Monday, May 31, 2021

හිම දියවී හිමාලයේ ...

ලාංකීය සුභාවිත ගීත සාහිත්‍යයේ හමුවන අපූර්ව ගීතයක්. සදාතනික ආදරවන්තයන් වූ රාඨා සහ ක්‍රිෂ්ණා යොදාගෙන ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශෘංගාරය ඉදිරිපත් කරයි.


හිම දියවී හිමාලයේ යමුනා ගගඟ 

නගයි තරංගා..සුදු පෙණකැටි බලන්න රාධා....

සුළඟ හමයි සීතල සාදා..

සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..


හිමාලයේ හිම දියවී යමුනා ගඟ උතුරන අවස්ථාවක ගඟ අසල දෙදෙනාගේ හමුවීම සිදුවෙයි. හිම දියවී ඇත්තේ දෙදෙනාගේ ප්‍රේමයේ ඇති උණුසුම නිසාය..


සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාශේ

පීනන මේ ස්වර්න හංසයෝ..

අකීකරුද මෙතරම් රාධා..


වත නැමැති නීල ජලාශයේ පීනන ස්වර්ණ හංසයන් ඇගේ ලැම යි. හංසයෝ අකීකරුවීම යනු ඇගේ ලැමෙහි ඇති ආකර්ශනීය බවයි..


ඉඩදී දෙන්නට දඬුවම්

දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


"මාගේ ලැම හංසයන්ට ඔබ කැමති දඬුවමක් දෙන්න මම එය දෑස් පියාගෙන රසවිඳින්නම්" ශෘංගාරයේ රසය අපූරුවට ඉදිරිපත් කරන අවස්තාවක්..


මල්පෙති පොඩි වී ඉකිලන මේ හෝපලු

යහන් තලාවේ

සඳ දිය මිණිමෙවුලට වැටිලා

දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණිකැට

දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


දෙදෙනා හමු වී ඇත්තේ රාත්‍රියේ සඳ සෙවනකය. සඳ එළිය මිණිමෙවුලට වැටිල දෑස නිලංකාර වෙලා.. සංකල්ප රූප..


ඇත්තටම මොකක්ද මේ මිණිමෙවුල...!!!! ම්ණි මෙවුල යනු අතීතයේ කතුන් තම රහසඟ වැසෙන සේ පැලඳි ආභරණයකි ...


ගායනය    :  අමරසිරි පීරිස් සමඟ වසන්තා තිලකාංගනී

පද රචවය : ධම්මික බණ්ඩාර (ආදී ආනන්දීයෙකි) මගේ පුංචි රෝස මලේ, හන්තානට පායන සඳ, ඇය ආයෙමත් ඇවිදින් යන ගීත රචනා කොට ඇත.

සංගීතය : ඩැනිස්ටර් පෙරේරා




Wednesday, May 19, 2021

මිටින් මුදා හැර බැලුවෙමි ...

මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//


සැඟෙව්වාට වලාකුළක් දුහුලින්

කලා සපිරි සඳ වැසුණාදෝ

හමා ගියද මාරුතයක්

සුළඟට තරු එළියත් නිවී යාවිදෝ


මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී


ගරා වැටෙන මහ වැස්සට සේදී

මලෙක පැහැය දියව යාවිදෝ

සමුගන්නට සිදු වූවත්

අපට දැනුන සුවඳ මැකී යාවිදෝ


මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//


ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග

පද - රත්මලේ බන්දුල ගුණවර්ධන

තනුව - විජේරත්න රණතුංග


මිටින් මුදා හැර බැලූවෙමි” කලක් ගීත දර්ශකවල එක දිගට ප‍්‍රචාරය වූ ගීතයක්?

 

රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් මං දන්න දෙන්නෙක් හිටියා. මේ පෙම්වතා සහ පෙම්වතිය ඉතා සමීපව ඇසුරු කරන පවුල් දෙකක දරුවෝ දෙන්නෙක්. මේ දෙන්නගේ පවුල් දෙක කොතරම් සමීපද කියනවා නම් මේ දෙන්නට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරගන්න හැකියාවක් ධෛර්යයක් තිබුණේ නැහැ. දෙන්නම ගෙවල්වල අයට මේ ගැන කියන්න බය වුණා. හැබැයි ඔවුන් යටි සිතින් දැඩි ලෙස ආදරය කළා දෙන්නට දෙන්නා. මේ තරුණයට ආත්ම ශක්තියක් තිබුණේ නෑ මේ කාරණාව මේ යුවතියට ඉදිරිපත් කරන්න. නමුත් ආදරය දළුලා වැඩිලා එහෙමම ගියා. ආදරයක් කරලා ආදරවන්තයන් සේ ප‍්‍රකාශයට පත් නොවුණත් හදවතින් සිතින් ආදරවන්තයන්ට වඩා ඔවුන් ළංවෙලා හිටියා. ඒ අතරේ අවසාන කාලය වෙනකොට ආදරේ ප‍්‍රකාශ නොකර ඉන්න බැරිවෙලා කොහොම හරි අහම්බෙන් ආදරය ප‍්‍රකාශ කරනවා මේ තරුණයා තරුණියට. නමුත් එතකොට අර යුවතියට විවාහ යෝජනා ඇවිල්ලා. ඇයට සමුගන්න සිද්ධ වෙනවා. ප‍්‍රමාද වැඩියි. ඉතිං ඔහුගේ ප‍්‍රමාදය පසුතැවිල්ලකට හේතු වුණා. ඒත් ඔවුන් තරහා වුණේ නැහැ, ඒ සුහදතාව ඒ විදිහටම තියා ගත්තා. ප‍්‍රකාශයට පත් නොකරපු ඒ ආදරයේ මිහිරියාව ඔවුන් තුළ අදටත් ඒ විදිහටම තියෙනවා. ඕක තමයි කතාව. මට මතකයි මේ ගීතයට දුරකථන ඇමතුම් ලැබුණා මට හරියට. මේක ඔයාගේ ගීතය නෙමෙයි මේක මගේ ගීතය කියලා බොහෝ දෙනෙක් කිව්වා. ඒ කියන්නේ මේ ගීතයේ අත්දැකීම ගොඩක් අයට ඇති.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




Monday, May 17, 2021

රූකඩ මඩු යාග පොලේ ...

රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ

ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...


ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට

ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු

මලට ළොලේ පිණි කඳුළේ

නිතර රැඳී උන් බඹරින්දු....


යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න දෑත වනන්නා

නිබඳ මගේ පිරුණු සෙනේ

නුඹ නොදනී මල්මද ලන්දු...


පද රචනය - වසන්ත කුමාර කොබවක

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


කතා ව්‍යවහාරයම ගීතයට තිඹිරි ගෙය වන්නට ඇත. හේතුව කතාවද නාදයකි. එසේ නම් ගීතය ද නාදයක්‌ම බව අපි දනිමු. මේ නිසාම ගීතය සෙසු සාහිත්‍යාංග පරයා ජනතාවට ඉතාමත් සමීප සාහිත්‍යාංගය ලෙස දැක්‌වීම වරදක්‌ නොවේ. අංග සම්පූර්ණ ගීතයක්‌ පහළවීමට පද, අර්ථය, රසය, භාවය, නාදය, ශ්‍රැතිය, ස්‌වරය, රාගය, ඡන්දස, වෘන්දය, ලළනය, කාලය මැනවි සුසංයෝජනය විය යුතුය. එවිට අප පතන තෘප්තිය, මානසික සුවය, හා ආධ්‍යාත්මික ආනන්දය හදවතේ ගැඹුරුම තැන ස්‌පර්ශ කරනා අපූරුව මොනවට පැහැදිලිය.


වසර විසිහයකට ඔබ්බෙහි ඉහත සඳහන් රසභාව උද්දීපනය කළ ගීතයක්‌ තවමත් සහෘද හදවතේ ජීවත්වීම ආනන්ද ජනක ලකුණකි. ආදරය, විරහාව, ප්‍රේමය, සෙනෙහස, තේමාව කරගත් එදා මෙදා තුර ඇසුණු ගීත සම්භාරය සුළුපටු නොවේ. නමුදු චිරාත්කාලයක්‌ එකසේ ජනප්‍රිය වූ ගීත ඇත්නම් ඒ අතළොස්‌සකි.


රූකඩ මඩුයාග පොලේ

කෝළ නුඹේ රුවට ලොලේ

ආල පිරූ මා ගැන් දැන්

නැද්ද නිනව්වක්‌......


කොළඹ සඳ එළිය ගමේ සඳ එළිය තරම් අවිහිංසක නැත. කොළඹ පිපෙන මල් ගමේ පිපෙන මල් තරම් සුන්දර නොමැත. ගමේ උපදින ආදරය ද එසේමය. සෞම්‍යය. පාරිශුද්ධය. හැඟුම්බරය. මේ සියල්ලටමත් වඩා සංවරය. විනීතය. සදාචාර සම්පන්නය. ගුරු දෙගුරුන්ට අවනතය. ඒ නිසාම ගමේ දෙහදක භද්‍ර යෞවනය මතින් කල එළි බසිනා ප්‍රේමය ද මල්ඵල දරන්නේ ගමේ යාග පොළේ, රූකඩ මඩුව සමීපයේ, සල්පිලේ වීම යට කී අවිහිංසක බව තව තවත් ත්‍රීව්‍ර කරන්නකි. මෙවන් තැනකදී ඔවුනොවුන්ට වදනක්‌ දෙකක්‌ කතා කරන්නට නොහැකි වන කළ නෙතිත් නෙත දොඩා සිත් සනහා ගැනීමට තරම් ගමේ උපදිනා පෙම් සිත් තාදි ගුණයෙන් පොහොසත්ය.


ගමේ වැල ගමේ කපුටන්ට යෑයි කතාවක්‌ තිබුණ ද, ගමේ යුවතිය ගමේම තරුණයෙකුගේ සුළැඟිල්ලේ නොදැවටෙනා තැන් ද නැතුවා නොවේ. එවන් අනුභූතියක්‌ වසන්ත කුමාර කොබවක පද අහුරකට ගොනු කළේ ජනශ්‍රැතිය ද ඇසුරු කරගෙනය. මෙවන් යුගයක ගමේ යුවතිය ගම හැර යන හේතු කාරණා බොහොමයක්‌ ඇත. ඇතැම් විට සිදාදියේ රැකියාවකට විය හැකිය. නැතිනම් සරසවියට වීමට පුළුවන. මේ දුරස්‌වීම නිසා ඇයට ඔහු ගැන නිනව්වක්‌ නොමැත. මින් මතුවෙන විප්‍රලම්භ ශෘංගාරය වසන්ත කුමාර මතු දැක්‌වූ පදවැල් හා මුසුකර ඇති ආකාරය අතිශයෙන්ම ප්‍රශස්‌තය


ඈතලන්ද දිය මංකඩ

බෝම පිපී තිබුණු මලට

ආලවන්ත බහක්‌ දෙන්න

ආ බඹරින්දූ......


ඔහුගේ බොහෝ ගීතවල දිස්‌වන්නේ එකම රටාවකි. එනම් ඒ ජන කවි ආරය. උපමා අලංකාර යෙදුම් මතින් ජන කවියට සමීප වන මේ බස්‌ වහර විධිත්, කවි බස මතුකරලීමට සමත් ය. මේ වසන්තයේ ගැමි සංස්‌කෘතියේ ප්‍රතිභා ප්‍රභාව යෑයි පැවසීම වරදක්‌ නොවේ. අජීවී ස්‌වභාවික පරිසරයට සජීවී බව ආරෝපණය කරනා රචකයා ගමේ ගොඩේ ගහේ වැලේ මලේ කොළේ රුව ගුණ ඔස්‌සේ ඇය මලක්‌ ලෙස ද ඔහු බඹරා සේ මතු කරලීමට සමත්ව ඇත.


