Thursday, August 12, 2021

කෙටල පටානෝ...

කරලිය ලඟා කර ඉණිමන් ගැටගසන

වැඩිහිටි මහළු තුරු වෙසෙනා තැන කොතැන


කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ


හැන්දෙන් කමින් හැන්දට ගරහා සිටින

දුප්පත් එවුන් වෙනුවෙන් යයි හඩ තලන

පීඩිත අහිංසක ඇරයුම්   ඉවතලන

කුමටද අපේ කට මුණිවත රැක තිබෙන


කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ


දරු සෙනෙහසින් අත අල්ලා පෙරටු කරන්

පිනිපා මුලින් අප   කරලිය තුලට අරන්

ඇසුවිට මහල්ලගෙ වතගොත කනින්කොනින්

ඉහිලිය නොහැකි බර පොදිබැඳ එලොව ගිහින්


කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ

කෙටල පටානෝ නිතරම උඩ යට යානෝ


ගායනය - විශාරද ගුනදාස කපුගේ 

සංගීතය - විශාරද ගුනදාස කපුගේ 

පදරචනය - ඒ.එච්.එල් යසවර්ධන


කැලණි ගඟානෝ -  නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ -      නිතරම උඩ යට යානෝ

මී හරකානෝ -           නිතරම ඔලූව වනානෝ

ඇටිකිති ජානෝ - නිතරම ජෙග ජෙග ගානෝ


සියනෑ කෝරළයේ හෝ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩිදෙනෙකු අසා පුරුදු මේ ජන කවිය අප රටේ සිටි සිවිල් සේවා නිලධාරියෙකු සහ විශිෂ්ට ජනශ‍්‍රැති පර්යේෂකයෙකු වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් විසින් 1964 වසරේ සම්පාදනය කළ ‘‘සිංහල කාව්‍ය සංග‍්‍රහය - මාතර යුගය’’ කෘතියෙහි (පිටුව 200) ද සඳහන්ය. මෙය ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයකි.


ඉහත සඳහන් ජන කවියෙහි මතුපිට අරුත වනුයේ වරින් වර පිටාර ගලන කැලණි ගඟ නිසා ගඟ දෙපස ඇති කෙටල පඳුරු වරින් වර දියෙන් යටවී යළිත් මතු වී පෙනෙන බවය. මේ අතර ගඟ ආසන්නයේ බැඳ සිටින මී ගවයන් හිස වනන අයුරුත් ඇටිකිත්තන් යනුවෙන් හැඳින්වෙන ජලාශ‍්‍රිත කුඩා මැඬි විශේෂය නිතර හඬනගන අයුරුත් ඉන් පැවසේ.


නමුත් පසුගිය කාලයේ සියනෑ කෝරළයේ ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ගවේෂණයක යෙදුණු මට එම ජන කවියෙන් මතුවන ඊට වඩා ගැඹුරු ද්වනිතාර්ථයක් පිළිබඳව අනාවරණය කර ගත හැකි විය. ඉන් පැවසී ඇත්තේ සියනෑ කෝරළයේ විසූ මහා ධනකුවේරයෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳව බව එහිදි අනාවරණය කර ගැනීමට මට හැකි විය.


ඔහු දහඅටවන සියවසේ අග භාගයේ හෝ දහනව වන සියවසේ මුල් භාගයේ දී සියනෑ කෝරළයෙහි විසූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. අක්කර සිය ගණනක පොල්වතු ඇතුළු සුවිසල් දේපළකට හිමිකරුවෙකු වූ මොහු තමන් යටතේ වැඩකරන සේවකකාරකාදීන්ගේ රූමත් අඹුවන් සොයා ගොස් ඔවුන් සමඟ අයථා සබඳතා පැවැත් වූ අයෙකි. ඔහුගේ ප‍්‍රතාපය නිසා මෙම සංසිද්ධිය සෘජුව කීමට නොහැකි වූ ජන කවියා ‘‘කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ’’ යනුවෙන් පවසා ඇත්තේ ඔහුගේ එම ලිංගික චර්යාවයි.


මෙහි "වතුර ගැලීම" යනුවෙන් අදහස් කරන්නේ ගං දිය පහළට ගලා ඒම නොවේ. එය පිටාර මට්ටම ඉක්මවා දෙපසට ගලා යාමයි. එහි පිටාර මට්ටම යනු සම්මතය වන අතර පිටාර මට්ටමෙන් ඉවතට ගැලීම යනුවෙන් ජන කවියා අදහස් කර ඇත්තේ එම ප්‍රභූ වරයාගේ අසම්මත ලිංගික චර්යාවම බව පැහැදිලිය.


එහි දෙවන පදයෙන් පැවසෙන ‘‘කෙටල පටානෝ නිතරම උඩයට යානෝ’’ යනුවෙන් පැවසෙනුයේ ඔහුගේ ලිංගික ආධිපත්‍යයට නතු වූ එම කාන්තාවන් පිළිබඳව ය. මෙහිදී ‘‘වතුර ගැලීම’’ සහ ‘‘උඩ යට යාම’’ යන්නෙන් ලිංගිකත්වය පිළිබඳ සියුම් ඉඟි පළ කෙරන අතර ඇතැම් විට වරින් වර හිමිවන ඔහුගේ ඇසුර නිසා එම කතුන්ගේ උඩඟු බව අඩුවැඩි වීම ද ජනකවියා එලෙසින් දකින්නට ඇත. යමෙකුගේ උඩඟු බව දැක්වීම පිණිස ‘‘දැන් එයා සෑහෙන්න උඩ ගිහින්’’ යනුවෙන් සමාජයේ පොදු වහරක් ඇති බව අපි කවුරුත් දනිමු.


මෙහි ඊළඟ පදයෙන් පැවසෙන ‘‘මීහරකානෝ නිතරම ඔලූව වනානෝ’’ යන්නෙන් එම බිරියන්ගේ සැමියන් පිළිබඳව පැවසෙන බව මෙහිදී අනාවරණය කර ගැනීමට මට හැකිවිය.  මක්නිසාද යත් එම ප‍්‍රභූවරයාගේ දාසකාරකාදීන් වන ඔවුනට තමන්ට සිදුවන කිනම් අසාධාරණයක් හෝ ‘‘ඔලූව වනා’’ අනුමත කිරීම හැරුණු කොට ඊට එරෙහිව නැඟීසිටීමේ හැකියාවක් එකල සමාජයේ නොතිබූ බැවිනි.


