Tuesday, November 17, 2020

ජීවිතේ කවියක් ...

ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්

කඳුලැලි බිදක් හසරැලි පොදක්

එකට එක් වූ විට දැනේ

පෙර නොවිදි රසයක්...


පසුපසින් හඹා එන අතවර

හැරදමා යා නොහැක බෝ දුර

දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා

හැඟුම් අවදිව නැගේ තනිකම


ජීවිතේ කවියක්...


සෙනෙහසින් රැදී උන් නෙක දන

පලා යයි නොකියාම ඈතට

පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

කවුරු නම් ලං වේද තනියට


ජීවිතේ කවියක්..


ගායනය - නන්දා මාලිනී 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 


මෙය 1990 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ "දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.

"ජීවිතේ කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්”  ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්.... 

මම රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන කාලේ තමයි ගජමන් නෝනා කියන ටෙලි නාට්‍යය රූප ගත කරන්න පටන් ගත්තේ මගේ අධීක්ෂණය යටතේ. ඒ සඳහා ගජමන් නෝනාගේ ජීවිතය හොයාගෙන යන ගමනට මටත් එකතුවෙන්න පුළුවන් වුණා. ඇගේ ජීවිතය පිළිබඳව තොරතුරු හොයලා බැලූවා, පිටපත ලියන්න කලින්. ගජමන් නෝනා ගැන අහලා තිබුණ විදිහ නෙමෙයි ගජමන් නෝනාගෙ ජීවිතය කියලා ඉන් පස්සේ අපට තේරුණා. අසීමිත දුක් කන්දරාවක් අනුභව කරපු කාන්තාවක් තමයි ගජමන් නෝනා. 

අපට එහෙම චරිතයක් හම්බවෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ පටාචාරා. මං හිතන්නේ පටාචාරාවට වඩා දුකක් අනුභව කළා ගජමන් නෝනා. පටාචාරාවට අවසානයේ බුදු හාමුදුරුවෝ පිහිට වෙනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා ඇය රහත් භාවයට පත් වෙනවා. ගජමන් නෝනාට එහෙම පිහිට වෙන්න කව්රුත් හිටියේ නෑ. ඇය හැබැයි ජීවිතයේ සියලූ දේවල් අනිත්‍යයි කියලා අවසාන කරගන්නේ නෑ, ඇය මැරෙනතුරුම ජීවත්වෙනවා. ඒ ජීවත්වෙන්න ඇයට තිබිච්ච එකම හයිය තමයි එකම ශක්තිය තමයි කවිය. ඇය කිවිඳියක්. ඒ කවිකම තමයි ඇයට ආශිර්වාදයක් වුණේ. කඳුලයි හසරැල්ලයි මැද්දෙන් ගත කරපු ජීවිතයක් තමයි ගජමන් නෝනා ගෙ තිබුණේ. මධුර තනුවක් නිර්මාණය කළා රෝහණ වීරසිංහ. ඉතා හැඟීම්බරව ගායනා කළා නන්දා මාලිනී. ඒ නිසා ඒ ගීතයත් අදටත් අප අතර පවතිනවා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)





Friday, November 13, 2020

සිනා දොළක් වන් සිනාමලී ...

සිනා දොළක් වන් සිනාමලී

මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී

බලා උන්නෙ එනතුරු පෙර වාගේ

ඇයි පිට පාරෙම අද...


පෙරට වඩා අද හැඩකාරයි

ආඩම්බර පාටයි

නාඳුනන ලෙස කෝල බැලුම් නෙත

නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ

ඇයි සිනා නැතුව අද...


වදුලු පුරා දං හිඹුටු සොයා

කෙළිදෙළෙන් නිදැල්ලේ

දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය

නුඹේ ළපටි සිත දෙගුරුන් අවුල් කළාදෝ

ඇයි කතා නැතුව අද...


පද රචනය -  කුලරත්න ආරියවංශ

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය පිළිබඳව කුලරත්න ආරියවංශයන් අදහස් දක්වමින්..... 