යාය පුරා මල් උතුරා

කෝල දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න

දැත් වනන්නා...

නිබඳ මගේ පිරුණු සෙනේ

නුඹ නොදනී මල් මද ලන්දූ


ළඳ බොළඳ කම් පෑ දැරිවිය මල්වර වූ දවසේ ඔහුගේ සිතේ උපදින අව්‍යාජ විනීත ආස්‌වාදය ඇතිකරලන්නට මලෙක මෙලෙක මතුකරලීම අලංකාරය සිහිගන්වන්නකි. මෙම බස්‌වහර භාවාර්ථ මතු වනසේ මුළු ගේය පද සංකල්පනාව පුරාම ගලායැම ජන සාහිත්‍ය  විචාර සිහිගන්වන්නකි. ඇය දීග යන වයසේ පසුවනවා පමණක්‌ නොව දෙමවුපියන් ඒ සඳහා මඟ හසර ලක ලැහැස්‌ති කරදී අවසාන බවද මේ පදවැල් හීං යටි පෙළින් ශ්‍රාවක සිතට ගම්‍ය කර ඇත්තේ සංකේත භාවිතයෙනි. රූපකාර්ථවත් බස්‌ වහර මතින් ඔහුගේ චින්තාවලිය වේදනා ප්‍රවාහයක්‌ බවට පත් නොකර සංවේගයේ මන්ද මාරුතයක්‌ කරන්නට උපයුක්‌ත කර ගත් බස්‌ වහර මනාව සෑහේ.


කෝළම්, නාඩගම් සම්ප්‍රදායේ ගායනාවක්‌ මේ පදවැල හා මුසුව ඇතැයි ශ්‍රාවකයාට හැඟේ. ඒ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායකගේ හඬෙහි සුසංගතව පවත්නා පාරම්පරික ගැමිකම හේතුවෙනි. පැරැණිතම වූත් නාද නිධානය ගැබ්ව ඇත්තේ මිනිස්‌ කටහඬේ යැයි යන අදහසට උපරිම සාධාරණය ඉටු කරලීමට මුවින් හඬ රටා පමණක්‌ නොව සප්ත ස්‌වර නාද රටාව ද මුසු කිරීමට රත්නායකයෝ පොහොසත් බව පෙන්වූහ. මේ නිසා මෙවන් ගීත ඇසෙන කල අප ලබන ආනන්දය මේ විශ්වය පුරා ඇති මනුස්‌සකමේ සෙනෙහසට හා දයාවට අප පෙරළා ආදරය කළ යුතු බව මතුකරලන්නකි. ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලන්නට අප තරම් ශික්‍ෂණයක්‌ ලැබූ ජාතියක්‌ වෙන කොතැනකවත් නැත. ඒ බව පසක්‌ කෙරුමට මේ ගීතය මතින් උපන් හෘද සාක්‍ෂිය වඩාත් අප්‍රමාණිකය.


(උපුටා ගැනීම - දිවයින)




Thursday, May 13, 2021

උන්මාද සිතුවම් ...

උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ

පාළු හුදකලා සුළඟ පමණි උරුමේ

හඬා වැටෙන සිත සදාසරණ මත

තනිවේවි එක්ටැම්ගේ


උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැඟව ගියේ

දැනේ තවම මට මලේ සුවඳ පොද

තනිවේවි එක්ටැම්ගේ


උන්මාද සිතුවම් මැවේ බිඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක්ටැම්ගේ


තනිවේවි එක්ටැම්ගේ ////.


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව - සරත් දසනායක


1980 දී තිරගත වූ "එක්ටැම් ගේ' සිනමා කෘතියේ ගීයකි.


සිංහල සාහිත්‍යයේ ප්‍රසිද්ධ එක් ටැම් ගෙවල් දෙකක් හමුවේ. පඩුවස්දෙව් රජුගේ දියණිය වූ උන්මාද චිත්‍රා සිය සොයුරන් විසින් සිය රාජ්‍යයත්වය පිළිබඳවු බියක් හේතුවෙන් එක් ටැම්ගෙයක සිරකර පුවත අප අසා ඇත්තේ කුඩා කාලේයෙදීය. 


දෙවන එක්ටැම් ගේ අපට හමුවන්නේ හර්බට් රන්ජිත් පිරිස් ශුරීන් විසින් අධ්‍යක්ශණය කර 1980 දී රිදී තිරයේ දිග හැරුනු එක්ටැම් ගේ සිනමා නිර්මාණයයි.

