Wednesday, February 17, 2021

සූසැට බරණින් සැරසීලා ...

සූසැට බරණින් සැරසීලා

නා කපනා වැහි වැටෙන වෙලේ

විසාකා තුමෝ පැමිණි විලාසෙන්

මට එන්නට බෑ නිසංසලේ .........//


පමා වූණෝතින් මන්දාරම් යකු

පලාපු දර ටික තෙමා දමාවී

පමා වූණෝතින් රත්තියි පැටියයි

ඕවිට අයිනේ තෙමී නැහේවී


සූසැට බරණින්.....


පමා වුණොත් දොළ දෙගොඩ තලාලා

ඒදඬු මංකඩ අගුලු දමාවී

එහෙම වූණෝතින් උපුලියි වූටියි

කදුළු වතුර බී බලා ඉඳිවී


සූසැට බරණින්....


ගායනාව : නීලා වික්‍රමසිංහ

පද රචනය : ජයරත්න ගමගේ

තනුව : වික්ටර් රත්නායක


”සූ සැට බරණින් සැරසීලා” ගීතය, ගැයුණු දා පටන් අද දක්වාම ඇති මහත් ජනාදරයට පත් සුවිශේෂී ගීතයක්?


ජයරත්න ගමගේ මහතා අදහස් දක්වමින් "මේ ගීතය මං ලිව්වේ 74 විතර. මට අවුරුදු විස්සක් විතර වයසේදී. එතකොට මම ඒ වයසේ අනිත් ළමයින්ට වැඩිය පොඞ්ඩක් එහාට ගිහිල්ලා හිටියේ. අවුරුදු දහසය දහ හත කාලේම දේශීයත්වය, ලංකාවේ ඉතිහාසය, මිනිසුන්ගේ සහ දේශපාලන ප‍්‍රශ්න පිළිබඳ මගේ උනන්දුවක් තිබුණා. ඒ පසුබිමේ ජාත්‍යන්තර කාන්තා වර්ෂය ප‍්‍රකාශයට පත් කළා. ඒ වගේම අපේ ගම්බද කාන්තාවෝ ඒ කාලේ බොහෝවිට රැකියාවකට ගියේ නැහැ. පුරුෂ පක්ෂයෙන් ගෙදරට අවශ්‍ය සැපයීම් කළා. කාන්තාවෝ සම්පූර්ණ ගෙදර දොර කටයුතු බලාගත්තා. ඔවුන්ට ලොකු වැඩ කොටසක් තිබුණා. ඔවුන් දර කඩා ගන්න ඕන, වතුර ගේන්න ඕන, වී ටික වේල ගන්න ඕන. එතකොට දරු මල්ලන් බලා ගන්න ඕන, තව ඒ හා සම්බන්ධ අනිත් අය ගේ කටයුතු කරන්නත් ඕන. එහෙම පසුබිමක ඒ කාන්තාවෝ හුඟක් කාර්ය බහුලව, අධික විදිහට ශ‍්‍රමය වැය කරමින් ජීවත් වුණා. විනෝද වෙන්න කියලා දැන් තියෙන විනෝද මාධ්‍ය මුකුත් තිබුණෙත් නෑ. එතකොට එහෙම පරිසරයක හිටපු කාන්තාවන්ගේ ජීවිතයයි නාගරික ඇති හැකි කාන්තාවන්ගේ ජීවිතයි අතර සංසන්දනයක් තිබුණා මගේ හිතේ. ඒ සංසන්දනය තමයි මේ ලියවුණේ. පොඩි කාලේ දහම් පාසල් එහෙම ගියාම විශාඛාවන්ගේ ස්වරූපය, ඇය අර මහා මේල පළඳනාව ඇතුළු හුඟක් ආභරණ පැළඳගෙන මහා වැස්සක් වහින වෙලාවේ ජේතවනාරාමයට බොහොම සන්සුන් ගමනින් ආවා කියලා කියනවා. එතුමියට ප‍්‍රශ්නයක් නැහැ. තෙමි තෙමි ආවෙත් භක්තිය නිසා වෙන්නත් ඇති සමහරවිට. නමුත් ඒ හා සමාන චර්යාවක් හැසිරීමක් දරන්න පුළුවන් කමක් නැහැ අපේ ඒ කාලේ ගම්බද හිටපු කාන්තාවන්ට. ඔවුන්ට නොයෙකුත් රාජකාරී. ඉතිං ඔය ඔක්කොම කල්පනා වෙද්දී මගේ ඔලූවට ආවා ඒ වචන ටික. ඊටපස්සේ විනාඩි කිහිපයකින් මං ගීතය ලියලා අවසන් කළා.


කාට දෙන්නද ගීතය රචනා කළේ?


ඉස්සෙල්ලම නං ගීතයක් හැටියට ලියලා තිබ්බ එක විතරයි කළේ. මොකද මාව කව්රුවත් දන්නෙත් නෑ ඒ කාලේ. හැබැයි පසු කාලයේ මම ඔය ලියන ගීත තුන හතර එක්කහු කරලා ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන්ට තැපැල් කළා. කව්රුත් ඒවා ගත්ත හැඩක් තිබුණේ නෑ. දවසක් අහම්බෙන් ඉරිදා පත්තරේක නීලා වික‍්‍රමසිංහගේ පින්තූරයක් ලොකුවට තිබ්බා ඇය ගැන විස්තරයකුත් එක්ක. ඇය එතකොට මං හිතන්නේ අරුන්දතියේ සංගීතය ඉගෙන ගන්නවා. ඒ ගමන මං ඇයගේ ලිපිනය හොයාගෙන යැව්වා මේ ගීතයයි තව දෙක තුනකුයි. මේ ගීතය ඇය අරං තිබුණා නව පද මාලා කියන වැඩසටහනට. වික්ටර් රත්නායකයන් තමයි සංගීතය නිර්මාණය කරලා තිබුණේ.


ඒ කාලේ ඔය ගුවන් විදුලි සංස්ථාවේ ගීත අනුමත මණ්ඩලයෙන් ගීතයක් අනුමත උනාම රුපියල් තිස් දෙකයි පනහක් ද කොහෙද ගෙව්වා මට මතක විදිහට. මට ඒ මුදල ගෙනත් දුන්නෙත් ප‍්‍රියානන්ද විජේසුන්දර මහත්මයා.


සූ සැට බරණින් ප‍්‍රචාරය වූ මුල්ම දවසේ ගීතය අහන්න ලැබුණද?


ඔව්. නීලා වික‍්‍රමසිංහ මහත්මිය මට ලියුමක් එවලා තිබුණා අහවල් දවසේ ප‍්‍රචාරය වෙනවා කියලා. මේ කාරණාව දැනගත්තහම මම හිතපු දේකට පිළි ගැනීමක් ලැබුණා කියලා හැඟීමක් ආවා. ආඩම්බරයක් නෙමෙයි, ඒක ගැන යම්කිසි ප‍්‍රසාදයක් ඇතිවුණා කියන්න පුළුවන් ඒ වයසේදී.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Friday, February 12, 2021

ආදරේ මැණිකේගේ ආදරේ..

