පෙන්න පෙන්න කියන කතා මට මතක් වුණා. මෙතනදී හඳ එනවා යනවා, නිකං මගේ ගෙදරින් මාව අමතනවා වගේ. නිදා ගන්න ගියත් නිදිමතක් එන්නෙත් නෑ. පස්සේ මං කොලයක් අරං මොකක් හෝ කුරුටු ගානවා කියලා හිතං ලියනකොට මේ පද ටික ලියවුණා. ”පෙම්බර කුමරාන, නුඹ නැති සඳ පාන, මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවි” කියලා.

නමුත් මේ ඇගේ කතාව නේද?

ඇත්තටම ගීතයේ මුල් ටික ලියලා බැලූවහම මගේ අත්දැකීම බිරිඳට ආරෝපණය වෙලා පෙම්වතියක ලියන ආකාරයෙන් තමයි ගීතය ලියවුණේ. ඊට පස්සේ මං නින්දට ගියා. පහුවෙනිදා උදේ පහට විතර ඇහැරෙන කොටත් මුහුදේ රළ ඝෝෂාව ඇහෙනවා. හඳ බැහැලා ගිහිල්ලත් නෑ. මං ආයෙත් විදුලි ලාම්පු පත්තු කරගෙන අර ලියපු සිංදුව කල්පනා කර කර ඉන්නකොට ඉතුරු පද ටික ලියවුණා. ඇත්තටම බිරිඳක විසින් සිතන ආකාරයට එහා ගිය පෙම්වතියක්, හුදකලාව ඉන්න ආකාරයට තමයි ගීතය නිර්මාණය වෙලා තිබුණේ. එවක දීපිකා ළාබාල ගායිකාවක්. පසුව ඇයගෙන් ගීත සමුච්චයක් සඳහා ගීතයක් ලියන්නට මට ඇරයුම් ලැබෙනවා. එතකොට මට වහාම හිතුනා මේ ගීතය දීපිකාට දිය යුතුයි කියලා. හුදකලා තරුණියකගේ මනෝ භාවයන් හොඳන් උද්දීපනය වන ආකාරයෙන් රෝහණ සංගීතය නිර්මාණය කළා. දැන් දශක තුනකටත් වැඩියි. නමුත් මං හිතන්නේ යෞවනියන් අතර සහ සුභාවිත ගීතය ඇසුරු කරන සියලූ දෙන අතරම මෙය ජනප‍්‍රිය ගීතයක්. ඒ වගේම පෞද්ගලිකව මම සහ මගේ බිරිඳ වඩා ප‍්‍රිය කරන ගීතයක් මේක. මොකද අපේ මුල් කාලයේ අත්දැකීමක් ඇසුරින් ලියවෙච්ච ගීතයක් නිසා.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)







Wednesday, September 16, 2020

විහඟ ගීතය ...

විහඟ ගීතය නිහඬ ඇයි

කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර

ඈත කුටියක සිරවෙලා

විහඟ ගීතය

නිහඬ සුසුමක නැවතිලා


ලදළු මැලවී තුරු ලතා තැති ගැනී

සිරස සරසන මලක්වත් නැහැ පිපී

අඳුර රජවී අනේ දුනු හි ඇනී

නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී


විහඟ ගීතය නිහඬ ඇයි

කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර

ඈත කුටියක සිරවෙලා

විහඟ ගීතය

නිහඬ සුසුමක නැවතිලා


කඳුළු වගුරා පහුරුගා දෙස් තියා

ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා

පියාඹන්නට නාද දී නිදහසේ

විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ


විහඟ ගීතය නිහඬ ඇයි

කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර

ඈත කුටියක සිරවෙලා

විහඟ ගීතය

නිහඬ සුසුමක නැවතිලා


ගායනය - අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල

පද රචනය - නිලාර් එන්. කාසිම්

තනුව - එච්.එම්. ජයවර්ධන

එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කළ අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල ගයන ”විහඟ ගීතය නිහඬ ඇයි” ගී පදරචනය පිළිබඳව නිලාර් එම්. කාසිම් මහතා අදහස් දක්වමින්... 