අපි ගමේ හැදිච්ච අයනේ. ඒ කාලේ අපේ ගම්වල පිරිමි ළමයි ගැහැනු ළමයි එකට සෙල්ලම් කරනවා. දුව පනිනවා. ඔහොම ඉඳලා ගැහැනු දරුවෙක් වැඩිවිය පැමිණුනාට පස්සේ ඒ කාලේ අපිටත් ඇහෙනවා ඉතිං මේ අම්මලා වැඩිහිටියෝ එහෙම කියනවා පිරිමි ළමයි එක්ක සෙල්ලමට යන්න එපා දැන්, ඔයා ලොකු ළමයෙක්නේ වගේ දේවල්. ඒගොල්ලන්ට ඒ අර සිදුවීම ටිකක් බරපතළ කරලා ජීවිතේ කියලා දෙනවා ඉතිං. දරුවාගේ තියෙන අර කෙළිලොල් නිදහස් පැවැත්ම ඊට පස්සේ පොඞ්ඩක් වෙනස් වෙනවා. ගැමි පරිසරයේ සිද්ධ වෙච්ච අපි පොඩි කාලේ තිබිච්ච දෙයක්. 

ඉතිං ඔය අත්දැකීම තමයි මං ඔය වික්ටර් රත්නායකයන්ට පස්සේ කාලෙක ගීතයක් රචනා කරද්දී ලිව්වේ. සංගීතය එතුමාගෙමයි. ගීතය තමයි ‘සිනා දොළක් වන් සිනා මලේ, මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලේ’ කියන ගීතය. හැත්තෑව දශකයේ මුල්ම කාලයේ ගායනා කරපු ගීතයක්. මට දැනගන්න ලැබුණා ගුවන් විදුලියෙන් මුල්ම කාලේ මේ ගීතය වාදනයට පොඩි තහනමක් ආව කියලා. මොකද මේ ගීතයේ අර මල්වර නැකතින් දොරට වඩින කියන වචන නිසා වෙන්න ඕන, ඉන්පස්සේ ඒ තහනම ඉවත් වෙලා. කොහොම හරි ඊට පස්සේ ඒ ගීතය ජනප‍්‍රිය වුණා.

කුලරත්න ආරියවංශයන් එය වික්ටර් අතට පත් කිරීමට පෙර කපුගේටද පෙන්වූයය. එහි ස්ථායි කොටස අවසන් වන්නේ ‘ඇයි පිට පාරෙම අද?’ යනුවෙනි. මේ ගීතයේ අන්තරා කොටස් දෙකම අවසන් වන්නේ ‘ඇයි හිනා නැතුව අද?’ සහ ‘ඇයි කතා නැතුව අද?’ යනුවෙන්ය. ඒ ගීතය දෙස ස්වල්ප වේලාවක් නෙත් යොමා සිටි කපුගේ “ඇයි කුලේ මේ අවසාන පේළි තුනටම හිටි අඩියේ කැඩෙන පේළි තුනක් යෙදුවේ?” යි විමසුවේය. කුලේ “මං මේක වික්ටර් අයියාට දෙන්නයි ලීවේ...” කියද්දී විසිතුරු තනු නිර්මාණ ශිල්පියකු වූ කපුගේ තවදුරටත් කිසිත් නොකිය‍ා සිනා සුණේ වික්ටර්ගේ නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳ මනා අවබෝධයක් හා විශ්වාසයක් ඔහු සතු වූ නිසාය.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Wednesday, November 11, 2020

කන්දේ ලන්දේ ...

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ

මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ


වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ

ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ

ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී

සංකේත වූ වාසනාවේ... ගම්මානේ...


කන්දේ ලන්දේ...


ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ

පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ

මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ

යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...


කන්දේ ලන්දේ...