 රණට පැහෙන රන්වන් කෙත මැද්දෙ මේ, දුනුකෙයියා මල සේ රං මැණිකේ මගේ


ආදරේ මැණිකේගේ ආදරේ..//


සිහින මල් පිපි සැලේ

සිනිදු සේලයන් දිගේ

පා තබා කොහේද යන්නෙ

මැණිකේ මේ උදේ

ආදරේ මැණිකෙගේ ආදරේ 


අතට ගිගිරි වළලු මිනි කිකිණි නාද දේ

ඒ හඬින් සැලේවි මිහිර මහද ආදරේ

ආදරේ මැණිකෙගේ ආදරේ 


කෙතක මහිම දුටුවා නිල් ගොයම හා දිලි

වතක මහිම දුටුවා නෙත් යුවල හා වෙලී

ආදරේ.


ආදරේ මැණිකෙගේ ආදරේ 


ගායනය - එච්.ආර්. ජෝතිපාල 

පදරචනය - ප්‍රේමකීර්ති ද අල්ව්ස් 


ඒකනායක මුදියන්සේලාගෙ කොයින් මැණිකේ කොත්මලේ පදිංචිකාරිනියක්. විවාහක කාන්තාවක වූ මැනිකේ එච්.ආර්. ජෝතිපාලයන්ගෙ කට හඬට වශිවෙලා හිටියේ. ඒ වනවිට පිරිමි දරුවන් තුන් දෙනෙක්ගෙ මවක් වූ කොයින් මැණිකෙ දරුවන් ඉන්න කාන්තාවක් යැයි කිව නොහැකි තරමේ සුන්දර රූ සපුවකින් යුතු යොවුන් විනෝදකාමි කාන්තාවක් වූවාය. අතිතයේ දවසක කොළඹ පැවති සංගීත සංදර්ශණයක් නරඹන්න කොයින් මැණිකේ ගොස් තිබුනේ එච්.ආර්. ජෝතිපාලගේ ගැයුම් අහන්ටමය.


ඒ හදවත රත්තං ජෝති දකින්න ඔහුගෙ ගී අහන්න කොයින් මැණිකේ කොළඹ ගොස් තිබුනේ තමන්ගෙ කුඩා පිරිමි දරුවන් තිදෙනාද කැටුවමය. ප්‍රසංග වේදිකා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී තිබූ එදා පිරිස අතර තෙරපී වේදිකාව සමීපයට කෙසේ හෝ පැමිණි මැණිකේ ජෝතිපාල ගී ගයන අයුරු වශී වී බලා සිට ඇත. ඒ උත්තුංග දේහදාරි පුරුෂයා දෙස ඕ බලාසිට ගී ගයා වේදිකාවෙන් බසිනවාත් සමග දුවගොස් ජෝතිපාල අසල නැවති ඇත. සුරූපි නොනැසුන යෞවනය සහිත මේ ගැහැණිය දුටු මොහොතේම එච්.ආර්. ජෝතිපාලගෙ ඇසද ඈ අසල නැවති ඇත. දෛවයේ ඒ මුන ගැස්සීම එක වහලක්‍ යට පවුල් කන තැනටම දුර දිග යන්ට වැඩි කලක් ගත නොවිය .


මේ ප්‍රේම සබඳතාවට පැවති බාධක හෝ මේ ප්‍රේමය නිසා හටගත් බාධක ජෝති - මැණිකේ යුවල තඹයකට නොසලකා තිබිණ. එවකට ජෝතිපාල විවාහවී දියණියන් සිව් දෙනෙකුගෙ පියෙකු වී සිටි අතර එය හෝ කොයින් මැණිකේ විවාහවී පිරිමි දරුවන් තිදෙනෙකුගෙ මවක්ව සිටීම යන කිසිවක් මේ පෙම් කතාවේදි ඔව්හු බාධාවක් කරගෙන නොතිබිනි.


එච්.ආර්.ජෝතිපාල තමන් පදිංචිව සිටි මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවස අතැර කොයින් මැණිකේ සමග කොත්මලේ පදිංචියට ගොස් ඇත.ඉතා කෙටි කලකින් කොයින් මැණිකේද කැටුව මාලිගාවත්තද ජෝති පැමිණ තිබේ. පසුව කඩිනම් මහවැලි ව්‍යාපෘතියට කොයින් මැණිකේගෙ කොත්මලෙ ඉඩම රජය පවරා ගැනීමත් සමග ඒ වෙනුවෙන් ආනුරාධපුර තබුත්තේගමින් මහවැලි කුඹුරු ඉඩමක් කොයින් මැණිකේට හිමිව ඇත.


තඹුත්තේගමදී මැණිකේ සමඟ ජීවත් වූ කාලයෙ ඔහුගෙ කාර් එකේ පිටුපස සුමිතුරෝ චිත්‍රපටයෙ ප්‍රචාරක දැන්වීමක්ද අලවා තිබී ඇත. මැණිකේ සමඟ ගොවි ගම්මානයක ජෝති ගතකල ප්‍රේමවන්ත ජීවිතය හා මැණිකේගෙ ආදරය හේතුවෙන් ඒ අරඹයා ජෝතිගෙ හඬින් ගැයුන කදිම ගී ගොන්නක්ම සිංහල ගී ප්‍රේමීන්ට ඉතිරි වී තිබේ.


ප්‍රේමකීර්තිද අල්විස්ට කියා රචනා කරවා ගෙන මැණිකේ ගැන එච්.ආර්.ජෝතිපාල ගැයූ ‘ආදරේ මැණිකේගෙ ආදරේ ගීතය ආරම්භ  වන්නෙ සංගීත ආරම්භයට ප්‍රථම කවි ස්වරයෙන්


“රණට පැහෙන රන්වන් කෙත මැද්දෙ මේ, දුනුකෙයියා මල සේ රං මැණිකේ මගේ’ ලෙසය.


එකල ප්‍රසංග සඳහා ජෝති මැණිකේද කැටුව ගොස් ඇති බැවින් ද කලක් මැණිකෙ සමග මාලිගාවත්ත මහල් නිවාසයේද මැණිකේ ජීවත්ව ඇති බැවින් බොහො විට එකල ප්‍රේමකිර්තිද අල්විස් සියැසින් මැණිකේ දැක තිබෙන්නට ඉඩ තිබේ. ජෝති මැණිකේ ප්‍රේමය ගැන වැටහීමක් ප්‍රේමකීර්තිද අල්විස්ට තිබෙන්නට ඇත. ඔහු මැණිකේ ගැන ජෝතිට ලියා දෙන්නෙ මෙසේය.


“ආදරේ මැණිකේගේ ආදරේ..//


සිහින මල් පිපි සැලේ

සිනිදු සේලයන් දිගේ

පා තබා කොහේද යන්නෙ

මැණිකේ මේ උදේ


අතට ගිගිරි වළලු මිනි කිකිණි නාද දේ

ඒ හඬින් සැලේවි මිහිර මහද ආදරේ

කෙතක මහිම දුටුවා නිල් ගොයම හා දිලි

වතක මහිම දුටුවා නෙත් යුවල හා වෙලී

ආදරේ.