එක්ටැම් ගේ  චිත්‍රපටියේ මාලි (මාලිනි ෆොන්සේකා) ඉතා දුකසේ ජීවනෝපාය ගෙනියන මවකගේ දුවක්. මේ මවගේ ජීවනෝපාය වුයේ බත් සැපයිමයි. මෙම නිවසට නිතර යන එන විල්සන් (ජෝ අබේවික්‍රම) ස්වොත්සාහයෙන් දියුණුවන තලතුනා වයසක් කෙනෙක්. මෙම නිවස අසල ඇති වැඩපොලක සුපවයිසර් කෙනෙක් වන සරත්ට (රවීන්ද්‍ර රණ්දෙනිය) මාලි ගැන අදහසක් පහල වෙනවා. ඔහු කෙලිදෙලෙන් ගෙවන කෙනෙක් වුවත් ඔහුට මාලි ගැන ඇතිවෙන්නේ අවංක ආදරයක්. මේ අවංකකම කෙතරම්ද කියනවනම් ඔහු තමන් මීට පෙර තරුණියන් දහතුන්දෙක් හා සම්බන්දකම් පැවැත්වූ බව මාලි හා පවසනවා. ඔහුගේ අවංකකම හදුනා නොගන්නා මාලි ඔහුගේ ආදරය සැක කරනවා. මේ අතර විල්සන්ගේ මාලිට විවාහ යෝජනාවක් එන්නේ විල්සන් තම නමට ගත් ලොරිය භාරයක් ඔප්පු කිරීමට කතරගම වන්දනාමාන කරන අතරමයි. මාලිගේ මව මේ ගැන කිසිදු දෙගිඩියාවක් නැතුවම කැමත්ත දෙනවා. මාලිද සිය හිත තුල වූ සැක සංකා නිසාම විල්සන්ට කැමත්ත දෙනවා. ඒත් විල්සන් කියන්නේ මුදල් මත ජීවිතය මෙහෙයවන කෙනෙක්. මාලිගේ වයසත් සමඟ විල්සන්ගේ නොගැලපීම් මතුවෙන්නේ මාලිගේ හිතේ මතුවෙමින් යටයන පැරනි ආදරය හෙතුවෙනි. විල්සන්ගේන් ඉවත් වන ඇය, ඈ නොපිළිගත් ආදරය සොයනවා. ඒ වන විට අර සුපවයිසර්වරයා සමාජ ආශ්‍රයෙන් ඈත්ව, ප්‍රදිපාගාරයක (එක්ටැම්ගෙයකට සමාන) ජීවත්වන බව ඇයට ආරංචි වෙනවා. උන්මාද සිතුවම් මැවේ සිදේ ගීතය මතුවෙන්නේ එක්ටැම්ගේ චිත්‍රපටියේ අවසාන යාමේදී එනම් මාලි තම පැරණි පෙම්වතා බලන්න යන ගමනේදී.


උන්මාද සිතුවම් මැවේ බි‍ඳේ

මීදුම් වලා මැද අතීතයේ

බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්

තනි වේවි එක් ටැම් ගේ


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත, සරත් දසනාකයන් විසින් සංගීතය සම්පාදනය කල එක්ටැම්ගේ ගීතය ගයන්නේ අප අතරින් වියෝවූ ගුණදාස කපුගේ ශුරින් විසින්. මේ ගීතය සදහා ගායකයෙක් තෝරාගැනිම ගැන විවාදයක් ඇතිවී තියෙනවා. බොහෝ අය අමරදේවයන් යොජනා කරද්දී මේ ගීතයට ගැලපෙන්නේ කපුගේ ගේ හඬ කියා සරත් දිසානායකගේ තීරණයට හැමෝම එකඟ වෙලා තියෙනවා. කපුගේ ගේ හඬ මේ ගීතය පුරාවටම රසිකයා සලිත කරනවා. එක්ටැම්ගේ චිත්‍රපටියේ මතුවීමට මුලිකව බල පෑවේ මෙම ගීතයයි. සමස්ත චිත්‍රපටියේම විනාඩි තුනකට කැටිකීරීමට මෙම ගීතය සමත් වෙයි.


ගීතය පටන් ගන්නේ උන්මාද වචනයෙන්. එය කලින් සදහන් කල උන්මාද චිත්‍රාගේ එකටැම්ගෙට පාඨකයා සම්බන්ධ කරයි. එහෙත් වෙනසක් ඇත. උන්මාද චිත්‍රා එක්ටැම්ගේ ගතවුයේ දේශපාලන හේතුවක් ලෙස මිස ස්වකැමත්තෙන් නොවේ. එහෙත් චිත්‍රපටියේ එක්ටැම් ගතවන්නේ ස්වකැමැත්තෙන්ම මෙන්ම චිත්‍රාමෙන් නොව සමාජයෙන් ලැබෙන ඇරයුමද ප්‍රතික්ෂේප කරයි. 


අනන්ත සයුරේ බියකරු දියඹේ

පාළු හුදකලා සලඟ පමණි උරුමේ

හඩා වැටෙන සිත සදා සරණ මට

තනි වේවි එක් ටැම් ගේ


උන්මාද චිත්‍රාව එකටැම්ගෙයක සිරකරන ලද්දේ එහි සිට සමාජ සම්බන්ධතා පැවැත්විය නොහැකි නිසා විය යුතුය. එහෙයින් එකටැම්ගෙයක් ඇති පාළුව හුදකලාව ගැන වෙනත් වචන නැත.


දහසක් මල් මැද එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැගව ගියේ

දැනේ තවම මට මලේ සුවඳ පොඳ

තනි වේවි එක් ටැම් ගේ


දහසක් මල් මැද එකම මලයි පැතුවේ. ඔහු කිහිප දෙන්ක් ඇසුරු කලද ඔහු පැතුවේ මාලි පමණය. මෙම ගීතයේ සංවේදීතම තැන මෙතනයි. එය තමන්ගේ කෙලිකාරකමට ලද ත්‍යාගයකි. එහෙත් ජීවිතයේ සමහර අවස්ථා යලි නිවැරදි කල නොහැක.


(උපුටා ගැනීම - අලියා දැකීම බ්ලොග් අඩවිය)




Friday, April 23, 2021

හන්තානට පායන හද ...

හන්තානට පායන හද ලස්සනයිද කියන්න

මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න//


අඳුරු ලලා වහිනා කළ සරසවි බිම තෙමෙන්න

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න..


ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න //

මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න


හන්තානට පායන හද ලස්සනයිද කියන්න

මා නොදකින  ඒ පුර හද ඔබට හැකිය දකින්න


පද රචනය : ධම්මික බණ්ඩාර 

ගායනය : අමරසිරි පීරිස් 

සංගීතය : ඩැනිස්ටර් පෙරේරා 


මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ පෞද්ගලික අත්දැකීමක් පදනම් කොට ගෙන ගෙත්තම් කරන ලද්දකි. ඔහු ඉගැන් වූ උසස් පෙළ පංතියේ සිදුවීමක් වස්තු විෂය වී ඇත. එනම් එම පංතියේ සිටි සිසුවකුගේ හා සිසුවියකගේ ප්‍රේම සබදතාවයකි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය. නමුත් සිසුවාට සරසවි වරම් නොලබන්නට විය. කලකට පසු දම්මික බණ්ඩාරයන්ට  මෙම සිසුවා මුණගැසිණි .  ඔහුගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ " සර්, මම ඒ සම්බන්ධය නතර කරා. මට කැම්පස් යන්න බැරි වුනා.එයාගේ ලෝකය දැන් වෙනස්නේ.. මම දන්නවා ඒක හරි ලස්සනයි.. මම එයත් එක්ක හිටියම එයාට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒකයි මම එහෙම කරේ" යනුවෙනි.