ගායනය - රෝහණ බැද්දගේ

සංගීතය - රෝහණ බැද්දගේ

ගී පද - රෝහණ බැද්දගේ


රෝහණ බැද්දගේ තම ගමේ සුන්දරත්වය ගැන අපූරු ගීතයක් රචනා කොට ගයා ඇත.  

“අපේ ගමට කියන්නේ උඩුව කියලා. හොරණ නගරයේ ඉඳලා මහ පාර දිගේ ආවොත් හැතැප්ම හතරක් විතර තියෙනවා. උඩුව කියන්නේ විශාල ගමක්. මහඋඩුව, කුඩාඋඩුව දෙකට බෙදිලා තියෙනවා. දකුණු උඩුව, උඩුව කියලා තවත් විදිහකින් බෙදිලා තියෙනවා. අපි ඉන්නේ මහ උඩුවේ. මගේ ලිපිනය උඩු ගොඩක් තියෙන නිසා මම ලියන්නේ කුඩා උඩුව කියලා. ගම මැදින් වැටී තියෙන කඳු වැටියක කෙළවර තමයි අපේ වත්ත තියෙන්නේ. දවසක් දා හැන්දාවේ මට හිතුණා ටිකක් විවේක ගන්න වත්ත උඩහ ගල්තලාවට යන්න. වටින් ගොඩින් ඇඳිරි වැටිල තියෙන බව දැක්කට පස්සේ තමයි ගල්තලාවෙන් පහළට බැහැලා ගෙදර යන්න හිතුණේ. එදා පුංචි කාලෙ ගමේ සුන්දරත්වයෙන් බිඳක් ගීතයට නැගුවා.

ඒ සුන්දරත්වය තුළම සැඟවුණු වේදනාවෙන් යුතුව රචනා කළ ගීතයක්. 

ඇත්තටම මේ ගීතයෙන් අපිට කියන්නේ, ගමක් නාගරීකරණය වෙලා යන එක ගැන. බැද්දගේ ශූරීන් තමන්ගේ ගමට වෙන්න යන දේ ගැන ඉතාම සංවේදී සහ  සංවේගජනක ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ. වෙල්යාය, දොල පාර, වැව, ගඟ, ගුරුපාර වගේ ගමක තියෙන ස්වාභාවික සම්පත්. මේවා ගමක තියෙන වාසනා සංකේත හැටියටයි එතුමා හඳුන්වන්නේ.

ඇල්හේන, විහාරය, දේවාලය බෙර නාදය, ගැමි ගිත රාවය වගේ ගැමියාගේ අභිචාර විධි ගැන. ඔවුන්ගේ ගායනය, නර්තනය, තොවිල් පවිල්, ඇදහිලි විශ්වාස ගැන කියනවා. අන්තිම පදයෙන් තමයි මේ ඔක්කෝම නැතිවෙලා යනවා කියලා තියෙන්නේ. "යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ". ගම නාගරිකරණය වීමෙන් සොබාදහම වියැකී යාහැකි ආකාරය ඉතාමත් සූක්ෂ්මව ප්‍රකාශ කරලා තියෙනවා.


(උපුටා ගැනීම - ලංකාදීප ඒ.ඩී. රංජිත් කුමාර)







Monday, November 9, 2020

මහ වරුසාවට ...

මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


ඇළ දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි

විටකදි නැගුනත් සැක බිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි


පදමාලාව - සුනිල් සරත් පෙරේරා

තනුව - රෝහණ වීරසිංහ

ගායනය - සෝමතිලක ජයමහ


ආදරය කරද්දී පෙම්වතුන් එකිනෙකා අතර සැක සංකා ඇතිවීම සාමාන්‍ය දෙයක්‌. ඒත් දෙදෙනා හොඳ අවබෝධයෙන් යුක්‌ත නම් සැක සංකා සබන් බෝලයක්‌ බඳුයි... සැණෙකින් බිඳී විසිරී යනවා.