මෙහි වඩාත්ම උපහාසයක් ද්වනිත කරවනුයේ එහි ‘‘ඇටිකිති ජානෝ නිතරම ජෙග ජෙග ගානෝ’’ යන්නෙනි. මෙහි ඇටිකිත්තන් යනු කුඩා මැඬිවිශේෂයක් බව මම ඉහත සඳහන් කළෙමි. එහෙත් ඒ සමඟම යෙදෙන ‘‘ජානෝ’’ යන වචනයෙන් හැඟවෙනුයේ ජනතාව යන්න ය. ඒ අනුව එම ‘‘ඇටිකිති ජානෝ’’ යන්න අවශේෂ ජනයා ලෙස අර්ථකතනය කිරීමේ නොහැකියාවක් නැත.


සමාජයේ ප‍්‍රභූවරයෙකු විසින් ප‍්‍රසිද්ධියේ සිදුකරන මෙම සදාචාර විරෝධී ක‍්‍රියාවට, ලිංගික සූරාකෑමට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වීමට හෝ අභියෝග කිරීමට හැකි සමාජ පරිසරයක් මෙකල නොතිබුණි. එබැවින් අවශේෂ ජනයාට හැකි වූයේ ඒ පිළිබඳව නිරතුරුවම ඔවුනොවුන් අතරේ රහස් කතිකාවක් ගොඩනංවා  ගැනීමට පමණි.  කවියෙහි එය හැඳින්වෙනුයේ ‘‘ජෙග ජෙඟ’’ ගෑම ලෙසිනි.


මෙහි තවත් විශේෂත්වයක් තිබේ. අරාබි බසින් ලිංගික ක‍්‍රියාව හඳුන්වන පහත් ඕලාරික වදනක් වනුයේ ‘‘ජිගි ජිගි’’ යන්න ය. මෙය ජිගි යන්න ඉංග‍්‍රීසි ශබ්දකෝෂවල සඳහන් වන්නේ Haveing Sex යන්නෙහි අවියත් වදනක් ලෙසිනි.


තම ප‍්‍රදේශයේ ප‍්‍රභුවරයෙකුගෙන් සිදුවන ලිංගික සූරාකෑමක් පිළිබඳව කැලණි ගඟ මුල්කොට මෙසේ උපහාසාත්මක යටි අරුතක් පළ කළ ඒ අප‍්‍රකට ජන කවියාගේ චින්තනය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව කැලණි ගඟටත් වඩා ගැඹුරු බව නම් නොකියාම බැරිය.


ඒ.එච්.එල් යසවර්ධන විසින් මෙම කවියෙහි එක් පේලියක් ගෙන ගීතයක් බවට පෙරලා එම ගීය විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් ගායනා කරයි.


(උපුටා ගැනීම - තිලක් සේනාසිංහ)




සිහිනෙන් පවා...

සිහිනෙන් පවා රෑ රැඳුණත් සිතේ

මට හිමි නොවේ ඔබෙ ආදරේ

කඳුළැල් කතාවේ ඔහු හා ඔබේ

සුසුමකි විලාසේ ඉන්නම් මෙසේ


සෙනෙහස පුදාලා ඔහු හට ඔබේ

සුසුමක්‌ වුණා යෑයි ඔබ කී දිනේ

ඔබ හා දයාවෙන් බැඳුණත් සිතේ

අසරණ වුණේ මා ඔබේ ආදරෙන්


අවනත නොවූවත් ඔහු ඔබෙ ලොවේ

ඔබ ආදරේමයි මා ඇයට සේ

හිමිකම් නොකීවත් අහිමි සෙනේ

දැකුමෙන් ඔබේ රූ සැනසුම් ගෙනේ


පද රචනය - විපුල් ධර්මප්‍රිය ජයසේකර

ගායනය හා සංගීතය - විශාරද ෂර්ලි වෛජයන්ත


හිතේ තියෙන දුක්‌ කන්දරාව ළෙන්ගතු හදවතක්‌ ඉදිරියේ කියන්න තියෙනව නම් හිතට දැනෙන්නේ පුදුමාකාර සහනයක්‌. සමහර පෙම්වතුනුත් එහෙමයි. පෙම්වතා නිසා දුක්‌විඳින පෙම්වතිය ඇයට වඩාත් හිතවත් කෙනකු හමුවේ තම දුක කියනවා. පෙම්වතාත් සමහර වෙලාවට එහෙමයි. ඇය ගැන ඔහු ඔහුට ළෙන්ගතු කෙනකු හමුවේ පවසනවා.


සිහිනෙන් පවා රෑ රැඳුණත් සිතේ

මට හිමි නොවේ ඔබෙ ආදරේ

කඳුළැල් කතාවේ ඔහු හා ඔබේ

සුසුමක්‌ විලාසේ ඉන්නම් මෙසේ...


හැබැහින් විතරක්‌ නොවෙයි හීනෙනුත් මගේ හිතේ ඔයාගේ රුව රැඳී තියෙනවා. ඒත් මට ඔයාගේ ආදරේ හිමි නැති බව මම දන්නවා. ඔබ දෙපළගේ කඳුළු කතාව අහලා සුසුම් ලන්නේ මම. මම ඒ සුසුම විදිහටම හැමදාම ඉන්නම්...


ඔහු හිතෙන් විඳවනවා... මේ විඳවන්නේ පෙම්වතා නොවේ. හිතවත් තරුණියක්‌ සහ ඇයගේ පෙම්වතා වෙනුවෙන් මේ සුසුම්ලන්නේ වෙනත් හදවතක්‌.


ගීය ලියුවේ විපුල් ධර්මප්‍රිය ජයසේකර "මම මේ ගීය ලියුවේ බොහෝ කලකට පෙර ෂර්ලිගේම සඟවන්නෙපා හසරැල් සී. ඩී. එකට. ෂර්ලිට වැඩිපුර ගීත ලියන්න ඇත්තේ මම "ඔහුගේ හිතවතකු මුහුණ පෑ සැබෑ සිදුවීමක්‌ මේ ගීයට පාදක වූ බවයි විපුල් කියන්නේ.