ධම්මික බණ්ඩාරයන්ගේ හදවතට දැනුන මෙම සිසුවාගේ හා සිසුවියගේ විප්‍රයෝගය උපයුක්ත කොට ගනිමින් " හන්තානට පායන හද ලස්සනයිද කියන්න.. " යන ගීතයෙහි පද බදින ලදී. ප්‍රේමයේ දී පරිත්‍යාගයන් අපට ඇසෙනුයේ දකිනුයේ ඉතා කලාතුරකිනි . ප්‍රේමය වෙනුවෙන් ගුටි බැට මෙන්ම මරාගන්නා සමාජ තත්වයක මෙවන් වූ ආත්ම පරිත්‍යාගයෙන් යුතු ප්‍රේමවන්තයන් ඉතා විරලය.


මෙහි එන ප්‍රේමවන්තයා ඔහු ආදරය කළ ප්‍රේමවන්තියගෙන් මෙසේ වෙන්වෙනුයේ නිසැකවම ඇයට ආදරය නිසා ය. නොඑසේනම් සරසවියෙහි ඇති සුන්දර ලෝකයෙන් සිමා මයිම්,  තහන්චි දමා ඈ ඇද බැද තබා ඔහුගේ ලෝකයට කැන්දා ගන්නට ඔහුට තිබුනි. නමුත් ඇගේ අනාගත අභිවෘද්ධිය තකා ඇයගෙන් වෙන්වූයේ උපෙක්ෂාවෙනි.


හන්තානට පායන හද ලස්සනයිද කියන්න 

මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න..


පේරාදෙණිය විශ්වවිද්‍යාලය හන්තාන කන්ද සමඟ සමීප නෑ සබඳතාවක් කියයි. විශ්වවිද්‍යාලයේ පෙම්වතුන්ගේ පාරාදීසයක් බවට හන්තාන කන්ද පත්ව ඇත. තමා පෙම් කළ ඒ යුවතියට පෙම්වතකුගේ දෑතෙහි වෙලී හන්තාන කන්දේ ඇති සුන්දරත්වය දකින්නට, විදින්නට සැලැස්වීමට ඔහු ඇයගේ ජීවිතයෙන් සමුගනියි.


අදුරු ලලා වහිනා කළ සරසවි බිම තෙමෙන්න 

කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න..


සරසවිය තුළ පෙම්වතුන් කුඩ යටට වි පෙම් සුව විදිනා බව දන්නා නිසාම ඇය වෙනුවෙන් ඔහු ප්‍රාර්ථනාවක් එක්කරයි. ඔහු ඇගේ ජීවිතයෙන් සමුගන්නා ලද්දේ ඇගේ ජීවිතය රිසි සේ විදිමට හැකිවේවා යන අහිංසක බලාපොරොත්තුවකිනි  . හිරි පොද වැස්සේ සරසවිය තුළ අන් පෙම්වතුන්ගේ ප්‍රේම ජවනිකා ඇගෙ දෙනෙතට හසුවේ. එහෙයින්නි ඈ යන එන මග තොට ඇගේ හිතට පාළුවක්, තනිකමක් නොදනේවා යනුවෙන්  ප්‍රාර්ථනාවක් එක් කරනුයේ..


ලතා මඩුළු අත වනාවී එපා අහක බලන්න

මා  ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න


පේරාදෙණිය සරසවියත් , මහවැලි ගඟත් එකිනෙකට බද්ධ වු වස්තුන් දෙකකි.හදවත් සමඟ ගණුදෙනු කරනා තැන පෙම්වතුන්ගේ ප්‍රේමයන් පරිත්‍යාග කිරීමට තරම් උපෙක්ෂා සහගත පෙම්වතුන් පෙම්වතුන්ගේ ලෝකවල විරල ය. " ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න" මේ තුලින් ඔහු කියනුයේ සරසවි බිම තුළ පෙම්වතකු හමු වුවහොත් ඔහු හා එක්ව ජීවිතය බෙදාගන්න යන්න නොවේද? එදවස උදා වුවහොත් තමා ගැන ඇති අතීත මතකයන් සියල්ල සදහටම අමතක කරන්න යැයි ඔහු ඇයගෙන් ඉල්ලීමක් කරයි.


ඉතා කෙටි පද මලාවක් තුළින් විශාල ගැඹුරක් මවන්නට තරම් මෙම ගීතය සමත්ය.හන්තාන කඳූ වැටියේ සුන්දරත්වයත් සමඟ ශ්‍රාවකයා සංවේදි කරන්නට පද රචනයටත්, සංගීතටත්, අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬත් යන ත්‍රිත්වයෙහි සුසංයෝගයයට හැකිවිය.


(උපුටා ගැනීම - ගී මංජරී)




Monday, April 19, 2021

වසන් කරන්නට බෑ මගෙ හිත අද ...

 ආ ආ ආ ආ...

ආ ආ ආ ආ...

ආ ආ ආ ආ...

ආ ආ ආ ආ...