මහ වරුසාවට පසුව නැගෙන සඳ

වෙනදාටත් වැඩියෙන් එළියයි

නෝක්‌කාඩුවට පසුව ඔබේ වත

ඒ එළියට වැඩියෙන් එළියයි


මහා වර්ෂාවකට පස්‌සේ පායන හඳ වෙනදාට වඩා වැඩියෙන් ලස්‌සනයි. එළියයි. පායන හඳ කවදත් එකයි. සඳ සඳක්‌මයි වෙනසක්‌ නෑ. ඒත් ගී පද රචකයා සුනිල් සරත් පෙරේරා මේ හඳ දකින්නේ වෙනස්‌ විදියකට. වැස්‌සට පසු පායන හඳ ඔහුට ලස්‌සනයි. වැස්‌සෙන් වට දිය බිඳු ගහ කොළ මත පතිතවෙලා... හඳ එළිය ඒ මත වැටෙද්දී ඉපිදෙන ආලෝකය ගීත රචකයා දකින්නේ හඳේ අලුත් එළියක්‌ විදිහටයි.

ඒ වගේ තමයි මේ පෙම්වතියත්. අමනාපයෙන් පසුව ඇගේ මුහුණ අර හඳ එළියටත් වඩා වැඩියෙන් ලස්‌සනයි.

මම රාජ්‍ය පරිපාලනයේ වැඩ කරද්දී අසූ ගණන්වල සුනිල් සරත් පෙරේරා ආවා අපේ ඇමැතිතුමා හමුවෙන්න. ඒ ඇවිත් යන ගමන් මාවත් හමුවුණා. අපි හත්වැනි තට්‌ටුවේ තියෙන කැන්ටිමට ගියා තේ එකක්‌ බොන්න. තේ එක බිබී ඉඳිද්දි සුනිල් සරත් කිව්වා "තව ගමනක්‌ යන්නත් තියෙනවා" කියලා. මම "කොහේද" කියා අසද්දී සිංදුවක්‌ ලියුවා. කෙනෙකුට දෙන්න යනවා ඔහු පැවසුවා. මම ඒ සිංදුව ඉල්ලාගෙන කියවා බැලුවා. ඒක ආයෙත් ඔහුට දෙන්න මට හිතුණෙ නෑ.. "මේක මම ගන්නවා" කියලා බලහත්කාරයෙන්ම සිංදුව මම අරගත්තා. දින කීපයකට පස්‌සේ ගීයට රෝහණ වීරසිංහ තනුවක්‌ දැම්මා. සරල ගී වැඩසටහනට ගීය ගැයුවා. පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණා. ගීය ගයන සෝමතිලක ජයමහ අපේ ප්‍රධාන ශිල්පියා පැවසුවා.

ඇල දොළ පාමුල ගොළුවුන ගීයකි

අප හදවත් බැඳි සොඳුරු සෙනේ

අද නොදකින ඔබ හෙට දකිනාතුරු

මඟ බලමින් මා සිත ලතැවේ


අපේ දෙහදම ආදරයෙන් බැඳිලා. ඒක සුන්දර ආදරයක්‌. ඒත් ඒ ආදරය හරියට ඇල දොළ ළඟ ගොලු වූ ගීයක්‌ වගේ. ඔයාව දවසක්‌ දැකගන්න බැරිවුණොත් ඊළඟ දවසෙ දකිනතුරු මට ඉස්‌පාසුවක්‌ නෑ. මම මගේ හිත ලතවෙමින් මඟ බලා ඉන්නවා. ඔයාගේ දසුන නෙත් හමුවට එනතුරු.

මේක විරහ ගීයක්‌ම නොවේ. විරහවක්‌ නැත්තෙම නෑ. තම හිතේ තියෙන ප්‍රේමය ගැන තියෙන අවිනිශ්චිතතාව තමයි මේ ගීයෙන් කියන්නේ. ප්‍රසාංගික වේදිකාවේදී රසිකයන් මගෙන් නිතරම ඉල්ලන අනිවාර්ය ගීතයක්‌ තියෙනවා. ඒ සැඳෑ අඳුර ලොව. ඉන් පස්‌සේ වැඩියෙන්ම ඉල්ලන්නේ මේ ගීයයි.