මගේ ගම මාතර. මම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ. අපි උසස් පෙළ කරන අවධිය වෙනකොට, විශේෂයෙන්ම 88, 89 කාලේ දරුණු භීෂණයක් රටේ තිබුණා. දකුණේ ඒ භීෂණය වඩාත් උග‍්‍ර විදිහට තිබුණා. අපි තාරුණ්‍යයට එළඹෙනවාත් එක්කම මෙන්න මේ භීෂණයත් එක්ක ගනුදෙනු කරන්න අපිට සිද්ධ වුණා. එක පැත්තකින් රාජ්‍ය ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වුණා. අනිත් පැත්තෙන් රාජ්‍ය නොවන ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වුණා. මේ දෙපැත්තම අවි ගත්ත තත්ත්වයක් තුළ තමයි අපි තාරුණ්‍යයට එළඹෙන්නේ. එතකොට මේ භීෂණය විසින් මනුෂ්‍ය සමාජයට අහිමි කරලා තිබුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහසේ ජීවත් වීමේ අයිතිය, භාෂණයේ නිදහස මේ සියලූම දේවල් අපට අහිමි කරපු තත්ත්වයක් අපි අත්වින්දා. ඒ කාලේ අපි තරුණයකු වීම පවා සාපයක් වූ තත්ත්වයක් තුළ තමයි දිවි ගෙව්වේ. මනුෂ්‍ය ජීවිතයට මේ දේවල් අහිමි වෙනවා කියලා කියන්නේ හරිම කාලකන්නි හැඟීමක්. එතකොට මට ඕන උනා ගීතයක් තුළ මේ දැනිච්ච දේවල් සාකච්ඡා කරන්න. අපට අහිමි වෙච්ච කට හඬ, භාෂණයේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ප‍්‍රර්ථනා, මේ සියල්ලම ”විහඟ ගීතය” කියන යෙදුම තුළ අන්තර්ගත වෙනවා. එතකොට මේක අපිට අහිමි වෙලා තියෙනවා. අඩු තරමේ ස්වභාව ධර්මයට, සෞන්දර්යයට, නිදහසේ විකසිත වෙන්න ඉඩක්වත් නෑ එබඳු තත්ත්වයක් යටතේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීමේ වාතාවරණයක් තුළ මලක් වත් පිපෙන්නේ නෑ කියන එක තමයි නොකියා කියන්නේ. මේ තුළ මට කියාගන්න උවමනා වුණේ ඒ වකවානුවේ මම මූණ දුන්නු අත්දැකීම. මනුෂ්‍ය සමාජයට ඒ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීම තුළ සමස්ත ජීවිතයම අහිමි වෙනවා. මේක නැවත දිනා ගත යුතුයි. අපි මේ සියල්ල හමුවේ හඬා වැලපිලා අඬලා දොඩලා වැඩක් නෑ. මේ සිරගත වෙච්ච දේ නැවත මුදා ගත යුතුයි. ඒ විමුක්තිය උදෙසා අපි පෙළ ගැසිය යුතුයි කියන තිර අධිෂ්ඨානය තමයි මේක තුළ ප‍්‍රකාශ කරන්නේ. අඩු වැඩි වශයෙන් අණ පනත්වලින් වේවා මර්දනයෙන් වේවා තුවක්කුවෙන් වේවා උතුරේ වේවා දකුණේ වේවා වෙනත් ඕනෑම තැනක මනුෂ්‍යයාට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය අහිමි වෙනවා කියන්නේ භාෂණ නිදහස අහිමි වෙනවා කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වෙනවා කියන්නේ අර විහඟ ගීතය අහිමි වීමක්. එතකොට මනුෂ්‍යයාට සෞන්දර්යය කියන එක අහිමි වෙනවා. සෞන්දර්යයක් නැති තැන ජීවිතයක් නැහැ. මෙන්න මේ සනාතන දහම තමයි මේ ගීතය තුළ සාකච්ඡා කළේ. මේ ගීතය තුළ මට එහෙම පොදු දෙයක් සාකච්ඡා කරන්න හැකිවීම ගැන සහ පේ‍්‍රක්ෂකයෝ සහෘදයෝ වැළඳ ගැනීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. 

එවන් පරිසරයක මෙවන් ගීතයක් ලිවීම ප‍්‍රශ්නයක් වුණේ නැද්ද? 