වසන් කරන්නට බෑ මගෙ හිත අද

පෙම් මල් පූදිනවා

සෙනෙහස ඉපදී සුවඳින් මත් වී

පෙම් මල් පූදිනවා ...//


සිහිලට දැනෙනා ගින්දර දැක දැක

සිත දොඩමලු වෙන්නේ

වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද

පෙම් මල් පූදින්නේ


වසන් කරන්නට බෑ මගෙ හිත අද

පෙම් මල් පූදිනවා

සෙනෙහස ඉපදී සුවඳින් මත් වී

පෙම් මල් පූදිනවා


දෙතොලග පීදෙන රිදී ඉරක මතු

මිහිරද පවසන්නේ

වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද

පෙම් මල් පූදින්නේ


වසන් කරන්නට බෑ මගෙ හිත අද

පෙම් මල් පූදිනවා

සෙනෙහස ඉපදී සුවඳින් මත් වී

පෙම් මල් පූදිනවා ...//


ගායනය - මාලිනී බුලත්සිංහල

පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන

තනුව - එච්.එම්. ජයවර්ධන


ඔබ කොහොමද මාලිනි, එච්. එම්. සංගීත යුවල හා ඇසුරට වැටෙන්නේ?

 

රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් "ඉස්කෝලේ යන කාලේ ලොකු ආසාවක් හිතේ තිබුණේ ලියන්න, ගීතවලට මේ සුවිශාල චරිත මේ හැමදේම ගැන. ඇත්තටම ඒක නිකං පිස්සුවක් වගේ. අපේ ඇඟ ඇතුලේ අපට ලියන්න හැකියාව තියෙනවා. නමුත් අවස්ථාව නැහැ. මේ දෙක අතර සම්බන්ධතාවක් නැහැ. ඒක කොහොමද ගොඩනගාගන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ ටෙලිෆෝන් නෑනේ එහෙමට. මම උසස්පෙළ කරනවා වගේ කාලේ. එතකොට  දුරකථන අපිට නැති නිසා, ලියුම් තමයි ලියන්නේ. ආදරණීය ගායනවේදීන්ට අපි ලියනවා. ලියන්න ආස බව කියලා ලොකු පද රචනා මල්ලක් අරිනව ලියලා ලියලා. එහෙම තමයි මේ සම්බන්ධය ගොඩනැගෙන්නේ. දවසක් මං නොහිතු විදිහට මාලිනි බුලත්සිංහල ගායනවේදිනිය මට නැවත පිළිතුරක් එවලා තිබුණා. ඒක මට මට විශාල ශක්තියක්, ඒ වෙලාවේ. ලංකාවේ අතිශය ජනප‍්‍රිය වෙච්ච ගායනවේදිනියක් පිළිතුරු ලිපියක් එවනවා කිව්වහම අපිට ආයේ වෙන මොනවද ඉතිං පාසල් කාලයේ. මහා මෙරක් වගේනේ. ඒක තමයි මේ අල්ලාගත් සම්බන්ධය. සාමාන්‍යයෙන් රසිකයෝ ලියනවනේ ඕන තරං. අපි කවියෝනේ. රසවත් ලිපි ලියනවා. බොහොම සාහිත්‍යයෙන් බර ලිපි. එවැනි ලිපි ඒගොල්ලන්ට විශේෂයි. ඒ හින්දා තමයි මේ පිළිතුරු ලිපියක් එවන්නේ. 


පසුකාලෙක තමයි මට එතුමිය එහෙම කිව්වේ. අපේ ලිපි හරිම රසවත්  ඒගොල්ලන්ට. ලියන්නේ ඒගොල්ලන්ගේ ගීත අගය කරලා සාහිත්‍ය වර්ණනාවක් ඇතුවනේ. ඒකට බොහෝ ඇල්මක් දක්වපු හින්දා තමයි එතුමිය මට මෙහෙම ලිපියක් එවන්නේ. මට මතකයි නන්දා මාලිනියට ඔහොම ඇගේ ගීත වර්ණනා කරමින් ලිපියක් යවපු වෙලාවක ඇයත් පිළිතුරු ලිපියක් එවලා තිබුණා. ඇය සඳහන් කරලා තිබුණා විශේෂයෙන්ම මේ ලිපියේ ස්වරූපය නිසාම ඇය පිළිතුරු ලියනවා, ධෛර්යයක් වශයෙන් කියලා. අපි ලියපු විදිහට එතුමියටත් පිළිතුරු නොලියා සිටීමට අපහසු වුණා මං හිතන්නේ. ඔය විදිහට තමයි මේ සම්බන්ධකම් මුල් යුගයේදී ගොඩනැගෙන්නේ. පසුකාලයේ මම ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවුණාට පස්සේ මම මාලිනි බුලත්සිංහල සහ එච්.එම්. ජයවර්ධන, මේ යුවල සොයාගෙන යනවා බොරලැස්ගමුවට. පත්තර වලින් තමයි ඒ දවස්වල ලිපිනය එහෙම ලැබුණේ. ඒ සොයාගෙන යෑමත් එක්ක මේ හිතවත්කම් පටන් ගන්නවා.

 

වසන් කරන්නට ගීතය’ ලියනකොට ඔබේ වයස කීයද?

 

උසස් පෙළ ඉවරවුණ ගමන්ම වගේ. මට මතක පාසල් ගිහිං ඉවරවුණ ගමන් වගේ ඒ ගීතය ලිව්වේ. ඕනෑම නිර්මාණකරුවකුට යම් ප‍්‍රමාණයක අත්දැකීම් භාවිතා වෙනවනේ. ඒක සත්‍යයක්. හැබැයි මේක මගේම අත්දැකීමක් විදිහට ප‍්‍රකාශ වුණාද කියන එක මං තාම හිතනවා. ඒකෙ මුලක් තියෙනවා, නැත්තේ නෑ. ඒක තමයි ප‍්‍රථම පේ‍්‍රමයේ හැඟීම. ඒ අත්දැකීමක් විඳපු ඕනෑම මනුස්සයකු ගේ හිතින් ඒක අයින් වෙන්නේ නෑ, අදටත් මතක් කරන්න පුළුවන්. වයස්ගත උනත් ඒක මතක් කරගන්න පුළුවන්. පාසල් අවධියේ ප‍්‍රථම පේ‍්‍රමය, උසස්පෙළ කාලයේ. හැබැයි ගීතය මං ලිව්වේ සියයට සීයක්ම ඒක පාදක කරගෙන නෙමෙයි. ඒ හැඟීම මගේ හිතේ තිබුණා. පොදු අත්දැකීමක් බවට ඒක නිරායාසයෙන්ම පත්වුණා. ඒක තමයි මං කලේ. අනික මේකත් කියන්නම ඕන. දැන් කාලේ ගීතයක් කරනවා තරම් ඒ කාලේ ලේසි නෑ. ඒ කාලේ හැටියට මුළු ගීතයම එකවර කියලා, වාදනය කරලා අවසන් කරන්න ඕන. ඒකට ඔවුන් හැමකෙනෙක්ම අතිශය දක්ෂ වෙන්න ඕන. ඒ කාලේ ශිල්පීන් ලොකු අභියෝගයකට මූණ දුන්නා. පස්සෙනේ මේ තාක්ෂණය ආවේ. ඒ වෙනසත් මං හරියට අත්දැක්කා ගුවන්විදුලියේ පටිගත කිරීම්වලදී. ඒක ඒ කාලේ හිටපු ගායක ගායිකාවන්ට, සංගීතවේදීන්ට ගෞරවයක් විදිහට සඳහන් කරන්නම ඕනෑ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)