"මගේ හිතවතෙක්‌ ඉන්නවා ඔහු විවාහකයි. කාර්යාලයේ තරුණියක්‌ ඔහුට හරිම හිතවත්. පෞද්ගලික දේ පවා ඇය හා ඔහු කතාබහ කරනවා. ඒ තරමට ළෙන්ගතු කමක්‌ තියෙන්නේ. ඒ ප්‍රේම සම්බන්ධයක්‌ නොවෙයි. දැඩි මිතුදමක්‌. ඉතින් මේ තරුණියගේ පෙම්වතා ගැනත් ඇය ඔහුට කියනවා. එයා හරිම අමුතුයි. මාව වැඩිය ගණන් ගන්නේ නැහැ. "මේ විදිහට ඇය කඳුළු සලමින් මගේ මිත්‍රයාට දුක කියනවා. ඔහුට ඇය කෙරෙහි පුදුම අනුකම්පාවක්‌ ඇති වෙන්න පටන් ගන්නවා.


සෙනෙහස පුදාලා ඔහු හට ඔබේ

සුසුමක්‌ වුණා යෑයි ඔබ කී දිනේ

ඔබ හා දයාවෙන් බැඳුණත් සිතේ

අසරණ වුණේ මා ඔබේ ආදරෙන්...


ඔහු ඇයට සෙනෙහස දක්‌වනවා. අනේ මේ වගේ අහිංසක කෙල්ලෙකුට ඇයි ඇගේ පෙම්වතා දුක්‌ දෙන්නේ. මේ වගේ කෙනෙක්‌ මට හිමි වුණානම් දුක අහපු ළෙන්ගතු හිතට ඇය ගැන ආදරයක්‌ උපදිනවා අනුකම්පාව ආදරයකට පෙරළෙනවා. "එයාට ආදරේ කරන්න ගිහින් මගේ ජීවිතේට කැළැලක්‌ වුණා කියා ඔයා කියපු දවසේ මගේ හිතේ ඔයා කෙරෙහි ආදරයක්‌ ඇති වුණා. ඒත් ඒ ආදර සිතිවිල්ලත් එක්‌ක මම අසරණ වුණා. " ඔහු හිතන්න පටන්ගන්නවා. ඔහුගේ හිතේ ඇය ගැන ආදරයක්‌ ඉපැදුණත් ඒ බව ඇයට කියාගන්න බැහැ. ඒ ඔහු විවාහක නිසා. තහනම් පෙමක්‌ ගැන හිතුවොත් අසරණ වෙන්නේ අහිංසක බිරිය.


අවනත නොවූවත් ඔහු ඔබෙ ලොවේ

ඔබ ආදරේමයි මා ඇයට සේ

හිමිකම් නොකීවත් අහිමී සෙනේ

දැකුමෙන් ඔබේ රූ සැනසුම් ගෙනේ


මට ඔයා ගැන ආදරයක්‌ හිතුණත් ඒක පවසන්නේ කොහොමද. පෙම්වතා ඔයාට අවනත නොවුණත් ඔයා ඔහුට ආදරෙයි. හරියට මම මගේ ආදරණීය බිරියට ආදරය කරනවා වගේ. මට ඔයාගේ ආදරේ හිමි නැහැ. ඔයා මට අයිති නෑ. ඒත් ඔයාගේ රූපය දැකීමත් මට සැනසුමක්‌.


ඔහු අවසානයේදී හිතන්නේ එහෙමයි. මේ ගීය වෙනස්‌ම අර්ථයක්‌ ගෙන දෙන පදමාලාවක්‌.


(උපුටා ගැනීම - නිහඬ සිතුවිලි බ්ලොග් අඩවිය)




කොළඹ දුවන්නියේ...

කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්

මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං

කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං

උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං


කොළඹ දුවන්නියේ.....


එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ

ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ

එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා

ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා


කොළඹ දුවන්නියේ.....


දිග පීලි උඩිං කොහොමද උඹ නොවැටී යන්නේ

බිං ගෙවල් මැදිං කළුවරේම පාර දකින්නේ

මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා

අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා


කොළඹ දුවන්නියේ.....


ගායනය - සමිතා මුදුන්කොටුව

පදරචනය - දිලීප අබේසේකර 

සංගීතය - නලීන් පෙරේරා 


මතුපිටන් පෙනෙන ආකාරයට මෙහි කෝච්චියක් මුල් වූ කතාවක් සාමාන්‍ය රසිකයා තුලට ගෙන යයි. ඇත්තෙන්ම මෙහි ගේය පද රචකයාගේ දක්ෂතාවය අගය කළ යුතුය. ඔහු මෙහි කොච්චියකට ආරූඪ කර ඇත්තේ පිටිසර ගමක සිට රැකියාව සඳහා කොළඹ බලා පැමිණෙන තරුණියකයි. මෙහිදී ඔහු භාවිතා කර ඇති වචන මාලාවද පිටිසර ගැමි වදන්වලින් සැදුම්ලද්දකි.


මෙම කතාවේ තරුණියන් දෙදෙනෙකි. එක් අයෙක් වසර ගණනාවක් කොළඹ රැකියාව කර කොළඹ පිළිබඳ මනා අවබෝධයක් ඇති යෙහෙළියකි. සරළව කිවහොත් කොළඹ පරිසරයෙන් හොඳට තෙම්පරාදු වී ඇති තැනැත්තියකි. අනෙක් තැනැත්තිය ගමේ ජීවිතය පමණක් හුරු කොළඹට ආධුනික අපේ කතානායිකාවයි. මෙම කතානායිකාව තම යෙහෙලියගෙන් උපදෙස් ගෙන කොළඹ රැකියාවකට යාමට සූදානම් වෙයි. ගැමි පරිසරයක සිට කොළඹ රැකියාවක් කරා පැමිණෙන තරුණියකට මුහුණ දීමට සිදුවන සිදුවීම් පිළිබඳ අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.


කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්

මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපං

කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං

උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං


කතානායිකාව තම මිතුරියව කොළඹ දුවන කෝච්චියක් ලෙස හදුන්වයි. පසුදා උදෑසන කොළඹ බලා යාමට සිතා සිටින ඇය මතුරියට පවසන්නේ තමා එනතුරු දුම්රිය නැවතුම්පලේ සිටින ලෙසයි. යම් හෙයකින් ඇය නොසිටියහොත් තමා මං මුලා වන බව පවසයි. ඒ ගැන බියෙන් පසුවන ඈ මිතුරිය පිළිබඳ විශ්වාසය තබන්නේ මිතුරිය හොඳ පුරුදුකාරියක් බව දන්නා බැවිනි. “උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං”  යනුවෙන් ඇය පවසන්නේ ඒ බව ඒත්තුගැන්වීමටයි.


එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ

ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ

එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා

ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා


කොළඹ, ගමේ වගේ නෙවෙයි. එහේ එක එක යාළුවොන්ගෙ කල්ලි තියෙනවා. ඒ යාළු රැළක් එක්ක මුළු කොළඹම කරක් ගහපු මිතුරියක් ඇයට සිටින්නේ. එය ඉතා අපූරුවට පෙන්වන්නේ “කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අඳුනන්නේ ” යන වදන් පෙළිනි. එය ඇතැම් විට සාමාන්‍යයෙන් කොළඹ රටේ සංචාරය කර ඇති බවක්ම නොවන්නට පුළුවනි. බොහෝ විට ඉන් කීමට තැත් කරන්නේ කොළඹ රටේ පෙම්වතුන් සමඟ ඇගේ මිතුරිය නොගිය තැනක් නැති බවය. ගස් ගල් යනුවෙන් සංකේතවත් කර ඇත්තේ එය විය හැකිය. ඇයට වගේම මටත් කොළඹ රටේ අලුත් යහළුවන් (පෙම්වතුන්) මුණගැහෙන්නත් පුළුවනි. හැබැයි ඒ දේවල් ගැන ගමේ ගිහින් නොකියන ලෙසට ඉල්ලා සිටී. මොකද කොළඹ රටේ ගස් ගල් හැඳුනුවත් ගමේ ගස් ගල්වලට ඇස් , කන් ඇති නිසා. 


දිග පීලි උඩිං කොහොමද උඹ නොවැටී යන්නේ

බිං ගෙවල් මැදිං කළුවරේම පාර දකින්නේ

මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා

අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා


ඇත්තෙක්ම විටෙක තම මිතුරිය පිළිබඳ පුදුම සහගතයි. මෙතරම් දරුණු අවිනිශ්චිත කොළඹ සමාජයේ ඇය ආරක්ෂාකාරීව ජීවත් වෙයි. හරියට වේගයෙන් යන දුම්රියක් පීලි උඩ නොවැටී යනවා වගේ. ඉදිරියට එන්න තියෙන අනතුරු කලින් දැනගෙන ඒවා මගහරිමින් යන්නේ හරියට බිංගෙවල් තුලින් කරුවලේම පාර සොයා යන ලෙසටයි. ඒ වුනත් මට නම් තාම ඒ වගේ මේ සමාජයේ කරදරවලින් බේරී සිටීමට දැනුම් තේරුම් නැහැ. නොදැනුවත්කම නිසාම මම වැරදි පාරෙ ගිහින් ජීවිතේ විනාශ කරගනීද දන්නෙත් නැහැ යන අදහස හොඳින්ම ගෙනහැර දක්වන්නේ “මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා” යන ඉතා අනර්ඝ යෙදුම්වලිනි. කතාව තවමත් දුවන්නේ කෝච්චිය මත පදනම්ව නිසා ඊළඟ යෙදුමද අවස්ථාවට උචිතය. “අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා”


ඉතා වටිනා අදහසක් ව්‍යංගයෙන් සමාජගත කිරීමට ගීත රචකයාගේ භාෂාව, යෙදුම්, උපමා සියල්ල මනාව ගැලපී ඇත. එලෙසම ගීතය සමාජගත කීරීමට අවශ්‍ය උචිත සංගීත රටා සංගීත නිර්මාණ ශිල්පියා යොදාගෙන ඇත. මේ සියල්ල සමාජගත කිරීමට ගායන ශිල්පිනියගේ හැකියාව උපරිමයෙන් දායක වී ඇත. අප සමාජය තුළ මෙවැනි කොළඹ දුවන්නියන් කොතරම් ඇත්ද...?


(උපුටා ගැනීම - ගීතයකට වැඩියමක්)




පාළු සුසානේ ප්‍රේම පුරාණේ...

පාළු සුසානේ ප්‍රේම පුරාණේ 

කඳුළු විලාපේ මා තමයි 

අප දෙදෙනාගේ එදා සෙනෙහේ 

සැමරුම් කිසිදා මැකී නොයේ 

මට අමතක නෑ ඔබට මතක නෑ....


ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී

ආදරයක් මිය යාවිදෝ

හදවත ගොළු වී ඔබේ නාමයෙන්

ජීවිතයක් නවතීවිදෝ

මා විමසන්නෙමි කියන්නකෝ මට

කෙලෙසද මේ ලෙස කුරිරු වුණේ....


මගෙ අත්තටු බිඳ පියා සලාලා

යන්නට ඔබ පැතු චේතනා

ඔබයි දිනූවේ පරාජිතයි මා

මේකද මට දුන් වාසනා

ආදර රේඛා සුසුම් හෙලාවී

කම්පා කරවා මහී තලේ....


දෛවය මෙය නම් සුදු අපි නාඬමු

හමුවෙමු මතු සංසාරය‍ෙ

කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා

ඇවිලෙන මේ ගිනි මා ළයේ

ඔබ නොව ළඳුනේ මමයි සදාකල්

අසරණ වූයේ කුමාරියේ....


පද - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - සරත් ද අල්විස්

ගායනය - එච්.ආර්. ජෝතිපාල


සරත් ද අල්විස් නමැති සුප්‍රකට සංගීතඥයා මුලින්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින්නේ 1985 දී තිරගත වූ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයෙනි.   

ඔබට දිවුරා කියන්නම් පසු කලෙක ආදායම් වාර්තා බිඳ හෙලූ අධ්‍යක්ෂවරයකු වන සුනිල් සෝම පීරිස්ගේ ප්‍රථම චිත්‍රපටයයි. සිංහල චිත්‍රපට රාශියක රඟපාමින් ජනප්‍රිය වූ ශෂී විජේන්ද්‍රගේ ද මුල්ම චිත්‍රපටයයි. එහි රඟපෑ අනෝජා වීරසිංහ වුවද කලාත්මක චිත්‍රපට රාමුවෙන් පිට පැන රඟපෑ චරිතයක් එහි විය.   


ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත හයක් ඇතුළත් විය. ජෝති ඉන් එක් ගීතයක් ගායනා කළේ මායා දමයන්ති සමගය. ඔබට දිවුරා කියන්නම් නිෂ්පාදනය වන 1980 ගණන් වලදී ජෝති ගායකයකු ලෙස ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ වැජඹුණේය. ඔහුට සන්දර්ශනවලින්, චිත්‍රපටවලින් අඩුවක් නොවීය. කෙතරම් ජනප්‍රියත්වයේ සිටියද ජෝතිට විචාරක ප්‍රශංසාව නම් නොලැබුණේය. එය ජෝති දැන සිටියේය. ඔහුට තම ගායන ජීවිතයේදී ජනප්‍රිය සම්මාන කීපවරක්ම ලැබුණද හොඳම ගායකයා ලෙස සරසවි සම්මාන ලද්දේ දෙවරකි. 