ප‍්‍රස්තුතය ඒක වුණත් ගීතය එළියට ආවේ 92 විතර. අනික ඔය ගැඹුර මම සටන් පාඨ විදිහටවත් ආවේගශීලී ප‍්‍රහාරයක් විදිහටවත් නෙමෙයි ගීතය තුළ අරගෙන ඇවිත් තියෙන්නේ. ඒ කියන ප‍්‍රකාශනය අතිශය සෞන්දර්යාත්මකව ප‍්‍රකාශ කරපු නිසාම තමයි මේ ගීතය ජනගත වෙන්නට ඇත්තේ සහ එවැනි ගැටලූ නොආවේ කියලා මම විශ්වාස කරනවා. මම විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්න වකවානුවේ තමයි මේ ගීතය ලිව්වේ.

(උපුටා ගැනීම - දිවයින යුගන්ති යශෝධරා)




පායා ඇයි හිනැහෙන්නේ ...

පායා ඇයි හිනැහෙන්නේ

නිල් ගුවනේ තරු රාශී

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී

පායා ඇයි හිනැහෙන්නේ


ඇගෙ වත මට නොපෙනේනම්

පුන් සඳ ඇයි හිනැහෙන්නේ ...//

නැතිදා ඇගෙ ගී රාවේ

කොවුලනි ඇයි ගී ගැයුවේ

කොවුලනි ඇයි ගී ගැයුවේ


වනයේ පිපි මල් ගොමුවේ

සමනලයිනි ඇයි නැටුවේ

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී


පායා ඇයි හිනැහෙන්නේ


ඇගෙ දිමුතු දසන් නොපෙනී

මට මොකටද මුතු පන්තී ...//


ඇගෙ කඳුළැලි නැති විටදී

ඕනෑ නෑ දියමන්තී

ඕනෑ නෑ දියමන්තී


පායා ඇයි හිනැහෙන්නේ

නිල් ගුවනේ තරු රාශී

ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ

නිල්වන් දෙනෙතේ කාන්තී

පායා ඇයි හිනැහෙන්නේ


ගායනය - එච්.ආර්. ජෝතිපාල

පද - ඇලෝයි ගුණවර්ධන

සංගීතය - මොහොමඩ් සාලි

හින්දි ගී තනුවකි.

1958 දී තිරගත වූ "මධුමතී" චිත්‍රපටියට ‍මොහොමඩ් රාෆි ගායනා කළ "Toote Hue Khwabon Ne" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

1958 තිරගත වුන මධුමතී චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ බිමල් රෝයි මහතා. '40 හා '50 දශකයේ ෂාරුක් ඛාන් වුනු දිලිප් කුමාර් මහතා එක්ක වෛජයන්ති මාලා තමයි රංගනයෙන් දායක වුනේ. ඉතාමත් ජනප්‍රිය ගීත ගණනාවක් මේ චිත්‍රපටියේ තිබුනා. ෂයිලේන්ද්‍රගේ ගී පද වලට සලීල් චෞද්‍රි තමයි සංගීතය එකතු ක‍ලේ. මේ ගීතය තමයි "ටූටේ හුවේ ක්වාබෝනේ" කියලා කියන්නේ සිංහල තේරුම "සිහින බිඳී ගියා" කියන එක. 








Monday, September 14, 2020

පානම් පත්තුවේ ...

පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය

ගමේ අයට නම් ගජමන් නෝනාය

කවි කර කියන්නේ දෑහින් දුටු දේය

වට වන්දනාවෙදි නඩයම දුටුදේය


වඳිනට ගිය කළට නුවරට දළදාව

ගමේ “චන්ඩි ස්ටැන්ලි” ද සිටියාය

යාළු නිළමේලා දොර හැර දුන්නාය

ලඟටම ගිහින් ඔහු දළදා වැන්දාය


හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය

කතරගමට අපි යහතින් ආවාය

සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව

සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය


සිරිමහ බෝධියට ගියදා උදයේම

කාර් ගොඩක් ආවා එක එක පාට

තෙරපී සිටිත්දී අපි පඩි පෙළ ගාව

ඒ මහතුන රන්වැට පැන වැන්දාය

ගායනය - නන්දා මාලිනී පදරචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ඔස්ටින් මුණසිංහ 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය විරෝධාකල්ප ගී රචනා අතුරින් "පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය" ගීතය ගැන අදහස් දක්වමින්.. 