බැද්ද පුරා සුදු ...

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස

ඉද්ද පනා මල් කැන් පිපිලා


බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස

ඉද්ද පනා මල් කැන් පිපිලා


සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද

සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද

නැද්ද කනෙයියෙනි රොන් හැදිලා


බැද්දට මල් වරුසාවක් වැහැලද

නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද


බැද්දට මල් වරුසාවක් වැහැලද

නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද


පාර වටේ ඇති සේරම ගස්

සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා

ගෙඩි හට ගැනිලා


පේර දිවුල් පලු වීර ඉදී එන

වාරෙ වගෙයි මේ පැනි පිරිලා


බැද්දට පැනි වරුසාවක් වැහැලද

ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද


බැද්දට පැනි වරුසාවක් වැහැලද

ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද


රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්

සීනු හඬින් රස ගී ගයලා

රස ගී ගයලා


තාන තනා තම් දාන කියා

එළිමාන වටේ කැරකේ නටලා


බැද්දට ගී වරුසාවක් වැහැලද

ගී පොද මේ හොට අස්සට පෙරිලද


බැද්දට ගී වරුසාවක් වැහැලද

ගී පොද මේ හොට අස්සට පෙරිලද


ගායනය: අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න

පද රචනය: හෙන්රි තෙන්නකෝන්

තනුව: පියසිරි විජේරත්න


ගායනය පියසිරි විජේරත්නයන්ගේ හා විශාරද අමිතා වැදිසිංහ ප්‍රභූ ගායන ශිල්පී යුවළගේය. සංගීත නිර්මාණය කරන්නේ පියසිරි විජේරත්නයන් විසිනි. ඔහු අතින් නිර්මාණය වූ සංගීත තනු රටා අතර ඔහුටම අනන්‍ය වූ මහා භාව ප්‍රකාශනයක් වූ බව සහෘද රසිකයෝ දනිති. පැදිපෙළ පුවත්පත් කලාවේදියක් වූ හෙන්රි තෙන්කොන්ගේය. හෙන්රි තෙන්නකෝන් යනු කලක් මේ සමාජ රටාව සදය විවේචනයට කර පාඨක බුද්ධිය පුබුදවනු ලැබූ ලංකාදීප පුවත්පතේ සමාජ සමයං කාටුනය නිර්මාණය කළ නිර්මාණ ශිල්පියාය.


ඔවුන් අතින් බිහිවන මේ මනරම් ගීය නොඇසූවෙක් වෙතැයි නොසිතමි. මලින් පලින් බරවන බක්මස නැඟෙනා සොබා දහමේ රිද්මය මේ තරම් සියුම් ලෙස පද පෙළක චිත්‍රනය වූ අවස්ථාවක් නොවේ. ඒ රිද්මය අපේ සංස්කෘතියේ ප්‍රහර්ෂාත්මක අංගය වූ සිංහල අලුත් අවුරුද්ද හා බද්ධ කර ඇති නන්දනීය එළැඹුම නිසා සෑම අවුරුදු වකවානුවකම මේ ගීතය ඇසේ.


අලුත් අවුරුද්දක් යනු අලුත් බලාපොරොත්තුවකි. ප්‍රාර්ථනා අලුත් කරගන්නා වකවානුවකි. එහි ගැඹුරු සංවේදනා මේ මොහොතේ ජීවත් වෙමින් සිටින බව විශ්වාස කරන මිනිසුන්ට නොදැනීම අරුමයක් වන්නේ නැත. තමන්ටත් තමන් අහිමිව බලාපොරොත්තු උපදවන අර්ථසාර දැක්මක් රහිතව ආර්ථික සමාජ පීඩාවට හසුව පරඬැල් වුණු ඔවුන්ට අලුත් අවුරුද්දම පීඩා සහිත විකාරයකි.


එහෙත් අප අත්විඳි දශක කීපයකට එපිට අපේ ළමා කාලයේ දී මේ කියන අවුරුද්දේ නැවුම් හැඟීම් දැනුණ ස්පර්ෂ වුණු බව සිහිනයක් සේ මතකය. මේ ගීතය ඒ මතකවෙත අපව රැගෙන ගියේය. එමෙන්ම ගීයක රස භාව විඳිය හැකි නූතන යෞවනයන් මේ ගීතය සිත් පුරා විඳිනු දැක පුරුදු ඇත්තෙමි.


එය ගැන කතා කරන්නට අද අපට ඉතිරිව ඉන්නේ සිංහල සුභාවිත ගීතාවලියේ ජීවමාන පුරාවෘත්තය බඳු ජ්‍යෙෂ්ඨ ගායිකා විශාරද අමිතා වැදිසිංහය. වර්ෂ 1949 දී ළදැරියක් සේ මුල්වරට ගුවන්විදුලියට පය තබන ඇය ගුවන් විදුලියේ ළමා මණ්ඩපය විසින් බලගන්වා නිර්මාණය කළ ප්‍රභාෂ්වර චරිතයකි. ඇය මේ ගීතය ගැන කතා කරන්නී මහත් වූ ආනන්දනීය හැඟීමකිනි.