ජෝතිට ප්‍රථම වරට හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස සම්මානයක් ලැබෙන්නේ 1983 දීය. ඒ සරත් දසනායක සංගීතවත් කළ මිහිදුම් සිහින චිත්‍රපටයේ “සරාසඳේ” ගීතය වෙනුවෙනි. ඊළඟට ජෝති හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස දෙවැනි වරට හා අවසන් වරට සම්මාන ලබන්නේ 1985 පැවැති සරසවි සම්මාන උළෙලේදීය. ඒ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ “පාළු සුසානේ” ගීතයටය. එහිදී හොඳම ගීත රචකයා ලෙස සම්මාන ලැබුවේද එම ගීතය ලියූ ආචාර්ය අජන්තා රණසිංහය. සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්ගෙනි.   


ප්‍රථම වරට තමා සංගීත අධ්‍යක්ෂණය කළ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයේ පාළු සුසානේ ගීතයට ජෝතිට හා අජන්තාට සම්මාන ලැබුණද සරත් ද අල්විස්ට සම්මානයක් නොවීය. 


“සම්මානයක් ගන්න හිතාගෙනද මේ ගීතය නිර්මාණය කළේ?”


“මොන පිස්සුද සම්මාන ගැන අදහසක්වත් තිබුණේ නෑ. මේ සින්දුව ලියන්න දුන්නෙ අජන්තාට නෙමෙයි, වෙනත් ප්‍රසිද්ධ ගීත රචකයකුට. සාමාන්‍යයෙන් මම කලින්ම කරන්නෙ මෙලඩිය හදල ඒක හම් කරල කැසට් පටයක් යවනවා ගීත රචකයාට. චිත්‍රපටයකට ගන්න සින්දුවක් නිසා අදහස කියනවා. විශේෂයෙන්ම කතා තේමාව. මේ ගීතයත් ඒ විධියට හම් කරල යවල කතා තේමාව ගැනත් මේ ගීතය ගායනා කරන අවස්ථාව ගැනත් ගීත රචකයාට විස්තර කළා. 


ඉන් පස්සෙ අපි රෙකෝඩින් වලට දින දාගත්තා. දැන් ජෝතිටත් දිනය වෙලාව සේරම දීලා. රෙකෝඩින් තියෙන්නෙ හෙට නම් අද රෑ තමයි එම ගීත රචකයා මේ තරම් පොඩි තනුවකට ඒ තරම් ලොකු අදහසක් ලියන්න බෑ කියල දැනුම් දුන්නෙ. දැන් ඉතින් මොකද කරන්නෙ? අධ්‍යක්ෂක සුනිල් සෝමයි මමයි පටිගත කිරීම් දාගත්ත දවසේ උදේ හයට අජන්තාව හොයාගෙන ගියා. ගිහින් විස්තරේ කියල උදේ දහයට සින්දුව ඕනෙයි කිව්වා. හම් කරපු ට්‍රැක් එක දීල විස්තරේ කිව්වෙ ගේට්ටුව ළඟ ඉඳගෙන. අජන්තා ට්‍රැක් එක ගත්තෙ ගේට්ටුවට උඩින්.   


අජන්තා සින්දුවත් අරගෙන උදේ දහයට ස්ටූඩියෝ එකට එනවා කියල පොරොන්දු වුණා. කිව්ව වගේම අජන්තා උදේ දහයට ස්ටූඩියෝ එකට ආවා.   


පාළු සුසානේ හදිසියේම ලියාගෙන පටිගත කළේ එහෙමයි. අපි කාටවත් සම්මාන ගැන හැඟීමක් තිබුණෙ නෑ කියල ඒකෙන්ම තේරෙනවනේ. අපිට ඕන කළේ සින්දුව වෙලාවට කරගන්නයි.   


සරසවි සම්මාන උත්සවය සංවිධානය වෙමින් පවතින කාලෙ සම්මාන උත්සවේ සංවිධායකවරයෙක් මගෙන් ඇහුව මේ තනුව හින්දි එකක්ද කියලා. මම කිව්වා සම්මානවලදී හැම දෙයක්ම හොයනව නම් මේකත් හොයල බලන්න කියලා. හොඳම ගීතය වුණාට සංගීත අධ්‍යක්ෂණයට මට සම්මාන ලැබුණෙ නෑ. කොහොම හරි සම්මාන උත්සවේ ඉවරවෙලා එනකොට සනත් අයියා (මහාචාර්ය සනත් නන්දසිරි) මට කිව්වා ගායකයා ගීත රචකයා දෙන්නටම හොඳම ගීතයට සම්මාන ලැබුණා. එතකොට තනුවක් සංගීත අධ්‍යක්ෂ කෙනෙක් නැතුවද මේ ගීතය ගායනා කරල තියෙන්නෙ කියල. ඕවයේ හැටි ඔහොම තමයි. කියල අන්තිමට කිව්වා.” ඔබට දිවුරා කියන්නම්. ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයෙන්ම ජෝතිට දෙවැනි සම්මානය හිමිවූ ගීතය නිර්මාණය කළ සරත් ඉන්පසුව චිත්‍රපට හාරසියයකට පමණ සංගීතය නිර්මාණය කර ඇත. 


(උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප රොඩ්නි විදානපතිරණ






Wednesday, June 30, 2021

සිහිනයකි ඔබ ...

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

නිදන නෙත් යුග සනසනා..

සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ

නිහඬ මා හද සනසනා...


ඉරකි ඔබ මට සදකි ඔබ මට

කිසිදු කිසි විට සමුනොගන්නා...

සයුරු රළ ඔබ ඈත සමුදුර

සයුරුතෙර මා හමුවනා...


සිහිනයකි ඔබ...//


යුග ගණන් අප වෙන්ව ආ මඟ

සොදුරු නිම්නෙක එක්වෙලා...

දුක් සුසුම් නැති අපේ ලොව තුල

සිනා මල් පෙති විසිරිලා...


හිරුට තනි නැත සදුත් නැත තනිවී

එකම අහසක හමුවෙලා...

ලොවම සසලව බලා සිටියාවේ

යලිදු අප හද ලංවෙලා...