මැණිකේ ගේ ආදරේ “


ජොතී තඹුත්තේගම නිවසේ ඉන්නා දිනයන්හි ගමේ තරුණයන් හැන්දෑවේ එනිවසේ පැයක් හමාරක් ගත කරන්නට අමතක කර නැත. ජෝතී දකින්නට නිතර මේ නිවසට පැමිණ තිබේ. එයින් ජෝතිගෙ මේ නිවස ප්‍රකට වන්නට වැඩි කලක් ගොස් නැත.


ජෝති මැණිකේ යුග ජීවිතය ගත වූ හැටි සහ ජෝති කෙතරම් මැණීකෙට පෙම් කලාදැයි ජෝති මැණිකේ වෙනුවෙන් ගැයූ ගී ශාක්ෂි සපයයි. ඒ ගී එදාද අදද රසික ජනයාගෙ නොමද ආදරයට ලක්ව මුව මුව රැව් දුන්නද ඒවා ජෝති විසින් මැණිකේ සම්බන්ධයෙන් ගැයූ ලෙස පුද්ගලිකව දැකීමෙදි ඇතිවන හැඟීම සපුරා වෙනස්‍ ය.


ජෝති මැනිකේ ආදර කතාවේ නොරිස්සුම් සහ සිත් රිදීම් රැසක් තිබෙන්ට ඇත. දෙදෙනාම වෙනත් විවාහයක සිට එක් වූවෝය. ජෝතිව නිත්‍යානූකූලමව තමන් සතු කරගන්ට ඇතැම් විට මැණිකේට අදහසක් තිබෙන්නටද ඇත.


එච්.ආර්.ජෝතිපාල හෙවත් මෙරට සංගීත ප්‍රේමීන්ගෙ හදවත රත්තරං ජෝතීගෙ හදවත සොරාගත් මැණිකේ ලඟ නතරව ජීවිතය මැණිකේ සමගම ගෙවන්නට වීමේ ආදරයෙ ප්‍රතිඵලය ලෙස ඔවුනට 1982 සැපතැම්බර් 15 වැනිදා කොළඹ සොයිසා රෝහලේදි දුවක ඉපැදින. ජෝති විසින් ඈට නම තබන ලද්දෙ මිහිරි නිසංසලා ජෝතිපාල ලෙසය. ජෝති මිහිරී දුවට අතිශය ප්‍රේමයෙන් සිට ඇත. එදවස අත තිබූ මුදල් යොදවා මිහිරි නිසංසලා දුව වෙනුවෙන් ජෝති බැංකු ගිණුමක්ද ආරම්භ කර ඇත. ජෝති “මගේ නිසංසලා දුවේ ,, ගීතයත්, “මිහිරි මිහිරි දුවේ මිහිරි” ගීතයත් ගායනා කර ඇත්තේ මිහිරි නිසංසලා දියණිය වෙනුවෙනි.


තම පෙම්බර මැණිකේගෙ පැරණි විවාහයෙ පුතුන් තිදෙනාටද පියෙකු වූ ජෝති ඔවුන්ගේ අධ්‍යපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විය හියදම් දැරීම් ඉතා ඕනෑ කමින් සිදුකර තිබේ.


ජෝතිගේත් මැණිකේත් පෙම් කතාව පමණක් නොව ජීවිත කාලයද නිමාව ගොස් ඇත.ජෝතී මිය ගියදා තඹුත්තේගම සිට තනිව ජෝතිගෙ දේහය දකින්නට කොළඹට ගොස් ඇති මැණිකේට සෙනඟ පෝලිමේ සිට තප්පර කීපයක් දේහය දකින්නට පමණක් අවස්ථාව ලැබී ඇත. ජෝතී ගී ප්‍රේමීන් කිසිවෙක් නොදැන හුදකලාව ජෝතිගෙ පෙම්බරිය මැණිකේ ද මෙලොවින් නික්ම ගොස්ය.


“තාත්තා අම්මා වෙනුවෙන් ගැයූ අම්මා කැමතිම සිංදුව අජන්තා රණසිංහ මහත්තය ලියපු ‘නින්ද නේන රාත්‍රියේ. තාත්තා අම්මාට මැණිකේ කියනව වගේම කාන්ති කියලත් කතා කලා.


(උපුටා ගැනීම - අරුණ)




අපි කවුරුද ...

සී සී කඩ විසිරුණු සිතිවිලි

දිය බුබුලේ නළියන පෙන කැටි වාගේ

නැති වෑ

හුදෙකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුණා

වගේ නිමක්‌ නෑ


මොහොතින් මොහොතට

ගෙවෙනා කාලය

දැනෙනවා තාමත් එක විදිහට

ගිනියම් ඉර සඳ සිසිලස

අතරේ හොයනවා හොයනවා

මේ අපි කවුරුද


ගීයකි ලොව සිතුවම් කළ

අතරේ අහනවා බලනවා

මේ අපි කවුරුද

ඉර බැස යන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ

ගලා හැලෙන රිද්මේ

නැහැවී ඇදී යන්නේ

ඈතින් ඈතට පාවී සුළඟ සේ


පද රචනය/

තනුව - සේනක බටගොඩ

ගායනය - වායෝ


අපි කවුද කියලා සමහරවිට අපිවත් දන්නෙ නැහැ. අපි තවමත් අපිව හොයනවා. අපි ජීවත් වෙන්නේ මේ මොහොතෙ විතරයි. හෙටක්‌ ගැන හිතනවද මන්දා මේ මොහොතේ ජීවත් වෙමින් අපි අපිවම හොයනවා.


සී සී කඩ විසිරුනු සිතුවිලි

දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ නැති වෑ

හුදෙකලාවෙ තනිවී සිටියම

සිහින ආකරේක වැටුනා වගේ නිමක්‌ නෑ


අපේ සිතුම් පැතුම්, සිතුවිලි හැම තැනම විසිරිලා හිත එක තැනක නැහැ. හරියට දිය බුබුලක නලියන පෙණ වගේ. ඒවා ඇතිවෙනවා නැති වෙනවා. හරියට අපේ සිතිවිලි වගේ. තනිව සිටිද්දී අපි සිහින ලෝක අතර අතරමං වෙනවා. ඒ හීන ඉවරයක්‌ වෙන්නේ නැහැ. හීන ආකාරයක්‌.


අමුතුම ගීයක්‌... ගයන්නේත් අමුතුම තාලෙකට සංගීත කණ්‌ඩායමක්‌. කණ්‌ඩායමේ නමත් අමුතුයි. වායෝ, සංගීත් විඡේසූරියගේ මූලිකත්වයෙන් හැදුන බෑන්ඩ් එකක්‌. බෑන්ඩ් එකේ හැම කෙනෙක්‌ම වගේ ගීයට වාදනයෙන් වගේම ගායනයෙනුත් එකතු වෙනවා. සිංදුව ලියුවේ සේනක බටගොඩ තනුවත් සේනකගේ.