ඔබ මට හමුවුන මල්බර මාවත

වෙනදාටත් වැඩියෙන් සුවඳයි..

විටකදි නැඟුනත් සැකබිය ශෝකය

පිවිතුරු සෙනෙහස හද උතුරයි....


ඔහු ඇය නිතර හමුවුන මල් මාවත හරිම සුන්දරයි. සුවඳින් පිරිලා ඒත් අද වෙනදාටත් වඩා වැඩියෙන් සුවඳක්‌ දැනෙනවා. හරියට අර වැස්‌සට පස්‌සෙ පායන හඳ වගේ. ඒත් ඇය අහිමිවේවි කියන බියක්‌ සැකයක්‌ ඔහුගේ සිත තුළ උපදිනවා. අවිනිශ්චිත බවක්‌ දැනුනත් ඒ ටික වෙලාවයි. ඉන් පස්‌සේ ඔහුගේ හදවත තුළ ඈ කෙරෙහි උපදින ආදරය උතුරා පිටාර ගලනවා.

මේ ගීය එදත් අදත් ජනප්‍රියයි. ඊට හේතුව පදමාලාවේ තිබෙන සාර්ථකත්වය, සෝමතිලකයන්ගේ ගායන ලීලාව වගේම රෝහණ වීරසිංහයන්ගේ තනුව. මේ තුන එකට එක්‌ වූ කල මිහිරි ගීයක්‌ නිමා වී තිබෙනවා.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින)




Friday, November 6, 2020

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සැබෑ වුණ සුබ සිහිනයයි

සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානයයි //


මං මලක් ලෙස නුඹ නොහැදුවේ

පෙති හැලී පරවෙන නිසාමයි

දුක දිනා හිනැහෙන හැටි දුවේ

නුඹ දැන උගත් පාඩම තමයි

මිල මුදල නිල බල යා නොදෙයි //

කළ හොඳම විතරක් ඉතිරිවෙයි //


දුවේ නුඹ මගෙ...


අප මී මුතුන් මිත්තන් එදා

සිය ලේ කඳුළු දහදිය පුදා

පරපුරෙන් පරපුරට රැගෙන ආ

ඒ ගෞරවය මගෙ දුව තමා

නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //

ගෙනියන්නෙ ඒ අභිමානයයි //


දුවේ නුඹ මගෙ...


ගායනය - සුනිල් එදිරිසිංහ

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 


දියණියකගේ විවාහ උත්සව ආශ‍්‍රිතව වැඩි ගීත ප‍්‍රමාණයක් බණ්ඩාර ඇහැලියගොඩ  රචනා කර තිබෙනවා. ඒ අතරින් සුවිශේෂීම ගීතය වන "දුවේ නුඹ මගේ ප්‍රාණයයි" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩයන් අදහස් දක්වමින්..... 

 

විවාහ උත්සව වලට වැඩිම ගීත ගණනක් ලියන්න ඇත්තේ මම වෙන්නැති. පළවෙනියට ලිව්වේ ”දුවේ නුඹ මගේ ප‍්‍රාණයයි”. ඒක ලියන්න හේතු වුණේ සැම්සන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් වන නන්දදාස රාජපක්ෂ මහතා කරපු ඉල්ලීමක් නිසා. ඔහු මට කිව්වා ඔහුගේ දුවගේ විවාහ මංගල්‍යය උත්සවය පැවතුණා ලොකුවට. එහිදී එක එක ගීත අහන්න ලැබුණා. ඒ ඔක්කොම අඳෝනා වගේ. මේ දුක කියන්නේ නැතිව අපිට බැරිද දුවෙක් කියලා කියන්නේ පරම්පරාවක අභිමානය කියලා හිතෙන විදිහේ ගීතයක් ලියන්න කියලා මගෙන් ඇහුවා. 