ගායනය - නිරංජලා සරෝජිනී, බණ්ඩාර අතාවුද

සංගීතය - එච්.එම් ජයවර්ධන

ගී පද - කුසුම් පීරිස්


ප්‍රවීණ ගේය පද රචිකාවියක් වෙන කුසුම් පීරිස් මහත්මිය හොඳින් අඳුනන යුවලක් වෙනුවෙන් තමයි මේ ගීතය ලියවුණේ. අද වෙද්දී ඒ දෙන්නා බොහොම සතුටින් විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.


කලකට ඉහතදී මේ දෙදෙනා එකිනෙකාට ආදරය කරත්, ඒ බව මුවින් පැවසුවේ නැහැ. යාලුවෝ විදියට තමයි ආශ්‍රය කළේ. ඉතින් නියම කල වයස ආවම, මේ තරුණිය ඇයට ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවකට කැමති වුණා. ඇය විවාහ වුණාම, අර තරුණයට දැනුණේ දරාගන්න බැරි දුකක්. ගෙදර කීමට විවාහ වුණත්, ඒ තරුණියගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්නෙත් නැහැ. ඇගේ සැමියා බේබද්දෙක්. ඉතින් වැඩි කල් නොයා ඔවුන් දෙන්නා දික්කසාද වෙනවා.


මේ ගැන දැනගන්න ඇයට ආදර කරපු තරුණයා ඇය සොයා ගිහින්, තමන්ගේ හිතේ එදා වගේම අදටත් තියෙන ආදරේ ගැන ප්‍රකාශ කරනවා. බටහිර රටවල්වල කෙසේ වෙතත්, ලංකාවේ සමාජය දික්කසාද වුණු තරුණියක් දිහා බලන්නේ වපර ඇහින්. අඩු තරමේ ඇය ඒ තත්ත්වෙට වැටුණේ කාගේ වරදින්ද කියලවත් හොයලා බලන්නේ නැතුව, දෝෂාරෝපණය කිරීම තමයි ඔවුන් කරන්නේ. ඒ ගැටලුවට මේ තරුණියටත් මුහුණ දෙන්න වුණා. නමුත් ඇයට ආදරය කරපු තරුණයාට ඇය දික්කසාද වුණු එක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනා සාමාන්‍ය යුවලක් විදියටම විවාහ දිවියට එළඹුණා.


"ලොවම සසලව බලා සිටියාවේ" කියලා මේ ගීතයේ තියෙන්නෙත්, ලෝකය කුමක් කිව්වත් මට එයින් කමක් නැතැයි කියන තරුණයාගේ හැඟීම බවයි කුසුම් පීරිස් මහත්මිය පවසන්නේ. කරදර, විවේචන, බාධක සියල්ල මැද්දේ විවාහ වුණු මේ යුවළ වෙනුවෙන් ලියවුණු මේ ගීතය ගායනා කෙරුණේ බණ්ඩාර අතාවුදයන් සහ නිරංජලා සරෝජිනියන් විසින්.


(උපුටා ගැනීමකි)



Tuesday, June 22, 2021

ඇරඹුමම කඳුලක් වෙලා ...

ඇරඹුමම කඳුලක් වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ දුරත් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා...//


දුක්බරම කවියක් ලියා

එහි පද පෙලක් අඩුවෙන් තියා...//

අරුත පසිදින්නට කියා

අවසානයට පෙර ඈගියා...


ඇරඹුමම කදුලක් වෙලා...//


ශෝකාන්තය එන තුරා

එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//

අනන්තය ලඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා...


ඇරඹුමම කදුලක් වෙලා...//


ගායනය - කසුන් කල්හාර

පද රචනය - දිලීප අබේසේකර

සංගීතය - නාලක අංජන කුමාර


කසුන් කල්හාර විසින් ගැඹුරු හඬින් ගායනා කරන මේ ගීතය ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ පුත් දිලීප අබේසේකර විසින් ලියන ලද්දක්. ඔහුගේ අදහස අනුව මෙම ගීතයෙන් කියවෙන්නේ විවාහයෙන් කෙළවර නොවන වර්තමානයේ වැඩි වශයෙන් දැකිය හැකි අස්ථිර ආදරය ගැන. ගීතය දිලීප අබේසේකර විසින් රචනා කරල තියෙන්නේ ගුවන්විදුලි වැඩසටහනකට. නාලක අංජන කුමාරයන්ගේ සංගීතයෙන් යුතුව කසුන් කල්හාර විසින් ගායනා කල මේ ගීතය ඔහුගේ රොමැන්ටික් ඔපෙරා ඇල්බමයට ඇතුලත් කළා.


ආදරය බොහෝ විට කෙළවර වෙන්නේ විවාහයෙන්. ඒ එදා ඒත් අද ආදරය කරන්නේ විවාහ වෙන්නමද. අද අපේ සමාජ සංස්‌කෘතියත් ගොඩාක්‌ දුරට බටහිර පන්නයට නැඹුරුවෙලා. ආදරය කියන්නේත් මේ සමාජ සංස්‌කෘතියේම කොටසක්‌නේ. ඒ නිසා සමාජ සංස්‌කෘතියත් සමගම ආදරයන් බටහිර ක්‍රමයට නතුවෙලා. ඒ නිසා තමයි ආදරයේ කෙළවර විවාහය නොවන බවට බොහෝ තරුණ තරුණියන් හිතන්නේ. අද ආදරයට ඉලක්‌කයක්‌ අරමුණක්‌ නැහැ. ගමනක්‌ තියෙනවා. ඒත් යන්න තැනක්‌ නැහැ. ඒ වගේ තමයි ආදරයත් තියෙනවා. ඒත් ඊට අරමුණක්‌ හේතුවක්‌, ඉමක්‌ කොනක්‌ නැහැ.


කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගැයෙන මේ ගීය විරහව විඳින කාටත් පොදු වූවක්‌.


ඇරඹුමම කඳුළක්‌ වෙලා

මා බලා ඉද්දී ඒ දිහා

ආ දුරත් දුර වැඩි නිසා

අවසානයට පෙර ඈ ගියා


මේ පෙම්වතා ගේ ආදරය පටන් ගන්නේම කඳුළකින්. ඒ කියන්නේ පටන් ගනිද්දීම ඒ ආදරයේ අවුලක්‌ තියෙනවා. ඉවරයක්‌ දකින්නෙ නැහැ. ආදරයේ කෙළවරට කලින්ම ඈ ඔහු දමා යනවා.


අපේ ප්‍රවීණතම ගීත රචකයා කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා දිලීප අබේසේකර මේ ගීය ගැන කියන්නේ මෙවන් අදහසක්‌.