බොහොම සරල වචන ටිකක්‌. සරල දෙයක්‌ ගැනයි කතා කරන්නේ. අපි කවුද කියල තමයි විමසන්නේ. සේනක පැවසුවා.


මොහොතින් මොහොතට ගෙවෙනා කාලය

දැනෙනවා කාටත් එක විදිහට

ගිනියම් ඉර සඳ සිසිලස

අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද...


කාලය තත්ත්පරෙන් තත්ත්පරය ගෙවිලා යනවා. එය හැම කෙනකුටම එක විදිහයි. හිරුගේ රශ්මිය, සඳුගේ සිහිලස මේවා අතරේත් අපි හොයන්නේ අපිවමයි. ඇත්තටම අපි කවුරුද කියලා තමයි මේ හොයන්නේ.


මේක හරියට ෆැන්ටසියක්‌. ඕනම කෙනකුට තමන්ට රිසි සේ මේ ගීයත් එක්‌ක ඒ ෆැන්ටසිය විඳින්න පුළුවන්.


මම වෘත්තියෙන් සංගීත ශිල්පියෙක්‌. මියුසික්‌ තමයි මගේ රස්‌සාව. මම තවත් සිංදු කීපයක්‌ම කරලා තියෙනවා. කාලයක්‌ මමත් බෑන්ඩ්වල හිටියා. ඒ වෙස්‌ටර්න් බෑන්ඩ්... වායෝ ගයන මේ ගීය සෑහෙන ජනප්‍රිය වෙමින් තියෙනවා.


ගීයකි ලොව සිතුවම් කළ

අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ඉර බැස යන ගොම්මන් යාමේ

තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ

ගලා හැලෙන රිද්මේ නැහැවී ඇදී යන්නේ

ඈතින් ඈතට පාවී සුළඟ සේ...


මේ ලෝකයම ගීයක්‌... පාට පාටින් සිතුවම් කළ ගීයක්‌. පාට පිරුණු ලෝකයක්‌. ඒ අතුරෙන් අපි හොයන්නේ බලන්නේ අපි කවුරුද කියලා තමයි. ඉර බැස යනවා. ගොම්මන ළඟා වෙනවා. ආකාසේ තරුවක්‌ දෙකක්‌ දිළිසෙන්න පටන් ගන්නවා. ඒත් ආකාසය අන්ධකාරයි. කලුම කලු පාටයි. අන්ධකාර අහසේ තරු එක දෙක දිලිසෙද්දී ලස්‌සන පාට පාට ගීයේ රිද්මය ගලාහැලෙනවා. ඒ රිද්මයෙන් අපේ සිතිවිලි තෙමී නැහැවෙමින් ඈතට ඈතට පාවෙලා යනවා... හරියට හුළඟක්‌ වගේ.


ගීය අපට දෙන්නේ ඔය වගේ අරුතක්‌. අපේ ජීවිතය ගැන සැහැල්ලුවෙන් කියන ගී පද පෙළක්‌. අමුත්තක්‌ දැනෙනවා. ඒ අමුත්ත විඳගන්න ඔබටත් හැකිවේවි.

මෙම ගීතයේ මුල් අයිතිකරුවා පිළිබදව අදටත් බොහෝ දෙනෙකු හරි හැටි දන්නේ නැහැ.විශේෂයෙන් රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය තුල ඔහුගේ ගීත ප්‍රචාරය නොවීම ඊට හේතු විය හැක.ඉතින් එතරම් ප්‍රසිද්ධ නැති නමුත් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට පහල වූ අග්‍රගන්‍ය මාණික්‍යයක් බදු වූ ඔහු නමින් සේනක බටගොඩයි. "Pace" නමින් ඔහුගේම සංගීත කණ්ඩායමක් ගොඩ න⁣ගාගෙන සිටින සේනක බටගොඩයන්ගේ සංගීත ශෛලිය Classic Rock ආරට අයත් වේ.ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙන් පසුව "සිංහල classic rock" ශෛලිය තුල බිහි වූ දක්ෂතම කලාකරුවා සේනක බටගොඩ බවට හැගී යන්නේ ඔහු ගායනයට මෙන්ම පද රචනයට සහ තනු නිර්මාණයටද එක ලෙසින් දස්කම් පෑම නිසාමය්.ඔහුගේ හඩ පරාසය සහ ගායන විලාශය "Elton John" සහ "Bob Seger " යන ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවන් හා සම මට්ටමක පැවතීම සැබැවින්ම විශ්මයජනකය. ඔහුගේ ගීත බොහොමයක් දැකගත හැකි වන්නේ අන්තර්ජාල මාධ්‍ය⁣ තුල පමණි. කොටින්ම ඔහුගේ බොහොමයක් ගීත වලට රූප රචනා පවා නොමැත. වායෝ සංගීත කණ්ඩායම "අපි කව්රුද ගීතය 2012 දි නිකුත් කලද සේනකයන් එය පටිගත කල ගීතයක් ලෙස මුල්වරට අන්තර්ජාලයට නිකුත් කරන්නේ 2015 දීය.ඔහුගේ දක්ෂතාවයේ තරමට ඔහු ප්‍රසිද්ධ නොවීමට එයද හේතුවක් විය හැක. නමුත් ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත වල අර්ථ රසය සහ ශබ්ද රසය වචන වලින් කියා නිමකල නොහැකි තරමටම සුන්දරය. ඒ හේතුව නිසාම ඔහුගේ බොහෝමයක් නිර්මාණ අමු අමුවේම අනුකරණය කිරීමට අපේ රටේ සමහර ශිල්පීන් උත්සාහ දරය්.ඒ කරුණ නිසාම බටගොඩයන් විසින් නිර්මාණය කරන ලද සමහර ගීත වල සැබෑ උරුම කරුවා ඔහු බවට බොහෝ දෙනෙකු නොදැන සිටීම කණගාටුවට කරුණකි.


(උපුටා ගැනීම - අජිත් අලහකෝන්/දිවයින හා loveme.blog)









Tuesday, February 9, 2021

කඳුළු දෙන්න මට හඬන්න ...

කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න ...//


හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න

මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න


ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න

මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න


කඳුළු දෙන්න මට හඬන්න

සත් සමුදුරු ගොඩ ගලන්න

සුසුම් දෙන්න මට හෙළන්න

සක්වල ගල සසල වන්න ...//


ගායනය - සුනිල් එදිරිසිංහ

පද - ජයරත්න ගමගේ

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී සින්ග්ලංකා ලේබලයෙන් නිකුත්වූ "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා.


කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩගලන්න” හදවතින් හදවතට බැඳුණු ගීතයක්?