ඔය අදහස වචන වලට පෙරළද්දී මගේ හිතට ආව පළවෙනි දේ තමයි ඉස්සර අපේ ගම්වල මඟුල් ගෙදරකදී කටයුතු ඉවරවෙලා යන්න ලෑස්ති වුණහම තියෙනවා පොඩි උත්සවයක් දෙපැත්තේම කට්ටිය එකතු වෙලා ගාථා ශ්ලෝක කවි කියලා ජීවිතේ ගෙවන්නේ මෙහෙමයි කියලා අවවාද අනුශාසනා සමූහයක් දෙනවා. මට ගීතය ලියන වෙලාවේ හිතුනා මේක ඉතා හොඳ අවස්ථාවක් දුව පිළිබඳව කියන්න. දුව චාරිත‍්‍ර ඉවරවෙලා පිටත්වෙන වෙලාවට තාත්තා කෙනෙක් තුළ ඇතිවන හැඟීම. ලියලා පළවෙනි වතාවට මං ඒක නන්දදාස මහත්මයට යැව්වාම එතුමා හරියට සතුටට පත්වෙලා මේක අපි ඉක්මනින්ම පටිගත කරන්න ඕන කිව්වා. සංගීතය රෝහණ වීරසිංහයන් නිර්මාණය කරලා සුනිල් එදිරිසිංහ ගීතය ගායනා කළා. ඒ කියපු දවසේ ඉඳන් අද දක්වාම සෑම මඟුල් ගෙදරකම පාහේ මේ ගීතය ගායනා වෙනවා. ඒක මට හරි සතුටක්. 


ඊට පස්සේ ගීත ගණනාවක් දුවලා පිළිබඳ ලියවුණා. "අතිනත අරං යනවිට සෙමෙන් නව නෑ සියන් සමගින්" මෙම ගීතය සංඛනි එදිරිසිංහ ගායනා කරන්නේ. තව ගීතයක් සුනිල් එදිරිසිංහ ගයනවා පුතා ගැන "නුඹ වන් පුතෙක් ලද මවක් වේ නම් ඇයද සැනහේ මැයි, නුඹ වන් පුතෙක් ලද පියෙක් වේ නම් ඔහුද සැනහේ මැයි" කියලා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




Wednesday, November 4, 2020

දෙනෝ දාහක් ...

දෙනෝ දාහක් නුවන් අතරේ

කවුරුදෝ මා

තනි කළේ

තනි කළේ

පාසල් බිමේ


සිනා කෙළිලොල් තෙපුල් රහසේ

දෙඩූ තැන් අද ගොළු වෙලා

සොඳුරු පාසල් පියස

කඳුළින් බොඳ වෙලා

කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා


නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්

සෙවණ දුන් ගහ කොළ පුරා

බිමට බර වුණු කැකුළු

අතු ඉති මැලවිලා

දුකින් හදවත ගොළු වෙලා


දෙනෝ දාහක් නුවන් අතරේ...


චිත්‍රපටය - වජිරා

ගායනය - නන්දා මාලිනී

ගී පද - කුලරත්න ආරියවංශ

සංගීතය - වික්ටර් රත්නායක


සිංහල සිනමාවේ 473 චිත්‍රපටය ලෙස සිංහල සිනමා කර්මාන්තය ආරම්භ වී 34 වසරකට පසු රිදී තිරයට ආ “වජිරා” චිත්‍රපටයෙන් පාසල් ප්‍රේමයත් හිරිමල් යෞවනයත් හරි අපූර්ව ආකාරයෙන් මවන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නට පුළුවන් වෙලා තියෙනවා. ගීතයක් ලියන එකයි ගීතයක් ලියැවෙන එකයි දෙකක්. වැඩියෙන්ම ගීත, නිසඳැස් ලියැවෙන්නේ මිනිසුන්ගේ සතුටට වඩා දරා ගන්නට අපහසු තරම් වේදනාවන් දැනුනු වෙලාවට. අපේ රටේ පාසැල් අධ්‍යාපනය ලැබූ සෑම ගැහැනියක පිරිමියෙකුගේම ප්‍රථම ප්‍රේමය පාසල් ජීවිතෙන් ආ බව රහසක් නොවේ. වයස අවුරුදු හයේ ඉඳන් පාසල් යන අපේ රටේ ප්‍රේමණීය හැඟීමක් ඇති වුණේ ප්‍රථම වතාවට කවදාදැයි කල්පනා කරනවා විනා හරිම උත්තරයක් දීම පහසු වෙන්නේ නෑ. පාසල් ජීවිතය එතරම්ම මිහිරියි.