මේ සිංදුවට මහා විශාල නිමිත්තක්‌ නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක්‌ දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක්‌ නැති ප්‍රේමයක්‌ විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ.


දිලීප මේ ගීයේ සිදුවූ වෙනසක්‌ ගැනත්, සිහිපත් කළා. මම මුළින්ම ලියුවේ "ආ දුරත් දුර නැති නිසා කියලා. ඒත් කසුන්ට දෙවැනිවර ගීය රෙකෝඩ් කරද්දී ආ දුරත් දුර වැඩි නිසා කියලා වැරදිලා කියෑවුණා. දැන් හිතෙනවා ඒ වැරැද්ද හරි කියලා.


දුක්‌බරව කවියක්‌ ලියා

එහි පද පෙළක්‌ අඩුවෙන් තියා

අරුත පසදින්නට කියා

අවසානයට පෙර ඈ ගියා


සාමාන්‍යයෙන් කවියක්‌ නම් පද හතරක්‌ තිබිය යුතුයි කියා පිළිගැනීමක්‌ තියෙනවා. ඒක සම්මතයක්‌ම නොවේ. පද හතරක්‌ නැතිනම් කවියක්‌ සම්පූර්ණ වන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. අවසාන පදය නොතිබුණොත් ඒ කවිය අප්‍රබංසයක්‌.


දිලීප පවසන ආකාරයට මේ පෙම්වතාට ඔහුගේ පෙම්වතිය අප්‍රබංසයක්‌ ලියා දීලා. ඒක දුක්‌බර කවියක්‌ ඒත් පදපෙළේ අඩුවක්‌ තියෙනවා. හරියට තේරවිල්ලක්‌ වගේ අර්ථය තියෙන්නේ අන්තිම පදයේ. ඒත් ඈ ඒ පදය ලියා නැහැ. අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්. ඔහුට මෙය ප්‍රහේළිකාවක්‌ ඔන්න ඔය ආකාරයට තමයි අද පෙම්වතුන් ආදරය කරන්නේ යම්කිසි දුරකට එනවා ඒත් ඒ ඇවිත් අතරමැද නතර වෙනවා.


ශෝකාන්තය එන තුරා

එහි රැඳෙන්නට සිත් නැති නිසා

අනන්තය ළඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා


මේ විදිහට ගියොත් අවසානය ශෝකාන්තයක්‌ වන බව ඇය දන්නවා. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය වෙතට ගමන් කරන්නේ ඇයි. එසේ සිතන පෙම්වතිය ඔහුව අවසානයක්‌ නොදකින තැනක දමා පිටව යනවා.


අනන්තය ළඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා


අද තියෙන්නේ මේ වගේ ඕපපාතිකව පටන් අරන් නිමාවක්‌ නොදකින ආදරයක්‌. ඒක තමයි මට මේ ගීයට නිමිත්ත වුණේ. දිලීප ගීයේ නිමිත්ත සඳහන් කළා.


මේ ගීයේ තේරුම ගැන සමහරු විවිධ විදියට අර්ථ දක්‌වනවා. කවුදෝ කෙනෙක්‌ දවසක්‌ කසුන්ගෙන් ඇහුවාලු ඔයා ඔය ගායනා කරන්නේ ඔයාගේ අම්මා ගැනද කියලා. කසුන්ට මේකට තරමක්‌ කේන්ති ගිහිං. කීප දෙනෙක්‌ම මගෙනුත් ඇහුවා. ඔයා ඔය යම්කිසි කතාවක්‌ ගැන ලියපු ගීයක්‌ද කියලා.


නාලකගෙයි කසුන්ගෙයි දායකත්වය නිසා මේ ගීය ගැඹුරටම ගෙන ගියා. ගීයේ හැම විදියකින්ම අර්ථවත් වන්නේ අරමුණක්‌ නැති ස්‌වභාවයක්‌ ගැනයි. මේ දෙදෙනාගෙන් පළමුව යන්නේ පෙම්වතිය.


දිලීප එහෙම කියන්නේ මේ ගීය පිරිමි හඬකින් ගැයෙන නිසා ඒත් මේ ගියේ පද මාලාවේ ඈ යන්න වෙනස්‌ කර ඊට ඔහු කියා දමා කාන්තා හඬකින් ගැයුවොත්.....


මෙහි අරුත දෙපැත්තටම ගත හැකියි. ඒ මේ අත්දැකීම දෙපාර්ශවයටම පොදු නිසා.


මම මේ ගීතය හැදුවේ අවුරුදු හතරකට පහකට විතර කලින්. ගුවන් විදුලියේ අලුත් ගීත හදන වැඩසටහනකට. එහි මූලිකත්වය අරන් කටයුතු කළේ ඒරානන්ද හෙට්‌ටියාරච්චි තවමත් අලුත් ගීත හැදෙන්නේ ගුවන් විදුලියෙන්. ඒක වැදගත්. මේ ගීය තෝරා ගනිද්දී මමවත්, නාලකවත්. කසුන්වත් එකට හමුවුණේ නැහැ. අපි තුන්දෙනා එකතුවෙලා හදපු ගීතයක්‌ නොවේ. මේ ගීයට ඉඩකඩ හැදුවේ ගුවන් විදුලියයි.


(උපුටාගැනීම - දිවයින)



Thursday, June 17, 2021

ලක්වැසියන් කෙරෙහි නැමී ...

ලක්වැසි ජනතාවගේ දරුවන්ගේ සිත් තුළ ළදරු අවධියේ සිටම ජාතිකාභිමානය දැනවීම සඳහා ඔවුන්ගේ මහරු අතීතය සිහිපත් කරවන ළමා කාව්‍ය සාහිත්‍යයක් අප සතුව ඇත. මින් දශක නවයකට පෙර යුගයේ *ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් විසින් පබඳින ලද පද්‍ය අනූ පහකින් යුතු ‘දරු නැළැවිල්ල හෙවත් ජාතික තොටිල්ල’* ඒ අතර උසස් තැනක් ගනියි. ඒ පද්‍ය සංග්‍රහයෙන් තෝරාගත් පද්‍ය අටක් සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬින් සිංහල ගීත සාහිත්‍යයට එකතු වී ඇත. එහි පළමු පද්‍යය මෙසේය:


ලක්වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමී

පෙව්වේ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එමී


ඇස්. මහින්ද හිමියන්ගේ ජාතික තොටිල්ල කාව්‍ය සංග්‍රහයේ දසවැනි පද්‍යයෙන් ආරම්භ වන එම ගීතය සනාතන වටිනාකමින් යුතු වන අතර අද යුගයට එය අතිශයින්ම වැදගත් වෙයි. මිහිඳු මහරහතන් වහන්සේ සදහම් අම මී පොවා වැඩූ සිංහල සභ්‍යත්වය වර්තමාන යුගය වන විට මිසදිටු ඇදහිලි විශ්වාසයන්ගෙන් ආකූල ව්‍යාකූල වී පවතී. ඒ විසකුරු දෘෂ්ටි හා පුද්ගලයන් හඳුනාගෙන එයින් මිදී අරහත් මහ මිහිඳු හිමිපාණන් එදවස ලක්වැසියන් හට පෙවූ සදහම් මී යළි අප දරුවන් වෙත පෙවිය යුතු කාලය එළඹ තිබේ.