මේ ගීතය පිළිබඳව ජයරත්න ගමගේ මහතා අදහස් දක්වමින් "80 දශකය මුල් හරියේ ලියූ ගීතයක්. මගේ හොඳ හිතවතෙක් හිටියා මිනිහත් නිකං මගේ ජාතියේ වගේ ටිකක් වෙනස් චින්තනයක් තියෙන කෙනෙක්. වයස විසි ගණන්වල හිටියේ ඒ වෙනකොට. එයත් ටිකක් සම්ප‍්‍රදායික දේවල් අමුතු ඇහැකින් බලන කෙනෙක්. ශාරීරිකව ඔහු කඩවසම් කෙනෙක් නෙමෙයි. කැපී පෙනෙන ස්වරූපයක් නැහැ. මිනිහා ඕක එච්චර ගණන් ගත්තේ නැහැ. බුද්ධියට තමයි තැන දුන්නේ. ආදරයට පේ‍්‍රමයට බොහොම කැමති කෙනෙක්. ඉතිං ඔහු ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ පෞද්ගලික විස්තර මට කියලා තිබුණා. වරක් ඒගොල්ලෝ මේ කොහේ හරි පාක් එකක ගිහිල්ලා දෙන්නා කතා බහ කර කර ඉද්දී ඒ ගෑනු ළමයා අතින් කියවිලා තියෙනවා සාමාන්‍යයෙන් කඩවසම් දඟකාර විනෝදකාමී තරුණයින්ට යුවතියන්ගේ ආකර්ෂණය වැඩියි කියලා. අර මගේ යාලූවා මෙච්චර කල් හිතලා තියෙන්නේ මෙයාගේ මොලේටයි මේ සැලකිල්ල හම්බවෙන්නේ කියලා. ගෑනු ළමයා මගේ යාළුවව පහත් කරන්න හිතලා කියපු දෙයක් නෙමෙයි. මොකක්හරි කතාවකදී කියපු දෙයක්. නමුත් මගේ යාළුවට මේකට බොහොම තදින් හිත රිදුනා. එතකොට මං මාදින්නාගොඩ හිටියේ බෝඩිමක. පස්සේ රාජගිරියේ පැත්තේ තැබෑරුමකට ගිහිල්ලා මාත් එක්ක මිනිහා පැය කාලක් විතරම සද්ද නැතුව හිටියා. පළමු වටය අවසාන වෙද්දී මිනිහා කියන්න ගත්තා වෙච්ච සිද්ධිය. වෙච්ච දේ කියලා ඔහු මට කිව්වා ඔහුට ලොකු ආත්මානුකම්පාවක් ඇතිවුණා කියලා. එහෙම කියලා ඔහු අඬන්න පටන් ගත්තා. ඇත්තටම මගෙත් ඇස්වලට කඳුළු ආවා. එවේලේ මගේ යාළුවා මට කිව්වා ”මං අඬනවා මගේ කඳුළු ඉවරවුණාම උඹේ කඳුළුත් මට දියන් අඬන්න” කියලා. එසැනින් කඳුළු දෙන්න මට අඬන්න කියන වචන ටික මගේ ඔලූවට ආවා. ටිකකින් ඔහු ඔහුගේ නවාතැනට ගියා මම මගේ නවාතැනට ගියා. දැන් අර සිද්ධියයි වචන ටිකයි මගේ ඔලූවේ කැරකෙනවා. ? දොළහට විතර මං එළියට ඇවිල්ලා ඉන්නකොට බොහොම පාලූයි, අඩ හඳකුත් තිබුණා අහසේ, ඒ තිබිච්ච වට පිටාවයි, ඇතිවෙච්ච සිද්ධියයි, මානසික කැළඹීමයි ඒ සියල්ලෙන් තමයි මේ ගීතය උත්පාදනය වුණේ. ඒ වෙලාවේම මං මේ ගීතය ලිව්වා. හරි සැහැල්ලූවක් දැනුනා ලියලා ඉවරවුණාම. පහුවදා පොඞ්ඩක් සංස්කරණය කළා. ඔය කොළඹ ඉන්දැද්දී මට ගුවන්විදුලියට යන යාළුවො කිහිපදෙනක් හම්බුණා. කමල් දේශප‍්‍රිය, සුසන්ත අමරසිරි, රානි පෙරේරා මහත්මියගේ පුතෙක් හිටියා චන්දන පෙරේරා කියලා. බණ්ඩාර කියලා තව යාළුවෙක් හිටියා එයා තමයි ඕක සුනිල් එදිරිසිංහට ගිහිං දීලා තිබුණේ. ඒ කාලේම අපි විසිරිලා ගියා සම්බන්ධකම් නැතිවුණා දැන් ඒගොල්ලෝ කොහේ ඉන්නවද දන්නෙ නෑ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)







දූවිලි දූවිලි දූවිලි ...

 දූවිලි දූවිලි දූවිලි දූවිලි


දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ //


වෙණ වයනා මිනිස්සුන්ට

වීණාවක් ගෙනත් දෙන්න //

දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ


ගී ගයනා මිනිස්සුන්ට

පැන් කළයක් ගෙනත් දෙන්න

දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ


ගී අහන්න මිනිස්සුන්ට

පන් පැදුරක් එළා දෙන්න //

දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ


දූවිල්ලෙන් සැදුණ ලියේ

බාලොලියේ බාල ලියේ //


දූවිලි දූවිලි දූවිලි දූවිලි


ගායනය – ප්‍රදීපා ධර්මදාස

පද රචනය - ජයන්ත චන්ද්‍රසිරි

තනුව හා සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ඔබ මුලින්ම රචනා කළේ වෙද හාමිනේ ටෙලි නාට්‍ය ගීතය?