“බැද්ද පුරා ගීතය නිර්මාණය වෙන්න පාදක වෙන පද පෙළ මුලින්ම පළ වෙන්නෙ ලංකාදීප පත්තරේ. කවි පිටුවේ පළවෙන මේ පද ටික නිර්මාණය කරන්නෙ හෙන්රි තෙන්නකෝන් විසින්. හෙන්රි තෙන්නකෝන් කියන්නෙ ලංකාදීප පුවත්පතේ අගය වැඩි කරපු විශිෂ්ට කාටුන් ශිල්පියා. ඒ කාලයේ ඉතාම ජනප්‍රිය වුණු සමාජ සමයං කාටුනය නිර්මාණය කළේ ඔහු. “


“මේ පැදි පෙළ දැකපු පියසිරි විජේරත්න මහත්තයා එය ඔහුගෙ ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ගීතයක් විදිහට ගයන්න තෝර ගත්තා. තනුව සහ සංගීතය නිර්මාණය කරලා තිබුණේ ඔහු. මේ අවධියෙ මම ගායන ශිල්පිනියක් විදිහට හැදැරීමක් සහිතව වැඩකරමින් සිටියෙ. පියසිරි මහත්මයා මේ ගීතයට තනුව යොදලා ගායනා කරන්න හදනකොට ඔහුට කල්පනාවෙලා තිබුණා මේ ගැයුමට කාන්තා හඬක් තිබුණා නම් හොඳයි කියලා. මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව එළඹෙන්නෙ එහෙම.“


“එතුමා ගීතයෙ තනුවයි සංගීත සැලසුමයි එක්ක මාව මුණගැහෙන්න අපේ ගෙදර ආවා. එය රසය වෑහෙන තනුවක්. හරිම අපූරු සංගීත නිර්මාණයක්. මම ඒ වෙලාවෙම කල්පනා කළා මේ නිර්මාණයට එක්වන්න ලැබීමම භාග්‍යයක් කියලා. ආපහු හැරිලා බලනකොට ඇතිවෙන්නෙ විශාල සතුටක්. මා තවමත් ඒ ගීතය විඳිනවා.“


විශාරද අමිතා වැදිසිංහ ජ්‍යෙෂ්ඨ ශිල්පිනිය සිය අතීත මතක අතර සැරිසරමින් සිටියාය.


“මට මතකයි. සරල ගී වැඩසටහනට යන්න පෙර අපේ ගෙදරම උදේ හිට රෑ වනතුරු දින ගණනක් අපි පුහුණු වුණා. පියසිරි මහත්මයගෙ තියෙන විශිෂ්ටම ලක්ෂණය තමයි ඔහුට වැඩක් අන්තිම දශමයට නිවැරදිව ඕන වීම. පුංචි වැරැද්දක්, අතපසුවීමක් සිදුවන්න බෑ. ඔහු සංගීතයෙන් මතු කරන ඉතාම සියුම් තැන් පවා ඔහුට නිවැරදිව අවශ්‍ය වුණා.“


“ඒ කාලයෙ නිර්මාණයක් සඳහා ඒ කැපවීම පුහුණු වීම අවශ්‍යයි. දැන් වගේ නැවත නැවත ගයා කෑලි එක් කරමින් ගායනයේ අඩු පාඩු හදාගන්න, වාදනයේ වැරදි නිවැරදි කරගන්න බෑ. එක්වරම ගායනය කර එය නිමා කළ යුතුයි. අවසාන මාත්‍රාව වැරදුණත් නැවත මුල ඉඳන්ම ගායනා කරන්න වෙනවා. වාද්‍ය වෘන්දයටත් එහෙමයි. හැබැයි මම දැකපු ඇත්ත තමයි ඒ වකවානුවේ මානව සම්පත තාක්ෂණයට වඩා උඩින් තිබුණ එක. වාද්‍ය වෘන්දය ඒ වෙනුවෙන් කැප වෙලා පුහුණුවීම් කළා. ගායනය සහ වාදනය ප්‍රශස්ථ මට්ටමට ආ පසුවයි පටිගත කිරීම් කළේ. ඒ කාලයේ හිටපු විශිෂ්ට නාද ශික්ෂණ ශිල්පියෝ තාක්ෂණික පහසුකම් වලට එපිටට ගිහින් සිය වෘත්තිය වගකීම කළා. ඒ හින්දා ඉතාම උසස් ගණයේ නිර්මාණ ගුවන් විදුලියෙන් බිහි වුණා. බැද්ද පුරා ගීතය ඊට කදිම උදාහරණයක්.“


ඇය කියන්නීය. බැද්ද පුරා ගීතය පරම්පරා තුනක වෙනස් අත්දැකීම අතර නොවෙනස්ව බැඳුණු රහසත් ඒ නිර්මාණයේ පද, ගැයුම, වැයුම පමණක් නොව ඉහළ ගුණාත්මක වටිනාකමක් සහිතව කලා කෘතියක් නිර්මාණය කිරීමට ලැබුණු තාක්ෂණික පිටිවහලය. නිර්මාණයක සාර්ථකත්වය යනුම ඒ නිර්මාණය වෙනුවෙන් කළ කැපකිරීම හා ඊට දැක්වූ ගෞරවය ය. බැද්ද පුරා වැනි ගීත තවමත් අප තුඩ තුඩ රැව් දෙන්නේ නිර්මාණකරුවන් නිර්මාණයට දැක්වූ ගෞරවයේ ප්‍රකාශනක් ලෙස බව සිතමි.


(උපුටා ගැනීම - රුක්මල් ජයසිංහ/ සිළුමිණ)



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...