අපි සමාජ අසාධාරණය ගැන බොහෝවිට කතා කරනවා. ලිපි ලියනවා. මැතිවරණයක් කිට්ටු වෙනකොට හැමදෙනා ගේම කටේ තියෙන්නේ සමාජ අසාධාරණය ගැන. හැම කෙනෙක්ම එන්නේ සමාජ අසාධාරණය නැති කරන්න. නමුත් කවදාවත් මේ අසාධාරණය නැතිවෙන්නේ නෑ. මේ පීඩනය අපිට තියෙනවා. බැලූ බැලූ අත අපට දකින්න ලැබෙන්නේ මොනයම් හෝ අසාධාරණයකින් සිත් වේදනා කරන දර්ශන. ඉතිං මට හිතුනා නූගත් ගැමි ගැහැණියකගේ ඇසින් කිව්වොත් වඩාත් රසිකයන්ට ශ‍්‍රාවකයන්ට මේක දැනෙයි කියලා. මං මේ සඳහා තෝරා ගත්තේ ගැමි ගැහැනියක්. ඇය තමයි ඩිංගිරි අම්මා. ඇයට මං ආරෝපණය කරා ගජමන් නෝනගේ සහ රංචාගොඩ ළමයාගේ කවි කලාව. සමාජ අසාධාරණයට ලක් වෙච්ච සමාජ සංස්ථා ඕනෑතරම් තියෙනවා. එයින් එක් අංශුවක් තමයි මේ ගීතයෙන් විදහා දැක්වෙන්නේ. 

මේ හැමදෙයක්ම මම ඇහින් දැකපු දේවල්. මම දළදා මාලිගාවට යනකොට වරප‍්‍රසාද ලත් පුද්ගලයින් ගිහිල්ලා අනිත් අය පෝලිමේ ඉඳිද්දි දළදා වඳිනවා. ශ‍්‍රී මහ බෝධියට යන්න උපාසක අම්මලා පොරකද්දී වරප‍්‍රසාද ලත් අය ගිහිල්ලා රන් වැටෙනුත් ඇතුළට ගිහිල්ලා නළල තියලා ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ මත සිවුරුත් පූජා කරනවා. කතරගම ගියත් එහෙමයි. මේකේ තියෙන්නේ සීයේ කොළ. මේ අවුරුදු ගාණකට ඉස්සරනේ. තවමත් ඒ සම්ප‍්‍රදායේ කිසි වෙනසක් වෙලා නෑ. දාහේ කොළේ තියෙනවා නං ඒ පූජා වට්ටිය තමයි මුලින්ම ඇතුළට යන්නේ. ඉතිං මේවා මොන තරම් හිත රිදුම් දෙන දේවල්ද? ඒ දේවල් තමයි මම මේ ඩිංගිරි අම්මා නමැති ගැමි ගැහැනියගේ මුවට නංවලා ඉදිරිපත් කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ ගීතය ඔය විරෝධාකල්ප කියන ගීත සම්ප‍්‍රදාය, ඒ ගීතවලට අකමැති අය පවා කැමැත්තක් ඇති වුණ ගීතයක්. ඒකට හේතුව මේ තුළින් ධ්වනිත වන ගැමි ස්වරය කියලා මට හිතෙනවා. ඒකට බෙහෙවින් බලපෑවා ඔස්ටින් මුණසිංහගේ තනුව සහ නන්දා මාලිනීගේ ගායනය. ඉතිං මේ ගීතයේ අත්දැකීම් මං හිතන්නේ මට විතරක් නෙමෙයි මේ රටේ හැම කෙනෙක්ම හැමදාමත් ලබන අත්දැකීම්. දළදා මාලිගාවට ගියොත්, ශ‍්‍රී මහා බෝධියට ගියොත්, කතරගමට ගියොත්, ඒ අය හැමදාමත් මේ අත්දැකීම දකිනවා, විඳිනවා. ඒකෙන් තමන්ගේ හදවතේ එක කොණක් රිද්දවා ගන්නවා. මං හිතන්නේ ඒක තමයි මේ ගීතයේ අත්දැකීම බවට පත්වෙලා තියෙන්නේ.

(උපුටා ගැනීම - දිවයින)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...