ජයන්ත චන්ද්‍රසිරි මහතා අදහස් දක්වමින් "කාලය ගතවෙලා මං වෙදහාමිනේ ටෙලි නාට්‍යය කරන කොට ඒ නාට්‍ය තුළ යටින් යන එක ගීතයක් තියෙනවා. චිත‍්‍රපට වලට ටෙලි නාට්‍යවලට ගීත ලියනකොට ඉතාම ප‍්‍රකට ගීත රචකයන් පවා ලියන්න ඕන මේ කෘතියේ කර්තෘට ඕන ගීතය. වෙන එකක් ලියන්න බෑ. කෘතියේ කර්තෘවරයා ගේ රචකයා එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයා අදහස අනුව මට මෙන්න මෙහෙම එකක් ලියලා දෙන්න කියලා කිව්වම ඒ අනුව තමයි ලියන්නේ. වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ කර්තෘවරයා මමමනේ. මම හිතුවේ නෑ කොයි වෙලාවකවත් සිංදුවක් ලියන්න. මම හරි ආසා ගීත රචකයෝ ඉන්නවා. ඉතිං මම මගේ සංගීතඥයා ආචාර්ය කේමදාසයන්ට මේ සිද්ධිය විස්තර කළා. 1950 දශකයේ සංගීත අධ්‍යාපනය පාසල් විෂය මාලාවට එකතු වෙච්ච කාලය ඔය. ඉතාම ගම්බද පාසල්වලට පවා සංගීතය විෂයක් විදිහට ඉගැන්වීම ගියා. හුඟක් වෙලාවට ගුරුවරියෝ තමයි සංගීත පාඩම් ඉගැන්නුවේ. නගරයෙන් එන ගුණේන්ද්‍ර සහ ඔහුගේ මිතුරා සුවය පතා වෙද මහත්තයා හම්බවෙන්න ඉතාම දුෂ්කර ගම්මානයකට එන ගමනේ දී ඔවුන්ට ඉස්සෙල්ලාම ශ‍්‍රවණය වන්නේ වෙද මහත්තයාගේ දියණිය මංගලී ගුරුවරිය පාසලේ ගහක් යට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ගීතයක් ගායනා කරමින් ඉන්න අවස්ථාව. මට මෙතන හිතුනේ අර වෙද හාමිනේගේ මනෝභාවයන් එක්තරා ආකාරයකින් ප‍්‍රකාශයට පත්කරන අවස්ථාවකුත් විය හැකියි කියලා මේ අවස්ථාව. එකක් තමා තිරයේත් අපි ඇයව දකින මුල්ම අවස්ථාව. මං මේ කාරණා කේමදාසයන්ට කිව්වා. මට මෙන්න මෙහෙම ඕන. මේකේ මෙන්න මේ ආකාරයේ තාලයක් තිබුණොත් හොඳයි. මං එහෙමත් කිව්වා. ඊළඟට සංගීත අධ්‍යාපනය ගැන මගේ රිසර්ච් එක මං කිව්වා ඒ කාලේ. මේ සිංදුව ලියන්න මගේ ඔලූවේ හිටියා බොහොම ප‍්‍රකට ගීත රචකයෝ කිහිප දෙනෙක්. මට අවශ්‍ය වුණා ඒ කෙනෙක් ලවා මේ ගීතය ලියවා ගන්න. මං ඒක කියන්න තමයි මාස්ටර්ට මේක කිව්වේ. මං ඒ කාලේ ප‍්‍රසිද්ධ නෑනේ. මං හිතුවා කේමදාසයන් ලව්වා මේක කියෙව්වොත් ගීත රචකයෙක් ඉක්මනට මේක ලියලා දෙයි කියලා. අපිව අඳුනන්නේ නෑනේ ඒ කාලේ කව්රුත්. ඉතිං කේමදාසයන් ලවා කියවගන්න අදහසින් මම ඒක කිව්වා. මං නම් කිහිපයකුත් කිව්වා, අහවලා, අහවලා අහවලා ලව්වා පුළුවන් නං මේක ලියන්න හොඳයි කියලා.


* ඔහු ඔබට මොකද කිව්වේ?


කේමදාසයන් කිව්වා මොන පිස්සුද මේක ලියන්න ඕන ඔයා කියලා. ඔයා ඔය මට කියපු විස්තරේ ලියන්න බෑ කාටවත්. මේක ඔයා ලියන්න ඕන කිව්වා. මං කිව්වා මට සිංදු ලියන්න බෑ; මම සිංදු ලියලා නැහැ කියලා. ඊළඟට වෙච්ච දේ තමයි ඔහු කිව්වා මට දැන් ගීතය ලියන්න කියලා. මොයිසක්කා කියලා මාස්ටර්ගේ ගෙදර උදව්වට හිටපු එන හැමෝටම සංග‍්‍රහ සත්කාර කරන සේවිකාවට කතා කරලා කිව්වා මේන් මේ මහත්තයට තේකක් ගේන්න කියලා. ඔයා වාඩි වෙන්න ඔය මේසේ කියලා කෑම මේසේ පෙන්වලා මට ලියන්න කියලා මාස්ටර් එළියට ගියා. මට තේ එකකුත් හම්බුනා. ඉතිං මම ලියන්න පටන් ගත්තා. එතනදී මට ලියවුණා මේක. මේ චරිතයේ මනෝභාවයන් ආදිය විස්තර කරනකොටම මගේ මනෝ භාවයන් ඇවිස්සිලානේ තියෙන්නේ. ඒකයි ඔහු අර දැන්ම ලියන්න කිව්වේ. මට පස්සෙයි ඒක තේරුණේ. හරි ශ්‍රේෂ්ඨ මිනිස්සු. අවබෝධය, දැනුම හරි ඉහළයි. මං අර කලින් කිව්වනේ මට චිත්ත කවි ලියවුණා කියලා. ඒක තමයි මට මෙතනදීත් වුණේ. චිත්ත කවියක් වගේ තමයි මට මේක ලියවුණේ. එතකොටයි මම දන්නේ මට මෙහෙම සිංදුවක් දෙකක් පොඩියට ලියාගන්න පුළුවන් කියලා.


”දූවිලි” තරමක් විශේෂ යෙදුමක්?


වියළි කලාපයේ හරියට දූවිලි. එහෙ ඉන්න කාන්තාවෝ හරි වියළි කර්කෂ පරිසරයක ඉන්න අය. ඒගොල්ලන්ගේ තියෙන්නේ මහා අමුතු ලස්සනක්. පසුබිමේ තියෙන්නේ දූවිලි හැම තිස්සෙම. දූවිලි කියන එකේ මහා දාර්ශනික අර්ථයකුත් තියෙනවනේ. දූවිල්ලක් කියන්නේ හරි කුඩා ප‍්‍රපංචයක් නේ. අනිත්‍ය පිළිබඳ අදහසකුත් තියෙනවා යම් ආකාරයකින්. අනෙක් අතට ජනාලාප බහුල ජන කවි ආරක් තමා මට ඔලූවට ආවේ. මංගලි වෙන අය වෙනුවෙන් කැප වෙච්ච ජීවිතයක් බවට පත්වෙනවා නුදුරු කොටස්වලදී. අපේ වෙදකමේ තියෙන දේත් ඒකනේ. ලාබ ප‍්‍රයෝජන ලබන්නේ නැතුව අනුන් වෙනුවෙන් කැප වෙච්ච පුදුමාකාර පරාර්ථකාමී දෙයක් නේ අපේ වෙදකම කියන්නේ. ඔය බොහෝ දේවල් අතරේ තමයි මේ ගීතය පූදින්නේ. මං කියන දේ අහලා කේමදාසයන් මේක වෙන කාටහරි දුන්නා නං මං තාම ගීත රචකයෙක් වෙලා නෑ මං හිතන්නේ. අනික ගීතය ගයපු ගායිකාව විශාල බලපෑමක් වුණා. ප‍්‍රදීපාගේ පළමු ප‍්‍රසිද්ධ ගීතය මේ. ඒකත් විශේෂත්වයක්. කේමදාසයන් කිසිසේත්ම තෝරා ගත්තේ නෑ එවකට ජනප‍්‍රිය ගායිකාවක් මේකට. එයා කිව්වා මේකට ගැලපෙනම හඬ ප‍්‍රදීපාගේ හඬ කියලා.


(උපුටා ගැනීම - යුගාන්ති යශෝධරා /දිවයින)

 


Thursday, February 4, 2021

රත්නදීප ජන්ම භූමි ...