මවුබිමේ ඉතිහාසය නොදන්නා අධ්‍යාත්ම ශක්තියෙන් පිරිහුණු ජනකායකගේ දරුවන්ගේ සිත් තුළට බුදු දහමින් පෝෂණය වූ අතීත සභ්‍යත්වයේ මහිමය අනුක්‍රමයෙන් පිවිස වන ආකාරයට, ‘දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල’ කාව්‍යයේ කවි තෝරාගෙන ගීතයට එක් කොටගෙන තිබේ.


ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ


සිංහල ජාතිය නමැති රන් විමානයේ දැල්වූ මිණි පහන නම් සම්බුද්ධ ශාසනයයි. එම රූපකය සුනිල් එදිරිසිංහයන් ගයන වෙනත් ගීතයකින් කියැවුණේ ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ’ යනුවෙනි. ඒ පින්බිමට විපත් පත් හැම විටම එය රැක ගැනීම සඳහා වීර පුරුෂයෙකු බිහි වූ අයුරු සිංහල මහාවංශයේ ලියැවී ඇත. ඒ යුගය දැන් උදා වී ඇති බැවින් පුතණුවනි මේ ඔබට අවස්ථාවයි.


මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝ වේ

මේ ගැන වැඩ කළොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ


බුදු දහමේ මිණි පහනින් එළිය වූ උතුම් ලංකාද්වීපය දුසිරිත් ආකාරයක් බවට පත්ව තිබේ. එය වළකා රට නැඟුවොත් පුතණුවනි, ඔබගේ නම රන් අකුරින් ලියැවෙනු ඇත.


ඉටු කොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන් නම්

නුඹයි මගේ පුතා උතුම්


කලක් මිසදිටු ඇදහිලි වලට, දුසිරිතට, නිවට ගැති පිළිවෙතට යොමුව සිටි රටක් නැගුම ලෙහෙසි පහසු කාරියක් නොවේ. දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීම, වර්ග බෙදුම්වාදීන් මැඩීම ලොවෙත් ගැරහුම් ලැබීමට හේතුවන ක්‍රියා වෙයි. ඒවා ඉවසා රට නැගුමේ පිළිවෙතට උර දීම උතුම් ලක් පුතෙකුගේ කාරිය වන්නේය.


තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොළොත් උඹෙන් පුතේ

මෙලොවට කිසි ඵලක් නැතේ


අප උපන්දා සිට වැඩුණේ මේ රන් දිවයිනේ සාරය උරා බීමෙනි. දෙරණ ලිය දෙන භව භෝග සම්පත් භුක්ති විඳිමින්, මුනි සිරිපා, සිරි දළදා, සිරිමහබෝ, රන්වැලි සෑ දාගැබ් පිසගෙන හමන සුළං රැල් උරමින් අපි හැදී වැඩුණෙමු. එබඳු අනුප්‍රාණයක් ලබා දුන් රටට අප දිවි පෙවෙතින් කොටසක් – එනම් මෙහෙවරක් අප ලබා දිය යුතු ය. එය කළ හැක්කේ ශ්‍රම ශක්තියෙන් හා නැණ නුවණ මෙහෙයා කරන සේවයෙනි.


මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකත් හිරිහැරයත්

නිවනට සම කොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්


තමන් උපන් රටට, ජාතියට, ආගමට ළැදිව සේවය කිරීමෙන් අප ලබන තෘප්තිය ඉමහත්ය. අප ඉන් ලබන වෙහෙස, දුක්ගැහැට, හෙළන දහදිය බිඳු අපගේ මෙන් ම සියලු රටවැසියන්ගේ යහපත උදෙසාය. 


කාටත් හිමි පොදු දේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරවිරුකම්


අටලෝ දහම හුරු දිවි පෙවෙතකට උරුමකම් කියන හෙළදිව ජනතාව, තමන්ට මුහුණ පෑමට සිදුවන හිඟපාඩුකම් – අවහිරකම් විඳ දරා ගැනීමට ශක්තිය ඇත්තෝය.


එම හැකියාව අප ලැබුවේ බුදු දහම විසින් අප ජාතියට උරුම කොට දෙන ලද නොසැලෙන අධිෂ්ඨාන වීර්යය නිසාවෙනි. එය වූ කලී අප්‍රමාදයෙන් ප්‍රමාදය ජය ගැනීම පිළිබඳ ධීරයකු සතු ගුණයයි.


උස් තැන් දැක හැකිළෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ


ආදී සිංහල ජනයා කවරම බලවේගයක් හමුවේ වුවද නිවටුන් ලෙස හැකිළුණේ නැත. ජාතිය නිසා හෝ ආගම නිසා හෝ පුතුන් නිසා හෝ ධනය නිසා හෝ අධර්මයෙන් ජයග්‍රහණයක් නොපැතූ ඔවුහු කිසිදු කරුණක් නිසාවත් අසරණයන් නොපෙළුෑහ. තමන් අබිමුව වැටුණ පරාජිතයින්ට පවා ගෞරව කළහ. එසේ කටයුතු කිරීමෙන් ඉහළ තැනකට නැඟෙන පුතා අන් ජාතීන්ටද සුව සෙත සලසමින් සිංහල ජාතිය බබුළුවන්නේය. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේය.


ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් මම පොවමි එමී


ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය ‍රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ


මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කොලොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ


ඉටු කොට කල යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන්නම්

නුඹයි මගේ පුතා උතුම්


තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකොලොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ


මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹයි මගේ පුතා සමත්


කාටත් හිමි පොදුදේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරු විරුකම්


උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ


ගායනය :සුනිල් එදිරිසිංහ

පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

සංගීතය : රෝහණ වීරසිංහ


(උපුටා ගැනීම – දයාපාල ජයනෙත්ති)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...