එනිසාම පාසල ගැන පාසැල් ජීවිතය ගැන පාසල් ප්‍රේමය ගැන ගීත නාට්‍ය චිත්‍රපට නවකතා නිර්මාණය වෙනකොට නොදැනීම එම නිර්මාණ මිනිසුන් අතරේ ජනප්‍රිය වීමත් සමාජගත වීමක් වැළැක්විය නොහැකියි. ගොළු හදවත, ගැහැනු ළමයි ආදී නිර්මාණ කොයි කාලෙත් අපේ රටේ මිනිසුන්ගේ මතකයේ තියෙන්නෙ ඒ හින්දා.

“වජිරා” චිත්‍රපටයත් ඒ වගේම පාසල් යෞවන ප්‍රේමය ගැන බොහොම සුන්දරව නිර්මාණය වූවක්. “වජිරා” චිත්‍රපටයේ පාසැල් පෙම්වතුන් ලෙස භාව ප්‍රකාශනයෙන් ප්‍රේක්ෂකයා උමතු කරවන තරමේ යථාර්ථවාදී රංගනයෙන් පොහොසත්ව අමරසිරි කලංසූරිය නිමල් ලෙසත් නදීකා ගුණසේකර වජිරා ලෙසත් රංගනයට අපුරු සාදරනයක් ඉෂ්ට කර තිබෙනවා. වික්ටර් රත්නායකගෙ සංගීතයෙන් සහ නන්දා මල්ලිගේ මාලනීගේ ස්වර ගායනයෙන් තමයි “දෙනෝදාහක් නුවන් අතරේ” ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. “වජිරා” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කුලරත්න ආරියවංශ ගීත රචකයාට පවසන්නේ මේ චිත්‍රපටයේ මව්පිය බලපෑමෙන් වජිරා සහ නිමල් වෙන් වීමෙන්, නිමල් නොමැති හුදකලාවෙන් වියෝගයෙන් සිටින වජිරාගේ හිතේ නළියන අතීතයේ මතක වේදනාව වචනයෙන් කිව නොහැකි දහසකුත් දේ ගීත පද කීපයකින් ලියා ගන්නට උවමනා බව පවසා ඇත.

මේ ගීතය සම්බන්ධයෙන් කුලරත්න ආරියවංශ පවසන්නේ එම චිත්‍රපටයේ බල පුළුවන්කාර වජිරාගේ දෙමව්පියන් දරිද්‍රතාවයෙන් පෙලෙන නිමල්ට කරන බලපෑම චිත්‍රපටයේදී පැහැදිලිව පෙන්නුම් කරන බවත්, එමෙන්ම මේ දෙදෙනාගේ ප්‍රේමය යෞවන පාසල් ප්‍රේමයක් නිසා කුඩා දරුවන්ට අඬන්න කියලා දෙන්න ඕන නෑ වගේ පාසල් ප්‍රේමයේ වෙන්වීම, හු‍දකලාව, පාළුව කාන්සිය ගැන අමුතුවෙන් ඉතාම ලියැවුණු බවයි. ලියූ ගීතයකට වඩා ලියැවුණු චිත්‍රපට ගීතයක් වුවත් අවශ්‍යතාවය මත ලියැවුණු ගීතයක් තමයි දෙනෝදාහක් නුවන් අතරේ ගීතය. වජිරා පාසලේ තනිවීම, නිමල්ව මතක් වීම, වියෝගය සම්මිශ්‍රණය වී ඇති අයුරු ගීත රචනාවේ ඉතා සියුම්ව හා පොදු අනුමැතියක් ලෙස සරලව ලියවී ඇති අතර සුනිල් ආරියරත්නගේ ඉල්ලීම මත ආරියවංශ සංවේදී හැඟීම් අතරේ කිමිදී ඇත්තා සේය.