රත්නදීප ජන්ම භූමි

ලංකාදීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමිය යි

ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්

සාර වූ උදාර වූ මාතෘ භූමිය යි


මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී

ඇත්තෙ ඒ අභීත දූ පුතුන්

ජාතියේ නාමයෙන් – සංග්‍රාම භූමියේ

ජීවිතේ පුදා හෙළුෑ ලේ කඳ යි


සින්දූපමාන වැව්තලා මතින් ඇදී

පද්ම රේණුයෙන් සුගන්ධ වී

රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා

එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුව යි


ගංගා තරංග රාව දී රිදී වණින්

මල් පිපී කුලෙන් කුලේ හැපී

ගායනා කරන්නේ – ආකාශයේ නැඟී

වීරයින්ගේ ඒ යශෝගීතය යි


ගායනය හා සංගීතය - පණ්ඩිත් අමරදේව 

පදරචනය - මහගම සේකර 


ස්වකීය සියලු නිර්මාණයන්ගෙන් සිංහල ජාතියේ ප්‍රෞඪත්වය විභූෂණය කළ මහගම සේකරයන් මේ ගීතය රචනා කිරීමේ දී ලද ආවේශයත්, ගීතයට සංගීතය සපයා එය ගායනා කළ අමරදේවයන් දැක්වූ සුවිශිෂ්ට පරිශ්‍රමයත් අරභයා ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් කළ විවරණයක් මෙහිලා දැක්වීම උචිත යැයි හැඟේ.


“1964 දී ගුවන් විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වූ ‘රත්නදීප ජන්මභූමි’ ගීතය සේකර ප්‍රබන්ධ කොට ඇත්තේ ‘ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං’ යන සුප්‍රකට බෝධි වන්දනා ගාථාවේ වෘත්තය ආශ්‍රයෙනි. අමරදේව එවකට රජයේ සංගීත ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකි. මහගම සේකර ගුවන් විදුලියෙන් ඉවත් වී එහි චිත්‍ර අංශයේ අංශාධිපති ලෙස සේවය කරමින් සිටියේ ය. එදින අමරදේවයෝ එළිමහනේ ගසක් යට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිවරාගෙන සංගීතය උගන්වමින් සිටියහ. භාරතීය සම්භාව්‍ය සංගීතයේ තාරණ යන අක්ෂර, ධධ්වරී අක්ෂර ලෙස හැඳින්වෙන අතර තාරණ යනු ඉන් බිහි වූ ගායන ශෛලිය වේ. ඉක්බිතිව අමරදේවයෝ ගෞඩ සාරංග නමැති රාගය ඉගැන්වීම ඇරඹූහ. සේකර ලියූ ‘රත්නදීප ජන්ම භූමි’ ගේය පද මාලාව එවෙලෙහි ඔහු අතට පත් විය. මේ ගීතයට අවැසි තනුව ද ගෞඩ සාරංග රාගයෙන්ම නිම කිරීමට අමරදේව සිත යොමු කළේය. දේශාභිමානි ගුණයට අවැසි පරිසරය මේ රාගයෙහි තිබෙන

බැව් ඔහුට පසක් වී තිබිණ.


එපරිදි ශාස්ත්‍රීය වූ පදනමකින් නිර්මාණය වී ගැයුණු සිංහලේ යශෝ ගීතය, අපගේ මාතෘ භූමියේ මහානීය අගයත්, ඒ අගය දිවි හිමියෙන් රැක ගනිමින් සමෘද්ධිමත් පරිසරයක් ගොඩනංවාලූ වීරෝදාර මුතුන් මිත්තන්ගේ පරිශ්‍රමයත් උදෙසා නිමැවුණු සිහිවටන ඵලකයක් වැන්න.


“රත්නදීප ජන්ම භූමි – ලංකාදීප විජය භූමි

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි”


අපගේ උදාර වූ මාතෘ භූමිය අතීත යුගයේ ලෝවැසියන් විසින් හඳුන්වන ලද්දේ සෙරන්ඩිබ් හෙවත් රත්නද්වීපය නමිනි. එසේ ම එම දේශය විජය රජුගෙන් ඇරඹී පසුකාලීනව ක්ෂත්‍රීය ජන වංශ පරපුරකින් පැවත සරල ග්‍රාමීය ප්‍රධානීන්ගෙන් (ගාමණී) පාලනය වුණ දේශයක් විය.


“ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්

සාර වූ උදාර වූ මාතෘ භූමිය යි”


‘සිංහලේ’ නමින් හැඳින්වූ ඒ රත්නදීපයේ ජන පරපුර බුදු දහමින් සිය අධ්‍යාත්මය පෝෂණය කර ගත් උදාර ගති පැවතුමින් හෙබි සුරුවිරුවන් පිරිසක් වූහ. ඔවුන්ගෙන්

පැවත ආ ලේ නෑදැ පරපුර තම ජාත භූමියේ ස්වාධීන උරුමය රැක ගැනීම සඳහා දිවිහිමියෙන් කටයුතු කළහ. ඒ වීරයින්ගේ ලෙයින් මාතෘ භූමිය පෝෂණය වී තිබේ.


දකුණු ඉන්දීය මංකොල්ලකරුවන්ගේ සිට අපරදිග ධන වැද්දන් දක්වා දෙදහස් වසක් මුළුල්ලේ වරින්වර සිරිලක් භූමියට කඩා වැදුණු මිථ්‍යාදෘෂ්ටික පර සතුරු ආක්‍රමණ හමුවේ නොසැලී නැගී සිටි ඒ අභීත දූ පුතුන් සිය නම් ඉතිරි කොට තබා ‘මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී’ වැතිරුණේ සිංහල ජාතියේ උදාර නාමය ලෝකයා හමුවේ සනිටුහන් කොට තබමිනි. ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ දිවි පිදූ ඔවුන්ගේ කයින් ගලා ගිය ලේ කඳින් ලංකා ධරණීතලය පෝෂණය වී තිබේ. ඔවුන් එදා හෙළුෑ ප්‍රාණ වායුව සිරිලක් දෙරණට වරින්වර අනුප්‍රාණය ලබා දෙන්නේ සොබා දහමේ ආශීර්වාදයත් වැළඳ ගෙනය.


“සින්දූපමාන වැව්තලා මතින් ඇදී

පද්ම රේණුයෙන් සුගන්ධ වී

රන් කරල් නමා හමා – සිත් ප්‍රබෝධයෙන් පුරා

එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුවයි”


ලොව අන් සියලු රටවල් පරයා නිමැයුණු ලක්දිව වාරි තාක්ෂණය පැරණි සිංහලයන්ගේ සභ්‍යත්වයේ උතුම් අංගයක් සේ සැලකිය හැකි ය. ස්වාධීන සිංහල සංස්කෘතියක පටන් ගැනීමට හේතු වුණු මුල් බිජුවට ලක්දිව රෝපණය කරනු ලැබුවේ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ දී (රාජ්‍ය වර්ෂ පූර්ව 5 වැනි සියවස) සිට බව ‘වැවෙන් උපන් සිංහල සභ්‍යත්වය’ නමැති ලිපියෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයෝ පැවසූහ. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, සෞර්ය වීර්යත්වයටත් දෙස් කියන වැව් සමුදුරු පරයා නිමැවුණු බැව් ඒවා හැඳින්වූ නම්වලින් පවා පෙනී යයි. ඒ මහ වැව් දියකඳ තරඟ පිසගෙන නැඟී නෙළුම් මල් සුවඳ ඇදගෙන හමන සිහිල් පවනින් සසල වන රන් කරලින් නැගෙන ප්‍රබෝධය, ජාතිය උදෙසා දිවි පිදූ හෙළ විරුවන්ගේ ප්‍රාණ වායුවට උවම් කිරීම කොතරම් මහරු කාව්‍යෝත්තියක් ද? මෙතරම් අබිරු අභිමානයක් ලොව කවර රටක පරිසරයකිනුදු නොනඟන විරූ ය. ලොව අන් රටවල ජනකායන් පවා මවිත කරවන සුලු ඒ මානව වික්‍රමයන් පිළිබඳව අනවරතයෙන්ම උදම් වන්නේ හෙළ දෙරණේ ස්වාභාවික සෞන්දර්යාත්මක පරිසරයයි.


“ගංගා තරංග රාව දී රිදී වණින්

මල් පිපී කුලෙන් කුලේ හැපී

ගායනා කරන්නේ – ආකාශයේ නැඟී

වීරයින්ගේ ඒ යශෝගීතයයි”


මහගම සේකර – පණ්ඩිත් අමරදේව සුසංයෝගයේ අග්‍ර ඵලයක් වැනි මේ ගීතයේ පරිසමාප්තිය වූ කලී, අතීත හෙළ වීර පුතුන්ගේ අභිමානවත් පරිශ්‍රමය ගැන නොසිතන – හුදු බලලෝභීත්වය හා උදර පෝෂණය ගැන පමණක් සිතා කටයුතු කරන අඳ බාල සමාජය අවදි කරවන කාහල නාදයක් වැන්න. නූතන යුගයේ බොහෝ දෙනෙකුගේ සිතින් ගිලිහී ගිය, අපේ හෙළ වීරවරයන්ගේ යශෝගීතය, ස්වභාවධර්මය විසින් පළ කරනු ලබන අපූරුව සේකරයන් වැණූ අයුරු ප්‍රශස්තය.


(උපුටා ගැනීම - මහාමේඝ /සටහන – දයාපාල ජයනෙත්ති මහතා)




Tuesday, February 2, 2021

තැන තැන රවුමට ...

තැන තැන රවුමට ඉඳගෙන

ඉඳහිට එබිකම් කර කර

(තැන තැන රවුමට ඉඳගෙන)

(ඉඳහිට එබිකම් කර කර)

ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා

රවුම වටේ යන විට කවි පද කියවෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)


පැණි මොර මල් පිපුණු රෑට

කජු පුහුලන් ඉදුණු දාට

(පැණි මොර මල් පිපුණු රෑට)

(කජු පුහුලන් ඉදුණු දාට)

පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා

එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)


කුන්දු පැනල නැටුවෙත් අපි

වච්චි කියල දිව්වෙත් අපි

(කුන්දු පැනල නැටුවෙත් අපි)

(වච්චි කියල දිව්වෙත් අපි)

හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා

වෛයිවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)


තැන තැන රවුමට ඉඳගෙන

ඉඳහිට එබිකම් කර කර

(තැන තැන රවුමට ඉඳගෙන)

(ඉඳහිට එබිකම් කර කර)

ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා

රවුම වටේ යන විට කවි පද කියවෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා) ....///..


ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ළමා කැළ

පද - අමරසේන කංකානම්ගේ

තනුව - එඩ්වඩ් ජයකොඩි


"කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලූවොත් දෙසඤ්ඤා,” ගීතය පිළිබඳව අමරසේන කංකානම්ගේ මහතා අදහස් දක්වමින් 


එවකට ජාතික රූපවාහිනීයේ විකාශනය වූ ගායනා වැඩසටහනට නැවත ගීතයක් ලියන්න වූ අවස්ථාවක තමයි මේ ගීතය ලිව්වේ. සාමාන්‍යයෙන් ඉස්සර සාමුහික ක‍්‍රීඩාවලට ළමයි නිතරම පෙලඹෙනවා. ඉස්කෝලෙදි උනත් ළමයි කාණ්ඬේ එකතු වෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරනවා. එහෙම නැත්නම් ඔය වෙලේ ගොයම් කපලා පාගලා ඉවර උනාට පස්සේ කට්ටිය එකතු වෙලා ඔය සාමූහික ක‍්‍රීඩා කරනවා. සාමූහික ක‍්‍රීඩා කියන එක විතරක්ම නෙමෙයි මට ඕකෙදි කියන්න ඕන උනේ. ළමයින්ට ඔය ක‍්‍රීඩා ඔක්කොම නැතිවෙලා අලූත් අලූත් දේවල්, තුවක්කු අරවා මේවා තමයි දැන් ක‍්‍රීඩාවලට ළමයි පාවිච්චි කරන්නේ කියන හැඟීම තමයි මට ඒ ගීතයෙන් දෙන්න ඕන උනේ. වෛවාරණ සෙල්ලං බඩු ගමට ඇවිල්ලා කියන්නේ ඒකනේ. අපි පොඩි කාලේ ළමයි එකට එකතුවෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරලා තියෙනවා. හරි සුන්දර ක‍්‍රීඩාවක්. ඒ ආකෘතිය තුළ ඉඳගෙන තමයි දෙමව්පියන් දරුවන්ට දිය යුතු දේවල් මොනවද නොදිය යුතු දේවල් මොනවද කියන එක මතක් කරලා දෙන්න මං මේ විදිහට ගීතය ලිව්වේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා ජන ක්‍රීඩාව 

ගමේ දරු දැරියන් අතර සිදුවන මෙම ක්‍රිඩාවේදී බොහෝ පිරිසකට සහභාගි විය හැක. දරුවන් රවුමට සිට ගනිති. එක්‌ දරුවෙක්‌ අතු කැබල්ලද රැගෙන රවුම වටේ යයි. රවුම වටේ යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක්‌ ගොඩනැඟේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

රවුමේ සිටින අය කෝ නෑනෝ පනාව කියන විට වට යන්නා යට ලීයේ පනාව යෑයි පිළිතුරු දෙයි. මේ අන්දමට කීප විටක්‌ කියයි. රවුමේ සිටින්නන් කළ ගෙඩි කළගෙඩි කියන විට රවුම වට යන්නා බෝතල බෝතල කියමින් වට දුවයි. මෙසේ දුවන අතරම අත්ත කෙනෙකු පිටුපස තබයි. වටය ගොස්‌ එතැනට එන්නට පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳියි. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට එයින් ගසයි. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලුවහොත් පහර වදී. එකිනෙකා මාරුවට දිගින් දිගටම මෙසේ සිදු වෙයි.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...