(උපුටා ගැනීමකි)










අන්න බලන් ඉදිකඩ ළඟ ...

අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...//


පුංචි දුවේ නුඹ යනකොට

සුදු පාටින් ඉස්කෝලෙට

පුංචි මගේ අතීතයේ මං තනිවෙනවා...

ලඳු දෙනි මැද දෙවැට දිගේ

දොළ පාරින් එගොඩ වෙලා

මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


එක පුටුවක වාඩි වෙලා

එක පැන්සල දෙකට කඩන්

අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ...

මං නොදුටුව නව ලෝකය

කිරුළු පලන් රැජින වෙලා

පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...


අන්න බලන් ඉදිකඩ ළඟ

කොක්කු රෑන වගේ ඇවිත්

පුංචි එවුන් නුඹ එනකන් පාර බලන්නේ

හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

පදරචනය - බණ්ඩාර ඇහැලියගොඩ 

සංගීතය - රෝහණ වීරසිංහ 

"අන්න බලං ඉඳිකඩ ළඟ" ගීතය පිළිබඳව බණ්ඩාර ඇහැලියගොඩ අදහස් දක්වමින්.....  

ඒ ගීතය පුරාම තියෙන්නේ මගේ ළමා කාලය. මට දුවලා දෙන්නෙක් එතකොට හිටියේ පුතා පස්සේ හම්බුනේ. ඒ දුවලා දෙන්නා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති කරනකොට සුදු පාටට ගවුම් අන්දලා ලෑස්ති කරනකොට මට මතක් වෙනවා මගේ ඉස්කෝලේ ගමන. අපිට එහෙම සුදු පාට ඇඳුම් කියලා එකක් තිබුණේ නෑ. අපි ඉතිං අහුවෙච්ච එකක් ඇඳන් තමයි මම ඉස්කෝලේ ගියේ. මුල් කාලේ මං ඉස්කෝලේ ඇන්දේ සරමක්. හුඟක් වෙලාවට ඉස්කෝලේ අරලිය ගහයට හෙවනේ තමයි අපිට ඉගැන්නුවේ. මොකද ශාලා ඒකයි තිබුනේ. තව එකක් තිබුණා පොල් අතු වලින් හෙවිල්ලලා. ඔය දෙකේ උගන්වන්න ගියාම සද්දේ වැඩි නිසා අපිව එක්කගෙන යනවා අරලිය ගහ යටට. වැස්සට ඉස්කෝලෙට දුවගෙන එනවා. පායන දවස්වලට අරලිය ගහ හෙවනට යනවා. ඔහොම තමයි අපි ඉගෙනගත්තේ. අපට පුටුත් මදි. අපි පුටු දෙකක් එකට තියලා තුන්දෙනෙක් ඉඳ ගන්නවා. එක්කෝ බංකුවේ මේ කෙරෝලේ ඉඳන් ඒ කෙරවලටම කට්ටිය වාඩිවෙලා ඉන්නවා. "එක පුටුවක වාඩිවෙලා එක පැන්සල දෙකට කඩන් අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ" කියල ලියවුණේ ඒ මතකයන්. දරුවා පිළිබඳ ලියවුණ ගීතයක් හින්දා දරුවා ගැන තියෙන බලාපොරොත්තුව මං නොදුටුව නව ලෝකය කිරුළ පැළඳ රැජින වෙලා කියලා මං ලිව්වා. රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට දීපිකා ප්‍රියදර්ශනී මේ ගීතය අලංකාරව ගායනා කළා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...